Thursday, May 2, 2024

මම මහින්දට විරුද්ධයි, මහින්ද යළිත් පරදිනවා – ජනපති

“මම මහින්ද රාජපක්ෂට විරුද්ධයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළ හොත් අගමැතිවරයා හැටියට පත් කරන්නට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙක් ඉන්නවා”

ජනවාරි අට වැනි දින ජනපතිවරණයෙන් පරාජය වූ මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයේදී යළිත් පරාජයට පත් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඒ බව ප්‍රකාශ කිරීමට නක්ෂත්‍ර බැලීමට අවශ්‍ය නොවන බව පැවසූ ජනාධිපතිවරයා ඉතිහාසය දෙස බැලීමෙන් එය කිව හැකි බවයි පැවසුවේ.

ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින්.

හිටපු ජනපතිවරයා දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ සිටියේ නම් දින සියයේ වැඩසටහනට අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව අහිමි වීමට ඉඩ තිබුණු බවද ජනාධිපතිවරයා පැවසීය.

මාධ්‍ය නිදහස

ගතව ගිය දින කිහිපය තුල ‘දුෂ්ටයා, පාවා දෙන්නා’ යනුවෙන් තමන්ට තරම් වෙනත් කිසිදු ජනපතිවරයකුට අපහාස එල්ල නොවූ බව පවසන ජනපති සිරිසේන, එවැනි චෝදනා එල්ල කිරීමට පවා වාතාවරණය උදා වූයේ තමන් බලයට පත්වීමෙන් අනතුරුව උදා කළ මාධ්‍ය නිදහස හේතුවෙන් බව පෙන්වා දුන්නේය.

විවේචකයන් තමන්ට එරෙහිව භාවිත කරන එවැනි වචන ජනවාරි 08 වැනි දිනට පෙර භාවිත කළේ නම් ඔවුන්ට සිදු විය හැකිව තිබුණු දේ තමන් හොඳින්ම දන්නා බවත් ජනාධිපතිවරයා පැවසීය.

මහින්ද රාජපක්ෂ පරිපාලනය තුල මාධ්‍යවේදීන් කිහිප දෙනකුම ඝාතනයට ලක් වූ අතර, භාෂණයේ නිදහස දරුණු ලෙසින් සීමා කරන බවට රාජපක්ෂ පරිපාලනයට චෝදනා එල්ල විය.

පොද්දල ජයන්ත, කීත් නොයාර් සහ නාමල් පෙරේරා ඇතුළු මාධ්‍යවේදීන් ගණනාවකට ප්‍රහාර එල්ල විය. එමතු නොව ජනපතිවරණය සමයේදී සිය ජීවිතයට පවා තර්ජන එල්ල වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බීබීසී සංදේශයට කියා සිටියේය.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්

null

“මම මහින්ද රාජපක්ෂට විරුද්ධයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළ හොත් අගමැතිවරයා හැටියට පත් කරන්නට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙක් ඉන්නවා,” ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

තමන්ට අවශ්‍ය වන්නේ එක පක්ෂයක් මැතිවරණය ජයග්‍රහණය කිරීම නොව ජනවාරි 8 වැනිදා ලැබූ ජනවරමට සහය දක්වන බහුතරයක් පාර්ලිමේන්තුවේ සිටිනු දැකීම බව ඔහු අවධාරණය කළේය.

පක්ෂයේ පාලනය පවත්වා ගෙන යාම පිණිස තමා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමඟ අභ්‍යන්තර අරගලයක නිරතව සිටි බව ජනාධිපතිවරයා පළමුවරට ප්‍රකාශ කළේය.

කුමන්ත්‍රණයක්

තමා පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස් වූයේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ට අවශ්‍ය ඕනෑම අයකු එක්සත් ජනතා සන්ධානයේ අපේක්ෂකයන් හැටියට ඇතුළත් කිරීමට හැකියාව තිබුණ බවද ඔහු සඳහන් කළේය.

null
“මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ කුමන්ත්‍රණයක් තිබුණා”

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ කුමන්ත්‍රණයක් තිබුණු බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අනාවරණය කළේය.

“මට ඒක නවත්වන්න පුළුවන් වුනා. රජය බිඳ වැටීම වැළැක්වීමට මම පාර්ලිමේන්තුව විසුරුවා හැරියා,” ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

මැතිවරණ ප්‍රකාශණය

පසුගිය ජනවාරි 8 වැනිදා රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්වීමට ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවාසීන්ට ඉදිරිපත් කරන ලද මැතිවරණ ප්‍රකාශනයේ කරුණු පිලිබඳව අවධානය යොමු කළ යුතු බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අවධාරණය කළේය .

“ජනවාරි 8 වැනිදා ශ්‍රී ලංකාවේ සිදුවූ පරිවර්තනය, ප්‍රජාතන්ත්‍රවාදී විපල්වය සාමාන්‍යයෙන් එවැනි පරිවර්තනයක්, ඉතාම කෙටි කාලයකදී, රජයෙන් ඉවත්වී ජනවාරි 8 වැනිදා වන විට දවස් 42 කාලයක දී, රටේ අනාගතය සඳහා ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම්, නිදහස් මාධ්‍යය මේ සියල්ල පෝෂණය කිරීම සඳහා නව රජයක් පිහිටුවීමට හැකියාව ලැබුනේ” මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය කතාවේ ආරම්භයේදී සිහිපත් කළේය.

– BBC Sinhala

Archive

Latest news

Related news