දැනට එකඟ වී ඇති කාරණා අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලැබෙනු ඇත. එය කොන්දේසි සහිත නාමයෝජනා දීමක් ලෙස දේශීය මාධ්‍ය වාර්තා කොට තිබීමට මූලික හේතුව සමාජීය වශයෙන් ඇතිවන ගැටුම්කාරී තත්වය සමනය කිරීම සඳහාය. දේශපාලනයේදී එය සාමාන්‍යයෙන් අත් විඳීමට සිදුවන ක්‍රියාවලියකි. වෛරකළ යුතු නැත. මහින්දට අවශ්‍යවූයේ නාමයෝජනා ලබාගැනීමටය. එය ඉටුවී ඇත. තත්වය අතිශය සංවේදී වුවද, මෙහිදී වැදගත් වන්නේ කාරණය හරිහැටි අවබෝධ කර ගැනීමය. එවැනි අවබෝධයකින් පසු, මීළඟ තීරණය ගත හැකි සේම අනතුරුදායක තත්වයක් සඳහා සූදානම් විය හැකිය.
රටපුරා පෝස්ටර් ඇලවෙනු ඇත. හැටරියන් කටවුට් ඉදිවනු ඇත. කුමන පර්ශවයකගෙන් හෝ ලැබෙන මුදල් යහමින් වියදම් කරමින් දේශපාලන වන්නම කිසිඳු ලැජ්ජාවක් නැතිව නටනු ඇත. අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින දරුවනට නිදහසේ පොතක්-පතක් කියවීමට ඇති ඉඩ මකා දමමින් මුළු රටම බොරු වලින් දෙවනත් කරනු ඇත. බලයට පත් වූ විගස තමන් වියදම් කළ මුදල් ගැන කිසිඳු වාර්තාවක් ඉදිරිපත් කළ යුතු නැති හෙයින් බලය සඳහා කළ හැකි උපරිම දේ කරනු ඇත.
මෙවැනි දෑ දකින රටේ ජනතාව, සෑම විටම මතක තබා ගත යුතු මූලික කාරණය වූ කලී, යළිත් රට අරාජික තත්වයට සහ හිංසාවාදී වැඩපිළිවෙලකට යොමු නොවීමට ගතහැකි උපරිම පියවර ගැනීම මාතෘභූමියේ වෙසෙන සියලු පුරවැසියන්ගේ වගකීම වේ. අහිංසාවාදී අරගල රාජ්‍ය යාන්ත්‍රණයේ හිංසාවෙන් අතුගා දැමීම නිසා හිංසාව අරගලෙයේ මුඛ්‍ය උපක්‍රමය ලෙස භාවිතා කිරීමට යෑමෙන් අපි ජාතියක් ලෙස ඉගෙනගත් බරපතල පාඩම සෑම අයෙකුගේම මූලික අත්දැකීම වේ. මේ නිසා වැදගත් වන්නේ, සමාජ ප්‍රතිසංස්කරණයක් උදෙසා වූ අහිංසාවාදී සහ ආදර්ශමත් වැඩපිළිවෙලකට පෘථුල වශයෙන් යොමු වීමය.
ඒ සඳහා අවශ්‍ය තාක්‍ෂණය දියුණු වී ඇත. මහපාරට පැමිණ කෑ ගැසීමට වඩා අර්ථවත් දෙයක් සිදු කිරීමට හැකි වාතාවරණය සකස් වී ඇත. එවැනි මෙවලම් ගම්දනව් සිසාරා ව්‍යාප්ත වීම සිදුවෙමින් තිබේ. එවිට රටේ අපි වැනි සාමාන්‍ය මිනිසුන් ඔවුන්ගේ ආත්මගරුත්වය ගැන සිතා අවශ්‍ය තීරණය ගනු ඇත.
රාජපක්ෂ පරිපාලනය පරාජය කරනු ලැබුවේ මෛත්‍රී විසින් යැයි විශ්වාස කොට මෛත්‍රී ජාතියේ එකම ගැලවුම්කරුවා කරගැනීමට යෑම තරම් අවිද්‍යාවක් ඇතිවුව හොත් එමඟින් සිදුවන්නේ පැරණි උගුලේ යළිත් පැටලීමය. ඔහු ඉදිරි වසර පහ සඳහා නීත්‍යානුකූල විධායක ජනාධිපතිවරයා වේ. එය එපමණකි.
බොහොමයක් අවාසනාවන්ත කාරණා සිදු වූයේ අතිශය සංවේදී තීන්දුවලදී නායකත්වය හැසිරෙන ආකාරය සහ එම තීන්දුවලින් රටේ සාමාන්‍ය ජනතාවට වඩා එවැනි සිදුවීම් දඩමීමා කරගෙන දේශපාලන, සමාජ සහ ආර්ථික වාසි ලබා ගැනීමට මානබලන “අන්තවාදී” කල්ලී වල සහ ඒ දෙසට බාහිරින් සිටින මැදිහත්කරුවන්ගේ හැසිරීම් විසිනි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තම දේශපාලන අවබෝධයට අනුව ගනු ලැබුවේ, තම දේශපාලන අවශ්‍යතාවයයි. එය පාවාදීමක්, ද්‍රෝහීවීමක් වැනි විශේෂනාර්ථ වලින් වර්ණ ගැන්විය හැකිය. එසේ කොට තම ආවේගය නිදහස්කළ හැකිය. නමුත් ඉන් අර්ථවත් යමක් කළහැකිද, යන්න ගැටලුවකි.
මන්ද මෛත්‍රී වූ කලී තනි පුද්ගලයෙකු වන අතර ඔහුට තනිව තීරණ ගැනීමේ අයිතිය රටවැසියන් ලෙස මෙහිදී අවබෝධ කර ගත යුතු මූලික කාරණයකි. ඔහු ලබා ගන්නා තීරණ වැරදිද? නිවැරදිද යන්න තීන්දු කිරීමට අවශ්‍ය පසුබිම සකස් විය යුත්තේ ජනතා පදනමක් මූලික කරගෙනය. වාසනාවට හෝ අවාසනාවට “මැතිවරණ” නාමයෙන් රටේ ජනතාව ඒ සඳහා අවස්ථාව තහවුරුකොට ඇත.
එසේම, පසුගිය මැතිවරණවල තිබු ප්‍රචණ්ඩකාරී නැඹුරුවට වඩා ක්‍රමික සමාජීය දියුණුවක් පොදුවේ අත්පත්කරගෙන තිබේ. අමනයින් සහ දුර්ජනයින් පර්ලිමෙන්තුවට යැවීමට එරෙහිව පුළුල් කතිකාවක් නිර්මාණය වෙමින් තිබේ. වැදගත් වන්නේ මෙවැනි සමාජ බලවේග කුමන බාධක මධ්‍යයේ වුව ඉදිරියට රැගෙන යාමය. ඒ සඳහා වැඩිහිටියන් බලමුළු ගැන්වීම, ශිෂ්‍ය ව්‍යාපාර දැනුවත් කිරීම ආදී දෑ අතිශය වැදගත් වේ.
මෛත්‍රී සිදුකළ බලවත්ම දේ, පෘථුල වශයෙන් හටගත් සමාජ විප්ලවක එක් ප්‍රධාන විෂයක් බවට පත් වීමය. තම පක්ෂය තුළ ඇති සැබෑ අභ්‍යන්තර විධික්‍රමය තුළ සිර වූ නායකයෙකුගෙන් බලාපොරොත්තුවිය හැකි වන්නේ සීමා සහිත දෑ පමණි. මෛත්‍රීට අනුව ඔහු ඔහුට කළහැකි උපරිම දේ සිදුකොට ඇත.
මෙම කාරණයේදී පළමුවෙන්ම මෙරට ජනතාව අරමුණු ගත යුතු යැයි හැඟෙන මූලික කාරණයක් තිබේ. එනම් තම විනය රැකගැනීම සහ අහිංසාවාදීව කටයුතු කිරීමය. එසේම, තම දේශපාලන අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ප්‍රධාන සතුරාට අමතරව අතිරේක සතුරන් නිර්මාණය කර නොගැනීමට තරයේ වගබලා ගැනීමය. ප්‍රධාන සතුරා වූ කලී, විකෘති කොට ඇති සමාජ ව්‍යුහයයි. අපට ආසන්නතම නිදසුන වන “රාජපක්ෂ දේශපාලනය” මතුවන්නේ එම විකෘතිය තුළ මතුපිටට පැමිණෙන රෝග ලක්ෂණයක් ලෙසය. එය දශක ගණනාවක් තිස්සේ ඇති වූ අප්‍රසන්න, අවලාදසහගත සහ දුර්ගන්ධ ක්‍රියාදාමයක ප්‍රතිඵලයකි.
තම පදනම නැතිවන බව හැඟුණු බොහෝ දෙනෙකු සිදුකරනු ලැබුවේ පැවති සමාජ තත්වය ව්‍යාකූල කිරීම සහ තමන්ගේ පෞද්ගලික අභිලාෂයන් කෙසේ හෝ මුදුන් පමුණුවා ගැනීමය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබා දීමේ කාරණයද වෙලී ඇත්තේ මෙම මූලික කාරණය මතය. ඔහුට ඇති ප්‍රධානම කාරණය හෙවත් අභියෝගය වූ කලී, වීරයෙකු ලෙස මියැදීමට නොහැකි වීමය. මේ නිසා ඔහු කළ හැකි උපරිම දේ තම අභිමතාර්ථයන් මුදුන්පමුණුවා ගැනීම වෙනුවෙන් කරනු ඇත. අවසානයේදී ස්වභාදහම විසින් අදාළ තීන්දුව නිශ්චිත වශයෙන්ම ගනු ඇත. ඒ නිසා පක්ෂ මූලිකව හටගෙන ඇති වත්මන් දේශපාලන කුණාටුව හමුවේ කලහකාරී ලෙස හැසිරීමෙන් වැළකීමේ මූලික වගකීම රටේ සියලු ජනතාව හමුවේ ඇති යුතුකමකි.
ජනාධිපති මෛත්‍රී මෙම කාරණයේදී පැටලී සිටින්නේ පක්ෂයේ ව්‍යවස්ථාමය කාරණා සහ පක්ෂයේ බහුතරයකින් එල්ල වූ බරපතල අභියෝගය හමුවේය. ඔහුගේ බලාධිකාරියට අනුව කළ හැකිව තිබුණේ බලයට පත්වූ විගස සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරුන් වහාම එම ධූරවලින් පහකොට, තමන් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට එකතු වූ පිරිසේ වගකීම් දැරිය හැකි පුද්ගලයින් ඒ වෙනුවෙන් පත් කිරීමය. එය කළ යුතුව තිබුණේ අදාළ පක්ෂයේ සහ සන්ධානයේ නායකත්වයට තමන් පත් වූ අවස්ථාවේදීය. නමුත් කුමන හේතුවක් මත හෝ ඒ සඳහා අවශ්‍ය තීන්දුව ගැනීමට ඔහුට නොහැකි විය.
ප්‍රතිඵලය ඉතා සරලය. ඔහුට, තමන් පමණක් නොව තම පවුලම අතුගා දැමීමට සැලසුම්කළ අයවලුන් සමඟ නව දීගයක් ආරම්භ කිරීමට සිදුවීමය. ජනාධිපතිවරයා එය සාදාරනීකරණය කිරීම සඳහා බුද්ධ ධර්මය උපුටා දක්වමින් සිටින්නේය. එහෙත් “බුදුන්, තමන්වහන්සේ විනාශ කිරීමට වෙර දැරූ දෙව්දත්තරගෙන් පලිනොගත් බව සත්‍යය. නමුත් දෙව්දත්තරට, මුගලන්, සැරියුත්, ආනන්ද වැනි හිමිවරුන්ටලබා දී තිබූ තැන සහ වගකීම ලබා දුන්නේ නැත.” ඒ වූ කලී, සතුරා තැබිය යුතු තැන තැබීමේ ඥානයය. කෙසේ හෝ වේවා, ජනවාරි 08වන දින රාත්‍රිය ජනාධිපති මෛත්‍රීට තම මතකයෙන් ඈත්වන තරමට මෙම දීගයේ පැවැත්ම තහවුරුවනු ඇත.
මෙහිදී රටේ ජනතාව නායකත්වයෙන් බලාපොරොත්තු වන මුලික කාරණයක් තිබේ. ඒ වූ කලී, පක්ෂ දේශපාලනය තුළ ඇති කුණුකන්දල් වලින් මෙරට දෙස තම උකුසු ඇස යොමාගෙන සිටින ඇතැම් බාහිර පාර්ශවයන්ට වාසි ගැනීමට ඇති ඉඩ නැතිකිරීම සැබෑ නායකත්වයක ලක්ෂණය වේ. පසුගිය ජනාධිපතිවරණයේදී ඉන්දීය ඔත්තු සේවයට එල්ල වූ චෝදනාව මෙවර මැතිවරණයේදී චීන ඔත්තුසේවය වන එම්. එස්. එස් ( ජාතික ආරක්ෂක අමාත්‍යංශය) වෙත එල්ල නොවේවා යැයි ප්‍රාර්ථනය කරමු. එවැනි අප්‍රසන්න ගනුදෙනුවලට යෑමෙන් රටට ඇතිවන දීර්ඝ කාලීන හානිය ගැන අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.
1948 නොවැම්බර් මාසයේ 05 වැනි දින මුම්බායි හී පවත්වනු ලැබූ මාධ්‍යහමුවේදී එවකට අග්‍රාමාත්‍ය ධූරය දැරූ ඩි. එස්. සේනානායක මහතා දැක්වූ අදහස් මෙහිදී උපුටා දැක්වීම අගනේ යැයි සිතේ. ඒ ඔහු ලන්ඩනයේ පැවැත්වූ පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වී ආපසු සිය රට බලා පැමිණීමෙන් සිටි අවස්ථාවේදීය.
“අපේ තැන ආරක්ෂා සහිත නම් සහ අපේ අවශ්‍යතාවයක් උවදුරේ හෙළන්නේ නැතිනම් ලංකාව ( සිලෝන්) පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස සිටිනු ඇත.”
ඔහු එහිදී, අපේ යැයි කියනු ලැබුවේ රටේ අවශ්‍යතාවයන් මිස වත්මන් දේශපාලනඥයින් මෙන් පෞද්ගලික අවශ්‍යතාවයන් නොවේ.
ජීවිතය නමැති විශ්ව විද්‍යාලයෙන් ඉගෙනගත් එවැනි නායකයින්, රටට දේශපාලන සංස්කෘතියන් හඳුන්වාදීමට පුරෝගාමී වූහ. ලක්‍ෂ ගණනකගේ ජීවිත පරිත්‍යාගයෙන් පසු, අකුටිල නැගිටීමක පෙරනිමිති දුටු පසුගිය ජනවාරිය යළි වෙන්දේසියේ දමා බහිරවයින්ගේ දොළ පිදේනි බවට පත්කරන්නේද යන්න, මේ මොහොතේ රට හමුවේ ඇති මුලික අභියෝගයයි.