Friday, November 22, 2024

‘ජනවාරි විප්ලවය’ මෙතැනින් කොතැනට ද? – සුනන්ද දේශප්‍රිය

විප්ලවය සැම විටම එහි දරුවන් ගිල දමන්නේ යැයි කියමනක් තිබේ. සෑම විට ම සත්‍ය නොවූවද එම කියමන සමාජ පෙරළියක කොටස්කරුවන් වන ප්‍රතිවිරෝධී බලවේග අතර නායකත්වය සඳහා ඇතිවන මාරක අරගලය සංකේතවත් කරයි. විප්ලවයේ ජයග්‍රහණයේ පදනම වන පුළුල්තම බලවේගයන්හි එකමුතුව, අවසානයේ දී නිවැරදි කළමණාකරණයක් නැතිව ගියහොත් විප්ලවයේ මාරකය බවට පත්වීමට ඉඩ තිබේ.
දැන් පහළ වෙමින් ඇත්තේ එවැනි විනාශයක පෙරනිමිති ද?

ශ්‍රී ලංකාවේ පසුගිය ජනවාරි 08 දා සිදුවූයේ නිහඩ සහ සාමකාමී විප්ලවයකි. ඉදිරි දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය රාජපක්ෂ පරම්පරාව අත පවත්වා ගනු පිණිස ව්‍යවස්ථාමය, සමාජමය, ආර්ථිකමය සහ යුදමය යන සෑම ක්ෂේත්‍රයක්ම ආක්‍රමණය කළ අර්ධ-ආඥාදායක පාලකයකු බලයෙන් පහ කිරීම විප්ලවයක් මිස අනෙකක් නොවේ. සමහරකු එයට දේදුනු විප්ලවය යැයි ආදර නමක් ද පට බැන්දාහ. ඒ එකී විප්ලවය සාර්ථක කරනු පිණිස එක්වූ විවිධාකාර බලවේග උත්කර්ශවයට නංවනු පිණිස ය‍.

විප්ලවය සිය දරුවන් ගිල දමන්නේය යන කියමන මෙන්ම තවත් වැදගත් කියමනක් තිබේ. එනම් විප්ලවයක් බාගෙටට කිරීම යනු තමන්ගේම මිනීවල කපා ගැනීමක් බවයි. මේ කියමන් දෙකම පරයා අපේ ලංකාවට අද අදාළ වන තවත් ස්වර්ණමය කියමනක් තිබේ. ඒ වනාහී දින සියයේ ස්වර්ණමය නීතිය යි. ඉන් කියැවෙන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මගින් බලයට එන ආන්ඩුව විප්ලවීය විභවය රුදී පවතින්නේ පළමු දින සියයේ දී බවයි. දින සියයෙන් පසු බලය විසින් දූෂණය ඇති කරන්නේ ය යන නියමය යථාර්තයක් බවට පත්වීම ආරම්භ වෙයි.

ජනවාරි විප්ලවයේ විශාලතම දේශපාලන ශක්තිය වූයේ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ සංයෝගය යි. එය හුදෙක් ජයග්‍රහණය සඳහා පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කර පවත්වා ගෙන යෑම සඳහා ද වූ සංයෝගයක් විය. පසමිතුරු දේශපාලන ධාරාවන් දෙකක එකී සම්මුතිය ප්‍රතිවිරෝධයන්ගේ සම්මුතියක් විය. හුදෙක් එක් දේශපාලන පක්ෂයක් නොවන බැවින් අනෝන්‍ය වශයෙන් එකිනෙකා පාලනය කැරෙන, වංචා දූෂණ විශම චක්‍රයට කවර පාර්ශවයක් හෝ යට වීම වළක්වන එක්තරා අන්දමක තුලන සහ සංවරණ යාන්ත්‍රණයක බලය එම සම්මුතිය තුළ ගැබ්ව තිබුණි.

තනිකරම එජාපයේ හෝ නැත්නම් තනිකරම ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශවයේ ආන්ඩුවක් වී නම් එය දූෂණය සහ භීෂණය කරා ඇදි යාමේ විභවය සිමා රහිත වන්නට තිබුණි. ඇත්ත වශයෙන්ම නම් ජනවාරියේ දී ශ්‍රී ලංකාව හමුවෙහි උදා වුයේ මහානර්ඝ දේශපාලන මොහොතකි. ආන්ඩුවෙන් පිටත මෙන්ම ආන්ඩුව ඇතුළතම එකිනෙකා පාලනය කැරෙන ‘දුරස්ථ පාලක’සහිත යහ පාලන පරිච්ජේදයක් කරා ශ්‍රී ලංකාව විවෘත විය.

නමුත් අවාසනාවකට මෙන් දින සියයේ ස්වර්ණමය නීතිය හමුවෙහි දේදුනු විප්ලවය පරාජය විය. ප්‍රධාන බලවේග විසින් විප්ලවයේ ගමන් මඟ තීරණය කරනු වෙනුවට නකුට විසින් බල්ලා නටවන්නට පටන් ගැනුනී. දැන් පෙනෙන විදියට දේදුනු විප්ලවයට සහාය දුන් බලවේග අතර ‘සහෝදර ඝාතක’ යුද්ධයක් පැන නැගී තිබේ.

ජනාධිපතිවරණයේ මුල් දවස්වලදීම වාමාංශික දේශපාලන විචාරකකු වන ආචාර්‍ය කුමාර් ඩේවිඩ් කියා සිටියේ ජනාධිපති සිරිසේන මෙහෙයවන කන්ඩායම බවට හෙළ උරුමය පත්ව තිබීම ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රතිසංස්කරණවාදී අරමුණට විරුද්ධව යනු ඇති බවයි. එම අවස්ථාවේ දී ඔහුගේ එම දේශපාලන කියැවීම පාර්ශවික නිගමයක් සේ පෙනී ගිය ද පසුගිය මාස ගණනාව විසින් පෙන්වා ඇත්තේ දේදනු විප්ලවය විනාශය කරා ගෙන යෑමේ විභවයක් හෙළ උරුමය සහ එහි හිතවතුන් විසින් අල්ලා ගෙන ඇති බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ආ දේදුනු විප්ලවය එනයින් අද මුහුණ දී සිටින්නේ එය වසා පැතිරෙමින් යන කලු වළාකට ය. එකී දේදුන්නට ජයග්‍රාහී බහුතරය ගෙන ආ සුළුතර දේශපාලන පක්ෂ ගණනකට නොගෙන එවා දේශපාලන වශයෙන් දුර්වල කිරීම අරමුණු කර ගත් බලවේග දැන් විප්ලවයේ කරුමක්කාර උරුමක්කාරයින් වී සිටිති.

මනාප ජන්ද ක්‍රමය අහෝසි කොට ජනතා නියෝජිතයින් ජන්දදායකයාට වග කියන මැතිවරණ ක්‍රමයක් අවශ්‍ය බවට විවාදයක් නැත. එනමුත් හදිසියේ ගෙන එන එවැනි ව්‍යවස්ථා සංසෝධනයක් විසින් දෙමළ සහ මුස්ලිම් යන සුළුතර ප්‍රජාවන් පමණක් නොව පීඩිත සමාජ ප්‍රජාවන් ද ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයෙන් ඉවතට තල්ලු දැමීමට ඇති ඉඩ කඩ විශාල බව අප අමතක නොකළ යුතු ය. එවැනි ව්‍යවස්ථා සංසෝධනයක් විසින් ශ්‍රී ලංකාව පාලනය කිරීමේ තනි බලය බහුතර ජාතිය වන සිංහලයින්ටත් ධනපති දේශපාලන පක්ෂ දෙක වන සිංහල නායකත්වය සහිත එජාපය සහ ශ්‍රීලනිපයටත් පමණක් අයත් වනු ඇත.

හෙළ උරුමවාදී පිරිස් සහ ශ්‍රීලනිපයේ ජාතිවාදී පිරිස් එක්ව දැනටමත් මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් අරඹා ඇත්තේ හදිසි 20 වන සංසෝධනයේ මුවාවෙනි. මෙම ව්‍යාපාරය දෙමළ විරෝධී ව්‍යාපාරයක් බවට පත්වීමට ඇත්තේ සුළු දුරකි. (මෙවැනි ජාතිවාදී ව්‍යාපාරයක පදනම තේරුම් ගැනීමට අවශ්‍ය නම් අමාත්‍ය චම්පික රණවන විසින් ලියා පළ කරන ලද ‘ කොටි විනිවිදීම’ නම් පොත් පිංච කියවන්න).

බළලා මල්ලෙන් එළියට පැන්නේ හෙළ උරුම නායක රතන හිමි රනිල් වික්‍රමසිංහ ඉවත් කොට වෙනත් ආන්ඩුවක් පිහිටුවවන ලෙස ප්‍රසිද්ධියේ කරන ලද ඉල්ලීමෙනි. එම ඉල්ලීම ජනවාරි විප්ලවයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කිරීමක් බදු විය. මන්ද යත් එම විප්ලවයේ ප්‍රධාන පොරොන්දුවක් වුයේ රනිල් වික්‍රමසිංහ අගමැති කිරීම නිසා ය.

එයට පෙර පුංගුඩුතිව් හි විද්‍යා සිසුවිය ලිංගිකව කෙළෙසා ඝාතනය කිරීඹ අරභයා යාපනයේ ඇති වූ කළහකාරී තත්වය ජාතිවාදී ගැටුමක් ලෙස දැක්වීමට ද හෙළ උරුමය උත්සාහ ගත්තේ ය. තවත් අවස්ථා ගණනාවකදී ම හෙළ උරුමය ජාතිවාදී හඩක් සහිත පුවත් පත් ප්‍රකාශ ගණනාවක්ම නිකුත් කරන ලදී. සමහර විට හෙළ උරුමය කල්පනා කරනු ඇත්තේ දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ ද ජනතා විමුක්ති පෙරමුණ ද කොටු කර මෛත්‍රී පාර්ශවය තුල සිය ආධිපත්‍ය තහවුරු කර ගැනීම විය හැකි ය. මේ වනාහී සිය කෙටි කාලීන අරමුණු වෙනුවෙන් ජනවාරි විප්ලවය විනාශ කර දැමීම කි.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ නිතියේ පාලනය යළි පිහිටුවා, මෙරට ජනවාර්ගික ප්‍රශ්ණයට කල්පවත්නා සාධාරණ විසදුමක් ලබා දීම පිණිස ජනවාරි විප්ලවයට ඉදිරියට යා හැක්කේ එකම එක ප්‍රධාන කොන්දේසියක් උඩ පමණි. එනම් ජනවාරි විප්ලවයට සහාය දුන් සියලු සමාජ බලවේග හමුවෙහි ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ අතර ඇතිවන නව විවෘත එකඟතාවයකින් මත ය. වෙනත් වචනයෙන් කියන්නේ නම් ජනවාරි විප්ලවයේ ප්‍රධාන හවුල්කරුවන් දෙදෙනා ඉදිරිගාමී සිවිල් සමාජය සමඟ ඇති කර ගන්නා නව සමාජ ගිවිසුමකින් පමණි.

අද සිදුවෙමින් පවත්නා එකිනෙකාට පහර ගැස්සවීමේ දේශපාලනය නතර කරන සේ අප දේදුනු විප්ලවයේ ප්‍රධාන දෙපාර්ශවයටම බල කළ යුතු ය. ජනාධිපති සිරිසේනගේ හෝ අගමැති වික්‍රමසිංහගේ හෝ කතා අසා ඉදීමෙන් ඉදිරියට ගොස් එම දෙදෙනා එකඟ විය යුතු නව සමාජ ගිවිසුමක් අප විසින් සමාජ ගත කළ යුතු ය.

Archive

Latest news

Related news