Friday, April 19, 2024

මහින්දගේ ප්‍රාඩෝ මගඩියේ තරම මෙන්න: කොටි 370ක වාහන!

පසුගිය 9 වැනිදා රාත්‍රියේ තංගල්ල බුළුගහ ප්‍රදේශයේදී ලියාපදිංචි නොකළ ප්‍රාඩෝ ජීප් රථයක් අනතුරට පත් වීමත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරිහරණය කළ අධි සුඛෝපභෝගී වාහන පිළිබඳව සැඟව තිබූ තොරතුරු රැසක් හෙළිවෙමින් තිබේ.

මුදල් ඇමති රවී කරුණානායක මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළි කර තිබුණේ මෙම ප්‍රාඩෝ රථය එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් සුනාමි සහන කටයුතු සඳහා ලබා දී තිබූ බවය. එය අනතුරට පත් කළ පොලිස් කොස්තාපල් අභය ප්‍රියන්ත තංගල්ල පොලීසියට ප්‍රකාශ කළ තිබුණේ තමා මෙම රථය පදවාගෙන ගියද එහි හිමිකරු කවුරුන්දැයි නොදන්නා බවය. අනතුරට පත්කළ රථය එම ස්ථානයෙන් රැඟෙන ගොස් තිබුණේ දකුණු පළාත් ඇමති ඩී.වී. උපුල්ගේ බිරිඳ මැදිහත් වීමෙන් වන අතර එය සඟවා තිබුණේ මහින්ද රාජපක්ෂට අයත් වීරකැටිය ප්‍රදේශයේ ඉඩමකය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වාහාන සංචිතයට අයත්ව තිබූ වාහන විශාල ප්‍රමාණයක් අතුරුදහන්ව තිබී සොයා ගත් අතර තවත් විශාල ප්‍රමාණයක් අතුරුදහන් වී ඇත. එම වාහන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන පරීක්ෂණ කටයුතු පවත්වමින් සිටී.

මේ අතර අප කළ සොයා බැලීමකදී මුදල් අමාත්‍යංශ වාර්ෂික වාර්තාව 2014 අනුව පහත සඳහන් තොරතුරු අනාවරණය වේ. 2014 වර්ෂය අවසන් වනවිට ජනාධිපතිවරයා සතුව තිබූ මුළු වාහන සංචිතයේ වටිනාකම රුපියල් කෝටි 370ක්ය. (රුපියල් 3,698,867,000.00) මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය භාරගන්නා විට 2005 වර්ෂය අවසානයේදී හිටපු ජනාධිපතිනිය යටතේ තිබූ මුළු වාහන සංචිතයේ වටිනාකම රුපියල් කෝටි තුනක් (රු. 30,910,000.00) ය.

මහින්ද රාජපක්ෂ යටතේ තිබූ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ වාහන සංචිතයේ වටිනාකම 2014 වර්ෂය අවසන් වනවිට රුපියල් කෝටි 10 (රු. 102,778,000.00)ක්ය. 2005 වර්ෂය අවසන් වනවිට එම අමාත්‍යංශයේ වාහන සංචිතයේ වටිනාකම රුපියල් කෝටි 4ක් (රු. 42,251,000.00)ය. ආරක්ෂක අමාත්‍යංශය යටතේ 2005 අවසන් වනවිට තිබූ වාහන සංචිතයේ වටිනාකම රුපියල් කෝටි එකක් (රු.10,152,000.00) ය. එය 2014 අවසන් වනවිට රුපියල් කෝටි 267 ක් (රු. 2,668,887,000.00)ය. එමෙන්ම 2005 වර්ෂය අවසන් වනවිට වරාය හා මහාමාර්ග අමාත්‍යංශය නොතිබු අතර 2006 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ යටතේ එය ආරම්භ කර එම වර්ෂය අවසන් වනවිට රුපියල් ලක්ෂ 54ක් (රු.5,432,000.00) වටිනා වාහන මිලදී ගෙන තිබිණ. එය 2014 වර්ෂය අවසන් වනවිට රුපියල් කෝටි 61ක් (රු. 611,656,000.00) දක්වා ඉහළ දමාගෙන තිබිණ. මෙයට අමතරව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය 2013 වසරේදී ආරම්භ කළ අතර 2014 වර්ෂයේදී එයට රුපියල් කෝටි 3ක් වටිනා (රු. 30,893,000.00) වාහන මිලදී ගෙන තිබිණ.

මේ අනුව 2005 වර්ෂය අවසන් වන විට ජනාධිපති සතු වාහන සංචිතය මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ වාහන සංචිතය යන අමාත්‍යංශ තුනක වාහන සංචිතයේ මුළු වටිනාකම රුපියල් අටකෝටි තිස්තුන් ලක්ෂ දහතුන් දහසක් (රු. 83,313,000.00) වී තිබිණ. මෙම අමාත්‍යංශ සහ ජනාධිපතිවරයා යටතේ වාහන සංචිතවල මුළු වටිනාකම මහින්ද රාජපක්ෂ පාලන සමය අවසන් වනවිට එනම් 2014 වර්ෂය අවසන් වනවිට රුපියල් කෝටි 711ක් (රු.7,113,078,000.00) වී තිබිණ.

මෙම මුළු වටිනාකම ඒ ඒ අමාත්‍යංශ යටතේ ඇති අනෙකුත් ආයතනයවලට අදාළ නොවන අතර (උදාහරණ ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති ත්‍රිවිධ හමුදා හෝ නාගරික සංවර්ධන අධිකාරියට අයත් වාහනවල වටිනාකම මෙයට ඇතුළත් නොවේ.) ඇමතිවරයා හෝ අමාත්‍ය කාර්යමණ්ලය සඳහා යොදාගත් වාහන සංචිතයේ වටිනාකමය. එනම් මහින්ද රාජපක්ෂගේ සෘජු වගකීම යටතේ තිබූ මුළු වාහන සංචිතයේ වටිනාකම රුපියල් කෝටි 711ක්ය
Lanka Truth

Archive

Latest news

Related news