Saturday, May 4, 2024

ටිරාන් අත්අඩංගුවට ගන්න ප්‍රබල කරුණු තිබෙනවා; විමර්ශනවලින් හෙලිවූ බව නීතිපති කියයි

ත්‍රස්තවාදී නායකයකු වන එමිල් කාන්තන් සමඟින් කටයුතු කරමින් ඔහුට මුදල් ලබාදී රජයේ මුදල් අපහරණය, සාපරාධී විශ්වාසය කඩකිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් රාඩා ආයතනයේ හිටපු සභාපති, ප්‍රධාන විධායක නිලධාරි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් ප්‍රබල කරුණු විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇතැයි නීතිපතිවරයා ඊයේ (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව වරෙන්තුවකින් තොරව වුවද අලස් මහතා අත්අඩංගුවට ගත හැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කෙළේය.

එම විමර්ශන ‍වාර්තා සහ දිව්රුම් ප්‍රකාශ ඇතුළත් වාර්තාවක් ලබන ජූනි මස 04 වැනිදා හෝ ඊට පෙර ගොනු කිරීමට කෝදාගොඩ මහතා එකඟතාවය පළ කෙළේ ය.

එම වාර්තා අධ්‍යයනය කිරීමෙන් පසු ටිරාන් අලස් මහතා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් වඩා හොඳ තීන්දුවක් ලබාදිය හැකි වනු ඇති බවට අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා මෙහිදී විශ්වාසය පළ කෙළේය.

ටිරාන් අලස් මහතා සම්බන්ධයෙන් අනාවරණය කරගෙන ඇති කරුණු ජාතික ආරක්ෂාවට ද බලපාන අතර ඔහු අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් ප්‍රබල කරුණු ඉකුත් අප්‍රේල් මස 09 වැනිදා වන විට අනාවරණය කරගෙන තිබූ බවත්, එම අත්අඩංගුවට ගැනීම දැනටමත් ප්‍රමාද වී ඇති බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කෙළේය. රාඩා ආයතනයේ මුදල් රුපියල් මිලියන 169ක් සමාගම් දෙකකට ලබාදී නැවත ලබාගෙන එමිල් කාන්තන්ට ලබාදී ඇති බවත්, ඒ සඳහා නිකුත් කර ඇති චෙක්පත් නමය අතරින් දෙකක් අලස් මහතා විසින් අත්සන් කර ඇති බවත් කෝදාගොඩ මහතා මෙහිදී කීය.

තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ටිරාන් අලස් මහතා ගොනුකළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා මේ බව සඳහන් කෙළේය. අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා සහ ඊවා වනසුන්දර, රෝහිණී මාරසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී.

එහිදී පෙත්සම්කාර ටිරාන් අලස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කෙළේය.

සුනාමි ව්‍යසනයෙන් නිවාස අහිමිවූ උතුරු, නැ‍ඟෙනහිර ජනතාවට නිවාස ඉදිකිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් ලබාගත් මුදල් ජනාධිපති කාර්යාලය හරහා රාඩා ආයතනයට ලබාදී ඇති බවත්, එහි සිදුව ඇති වංචා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර තිබෙන අතර පෙත්සම්කරුගෙන් කිසිදු ප්‍රකාශයක් සටහන් කර ගැනීමකින් හෝ තොරව එලෙස පැවැසීම අසාධාරණ බව ද ඒ මහතා මෙහිදී කීය.

එල්. ටී. ටී. ඊ. නායකයකු වූ එමිල් කාන්තන්ට මුදල් ලබා දීම සම්බන්ධයෙන් මීට පෙරද චෝදනා ලැබූ පෙත්සම්කරුට එම චෝදනාව සම්බන්ධයෙන්ම නඩු පවරා තිබූ බව ඔහු සඳහන් කෙළේය. පසුව ඔහු නිදහස් කළ බව ඔහු පැවැසීය.

2006 වසරේදී සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන අතර වසර ගණනාවකට පසුව එම හේතුව මත පුද්ගලයකු අත්අඩංගුවට ගත හැකි ද යන්න ගැටලුවක් බව හෙතෙම කීය. රාඩා ආයතනයේ විධායක නොවන සභාපතිවරයාව සිටියදී එකම චෙක්පතක් හැර වෙනත් කිසිදු චෙක්පතකට පෙත්සම්කරු අත්සන් කර නැති බව ඔහු සඳහන් කළේය. රාඩා ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බව කීය.

එමිල් කාන්තන් නමැති ත්‍රස්තවාදී නායකයාට නිවසක් ලබාදීම සම්බන්ධයෙන් පෙත්සම්කරුට මීට පෙර එල්ලවූ චෝදනාවම වෙනත් ස්වරූපයකින් එනම් මුදල් ලබාදුන් බවට වසර 9කට පසුව ඉදිරිපත්ව තිබෙන බව හෙතෙම කීය.

පෙත්සම්කරු කිසිදු අවස්ථාවක අධිකරණය හෝ පරීක්ෂණ මඟ‍ නොහැර යන බවත් පුද්ගලයකුට එරෙහි නීතිමය කරුණු ඇත්නම් ඔහුට එරෙහි අධිචෝදනා ගොනු කිරීම මිස නිකරුනේ ඔහු අත්අඩංගුවට ගැනීම කළ යුතු නැති බව ඔහු කීය. එවිට අධිකරණය හමුවෙහි සිය නිර්දෝශිභාවය ඔප්පු කිරීමට චෝදනාවට ලක්වන පුද්ගලයාට හැකිවේ.

එසේ කිරීමකින් තොරව අවසන් තීරණයකට පැමිණීමට පොලිසියට ඉඩදිය යුතු නැති බව ද, අපරාධ කරුණකට සැකපිට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම නොකළ යුතු බව ද ඔහු කීය. එය පෙත්සම්කරු පමණක් නොව ඕනෑම පුද්ගලයකුට අදාළ විය යුතු බව ද හෙතෙම කීය.

මෙහිදී නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා පෙත්සම්කරුට එරෙහිව පැවැති පෙර නඩුව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේය.

‍එ‍හිදී පෙත්සම්කරු සහ තවත් පුද්ගලයකු එමිල් කාන්තන් නමැත්තාට නිවසක් ඉදිකිරීම සඳහා 2003 නොවැම්බර් මාසයේදී මුදල් ලබා දීම සම්බන්ධයෙන් සම විත්තිකරුවන්ව සිටි බව ඔහු කීය. එහිදී නඩු පැවරීමක් කළ අතර එවකට පැවැති කරුණු අනුව එම නඩු විභාගය අත්හිටුවීමට නීතිපතිවරයා තීරණය කළ බව ඔහු කීය.

පෙත්සම්කරුට එරෙහිව ‍වර්තමානයේ එල්ලවී ඇති චෝදනාව මූල්‍ය අවභාවිතාව සම්බන්ධයෙන් වන අතර එය මුලින් එල්ලවූ චෝදනාවලින් සම්පූර්ණයෙන් වෙනස් බව ඔහු කීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත රාඩා ආයතනයට ලබාදුන් මුදල් පෙර සිද්ධියටම සම්බන්ධ එමිල් කාන්තන් නම් ත්‍රස්තවාදි නායකයාට ලබාදීම සම්බන්ධයෙන් චෝදනා වර්තමානයේදී පෙත්සම්කරුට එල්ලවන බව කීය. ඔහුට එල්ලවී ඇත්තේ වරෙන්තුවකින් හෝ අධිකරණ නියෝගයකින් තොරව අත්අඩංගුවට ගැනීමක් කළ හැකි චෝදනායි.

අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව නීත්‍යානුකූල ලෙස අත්අඩංගුවට ගැනීමක් මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන බව ද එය එම නඩු විධාන සංග්‍රහයේ 32 (1) බී වගන්තියෙහි සඳහන් වන බව ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කීය.

පෙත්සම්කරු රට හැර යනු ඇති බවට තමා ද විශ්වාස නොකරන බව හෙතෙම කීය. එහෙත් අදාළ විමර්ශන සහ නීතිමය කරුණු සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කිරීමෙන් පසුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පෙත්සම්කරුගේ විදෙස් ගමන් බලපත්‍රය අත්හිටුවා ඇති බව ද හෙතෙම කීය.

විමර්ශන සාර්ථක සහ සමාජයට සාධාරණයක් වන පරිදි පැවැත්වීම සඳහා ඇතැම් අවස්ථාවලදී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සිදු වන බව ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කෙළේය. අපරාධ පරීක්ෂණයක් සිදුවෙද්දී එක් විශේෂිත අවස්ථාවකදී විමර්ශනයට භාජනය වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම අත්‍යාවශ්‍ය බව ද, එය මුළුමනින්ම නීත්‍යානුකූල බව ද ඔහු සඳහන් කෙළේය. පුද්ගලයකුට එරෙහි චෝදනා ඇතිනම් එය සනාථ කළ හැකි සවිමත් සාධක ඇත්නම් අත්අඩංගුවට ගැනීම අත්‍යාවශ්‍ය වේ. විමර්ශනයකදී චෝදනාවකට ලක්වන්නාගෙන් හුදෙක් ප්‍රකාශයක් ලබාගෙන නිදහස් කර හරීනම් පසුව සිදුවිය හැකි බාධාවන් තිබේ. විමර්ශනවලදී සාක්කිකරුවන්ට තර්ජනය කිරීමේ සහ බලපෑම් කිරීමේ අවදානමක් එවිට ඇතිවන බව හෙතෙම කීය.

විමර්ශන නිලධාරීන්ට සෑහීමකට පත්විය කරුණු ඇත්නම් පුද්ගලයකුව අත්අඩංගුවට ගත හැකියි.

පසුගිය රජය මගින් රාඩා ආයතනය පිහිටවූ බවත් සභාපතිවරයා ඇතුළු පස්දෙනකු එහි සාමාජිකයන් වූ බව කීය. ටිරාන් අලස් මහතා එහි සභාපතිවරයා පමණක් නොව ප්‍රධාන විධායක නිලධාරියා ද වූ බව හෙතෙම කීය. දැනට අත්අඩංගුවේ පසුවන සාලිය වික්‍රමසූරිය මහතා එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වූ බව ද හෙතෙම කීය.

‘ජය ලංකා’ නමින් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රාඩා ආයතනය සූදානම් වූ බවද, පෙත්සම්කරු, සාලිය වික්‍රමසූරිය සහ එමිල් කාන්තන් සමඟ කිළිනොච්චියට ගොස් ප්‍රධාන එල්. ටී. ටී. ඊ. නායකයකු වූ පූවන්නන් සමඟ සාකච්ඡා පවත්වා ඇති බව හෙතෙම කීය. එවකට සිටි ප්‍රාදේශීය ලේකම්වරයා මේ සම්බන්ධ පැහැදිලි ප්‍රකාශ ලබාදී ඇතැයි ද හෙතෙම කීය.

පෙත්සම්කරු එමිල් කාන්තන් සමඟ එක්වූ ගජන් කුමාර් ශෂි කුමාර්, වැනි අහිංසකයන් සමඟ සමාගම් පිහිටවූ බවට ප්‍රබල සාක්කි තිබෙන බව ඔහු කීය. රාඩා ආයතනයෙන් රුපියල් බිලියන 169ක මුදල් චෙක්පත් 9ක් මගින් නිකුත් කර ඇති බවටත් එහි චෙක්පත් දෙකක ටිරාන් අලස් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති බවටත් ලියකියවිලි මගින් තහවුරු කරගෙන තිබෙනවා. එසේම මුදල් ලෙස ගනුදෙනු කර ඇති බවට ද තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බව ඔහු කීය.

රාජ්‍ය දේපළ අයථා පරිහරණය සාපරාධී ‍විශ්වාසය කඩකිරීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් පෙත්සම්කරුට එරෙහි ප්‍රබල තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. එසේම ශාන්ති කුමාර් ගජන් කුමාර් නමැත්තා අධිකරණයේදී මේ සම්බන්ධ ප්‍රබල සාක්කි ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම්කරු සම්බන්ධ විමර්ශන පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ නීතිමය ප්‍රතිපාදනයන්ට අනුව සිදු කෙරෙනවා. ජාතික ආරක්ෂාව පතා එම විමර්ශන ඉතා වගකීමෙන් කරනවා. එසේම එම විමර්ශන වාර්තා අධිකරණයේ දැන ගැනීමට ලබාදීමට කැමතියි.

පෙත්සම්කරු මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ පෙත්සම් විභාගය අවසන් වනතෙක් කිසිදු පොලිස් නිලධාරියකු ‍විසින් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් පනවන ලෙසයි. එය පරීක්ෂණවලට බාධාවක් විය හැකියි.

ඒ නිසා පෙත්සම්කරුගේ ඉල්ලීම් පිළි‍නොගෙන පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමන ලෙස ඉල්ලා සිටිනවා.

පෙත්සම ජූනි මස 11 වැනිදා කැඳවීමට නියම විය.

පොලිස්පතිවරයා, පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි මෙවන් සිල්වා, එම ඒකකයෙහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. ඕ. ඩී. පී. ගුණතිලක, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සහ නීතිපති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවෝ වෙති.

– නෙල්කා මැදගෙදර/දිනමිණ

Archive

Latest news

Related news