Tuesday, April 23, 2024

ශ්‍රීලංනිප තුන් කොන් සටන සහ යහ පාලන අනාගතය – සුනන්ද දේශප්‍රිය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දේශපාලන වශයෙන් සහාය දක්වන කණ්ඩායම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දක්වන කණ්ඩායම සහ පක්ෂයේ නාමයෙන් ජනාධිපති සිරිසේනට කකුල් මාට්ටු දමන කණ්ඩායම වශයෙන් ශ්‍රීලංනිපය දැන් පැහැදිළිව කොටස් තුනකට කැඩී තිබේ.

මෙම කණ්ඩායම් තුන අතරින් තෙවැනිව කී කණ්ඩායම එනම් නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා යනාදීන් ජනාධිපති සිරිසේන සිය පක්ෂය තුළ සමහර විට මුහුණ දෙන නරකම තර්ජනය විය හැකි ය. මන්ද යත් රාජපක්ෂවාදී කණ්ඩායමට අවශ්‍ය වන්නේ යළිත් පැරණි රාජපක්ෂවාදී ගජමිතුරු දූෂණයේ සහ භීෂණයේ පාලනය යළි පිහිටුවීම බව පැහැදිළි නමුත් මෙම කකුල් මාට්ටුකරුවන්ගේ දේශපාලනය තේරුම් ගැනීම දුෂ්කර නිසා ය‍.

නව ආන්ඩුව විසින් පත් කර ඇති පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය (එෆ්සීඅයිඩීය – FCID) බලයට පත් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආන්ඩුවක් විසින් අහෝසි කරන බවත් එහි කටයුතු කරන නිලධාරීන්ට විරුද්ධව පියවර ගන්නා බවත් ශ්‍රිලංනිප පාර්ලිමේන්තු නායකයා වන නිමල් සිරිපාල ද සිල්වා පසුගියදා ජනමාධ්‍ය අමතමින් කියා සිටියේ ඊයේ පෙරේදා ය. ඒ එක් කකුල් මාට්ටුවකි.

ඉදිරියේ දී පිහිටුවන ලබන සිය රජය මඟින් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නියත වශයෙන් ම අහෝසි කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත ද පවසා තිබුණි. එමෙන්ම ඔහු පවසා තිබුණේ මෙම ඒකකයේ අරමුණ සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් දේශපාලන වශයෙන් දඩයම් කර ඔවුන්ගේ දේශපාලන විනාශ කිරීම බවයි. එම ඒකකයේ අත්නෝමතික තීන්දු තීරණ ගන්නා පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට ඔහු අනතුරු හැඟවූයේ නිමල් සිරිපාලගේ ද හූ මිටි තැබීම් ඇතිව ය. තවද ඔහු අනතුරු හැඟවූයේ එකී එෆ්සීඅයිඩීය විසුරුවා නොහැර දිගටම පවත්වා ගෙන ගිය හොත් තමන් බලා ගන්නා බවයි. (රාජපක්ෂවාදී පිරිස් මුල සිටම දූෂණ විරෝධී ව්‍යාපාරයට විරුද්ධ වූයේ ද එය දේශපාලන පළිගැනීමක් බව කියමිනි.)

මේ මහත්වරු දඟලන්නේ රාජපක්ෂ සමයෙහි මහා පරිමාණ හොරමැරකම් කළ දූෂිත දේශපාලනඥයින් ආරක්ෂා කිරීමට බවට අටුවා ටීකා අවශ්‍ය නැත. මෙම ඒකකය පිහිටුවන ලද්දේ ජනාධිපති සිරිසේනගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූ රාජපක්ෂවාදී දූෂණ සහ හොර ජවාරම් හෙළිදරව් කර වරදකරුවන් නීතිය හමුවට පැමිණ වීම පිනිස ය.

පසුගිය 20දා ජනමාධ්‍ය ප්‍රධානීන් හමුවෙහි ශ්‍රීලංනිපයේ සභාපති සහ නායකයා ද වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේ නිමල් සිරිපාල – සුසිල් ප්‍රේමජයන්ත රටට කී මතයට සම්පුර්ණයෙන්ම වෙනස් කතාවකි. ඔහු කීවේ එෆ්සීඅයිඩීය විසිරුවා හරින බවට තමා කිසිම පොරොන්දුවක් ශ්‍රීලංනිපයට (නිමල් සිරිපාලට හෝ සුසිල්ප්‍රේමජයන්තට ලෙස කියවන්න) දී නැති බවයි. තමා පොරොන්දු වුයේ එයට පැමිණිලි කිරිමේ අයිතිය පුළුල් කිරීමට පමණක් බවත් ය.

මෙම කකුල් මාට්ටුවට පෙර ශ්‍රීලංනිපයේ නිල මාධ්‍ය ප්‍රකාශක වන ඩිලාන් පොරේරා ද ජනාධිපති සිරිසේනට අනතුරු හැඟවීමක් කර තිබුණි. ඒ කාලය ඉකුත් වූ පළාත් පාලන ආයතන විසුරුවා හැරිමේ තීන්දුවට විරුද්ධව ය. ඔහු ශ්‍රීලංනිපය වෙනුවෙන් කතා කරමින් කියා සිටියේ එකී පළාත් පාලන ආයතනයන් විසුරුවා නොහැර කාලය දීර්ඝ කළ යුතු බවයි. එසේ නොකළහොත් තමන් බලා ගන්නා බවට ඔහු ද තර්ජනයක් කළේ ය. (රාජපක්ෂවාදී පිරිස් කැ කොස්සන් ගසමින් සිටියේ ද එම ආයතන බලය දිගටම පවත්වා ගැනීමට ය.)

ඩිලාන් පෙරේරා - කල් ඉකුත් දේට ලොබ බදී
ඩිලාන් පෙරේරා – කල් ඉකුත් දේට ලොබ බදී

කල් ඉකුත් වූ පළාත් පාලන ආයතන විසුරුවා නොහැර පවත්වා ගැනීමට ශ්‍රීලංනිපයට අවශ්‍ය වුයේ ඉදිරි මහා මැතිවරණයක දී එම ආයනයන්හි සම්පත් සහ නිල බලය අයුතු ලෙස ප්‍රයෝජනයට ගැනීමට මිස අන් කිසි හේතුවක් උඩ නොවේ.

එම තර්ජනයට පොළොන්නරුව ශ්‍රීලංනිප සමුළුවෙහි දී වක්‍ර ලෙස පිළිතුරු දුන් ජනාධිපති සිරිසේන එම පළාත් පාලන ආයතන විසුරුවා හැරීම සාධාරණ කළේ ය.
නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම සම්බන්ධයෙන් ද ශ්‍රීලංනිපය සහ එහි නායකයා සහ සභාපති වන ජනාධිපති සිරිසේන අතර නොනවතින ගැටුමක් පවතී. ශ්‍රීලංනිපය නිල වශයෙන් කියන්නේ ඉදිරි මැතිවරණය ආසන මට්ටමට වැඩි බර ඇති නව මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතු බව යි.

එසේ නමුත් පාර්ලිමේන්තුවේ බහුතරයක කැමැත්ත ඇත්තේ නව මැතිවරණ ක්‍රමයක් සඳහා වන ව්‍යවස්ථා සංසෝධනය සම්මත කිරීමෙන් පසු පවත්නා මනාප ක්‍රමයටම එය පැවැත්වීම බව ජනාධිපති සිරිසේන දැන් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් මාසයේ දී නව ආන්ඩුවක් පිහිටවෙනු ඇති බවත් ඔහු කියා තිබේ.

මෙම කරුණූ විසින් පෙන්වන තිත්ත නමුත් ඇත්ත යතාර්ථය නම් ශ්‍රීලංනිපයේ බහුතර මංත්‍රී කණ්ඩායම ජනාධිපති සිරිසේනගේ යහ පාලන දේශපාලනයට විරුද්ධ බවයි. නැතනම් අඩුම වශයෙන් එම බහුතරය ජනාධිපති සිරිසේනට ඇහුමිකන් දෙන්නේ නැත. එමෙන්ම රාජපක්ෂ යුගයෙහි හොර මැර දේශපාලනය මගින් සිය උදර මහත් කර ගත් ශ්‍රිලංනිපයේ පළාත් පාලන සහ ප්‍රාදේශිය සභා නියෝජිත පිරිස් අතුරින් සැළකිය යුතු සංඛ්‍යාවක් ද ජනපති සිරිසේනට විරුද්ධව රාජපක්ෂ යළි බලයට ගෙන ඒමට සිහින මවති.

ජනවාරි 08දායින් පසු ශ්‍රිලංනිපයේ මංත්‍රීවරුන් පිරිසක් ජනාධිපති සිරිසේනගේ පාර්ශවයට පැමිණ ඇති නමුත් එය රාජපක්ෂවාදී දූෂිත සහ භීෂිත කණ්ඩායම ඉක්මවා යෑමට තරම් ප්‍රමාණවත් නොවේ.

ජනාධිපති සිරිසේනගේ ප්‍රකාශිත සහ ප්‍රායෝගික දේශපාලනය සහ රාජපක්ෂ දේශපාලනය සහ ප්‍රායෝගිකත්වය සහමුළින්ම එකිනෙකට පරස්පරය. ඊට හොදම සහ මැතම නිදසුනක් නම් රාජපක්ෂ යුද්ධ ජයග්‍රහණය සහ දෙමළ විරොධී සිංහල මහජාතිවාදය සිය දේශපාලනය බවට පත් කර ගෙන තිබීමයි. ජනාධිපතිවරණයෙන් පරාජය වූ විගස සිංහල ජනයා බියපත්කර තමන් කරා අද්දවා ගැනීම පිණිස වරක් උතුරේ හමුදා කදවුරුවලට ගල් ගසන්නේ යැයි අමූලික මුසාවක් දෙසා බෑ රාජපක්ෂවරු පසුගිය 18දා උතුරෙහි එල්ටිටීඊ කොඩි ඔසවන ලදැයි ගල් පැලෙන බොරුවක් දෙසා බැවේ ය. (ඇත්ත වශයෙන්ම නම් යුද්ධාවසානයෙන් පසු උතුරෙහි එල්ටීටීඊ කොඩි ප්‍රදර්ශණය කරන ලද්දේ රාජපක්ෂගේ හමුදා ඔත්තුකරුවන් විසින් විපක්ෂ පෙළපාලි සහ රුස්වීම් වලදී ය).

එළඹෙන මහා මැතිවරණයකදී රාජපක්ෂවාදී කණ්ඩායම විසින් සිය ප්‍රචාරක අවි වශයෙන් භාවිත කරනු ඇත්තේ ජාතිවාදය සහ යුදවාදය මෙන්ම දූෂන විරෝධී පියවරයන් ආපසු හැරවීම බව පැහැදිළි ය. ජනාධිපති සිරිසේනට මෙම දේශපාලනය සමඟ එක් ගමනක් නැත.

එසේ නමුත් මේ අතර වාසුදේව නානායක්කාර ජනමාධ්‍ය අමතා ප්‍රකාශ කර ඇත්තේ මහින්ද රාජපක්ෂ ශ්‍රීලංනිපයෙන් අගමැති වනවාට තමාගේ විරුද්ධත්වයක් නැතැයි ජනාධිපති සිරිසේන තමා ඇතුළු මංත්‍රීවරුන් පිරිසකට කී බව ය. කුරුනෑගල පැවැති රාජපක්ෂවාදී රුස්වීමට එවූ පණිවිඩයෙහි මහින්ද රාජපක්ෂ කියා සිටියේ තමා ළඟදී ම පොදු ජන එක්සත් පෙරමුණූ වේදිකාවට ගොඩ වන බව ය. ( එහි සභාපති මහින්ද රාජපක්ෂ වන අතර ලේකම් සුසිල් ප්‍රේමජයන්තය.)

එමෙන් ම ජනාධිපති සිරිසේනගේ සමීප දේශපාලන හිතවතුන් බවට පත්ව ඇති ජාතික හෙළ උරුමය දැන් සිය ප්‍රධාන දේශපාලන ප්‍රහාරය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය වෙත එල්ල කරමින් තිබේ. එමෙන්ම රාපක්ෂවාදී ප්‍රචාරයන් අනුව යමින් පසුගිය දා යාපනයෙහි සිංහලයන්ට දෙමළ පිරිස් කෙරෙන් තර්ජන එල්ල වී ඇතැයි පදනමක් නැති ජාතිවාදී ප්‍රකාශයක් ද එය විසින් කර තිබුණි.

ඉදිරි මහා මැතිවරණයෙහි දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට ගෙන ඒමට ජනාධිපති සිරිසේන එහි නායකයා වශයෙන් කටයුතු කරනු ඇති බව පැහැදිළි ය. එසේ නමුත් එහිලා කණ්ඩායම් තුනකට කැඩී ඇති සිය පක්ෂය පිළිසකර කරන්නේ කෙසේදැයි ඔහු තවම පැහැදිළි කර නැත. සිය පක්ෂය දූෂිකයින්ට නාම යෝජනා නොදෙනු ඇතැයි ඔහු 20 දින ජනමාධ්‍ය ප්‍රධානීන්නට කියා තිබුණි. මහින්ද රාජපක්ෂ දූෂිතයෙක් බව ජනාධිපතිවරණ වේදිකාවෙහි මෛත්‍රීපාල සිරිසේන එක දිගට කියා සිටි කරුණකි. රාජපක්ෂවාදී බොහෝ පිරිස් ද දූෂණ චෝදනා ලබා සිටිති. ඉදින් ඒ අනුව මේ කිසිවකුට ශ්‍රිලංනිපයෙන් නාම යෝජනා නොලැබෙනු ඇති ද?

නමුත් ශ්‍රීලංනිප මහ ලේකම් අනුර යාපා කියා සිටින්නේ මහින්ද රාජපක්ෂ නාම යෝජනා අයැදුම් කළ හොත් සම්මුඛ සාකච්ජාවකට නොකැඳවාම එය ලබා දෙන බවයි.

ජනාධිපති සිරිසේන යටතේ ශ්‍රීලංනිපය ඉදිරිපත් කරනු ඇති දේශපාලන ප්‍රතිපත්ති මාලාව කුමක්ද යන්න ද දූෂිතයින්ට නාම යෝජනා නොදීමට තරමට ම නොවේ නම් ඊටත් වඩා වැදගත් ය. යුදවාදී ජාතිවාදී ඒකාධිකාරී රාජපක්ෂ පිළිවෙත් වෙනුවට සිය ජනාධිපතිවරණ ප්‍රකාශණය පදනම් කර ගත් නව දේශපාලන ප්‍රතිපත්ති මාලාවක් ශ්‍රීලංනිපයෙන් ඉදිරිපත් කිරීමට ජනාධිපති සිරිසේන සමත් විය යුතු ය‍. මන්ද යත් පරාජය කළ යුත්තේ රාජපක්ෂවාදය නිසා ය. භීෂිත සහ දූෂිත රාජපක්ෂවාදය ශ්‍රීලංනිපයෙන් පළවා හැරීමට නම් එවැනි නව දේශපාලනයක් හදුන්වා දීම අත්‍යවශය ය. නිමල් සිරිපාල – සුසිල් ප්‍රේමජයන්ත කණ්ඩායමෙහි රාජපක්ෂවාදී හැංගි හොරා සෙල්ලම අභියෝගයට ලක් කළ හැක්කේ ද එවැනි නව යහපාලන දේශපාලන පිළිවෙතක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ ප්‍රකාශණය බවට පමුණවා ඒ පිළිවෙත් ක්‍රියාවට නැංවිමට ශපථ කිරිමෙනි.

Archive

Latest news

Related news