Wednesday, April 24, 2024

කෝටි ගණන් ගෙවා මිලට ගත් වීරවංශලාගේ ඉඩම් කෙරුවාව

යහපාලනය වීරවංශට වහ පාලනයකි. රාජපක්ෂ කාලයේ රජකු වූ ඔහු අද බලූ වී අල්ලස් කොමිසමෙහි රස්තියාදු වෙයි. තවත් මොහොතක ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවට යයි. ඒ තමන්ගේ සහ බිරිඳගේ උප්පැන්න සහතිකවල උපන් දින වෙනස් කිරීම් ගැන කටඋත්තර දීමටය. සමාජවාදී විප්ලවවාදියා රාජපක්ෂ ආණ්ඩුවෙන් ධනපතියෙක් වීම මේ රටේ යහපාලනයට දරාගත නොහැකි බව අදහන වීරවංශ මාධ්‍යයට කියනුයේ තමන්ගෙන්, බිරිඳගෙන් දරුවන්ගෙන් යහපාලන ආණ්ඩුව පළිගන්නා බවය. මෙයින් බේරීමට ඇති එකම මග සියලූ සුරසැප උදා කළ රාජපක්ෂලා නැවත බලයට ගෙන ඒමය. එය රාජපක්ෂලාටත් වඩා වීරවංශ ඇතුළු නඩයකට සුබදායකය. වැඩදායකය.තමා පමණක් නොව තම බිරිඳද, දරුවන්ද රාජපක්ෂ ආණ්ඩුවේ පිහිටෙන් රජ සැප විඳි බව වීරවංශ දනී. ඊට සරල උදාහරණයක් වන්නේ 2014 අපේ‍්‍රල් 05 වැනිදා සිට 11 වැනිදා දක්වා කොළොම් බියාවේ මෙඩෙලින් නුවර පැවති ලෝක නාගරික සමුළුවට මෙරටින් යන නාමලේඛනය හයදෙනෙකි. එහි පළමුවැන්නා විමල් වීරවංශය. ඊට අමතරව අමාත්‍යාංශයේ ලේකම්, නාගරික සංවර්ධන අධිකාරියේ ප‍්‍රධානියා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයා, ඇමතිවරයාගේ සම්බන්ධී කරණ ලේකම්වරයා ඒ අතර වේ. මෙම පිරිසට එකතු වන අවසාන චරිතය විභූති වීරවංශය. ඔහු සහභාගිවන්නේ තරුණ නියෝජිතයකු ලෙසය. එවිට ඔහුට අවුරුදු දහසයකි. රාජපක්ෂ ආණ්ඩුව වීරවංශලාට පාරාදීසයක් වූ බව අමුතුවෙන් කිව යුතුද?

ඉන් නැවතිය යුතු නැත. තව බොහෝ දේ පවතී. ඒවා අතරින් තවමත් හෙළිදරව් වූයේ ටිකකි. හෙළිදරව් නොවීමට ඇති ටික බොහෝය. මේ ඒ අතර තවත් එකකි. වීරවංශ මාධ්‍ය හමුවේ හැඟුම්බරව කීවේ තමා ඉදිකරන නිවස අල්ලාගෙන තමන්ට පහරදෙන බවය. එහි වසර ගණනක සිට වැඩ අවසන් නැති බවද පැවසීය. මේ නිවස සමාජවාදියකුගේ නිවසක් නොව මහා ධනපතියකුගේ නිවසකි. හෝකන්දර පිහිටි මෙම සුවිසල් නිවස සම්පූර්ණයෙන් අහවර කරන්නට නොහැක්කේ වීරවංශට මුදල් මදි නිසා නොව තම නිවස අවට සියලූ ඉඩම් තමන් සතුකර ගැනීමේ අවශ්‍යතාවද පැන නගින බැවිනි. ඒ අවශ්‍යතාව ඉටුකරගත් බැවිනි.
මේ දේපළ ඔහුගේ නමින් නොපවතී. ඒවා ඔහුගේ භාර්යාව සහ නෑදෑයන්ගේ නම්වලින් මිලදී ගෙන තිබේ.

Letter
ඉඩමේ තතු

මෙම ඉඩම බස්නාහිර පළාතේ කොළඹ දිස්ත‍්‍රික්කයේ හේවාගම් කෝරලයේ අලූබෝවත්ත සහ දෙල්ගහවත්ත ඉඩමයි. ඉඩමේ ලොට් අංක 1 සිට 9 දක්වා කොටස් පවතින අතර ලොට් 7 යනු මාර්ගය වේ.

ලොට් A ඉඩම මිලදී ගැනීම

මෙම ඉඩමේ ලොට් අංක 1, 2, 3 හා 4 එකතු කොට A ලෙස නම් කර ඇත. 2008 ජුනි 25 දින නුගේගොඩ මිරිහාන, ශාලාව පාර අංක 25/01හී පදිංචි ගඟබඩගේ චමීර ප‍්‍රසාද් විසින් කඳාන, නාගොඩ, මොරවත්ත පාර, අංක 67/2A පදිංචි රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ චමරි සුලෝචනා රණසිංහ නමැති අයට රු. 3,500,000.00කට විකුණා ඇත. ඉන්පසු චමරි විසින් 2008 අගෝස්තු මස 20 දින එම ඉඩම කඳාන, නාගොඩ, මොරාවත්ත පාර අංක 67/2A පදිංචි රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති වෙත තෑගි ඔප්පුවකින් පවරා තිබේ. රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති යනු විමල් වීරවංශ මහතාගේ බිරිඳය. නම් පැටලීම වීරවංශලාගේ ජන්ම ගතියක් නිසාදෝ මෙහිද එම තෑගි ඔප්පුවේ සඳහන් නම වන රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති ලෙස හැඳින්වීම වැරදි බවත්, එය රන්දුනු මුදියන්සේලාගේ ෂෙහාෂා උදයන්ති රණසිංහ ලෙස නිවැරදි විය යුතු බවත්, ප‍්‍රකාශ කර ඔප්පුව වෙනස් කර ඇති අතර, මෙම ඉඩම 2015 ජනවාරි 06 දින ෂෙහාෂා උදයන්ති විසින් හෝකන්දර, දකුණු හෝකන්දර, මංගල මාවත අංක 74හී පදිංචි රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ අජන්ත රණසිංහට රු. ලක්ෂ 50ක වටිනාකමකට තෑගි දී තිබේ. ජනපතිගේ කේන්දර බලන්නා වූ සුමනදාස මහතා පමණක් නොව වීරවංශ මහතාද රාජපක්ෂ ආණ්ඩුව පරදින බව කල් තබා දැන සිටියා සහතිකය.

මෙම ඉඩමට සම්බන්ධ රන්දුනු මුදියන්සේලාගේ චමරි සුලෝචනා රණසිංහ, රන්දුනු මුදියන්සේලාගේ ෂෙහාෂා උදයන්ති රණසිංහ හා රන්දුනු මුදියන්සේලාගේ අජන්ත රණසිංහ යන අය පවුලේ ඥාතීන් වන අතර 2008 ජුනි 25 දින චමරි සුලෝචනා මිලදී ගත් ඉඩම සැබෑවටම මිලදී ගත්තේ කවුද? කාගේ මුදල්වලින්ද යන්න විමසීම වටී. එලෙස මිලදී ගන්නා ඉඩම මාස 02කට පසු වීරවංශගේ බිරිඳට තෑගි ඔප්පුවක් ලෙස මාරු කොට ඇති බවත් මෙවර ජනාධිපතිවරණයට දෙදිනක් තිබියදී එනම් 2015 ජනවාරි 06 වැනි දින නැවත එම ඉඩම තෑගි ඔප්පුවකින් ඇයගේ ඥාතියකුට පවරා ඇත.

ලොට් අංක 6

2012 පෙබරවාරි 01 දින මාලඹේ සුසිතපුර අංක 852/48හි කනංකෙගේ හේමසිරි වික‍්‍රමරත්නගෙන් රු. 1,000,000,00 මුදලකට මෙම ඉඩම් කොටස පන්නිපිටිය පොල්වත්ත ග‍්‍රාම සංවර්ධන පාර අංක 105/F හී පදිංචි රන්දුනු මුදියන්සේලාගේ ෂෙහාෂා උදයන්ති රණසිංහ විසින් මිලදී ගෙන තිබේ. ඒ අනුව මිලදී ගත් දේපළට අමතරව ඇය පදිංචි ලිපිනයේ දේපළද ඇගේ දේපළක්දැ’යි පරීක්ෂා කර බැලීම වටී.

ලොට් අංක 08

2012 පෙබරවාරි 01 දින මාලඹේ සුසිත පාර අංක 852/48හි කනංකෙගේ හේමසිරි වික‍්‍රමරත්නගෙන් රු. 1,000,000.00ක මුදලකට මෙම ඉඩම් කොටස පන්නිපිටිය පොල්වත්ත ග‍්‍රාම සංවර්ධන පාර 105/F හී පදිංචි රන්දුනු මුදියන්සේලාගේ ෂෙහාෂා උදයන්ති රණසිංහ විසින් මිලදී ගෙන ඇත.

ලොට් අංක 09

2012 අගෝස්තු මස 15 වැනි දින මාලඹේ අතුරුගිරිය පාර, පැරකුම්බා පෙදෙස අංක 1037/9හි පදිංචි සෙනරත් මුහන්දිරම්ගේ චරිත දිසාල යට්ටෝගොඩගෙන් රු. 1,800,000.00 මුදලකට මෙම ඉඩම් කොටස පන්නිපිටිය පොල්වත්ත ග‍්‍රාම සංවර්ධන පාර අංක 105රැුත්‍ හි පදිංචි රන්දුනු මුදියන්සේලාගේ ෂෙහාෂා උදයන්ති රණසිංහ විසින් මිලදී ගෙන තිබේ. ඉන්පසු 2015 පෙබරවාරි මස 09 දින එම ඉඩම රු. 2,000,000.00 මුදලකට හොරණ කොස්කොලවත්ත පදිංචි නන්දිකා පතිරගේට විකුණා තිබේ.

ලොට් අංක 05 මිලදී ගෙන ඇත්තේ කවුද යන්න සෙවිය යුතුය. මුදියන්සේලාගේ ෂෙහාෂා උදයන්ති රණසිංහට මෙතරම් ඉඩම් මිලදී ගැනීමට මුදල් කොහෙන්ද? ඉහත දැක්වූ ඉඩම්වල වටිනාකම් තක්සේරු වටිනාකමෙන් ඉතාම පහළ අගයකට ඔප්පුවල සටහන් කොට ඇත. එයද අයථා ලෙස මුදල් අත්පත් කරගැනීමේ වංචාවකි. මේ පිළිබඳ පුළුල් පරීක්ෂණ කිරීම වටී.

අල්ලස් කොමිසමට විරුද්ධව වීරවංශලා අරගල කරනුයේ නිකරුණේ නොවන බව පැහැදිලිය.

– රාවය 10.05. 2015

Archive

Latest news

Related news