Saturday, April 20, 2024

විදුලි සංදේශ නියාමන කොමිසමේ මිලියන 620 වංචාව: ඉහළම නිලධාරියෙක් මේ සතියේ අත්අඩංගුවට!

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ රුපියල් මිලියන 620 ක මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධව කටයුතු කළ රජයේ ප්‍රබල නිලධාරියකු මේ සතිය තුළ අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර මහතාගේ මූලිකත්වයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සිදු වූ බව කියන මෙම වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව එම ආරංචි මාර්ගයන්හි වැඩිදුරටත් සඳහන් වේ.

ඔහුට එරෙහිව ඇති චෝදනාව වන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් රුපියල් මිලියන 620 ක මුදලක් ජනාධිපතිවරණ සමයේ ලබාගෙන, එයින් සිල් රෙදි මිල දී ගෙන ජනවාරි 04 වැනිදා පෝ දිනයේ දී රට පුරා පන්සල්වලට බෙදා හැරීමයි. එයට මෙම ප්‍රබල රාජ්‍ය නිලධාරියා නිසි පරිදි අනුමැතියක් නොමැතිව අවසර ලබා දී ඇති බව ඔහුට එරෙහිව නැගී ඇති ප්‍රධානතම චෝදනාවයි.

එමෙන්ම මෙම සිද්ධි සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනූෂ පැල්පිට මහතාගෙන් ද පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය ප්‍රශ්නකිරීමට නියමිත බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මේ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ උපදේශකයකු වශයෙන් කටයුතු කළ බව කියන වටිනාපන සෝමානන්ද හිමියන්ගෙන් ද පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය පසුගිය සතියේ ප්‍රශ්න කළේය. ඉදිරි සතියේ ද සෝමානන්ද හිමියන් යළිත් වරක් එම ඒකකය හමුවට කැඳවීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මේ අතර දූෂණ වංචා සහ මූල්‍ය අක්‍රමිකතා ගණනාවක් සම්බන්ධයෙන් නම් දරා සිටින දකුණු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ද අත්අඩංගුවට ගෙන මේ සතියේ නීතිය හමුවට පැමිණවීමට නියමිත බව වාර්තා වේ.

ඔහු සම්බන්ධයෙන් සිදු කැරුණු මූලික විමර්ශන මේ වන විට අවසන් කොට ඇතැයිද පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘සිළුමිණ’ ට පැවසුවේය.

– සිළුමිණ

Archive

Latest news

Related news