Friday, April 19, 2024

යහපාලනය සහ වූදිතයන් අත්අඩංගුවට ගැනීම – රංජිත් හේනායකආරච්චි

යහපාලනය යනු සියලුම හොරුන්ට තමනගේ සිතැගි පරිදි නිදැල්ලේ හැසිරීමට ඉඩ හැරීම නොවන බව නොදන්නා කම යහපාලනය ගැන අබමල් රේණුවක වැටහීමක් නැති කමයි. විශේෂයෙන්ම රාජ්‍ය බලය, මුදල් බලය සහ නිල බලය සහිතව මහාපරිමාණ වංචා දූෂණ, අල්ලස් හා වෙනත් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන අය යහපාලනයක් තුල ප්‍රථමයෙන්ම කළ යුතු වන්නේ අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියේ ඔහු හෝ ඇය නිවැරදි කරු ලෙස ඔප්පු වන තුරු හෝ උසාවියකින් ඇප දෙන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමයි. එය එසේ සිදුවිය යුතු වන්නේ මෙවැනි මහාපරිමාණ අපරාධ තත්වයන් හිදී මෙම චෝදනා ලබන පුද්ගලයින් විසින් තමාට එරෙහිව ඇති චෝදනාවන් සඳහා ඇති සාක්ෂි විනාශ කිරීමට සහ සාක්ෂි කරුවන්ට බලපෑම් කිරීම වැලැක්වීම සඳහායි. අනෙක් අතින් ඔවුනට නීතියෙන් පලා යෑමට ඇති ඉඩ කඩ ඇහිරවීම සඳහායි.

යහපාලනයක් තුල නීතිය මත පාලනයක් ඇති විය යුතුය. නීතිය සෑම පුද්ගලයෙකුටම එක හා සමානව ක්‍රියාත්මක විය යුතුය. රටේ හිර ගෙවල් පිරී ඉතිරී ඇත්තේ විවිධ අපරාධයන් ගැන චෝදනා ලබා හිර කළ රටේ වැසියන්ගෙනි. මොවුන් අතරින් 90% ක්ම ඉතා කුඩා හොරකම්, වංචා, ජාවාරම් ආදී දේ සඳහා චෝදනා ලැබ හිර කළ අයයි. පසුගිය රජයේ මහින්ද කල්ලිය කළ හොර මැර දූෂණ සහ අපරාධයන් සමග ගණනය වීමේදී මේ සිර ගෙවල්වල සිටින මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු කර ඇති වැරදි වැරදි යැයි කීමටවත් නොවටිනා තරම්ය.

ලංකා ජනතාවගේ දේපළ කෝට් ප්‍රකෝටි ගණනින් හොරකම් කර, රාජ්‍ය බලය හා නිලධර බලය යොදා ගෙන රටේ සම්පත් වංචා කළ, ඒවාගේම රාජ්‍ය බලය අපයෝජනය කරමින් මිනී මැරූ, කප්පම් ගත් දේශපාලඥයින්, පොලිස්,අධිකරණ සහ පරිපාලන නිලධාරීන්, ඔවුන් හොරකම් කළා පමණක් නොව, අපරාධවල කොටස් කරුවන් වූවා පමණක් නොව, ජාතික සම්පත් කාබාසිනියා කර ඒවායෙන් කොටසක් විදේශ බැංකුවල තැන්පත් කරමින් කර ඇති අපරාධ සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයකට මුහුණ නොදෙමින් ඉතා යහතින් තාමත් තම නිලතල වලම යෙදීමට ඉඩ හැරීම නීතිය මත පාලනයක් නම් නොවේ. එයට ඉඩහැර බලා සිටීම ප්‍රජාතන්ත්‍රවාදය හෝ යහපාලනයක් නොවෙති. අලුතින් බලයට පත් දේශපාලඥයන් මෙය වටහා නොගන්නවා හෝ එය නොතකා සිටීනම් එතුලින් කරනුයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි. එමෙන්ම ඔවුන් කරමින් සිටින්නේද නීති විරෝධී ක්‍රියාවකි. එය අපරාධවලට අනුබල දීමකි. එමනිසා බලයට පත්ව ඇති පාලකයන් (මෛත්‍රී, රනිල් ඇතුළු ආණ්ඩුව) වහාම ක්‍රියාත්මක කළ යුත්තේ මෙම චෝදනා ලබා සිටින අපරාධකරුවන් ඔවුන්ගේ තරාතිරම් නොබලා වහාම අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඔවුනට එරෙහිව ඇති චෝදනා පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් කරනු ලැබීමයි. එසේ නොකරන මැති ඇමතිවරුන් තම නිදහසට කියන යහපාලනයදී මිනිසුන් ඒ අයුරින් අත්අඩංගුවට ගත නොහැකි බව පැවසීම නම් එය ‘හොරාගෙ අම්මාගෙන් පේන ඇසීම’ වැනි ක්‍රියාවකි. නැතිනම් ඔවුන්ද ‘කිතුල් ගසට තණකොල කැපීමට නැගි අය’ හා සමාන වේ.

එනිසා දැන් වහාම කළ යුතුව ඇත්තේ ‘ඒ වුනාට’, ‘නමුත්’ යන වචන පැත්තක තබා වහාම ක්‍රියාත්මක වන පරිදි මේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමයි. දැනටමත් මෙය ප්‍රමාද වී හමාරය. නමුත් ප්‍රමාදවී හෝ එය දැන් වාහම නොකරන්නේ නම් එය කිසිදිනෙක සිදු නොවීමට ඇති ඉඩ කඩ අතිවිශාලය. අපරාධකරුවන් තමන්ට ඇති බලය යොදා ගනිමින් තමනට එරෙහිව ඇති සාක්ෂි විනාශ කිරීමට ඇති ඉඩ අතිමහත්ය. එසේ නම් ඔවුන් අත්අඩංගුවට නොගැනීම තුලින් බලධාරීන් විසින් කරනු ලබන්නේ සාක්ෂි විනාශ කිරීමට සහාය දීම බවත් එය දඬුවම් ලැබිය යුතු වරදක් බවත් පැහැදිලිය. සමහර මැති ඇමතිවරු එසේ අපරාධයන් හෙලිදරව් කිරීම වැලැක්වීමට සහාය දෙමින් සිටින බව නවරජය තුල සිදුවන සමහර ක්‍රියාදාමයන් පැහැදිලිව පෙන්නුම් කරමින් පවතී. මෙය වලක්වා ජනතාවගේ දේපළ සහ ජාතික සම්පත් විනාශ කර ඒවාගේම ඒවා කඩා වඩා ගත් අය නීතිය ඉදිරියට ගෙනඒම සඳහා එම අපරාධ කරුවන් අත්අඩංගුවට ගෙන වහාම පරීක්ෂණ අරඹන ලෙස මහජනයා මෙම පාලකයන්ට බලකළ යුතුව ඇත. එසේ නොකරන මැති ඇමතිවරුන්ට එරෙහිවද ජනතාව තම හඬ අවධි කළ යුතුව ඇත.

ජනවාරි 08 වැනි දින බලය පෙරලීම සමග බැසිල් රාජපක්ෂ වැනි අය රටින් පැන ගියේ පැදුරටත් නොකියාමය. ඒ ඔවුන් කළ හොරකම් ගැන ඔවුන් දත් බැවිනි. තමන් අත්අඩංගුවට ගනු ලැබෙනු ඇතැයි ඔවුන් සිතූ බැවිනි. නීතිය මත පාලයක් වහාම ඇතිවනු ඇතැයි ඔවුන් බිය වූ බැවිනි. නමුත් බලයට පත් රජය එවැනි ක්‍රියා පිලිවෙතකට ඒමට තරම් හැකියාවක් නොපෙන්වමින් තෙපරබාමින් කරන ක්‍රියාවලිය තුල ඔවුනගේ බිය පහව ගොස් ඇත. ඒ වාගේම පසුගිය මාස 3 ක කාලය තුල ඔවුන් තමනට එරෙහිව ඇති සාක්ෂි විනාශ කිරීමට යොදා ගනු ලැබ ඇත. දැන් බැසිල් රාජපක්ෂ නැවත රටට පැමිණ රජයට අභියෝග කරන මට්ටමකට යමින් සිටී.

පැහැදිලිවම මේ සිදුවෙමින් පවතින්නේ පැවති මජර, දූෂිත ක්‍රමය තවදුරටත් කරගෙන යාමට අවශ්‍ය වාතාවරණය සඳහා රටතුල අඩිතාලම දැමීමයි. එදා 08 වෙනිදා ලංකා ජනගහනයෙන් ලක්ෂ 62 ක් තම ඡන්දය දුන්නේ ඒ පැවති මජර දූෂිත ක්‍රමය අවසන් කිරීම සඳහාය. එම දූෂිත මිනිසුන් නීතිය ඉදිරියට පැමිණවීම සඳහායි. ජනතා දේපළ කාබාසිනියා කළවුන්ට නීතියෙන් දඬුවම් පැමිණවීම සඳහායි. කොටින්ම රටේ ජනයාගෙන් වැඩි ප්‍රමාණයක් මේ පැවති කාලකන්නි තත්වයෙන් රට මුදා ගත යුතුය යන එකම අරමුණින් එදා ඡන්දය පාවිච්චි කරනු ලැබීය. එහිදී මෛත්‍රීපාලට බලය පැවරුවේ එම ජනතා අභිලාෂයන් ඉටුකිරීම සඳහා මිස තෙපරබාමින් කල් බැලීමට නොවේ. දූෂණවලින් ජරාවට පත් පැරණි ආණ්ඩුවේ කම්බා හොරුන් සමග ගඳ ගහන සම්මුතිවලට ගොස් ජනතා අභිලාශයන් පාවා දීමට නොවේ. එය වටහා ගැනීමට තරම් මොලයක් නැතිනම් මෛත්‍රීලාට රනිල්ලාටද කිවයුතුව ඇත්තේ තමන්ට කළ නොහැකි බව පැහැදිලිව පැවසීමයි.

ෆැසිස්ට් වාදය පැරදීමට නම් ඔවුනගේ සංවිධාන ක්‍රමවේදයට සියල්ල කිරීමට ඉඩ නොහැර ජනතාව සංවිධානාත්මකව වීදි බැසිය යුතුව ඇත. එතුලින් නව පාලකයන්ට වහාම චූදිතයන් අත්අඩංගුවට ගෙන පර්යේෂණ ඇරඹීමට බලකළ යුතුය. එසේ නොවන්නේ නම් සිදුවන්නේ ඔවුන් තමනට හුරු දූෂිත මජර ක්‍රමය තවදුරටත් රට තුල පවත්වාගෙන යෑමයි. එනිසා නව රජය චූදිතයන්ගේ තරාතිරම් නොබලමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඔවුනට එරෙහිව ඇති චෝදනාවන් පිළිබඳ පූර්ණ පරීක්ෂණයන්ට යන ලෙසත්, ඔවුනට නීතිය මගින් දඬුවම් ලබාදෙන ලෙසත් බලකිරීමයි. එතෙක් ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියන් උද්ඝෝෂණය සඳහා වීදි තම අතට ගත යුතුව ඇත. හෙට ප්‍රමාද වැඩිය.

Archive

Latest news

Related news