Thursday, March 28, 2024

19ට විරුද්ධ වෙන්නේ ජනමතයට විරුද්ධ වන අයයි; පුරවැසි බලය අවධාරණය කරයි

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නියෝජනය වන්නේ ජනතා අභිලාශයන් බවත් එයට විරුද්ධවන්නන් ජනමතයට විරුද්ධවන්නන් ලෙස හැඳින්විය හැකි බවත් “පුරවැසි බලය” සංවිධානය පවසයි.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම යනු මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත විමේ පළමු පියවරක් ලෙස සලකන බවද එම සංවිධානය පෙන්වා දෙයි.

දහනම වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන ලෙස හා විධායක ජනාධිපති ධූරය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට පියවර ගන්නා ලෙස රජයට හා පාර්ලිමේන්තුවට බලකරමින් “පුරවැසි බලය” සංවිධානය ඊයේ (19) මරදාන “සමාජය හා සාමයික කේන්ද්‍රයේ”දී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එහි නියෝජිතයෝ මේ බව පැවසූහ. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීම සඳහා දේශපාලන පක්ෂ වලට සම්බන්ධ නැති විශාල පිරිසක්ද ප්‍රජතන්ත්‍රවාදය ස්ථාපිත කරවීමේ අරමුණින් ඡන්දය ලබාදුන් බවය. එම ජනතාව ඇතුළු රටේ බහුතරයට අවශ්‍යව ඇත්තේ අල්ලස දූෂණය පවුල් බලය අවනීතිය නොමැති යහපත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ඇතිවනු දැකීම බවත් ඒ සඳහා මූලික පියවර දහනම වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් ඉටුවන බවත් ඔවුන් පෙන්වා දෙති.

මේ සඳහා විරුද්ධවන්නේ පටු දේශපාලන වාසි ලබා ගනිමින් විවිධ වරප්‍රසාද වරදාන ලබාගත් පසුගිය රජයේ සිටි පිරිසක් බවය‍.

එදා එජාපය විධායක ජනාධිපති ක්‍රමය ගෙන ඒ මේදී විරුද්ධ වූ අය අද එජාපය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරද්දී එයට විරුද්ධ වීම ජුගුප්සහ ජනක සිද්ධියක් බවත් පුරවැසි බලය පවසයි.

විධායක ජනාධිපති ක්‍රමය ගෙන ආ එජපය අද එය අහෝසි කරද්දී එදා එයට විරුද්ධ වූ අය මෙසේ එය අහෝසි කරනවාට අද විරුද්ධ වන්නේ තමන්ගේ පටු වාසි ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් බවත් එවැනි අය පාර්ලිමේන්තුව තුල තබා ගන්නවාද යන්න ජනතාව තීරණය කළ යුතු බවත් පුරවැසි අවධාරණය කරයි. වත්මන් ජනාධිපති වරයාට ඡන්දය දුන් ලක්ෂ හැට දෙක පමණක් නොව හිටපු ජනාධිපතිවරයාට ඡන්දය ලබාදුන් ලක්ෂ පනස් අට තුළත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහය දක්වන ජනතාවක් සිටින බවද පාර්ලිමේන්තුවේදී මෙය සම්මත නොවුනොත් ජනමත විචාරනයකින් හෝ විධායක ජනාධිපති ධූරය අහෝසි කරවීම මේ සඳහා සියලුම ජනතාව පෙළ ගස්වන බවද පුරවැසි බලය එක හඩින් පවසයි.

දහ හත්වන සංශෝධනයේ ඇති කොමිසන් සභා නැවත බල ගැන්වීම මේ රටට අත්‍යවශ්‍ය කරුණක් බවත් ඒතුළින් ජනාධිපති ක්‍රමය රටට අධිකරණයට වගකියන එකක් වනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙති. ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ මැතිවරණ ක්‍රමය සංශෝධනය විය යුතු යැයි සමහරුන් පවසන මතයට එකඟ නොවිය හැකි බවත් මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් සඳහා මාස තුනක කාලයක් ගතවන බවට මැතිවරණ කොමසාරිස් වරයා පෙන්වා දී ඇති හෙයින් මාස තුනක් බලා ‍නොසිට පළමුව ව්‍යවස්ථා සංශෝධනයට ජනතා අභිලාශයන් මුදුන් පත්කර ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරවීම සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දෙසිය වසිපස් දෙනාම සහයෝගය ලබා දීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස පුරවැසි බලය අවධාරණය කර සිටී.

තමන් බලාපොරොත්තු වූ ලෙසම වේ ව්‍යවස්ථා සංශෝධනයෙන් කරුණු ඉටුනොවුනද විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අවලංගු නොවුනද මේතුළින් විධායක ජනාධිපතිවරයාට ඇති අන්තනෝමතික බලතල අඩුවන බවද පුරවැසි බලය සාමාජිකයෝ පෙන්වා දෙති. ඒකාධිපති ක්‍රමය අහෝසිකර ජනතා හිතවාදී ආණ්ඩුවක් පත්කර ගැනීමට වෙහෙසවූ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරවීම සඳහා මේ අවස්ථාවේ දහනමයට පක්ෂව ඡන්දය දීමෙන් දහඅටට ඡන්දය දුන් පාපයෙන්ද නිදහස් විය හැකියැයිද ඔව්හු පවසති.

ජනාධිපතිවරයාගේ විධායක බලතල ඉවත්වීමෙන් පසු එය අගමැතිවරයාට නොව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දෙසිය විසිපස් දෙනාටම පැවරෙන බව පෙන්වා දෙන පුරවැසි බලය දහනමවන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධවන්නන් තමන්ට හිමිවන බලයටම විරුද්ධවන්නන් ලෙස පෙන්වා දෙයි. මේ අවස්ථාවේදී පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරුවන් වන සමන් රත්නප්‍රිය, කේ.ඩබ්ලිව්.ජනරංජන, ධර්මසිරි බණ්ඩාරනායක, ජෝශප් ස්ටාලින්, එහි සාමාජික රංගන ශිල්පී ඩබ්ලිව්.ජයසිංහ, සුනිල්ද සිල්වා, යන මහත්වරු අදහස් දැක්වූහ.

රක්ෂණ ශ්‍රියන්ත/ දිනමිණ

Archive

Latest news

Related news