Thursday, April 25, 2024

මහින්ද ආවොත් දිනයිද? – උපුල් ජෝෂප් ප්‍රනාන්දු

“මහින්ද ආවොත් දිනන්න පුළුවන්….”

මේ දවස්වල ශ්‍රී ල.නි.ප. මහින්දවාදීන් විමල්ගේ සන්ධානයෙන් ජප කරගෙන මතුරන මන්තරය එයය.

“ඇත්තටම මහින්ද අගමැති අපේක්ෂක වුණොත් දිනන්න පුළුවන්ද….?”

මහින්දවාදීන්ට ඒකට දෙන උත්තරය මේකය.

“ඔව්. මහින්දට සුළු ජාතික ඡන්ද ලැබුණේ නැහැ. මහින්දට ලැබුණේ සිංහල ඡන්ද. මහ මැතිවරණයකදීත් මහින්දට මේ ගාණ එනවා. හැබැයි යූ.එන්.පී.යේ ඡන්ද අඩු වෙනවා. මොකද යූ.ඇන්.පී.ය හංසයාගෙන් තරග කළේ සුළු ජාතික පක්ෂ එක්ක. මෛත්‍රිගේ ඡන්ද ගොඩේ සුළු ජාතික ඡන්දත් තිබුණා. මේ ඡන්ද මහ ඡන්දෙකදී යූ.ඇන්.පී.යට නැති වෙනවා. මොකද සුළු ජාතික පක්ෂ මහ ඡන්දෙට යන්නේ වෙනම….”

මේ ඔවුන්ගේ උත්තරයය.

“මහින්දට ජනාධිපතිවරණයේ හම්බ වුණ ගාණම මහ ඡන්දෙට ලැබෙයිද…?”

මහින්ද 2010 ජනාධිපතිවරණයට තරග කරලා ඡන්ද 60,15,934ක් ගත්තේය. ඒ යුද්ධය දිනල ඡන්දයකට ගිය මහින්දගේ බඹරේ වැල්ලෙත් කැරකෙන කාලයය. ජනාධිපතිවරණය දිනලා මහින්ද මහ මැතිවරණයට ගියේ ෆොන්සේකාව හිරේට දමල විපක්ෂය දෙකට තුනට කඩල මට තුනෙන් දෙකක බලයක් දෙන්න කියලාය. හැබැයි මහින්ද ඒ මැතිවරණයේ අගමැති අපේක්ෂකයකු නම් කළේ නැත. මහින්ද සන්ධානයට දෙන ඡන්දය තමාට දෙන ඡන්දයක් යැයි කීවේය. හැබැයි ලැබුණේ ඡන්ද 48,46,388කි. ඒ කියන්නේ ජනාධිපතිවරණයත් දිනල තම ප්‍රතිවාදියා ෆොන්සේකාව හිරේට දමල, විපක්ෂය දෙකට තුනට කඩල, අගමැති අපේක්ෂකයකු නම් නොකර, අගමැති අපේක්ෂක නම් කිරීමේ බලය තමන් අතට අරගෙන මහින්ද ඡන්ද ලක්ෂ 11,69,456ක් අඩු කර ගත්තේය.
“එහෙව් මහින්ද ජනාධිපතිවරණය පරාජය වෙලා හොරකම් චෝදනාවලින් ප්‍රතිරූපයේ මඩ නාගෙන, රාජ්‍ය බලය, රාජ්‍ය මාධ්‍ය, රාජ්‍ය දේපොළ නැතිව අගමැති අපේක්ෂක ලෙස ඡන්දයට ගියොත් ලක්ෂ 58 ගන්නේ කොහොමද….?”

ජනාධිපතිවරණයේදී පරාජයට පත් වෙලා මහ ඡන්දෙකට යන විට ඡන්ද සංඛ්‍යාව අඩුවීම ස්වාභාවිකය. හොඳම නිදසුන රනිල්ය. රනිල් 2005 ජනාධිපතිවරණයේදී 47,06,366ක් ගත්තේය. හැබැයි රනිල් ජනාධිපතිවරණය පරාජය වී අගමැති අපේක්ෂක ලෙස 2010 මහ මැතිවරණයට ගිය විට ගත්තේ 23,57,057කි. රනිල්ට 2005 ජනාධිපතිවරණයේදී උතුරු- නැඟෙනහිර දමිළ ඡන්ද ලැබුණේත් නැත. එම නිසා ඒ ඡන්ද අඩු වූවා යැයි සිතිය නොහැකිය. කෙසේ හෝ ඡන්ද 23,49,309ක් අඩු විය.

දින්නත්, පැරදුණත් ජනාධිපතිවරණයකදී ලබාගත් ඡන්ද සංඛ්‍යාව මහ ඡන්දයකදී ලබාගත නොහැකි බව ඔප්පු කරන්න මෙයිටත් වඩා අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැත.
මහින්ද මහ මැතිවරණයට තරග කරනවා නම් ඔහු ඉල්ලන්නේ හම්බන්තොටිනි. මහින්දගේ නම අනෙක් දිස්ත්‍රික්කවල නාම ලැයිස්තුවල නැත. ඒ ලැයිස්තුවල ඉන්නේ 1994 ඉඳල මැති ඇමැතිකම් කරපු සන්ධානයේ පරණ සෙට් එකය. මිනිස්සු හොයන්නේ අලුත් මුහුණුය. මෛත්‍රිට මිනිස්සු ඡන්දය දුන්නේ මෛත්‍රි අලුත් මුහුණක් නිසාය. මිනිස්සු කිව්වේ වෙනසක් ඕනෑ කියලාය.

මේ වෙනස මිනිස්සු මහ ඡන්දයේදීද සොයනු ඇත. මහින්දට ශ්‍රී ල.නි.ප. පාක්ෂිකයන් කැමැතිය. ඒත් අලුත් ඡන්ද, තරුණ ඡන්ද, පාවෙන ඡන්ද හොයන්නේ අලුත් මුහුණුය. මහින්ද එක්ක පරණ මැති ඇමැති සෙට් එක මහ ඡන්දයට ආවොත් ලක්ෂ 58 පල්ලම් බහින්නේ කන්දක් නාය යනවා වගේය.
ඒ වෙනුවට ජනාධිපතිවරණය ජය ගත් මෛත්‍රි අගමැති අපේක්ෂකයා නම් නොකර, ශ්‍රී ල.නි.ප.යේ අලුත් සෙට් එකක් එක්ක මහ ඡන්දයට ගියොත් ශ්‍රී ල.නි.ප.යට දිනන්න පුළුවන. මහින්ද නිල කාල දෙකක් හිටියාම ඇති කියලා තීරණය කරපු ජනතාව 1994 සිට නිල කාල 4ක් මැති ඇමැතිකම් කරපු සන්ධාන මැති ඇමැතිවරුන්ට යළි මැති ඇමැතිකම් කරන්න ඉඩ දෙයි කියා සිතිය නොහැකිය. මෛත්‍රි දූෂණ චෝදනා ලබපු පරණ සෙට් එකට නාම යෝජනා නොදී අලුත් සෙට් එකක් එක්ක මහ ඡන්දෙට ගියොත් ශ්‍රී ල.නි.ප.ය දැන් අලුත් වෙලා කියලා හිතලා ශ්‍රී ල.නි.ප.යට ඡන්දය දෙනු ඇත.

1977 ශ්‍රී ල.නි.ප.ය පරාජය වූ පසු ඒ පරාජිත මැති ඇමැතිවරුන් ගෙදර යනතෙක් ශ්‍රී ල.නි.ප.යට ආණ්ඩුවක් දෙන්න ජනතාව හිත හදාගත්තේ නැත. ශ්‍රී ල.නි.ප.ය යළි 1994 ආවේ අලුත් ටීම් එකක් එක්කය. ඒ ටීම් එකට ජනතාව ආණ්ඩුව දුන්හ. 1994 එ.ජා.ප.ය පරාජය වූ පසු පරාජිත මැති ඇමැතිවරුන් ගෙදර යනතෙක් ජනතාව එ.ජා.ප.යට ආණ්ඩුවක් දුන්නේ නැත. 2001 මහ මැතිවරණයේදී රනිල් අලුත් ටීම් එකක් එක්ක ආවාම ජනතාව එ.ජා.ප.යට ආණ්ඩුවක් දෙන්න හිත හදා ගත්හ. 2001 මහ ඡන්දයෙන් පොදු පෙරමුණු ආණ්ඩුව පරාජය වූ පසු චන්ද්‍රිකා 2004 ආණ්ඩුව ගත්තේ ජ.වි.පෙ. අලුත් තරුණ අපේක්ෂකයන් ඉදිරියට දමලාය. ජනතාව ඡන්දය දුන්නේ ජ.වි.පෙ. අපේක්ෂකයන්ටය. ජ.වි.පෙ. ආසන 39ක් ගත්තේ ඒ නිසාය.

මේ මහ ඡන්දය ශ්‍රී ල.නි.ප.ය දිනන්න ඕනෑ නම් කරන්න ඕනෑ ඒකය. ශ්‍රී ල.නි.ප.යේ පරණ හැව ඉවත් කොට අලුත් හැවක් පොරවා ගත යුතුය. හැබැයි මෛත්‍රිට පක්ෂයේ පරණ හැව ගලවන එක ලේසි නැති බව නුගේගොඩ රැස්වීමෙන් පෙනුණි. මහින්දගේ කරේ නැඟල ආපහු එන්න හදන්නේ හොරු, තක්කඩි සහ මංකොල්ලකාරයන්ය. ඔවුන් මහින්දව පුම්බන එක නතර කරන්න ඔවුන්ට නාම යෝජනා දෙන්න මෛත්‍රිට සිදුවේ. යූ.ඇන්.පී.යේ ප්‍රේමදාස ආවා වගේ ශ්‍රී ල.නි.ප.යෙන් පුංචි මිනිහෙක් නායකයා වූවා නම් ඒ මෛත්‍රිය. බණ්ඩාරනායක වලව්කාරයෙකි. මැතිනිය ඔහුගේ බිරියය. චන්ද්‍රිකා ඔවුන්ගේ දියණියය. මහින්ද හම්බන්තොට ග්‍රාමීය පවුලක අයෙකි. ඔහු දේශපාලනයට එන්නේ ඔහුගේ පියාගේ උරුමය නිසාය. මෛත්‍රිට එවැනි පවුල් සම්බන්ධයක් නැත.

ඔහු ප්‍රේමදාස වගේ පුංචි පවුලකින් ආ මිනිහෙකි. අපි පුංචි මිනිහෙක්ව ජනාධිපති පුටුවට ගෙනාවා යැයි ආඩම්බරයෙන් කියන්න අද ශ්‍රී ල.නි.ප.යට බැරිය. ඔවුන් පුංචි මිනිහෙක් එතැනට එද්දී වළ කපපු පක්ෂයක්ය. 1988 ජනාධිපතිවරණයේදීත්, 1991 දෝෂාභියෝගයේදීත් ඔවුන් ප්‍රේමදාසට කළේ ඒකය. ඔවුන් මෙවර මෛත්‍රිට කළේත් ඒකමය. හැබැයි 1988 දීත් මෙවරත් පුංචි මිනිහෙක් ජනාධිපති කොට ලකුණු ගත්තේ ධනපති පක්ෂය යැයි කියන එ.ජා.ප.යය. අදටත් මේ පුංචි මිනිහාව ජනතාවට විකුණා ගමනක් යන්න ශ්‍රී ල.නි.ප.යේ සමහරු අදිමදි කරති. ශ්‍රී ල.නි.ප.යේ කරුමය ඒකය.

මෛත්‍රිට පක්ෂය වෙනස් කරන්න ඉඩ නොදුණහොත් මහ ඡන්දයේදී යූ.ඇන්.පී.යේ මල්ල කරේය. 2001 මැති ඇමැතිකම් කරපු අයගෙන් අද යූ.ඇන්.පී.යේ ඉන්නේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු සංඛ්‍යාවකි. අනෙක් ඔක්කොම අලුත් මුහුණුය. යූ.ඇන්.පී.යේ ජනාධිපතිවරණයට පෙර සිටි මන්ත්‍රින් සංඛ්‍යාවත් 43කි. ලංකාවේ ජනතා ඡන්දයෙන් තේරී පත්වෙන මන්ත්‍රි සංඛ්‍යාව 196කි. ඒ කියන්නේ යූ.ඇන්.පී.යෙන් මන්ත්‍රි ආසන 196ට තරග කරන 128ක්ම අලුත් මුහුණුය. ශ්‍රී ල.නි.ප.යේ දැනට සිටින 130ක්ම පරණ මුහුණුය. මෛත්‍රි ශ්‍රී ල.නි.ප.ය දිනවන්න නම් මේ පරණ මුහුණු වෙනස් කර ගත යුතුය.

මෛත්‍රිපාල ශ්‍රී ල.නි.පය වෙනස් කරන්න ඕනා 2001 මහ මැතිවරණයෙන් පොදු පෙරමුණ පරාජයට පත්වීමෙන් පසු මහින්ද රාජපක්‍ෂ කී මේ ආකාරයටය. මහින්ද රාජපක්‍ෂ පක්‍ෂය ජයග්‍රහණය කරා ගෙන යායුතු ආකාරය 10.12.2001 දින සන්ඩේ ලීඩර් පුවත්පත සමඟ පැවැති පුවත්පත් සාකච්ඡාවේදී විස්තර කළේ මෙසේය.

“අපි පක්‍ෂය වෙනස් කරන්න ඕනා. බිම් මට්ටමට යන්න ඕන. පාක්‍ෂිකයන්ට පක්‍ෂය කෙරෙහි නැතිවූ විශ්වාසය යළි ගොඩනඟන්න ඕනා.

පළමුවෙන්ම පොදු පෙරමුණු ආණ්ඩුව කරද්දී අපිට වැරැදුණු තැන්, අපේ පක්‍ෂයට වැරැදුණු තැන් අපි හොයා ගන්න ඕනා. ඒ වරදවල්වලට වගකිව යුතු අය, පරාජයට වගකිව යුතු අය හඳුනාගෙන ඔවුන්ට එරෙහි ක්‍රියාමාර්ග ගන්න ඕනා. මොකද මේ පාර රනිල් වික්‍රමසිංහව පරද්දන එක අපිට ලේසි නැහැ. අපගේ පොදු පෙරමුණු ආණ්ඩු කාලයේ මංගල සමරවීරලා වගේ අය ජනාධිපතිතුමියට ළං වෙලා තීන්දු තීරණ ගන්න උපදෙස් දීලා අපේ ආණ්ඩුව නැති කළා. මේ තත්ත්වය අපි නැති කර ගන්න ඕනා. පරාජයට වගකිව යුතු අයට එරෙහි ක්‍රියාමාර්ග අරගෙන පක්‍ෂය අලුත් කරන්න ඕනා…”

මහින්ද ඒ කී විදියට නම් මෛත්‍රි පක්‍ෂය වෙනස් කරන්න පටන් ගන්න ඕන පරාජයට වගකිව යුතු රාජපක්‍ෂලා සහ රාජපක්‍ෂවාදීන්ව දඬුකඳේ ගහලාය. මහින්දගේ වචනවලින්ම කියනවා නම් එහෙම නැතිව දිනන්න බැරිය.
-MAWBIMA

උපුල් ජෝශප් ප්‍රනාන්දු

Archive

Latest news

Related news