Friday, April 26, 2024

මහින්දාගමනය සහ පාඩම් – රාවය

[රාජපක්ෂ සිංහල අන්තවාදී මාර්ගය තෝරාගතහොත් මීට පෙර එම මාර්ගය තෝරාගත් අන් සියලූ නායකයන් අබිබවා යන තත්ත්වයක් ඔහුට පහසුවෙන්ම හිමි කරගත හැකිය.]
මහින්දාගමනය වෙනුවෙන් නුගේගොඩ පවත්වන ලද රැලිය පසුගිය දින 10 තුළ සිදුවූ ලොකුම දේශපාලන සිදුවීම ලෙස සැලකිය හැකිය. මෙම රැස්වීම කැඳවා තිබුණේ ශ‍්‍රීලනිප විසින් නොව මහජන එක්සත් පෙරමුණ ඇතුළු සන්ධානයට සම්බන්ධ වෙනත් පක්ෂ හතරක් විසිනි. මහින්දගේ සල්ලිකාර ගජමිතුරන් මෙම රැස්වීම සාර්ථක කරගැනීම සඳහා නිර්ලෝභීව ආධාර කරන පිළිවෙතක් අනුගමනය කළ බවද පැහැදිලිව පෙනෙන්නට තිබුණි. ඒ සියල්ල එසේ තිබියදීත් මහින්ද ජනාධිපතිවරණයෙන් පරාජය වුවද ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අතර තවමත් ඔවුන්ගේ පිළිගත් වීරයා වී සිටිනුයේ මහින්ද බව මහජන සහභාගිත්වයේ අර්ථයෙන් එම රැලියේ සාර්ථකභාවය විසින් සනාථ කළේයැ’යි කිව හැකිය.

ජනාධිපති මෛත‍්‍රීට ජාතික මට්ටමෙන් ජනතාව අතර විශාල පිළිගැනීමක් ඇතත්, ශ‍්‍රීලනිපයට හිතවත් ජනතාව අතර ලොකුම පිළිගැනීම තිබෙන්නේ මහින්දටය. ජනාධිපතිවරණයේදී ශ‍්‍රීලනිපයේ ඡන්දදායකයන් කෙරෙහි ලොකු බලපෑමක් කිරීමට මෛත‍්‍රීට මහින්ද ඉඩ දුන්නේ නැත. මෛත‍්‍රී ද්‍රෝහියකු ලෙස පෙන්වා ශ‍්‍රීලනිපයට හිතවත් ඡන්දදායකයන්ගෙන් අතිවිශාල බහුතරයක් තමන්ට පක්ෂපාත තැනක තබාගැනීමට මහින්ද සමත් විය. සටන අවසන් වූයේ මෛත‍්‍රීගේ ජයග‍්‍රහණයෙන් වුවත් පරාජිත ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මහින්ද කෙරෙහි ඇති කරගත් ඇල්ම වැඩි කරගත්තා මිස අඩුකර ගත්තේ නැත.

ජනාධිපතිවරණයේදී මහින්දට එරෙහිව ඉදිරිපත් වූ දූෂණ චෝදනා ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වැදගත් කොට සැලකුවේ නැත. රාජ්‍ය බලය ඇතිවිට ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් එහා මෙහා කළ හැකිය. එහෙත් ශ‍්‍රීලනිප පාක්ෂිකයන්ගේ සහාය නැතිව නිල බලයෙන් පක්ෂය මෙහෙයවීම සැලකිය හැක්කේ දැලි පිහියෙන් කිරි කනවා වැනි භයානක ක‍්‍රීඩාවක් ලෙසය.

මහින්දගේ කාලය අවසන් වී ඇති බැවින් ඔහු තවදුරටත් පක්ෂයේ අගමැති අපේක්ෂකයා විය යුතු නැතැ’යි සිතන නායක පිරිසක් ශ‍්‍රීලනිපයේ සිටියද, ශ‍්‍රීලනි පාක්ෂිකයන් ප‍්‍රබෝධමත් කිරීමට හේතුවන විකල්ප නායකයකු එම පක්ෂයට සිටින බවක් පෙනෙන්නට නැත. පක්ෂය තුළ එවැනි තත්ත්වයක් තිබෙන තෙක් පාක්ෂිකයන්ගේ ඉල්ලීම වනු ඇත්තේ මහින්දය.

මහින්ද අභියෝගයක් විය හැක්කේ විකල්ප අගමැති අපේක්ෂකයා වශයෙන් පමණක්ම නොවේ. වෙනත් ආකාරවලටද සමහරවිට ඔහු ලොකු අභියෝගයක් විය හැකිය. දේශපාලනයේදී අවශ්‍ය නම් ඔහුට හොඳ වීථි සටන්කරුවකු බවටද පත්විය හැකිය. වෙනත් න්‍යායවාදියකුගේ (කුසල් පෙරේරා* උපදෙස් මත සිදුකරන ලද්දේ වුවත් ‘කතරගම පාද යාත‍්‍රාව’ හා ‘ශබ්ද ඝෝෂාව’ ඔහුගේ උත්සාහයෙන් රඟදක්වන ලද මහජන සංදර්ශන දෙකකි. ඒ අර්ථයෙන් ගත්විට වීථි සටන්කරුවකු බවට පත්වීමේ පළපුරුද්ද සේ ම හැකියාවද ඔහු සතුය. ඔහු සිංහල අන්තවාදී මාර්ගය තෝරාගතහොත් මීට පෙර එම මාර්ගය තෝරාගත් අන් සියලූ නායකයන් අබිබවා යන තත්ත්වයක් ඔහුට පහසුවෙන්ම හිමි කරගත හැකිය. විශාල වර්ගවාදී අවකාශයක් රටේ පවතින අතර මහින්ද ඒ අවකාශය පුරවන්නා බවට පත්වුවහොත් රටට ඉන් සිදුවිය හැකි විනාශය සුළුපටු නැත.

කළමනාකරණ දුබලතා

ජයග‍්‍රාහී බලවේගයන්ට නායකත්වය දුන් නායකයන්ගේ දැක්මේ බරපතළ සීමාසහිතකම් පවතී. මහින්ද රාජපක්ෂ පාලනය වැනි දීර්ඝකාලීන පැවැත්මක් තිබූ දරදඬු පීඩාකාරී දූෂිත පාලනයක් පරාජය කිරීමෙන් පසු ප‍්‍රතිසංස්කරණ වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමේදී ඊට සමගාමීව ඉදිරියට යන මහජනයාට අවබෝධය ලබාදෙන ක‍්‍රමවත් අධ්‍යාපන වැඩසටහනක්ද තිබිය යුතුය. මහින්ද පරාජය වූයේ දුරස්ථ තරගයකින් නොව ළඟ ළඟ තරගයකිනි. ජයග‍්‍රාහකයා හා පරාජිතයා අතර වෙනස හුඟාක් ලොකු නැත. මහින්දගේ පාලනය කොතරම් හිතුවක්කාරී, පීඩාකාරී හා දූෂිත වුවත් මොන මොන හේතු නිසා හෝ එම පාලනයට අනුගත වූ එම පාලනයට පක්ෂපාත වූ විශාල ජනතාවක් රටේ සිටියේය. මැතිවරණ පරාජයෙන් පසුත් මහින්දට ලොකු ශක්තියක් වී ඇත්තේ එම ජනතාවය. ඒ රටේ ජනතාවගේ ප‍්‍රමාණය රටේ ජනගහනයෙන් 46%ක් තරම් විශාලය. ජනගහනයේ එවැනි විශාල පිරිසක් විරුද්ධවාදී තත්ත්වයක තබාගෙන කිසිදු ප‍්‍රතිසංස්කරණ වැඩසටහන් සාර්ථක ලෙස ඉදිරියට ගෙනයා නොහැකිය.

ප‍්‍රතිසංස්කරණ වැඩසටහන සමග ඊට සමගාමීව ඉදිරියට යන මහජන අධ්‍යාපන වැඩසටහන් අවශ්‍ය වන්නේ පරාජිත පාලකයාට තවදුරටත් ඉතිරි වී තිබෙන සමාජය කෙරෙහි වන මතවාදී ආධිපත්‍යය දුර්වල කිරීම සඳහාය. ඒ සඳහා පැරණි පාලනයේ තිබුණු නියම ස්වභාවය මහජනයාට පෙන්වා දිය යුතුය. දූෂණ, වංචාව හා නාස්තිය ගැන පමණක් නොව සිදුවී තිබෙන විනාශකාරී හා අත්තනෝමතික ක‍්‍රියාද මහජනයාට පහදා දිය යුතුය. පැරණි පාලනය ගැන මහජනතාව අතර පිළිකුලක් ඇතිවනු ඇත්තේ එවිටය. වර්ගවාදී විනාශයක් ඇති කිරීමට තිබෙන ඉඩ නැති කළ හැකිවනු ඇත්තේ මහජනතාව අතර ඇති වර්ගවාදී ආකල්ප හා හැඟීම් තුනී කිරීමට හේතුවන ලෙස වර්ග, ආගම් හා කුලභේද නිසා ඇතිවී තිබෙන ගැටුම්වලින් රටට සිදුවී තිබෙන හානියේ තරම පෙන්වා දෙන අතර භේදයකින් තොරව සියලූදෙනාට සමාන අයිතිවාසිකම් හා සමාන ගෞරවය ලබාදෙන වැඩසටහනක් ඔස්සේ එක්සත් හා සමගි සම්පන්න ශ‍්‍රී ලාංකික ජාතියක් ඇතිකර ගැනීමෙන් රටට ලැබෙන ලාභ පෙන්වා දිය යුතුය. ප‍්‍රතිසංස්කරණ වැඩසටහනක අවශ්‍යතාව හා එම ප‍්‍රතිසංස්කරණ ඇති කිරීමෙන් රටට හා සමාජයට ලැබෙන ප‍්‍රතිලාභ මහජනයාට කියා දිය යුතුය.

එහෙත් ජයග‍්‍රාහකයා ඉදිරියට යමින් තිබෙන්නේ සංවිධානාත්මක එවැනි මතවාදී ව්‍යාපාරයකින් තොරවය. පරාජිත බලවේගයන්ට බලවත් ලෙස හොල්මන් කරන්නට පුළුවන්කම ලැබී තිබෙන්නේ ඒ නිසාය. ඒ චිත‍්‍රයේ වාසිදායක වෙනසක් ඇති කරගත හැකිවනු ඇත්තේ මතවාදී තලයේ වෙනසක් ඇති කිරීම අරමුණු කරගත් ජනතාවට අධ්‍යාපනය ලබාදෙන ශක්තිමත් වැඩසටහනක් කරළියට ගැනීමෙනි.
– රාවය

Archive

Latest news

Related news