(3000ක් පමණ සහභාගි වූ යාපනයේ විරෝධතාවය)
පසුගිය දිනක උතුරු පළාත් සභාව විසින් තම ජනතාවට දිගින් දිගටම සිදුවූ අසාධාරණකම් සහ අඩම්තේට්ටම් ගැන ජාත්‍යන්තර පර්යේෂණයක් අවශ්‍ය බවට යෝජනාවක් සම්මත කර ගනු ලැබීය. මාර්තුවලදී එලිදැක්වීමට නියමිතව තිබූ ලංකාවේ යුධ අපරාධ පිළිබඳ වාර්තාව පමා නොකර එලිදක්වන ලෙසද ඒ සමගම ඔවුන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටිනු ලැබීය. ඒ සමගම එයට එරෙහිව විවිධ පැතිවලින් මත සහ විරෝධයන් ඉදිරිපත් කෙරුණි.
යුද්ධය දිනා ත්‍රස්තවාදීන් සමූළ ඝාතනය කර රට බේරා ගත් බව කියවේ. නමුත් මහින්ද – විමල් කල්ලියට අනුව තාමත් රට බෙදීමේ අනතුරක් එදා මෙන්ම පවතී. එසේ නම් ඔවුනට අනුවම ජීවිත දස දහස් ගණනක් බිලිදුන් යුද්ධය ගෙනා ජයක් නොමැත. යුද්ධයෙන් ප්‍රශ්න අහෝසි නොවුන බව ඔවුන්ද පිලිගන්නා බව එතුලින් පිළිඹිබු වේ.
යුද්ධයේදී සිවිල් වැසියන් දස දහස් ගණනින් මිය ගිය බව නොදන්නා කෙනෙකු නැති තරම්ය. මේ මියගිය මිනිසුන්ගේ ඥාතීන් තම මියගිය ඥාතීන් මරා දැමීම ගැන ඒ මරා දැමූ ආකාරය ගැන ලංකා රජයට එහි හමුදාවන්ට චෝදනා කරයි. ඔවුන් තම ඥාතීන් මරා දැමීම ගැන සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටී. යුද්ධයෙන් පසුව ලංකා රජය මේ මිනිසුන්ගේ ඉල්ලීම් තුට්ටුවකට ගණන් නොගත් බව අපි දනිමු. එසේ එම යුද්ධයෙන් බැට කෑ ජනයාට සහන සලස්වනවා, ඔවුන්ගේ සිත් සතන් සැනසීමට කටයුතු කරනවා වෙනුවට ඔවුනට දිගින් දිගටම අඩම්තේට්ටම් අරියාදු කරනු ලැබුණි. තවදුරටත් ත්‍රස්තවාදය ගැනම කතාකළ රජය යුද්ධයෙන් පීඩාවක්, යුද්ධයෙන් අපරාධයක් සිදුවීමක් ගැන වචනයක් වත් පාවිච්චි කිරීමට ඉඩ නොතබනු ලැබීය.
එනිසාම මෙම ප්‍රශ්නය ජාත්‍යන්තර තලයට ගෙනයාමට දෙමළ ජනයාට සිදුවිය. එමෙන්ම මානව හිමිකම් අගයන සිංහල මිනිසුන්ද ඒ වෙනුවෙන් මැදිහත් විය. එහි ප්‍රතිඵිලයක් ලෙස ලංකා රජයට ඒ ගැන කතා නොකර සිටිය නොහැකි වූ අතර යුද්ධයෙන් පසු ගෙවී ගිය වසර 5 තුලම ජාත්‍යන්තරවත් ජාතිකවත් ඒ පිළිබඳව කතිකාවක් පැවතුණි. එසේ ජාත්‍යන්තරව හෝ ජාතිකව මේ පිළිබඳව සාකච්ඡාවක් පැවතුනේ, පවතින්නේ උතුරු කරයේ ජනයා නොනවත්වාම තම ප්‍රශ්නය ලෝකයට හඬ ගා කීම හේතු කර ගෙනයි. ඔවුන් එසේ හඬ නොනැගුවානම් කිසිවක් සිදු නොවීම සහතිකය.
උතුරු පළාත් සභාව යුධ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලීම ගැන බොහෝ දෙනෙකු උරණ වී ඇත. ඇත්තෙන්ම මේ තීරණය ගැන උරණ වීමට හේතුවක් නොමැත. අලුතින් පත්වූ රජය පවසනුයේ තමන් මෙම අපරාධ පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂාවන් සඳහා යාන්ත්‍රණයක් ඇතිකරන බවයි. එසේ අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඇතිකරනවාය කී පමනින් දෙමළ දේශපාලන පක්ෂ හෝ දෙමළ ජනයා එය විශ්වාස කළ යුතු ද? ඔවුන් තමනට වූ අසාධාරණය ගැන පැමිණිලි නොකළ යුතුද?
මෙහිදී මෙම උතුරුකරයේ ඉල්ලීම් ගැන රටතුල පැති දෙකකින්ම චෝදනා නැගෙති. එක පැත්තකින් සිංහල ජාතිවාදීහු තමනට හුරු එකම හොරණෑව වන රටබෙදීම, ආධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ, ත්‍රස්තවාදය ආදී සිංහල ජාතිවාදය වැපිරීම වැඩි දියුණු කරමින් චෝදනා කරති. උතුරු පළාත් සභාව මේ ඉල්ලීම කළා හෝ නොකළා මේ සිංහල ජාතිවාදී කල්ලි කිසිම අයුරකින් තම ජාතිවාදය වැපිරීම අත්නොහරිනු ඇත. ඒ ඔවුන් දේශපාලනය යැයි හදුනන්නේ ලේ රස හැරුණු විට වෙනත් කිසි රසක් නැති ජාතිවාදය ඇවිස්සීම පමණක් නිසාවෙනි. අනිත් අතින් පසුගිය මහින්ද රෙජීමය පෙරලීමට පෙලගැසුණු බලවේග අතරද මේ පිළිබඳ ආරෝ සහ කණස්සලු හඬවල් නැගෙති. ඒ ඔවුන්ට අනුව ‘මේ උතුරේ ඉල්ලීම් නිසා ජාතිවාදීන්ට වාසි වෙනවා’, ‘අපි අභ්‍යන්තර පරීක්ෂණයකට සූදානම් වෙත්දි මෙහෙම ඉල්ලන එක අසාධාරණයි. ඒකෙන් නැති ප්‍රශ්නයක් ඇති වෙනවා’ මේ ආදී දේ ඔවුහු පවසති.
බලය මාරු වූවායින් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි පසුගිය කාලයේ රටේ දේපළ හොරකම් කළ නීති විරෝධී ක්‍රියාවන්හි යෙදුණ සියළුම බලවතුන්ව නීතිය ඉදිරියට ගෙන එන බව පැවසූ නමුත් මාස එකහමාරක් යන තුරු පුංචි පුංචි හාල්මැස්සන් හැරුණු විට තාමත් තෝරුන් මෝරුන් පෙරසේම නිදහසේ පීනති. දඩයම් කරති. දැන් දැන් ඔවුන් කරණම් ද ගසති. කෝචොක් දමති. ඉදිරියේදී නව රජය විසින් පසුගිය කාලයේ වැරදි කළවුන් නීතිය ඉදිරියට ගෙන එනු ඇතැයි අපි විශ්වාස කරමු. ඒ ඉතා ඉක්මනින් කළ හැකි දෙයක් නොවන බව අපට නොවැටහෙනවා නොවේ. නීතිය ක්‍රියාත්මක කිරීමේදී එය විනිවිද භාවයකින් යුතුව, යුක්ති යුක්ත අයුරකින් කළයුතු බවද පිලිගනිමු. ඒත් පැරණි යාන්ත්‍රණය රටතුල ඒ අයුරින්ම නැතත් එක්තරා ශක්තිමත් ආකාරයකින් ක්‍රියාත්මක වන බව පැහැදිලිය.
ප්‍රජාතන්ත්‍රවාදී වෙනසකට එරෙහිව වෙස්වෙලාගත් බලවේගයන් මේවා තුල එක්තරා අයුරකින් ක්‍රියාත්මක වන බවත් පෙනෙන්නට තිබේ. බල පෙරලියෙන් පසු හිස සඟවා ගෙන සිටි සතුරන් නැවත අළු බලු ගසා දමමින් නැගිටිනු ඇත. එනිසා බලය මාරුව තුල ඔහේ මෙම යහපාලනය සිදුවන තුරු බලා සිටීම දුර්වලකමකි. එය සිදුවන තුරු ඔහේ බලා සිටීම ඉක්මනින් පරාදය වෙත ලඟාවීමට හේතු විය හැක. පවතින තත්වය මෙසේය. අප තුලද දැන් දැන් මෙම නීතිය මත පාලනය එක කොටසකට පමණක් මේ නව රජය යටතේද ක්‍රියාත්මක වේද යන සැකයක් මතුවෙමින් පවතී. මා මෙහි එකින් එක සඳහන් නොකළාට නීතිය තාමත් ඒ ඒ අයට ඒ ඒ අයුරින් ක්‍රියාත්මක වන බව මේ පසුගිය මාස එකහමාරට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සාක්ෂි සහ උදාහරණ ඇත.
බලමාරුවෙන් පසු දූෂණ, වංචා, අපරාධ, පිළිබඳ වග උත්තරකරුවන් නීතිය ඉදිරියට පමුණුවන බව කීවා වුවත් මේ වන තුරු ඒවා සිදුවන්නේ ගොලු බෙලි ගමනින්. පසුගිය දිනක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද මේ අපරාධ කරුවන් නීතිය ඉදිරියට ගෙනඒම ගැන ඔහුටද දැන් දැන් සැකයක් ඇතැයි ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරනු ලැබීය. අනුර දිසානායක වැනි අයද මේ පිළිබඳ චෝදනා කරමින් සිටිති. එමෙන්ම මෙම බල මාරුවට අත දුන් බොහෝ ප්‍රගතිශීලීන් සහ ප්‍රගතිශීලී බලවේග වලටද මේ පිළිබඳව සැක පහල වී ඇත. එසේ නම් නිදහසින් පසු ලංකාවේ එකක් පසුපස එකක් ලෙස අසාධාරණයන්ට ගොදුරු වූ දෙමළ ජනයාට සිංහල රජයක් විසින් දෙන වචන විශ්වාස කරන ලෙස ( අපවත් විශ්වාස නොකරන) මේ මැති ඇමතිවරු පැවසීම නිවැරදිද? ඇත්තෙන්ම දෙමළ ජනයා නොකඩවා කළ උද්ඝෝෂණ හා පැමිණිලි හේතුවෙන් ඇතිවී ඇති ජාත්‍යන්තර ඇහුම්කන් දීම තවදුරටත් පවත්වා ගැනීමට ඔවුන් වෙහෙස නොවුනහොත් ඔවුනට කිසිත් නොලැබී යාමට ඇති ඉඩකඩ විශාලය. එහෙයින් ඔවුන් ඔවුන්ගේ අරගලය දිගින් දිගටම කරගෙන යා යුතුය. එසේ වුවහොත් පමනි දකුණේ රාජ්‍ය ඔවුනගේ ප්‍රශ්නය ගැන අවධානය යොමු කරනු ලබනුයේ.
ඔවුන් ජාත්‍යන්තරයෙන් කරන ඉල්ලීම කිසිසේත්ම පවතින රජයට අභ්‍යන්තර විභාගයකට අවහිරයක් නොවන අතර ජාතික වශයෙන් සාධාරණ එමෙන්ම විනිවිදභාවයකින් යුතු විභාගයක් ඇතිවූ විට ජාත්‍යන්තර එයට ආශිර්වාද කරනු ඇත. එනිසා ඇමතිවරුන්ගේ ආරෝවට කාරණයක් නොමැති බව අපගේ වැටහීමයි. එමෙන්ම ඔවුන් ඒ පිළිබඳව ආරෝව ගන්නේ නම් එයින් මතුවන අනෙක් කාරණය වන්නේ ඔවුන් පෙර පුරුදු ආකාරයට ප්‍රශ්නය මගහරින්නට උත්සාහ කරන බවක් යැයිසිතීමට ඉඩ ඇත. එහෙයින් රජය එහි අමාත්‍ය මණ්ඩලය යුහුසුළු විය යුත්තේ මෙම ප්‍රශ්න විසඳීමට තම ශක්තිය වැය කිරීමට මිස පෙර පැවති රජය මෙන් අයිතීන් ඉල්ලන අයට බැණ අඬ ගැසීම නොවන බව අපේ වැටහීමයි.
ජනවාරි 08 බලය මාරුවට පෙරම් පිරුවේ විවිධ ජනබලවේග සහ පුද්ගලයන් එක්වූ පුරවැසි බලවේගයක් දිගු කාලීනව කළ අරගලයක් හේතුවෙනි. දේශපාලන බලවේග එහි කොටස්කරුවන් වන්නේ අවසාන මොහොතේ බව අප අමතක නොකළ යුතු වෙමු. එමෙන්ම මින් ඉහතද මා වරින් වර සඳහන් කර ඇති අයුරින් මේ දේශපාලන බලය හොබවන අය අතරින් සෑම එකෙකුම පාහේ අඩුවැඩි වශයෙන් පසුගිය දශක ගණනාවක් තිස්සේ පිරිහුණ ජරාජීර්ණ වූ බලයේ කොටස් කරුවන් වී සිටි අයයි. මොවුන් දන්නේ බලයට ආ පසු තමන් නැවතත් එයම ක්‍රියාවට නැගීම පමණකි. නමුත් දිගු කලක් මේ වෙනස සඳහා අවධියෙන් ප්‍රශ්න කරමින් මේ බල පෙරලිය සඳහා දීර්ඝ සේවයක් කළ අයට දැන් තම කාර්ය අවසාන යැයි සිතා පැත්තකට වී සිටිය නොහැක. ලද ජය ජයග්‍රහණය දක්වා ගෙන යාම පිළිබඳ වගකීම රැදී ඇත්තේ ඔවුන් අතය. ඒ සඳහා තම උද්ඝෝෂණ සහ බලපෑම් සංවිධානාත්මකව දිගින් දිගටම කළ යුතුය. දේශපාලන බලය හිමි අයට බලපෑම් කිරීමේ බලවේගයක් ලෙස දිගින් දිගටම පැවතිය යුතුය. එතුලින් පමනි යම් හෝ ප්‍රජාතන්ත්‍රවාදී ජයක් ලාංකිකයාට දිනාගත හැකි වනුයේ.
එසේ නම් උතුරේ ජනයාගේ ප්‍රශ්නය ගැනද එය එසේමය. ඔවුන් තම අරගලය අතෑරි මොහොතේ ඔවුන්ගේ ප්‍රශ්නය යටයනු නොඅනුමානය. ඒ නිසා උතුරේ ජනයාගේ යුතුකම වන්නේ ඔවුන්ගේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා දිගින් දිගටම උද්ඝෝෂණය කිරීමයි. ඔවුන්ගේ ප්‍රශ්නයට අවම විසදුමක් හෝ ලගාකර ගත හැකි වන්නේ එතුලින් පමනි. එනිසා අපගේ සහායද අප ඔවුන් වෙත නොපැකිලව ලබාදිය යුතු වෙමු.