විමුක්‌ති – මගේ පුතේ…..
එදා පොලිසියේ සහ හමුදාවේ සිය ගණනක් මා අත්අඩංගුවට ගන්නට අපේ ගෙදරට ආවා. වෙන්නේ මොනවාද කියලා ඔයාට තේරුමක් තිබුණේ නැහැ. ඔයා හිටියේ ඔයාගේ කාමරයේ. හමුදාවත් එක්‌ක යන්න කලින් මා කාමරයට ඇවිත් ඔයා දිහා බැලුවා.. ඔයා තොටිල්ලේ හිටියේ තනියෙන්. පුංචි ඇඟිල්ලක් උර උරා මා දිහා බලාගෙන හිටියා. මම ඔයාව වඩාගෙන සිපගත්තෙ නැහැ. ඒ, එහෙම දෙයක් මට දරාගන්න බැරිවේය කියලා හිතුන නිසයි. මම ඔයාගේ මුහුණ අතගාලා හමුදාවත් එක්‌ක අපේ ගෙදරින් යන්න ගියා. මේ වෙනකොට මම ඉන්නේ හිර කූඩුවක. මාව හිරේ දාලා අදට මාසයයි දවස් දෙකයි. අදට ඔයාගේ වයස මාස හතරයි දවස් දහසයයි.
ඔයා ඉපදෙද්දිත් මට කිසිම නිදහසක් තිබුණේ නැහැ. මේ රටේ දුක් විඳින ජනතාවට පිහිට වෙන්න මම කාර්යබහුල වුණා. ඔයා ඉපදුණු පණිවුඩය මට ලැබුණෙත් ගමනක් යන අතරයි. ඔයා දුවෙක්‌ද, පුතෙක්‌ද කියලා අහන්න මට පොඩි පැකිලීමක් තිබුණා. මම කෙළින්ම ඉස්‌පිරිතාලයට ආවා. මට පුතෙක් ලැබිලා ඉන්න බව දැකලා සතුටු වුණා. මම ඔයා දිහා බැලුවේ ආඩම්බරයෙන්. මම පුතෙකුගේ තාත්තා කෙනෙක්! ඔයාගේ අම්මයි මමයි ඔයාට නමක් තේරුවේ ඔයා උපදින්නත් හුඟක් කලින්. ඒ නම විමුක්‌ති, තේරුම විමුක්‌තිය. ඔයා අපට විමුක්‌තිය දුන්නා.
වැඩුනු මිනිහකු වූ දවසට ඔයා ඔයාගේ නමේ තේරුම දැන ගනීවි. විමුක්‌ති කියන්නේ දුකින් නිදහස් වීම. ඒත් ඔයා විතරක් දුකින් නිදහස් විය යුතුයි කියලා අප බලාපොරොත්තු වන්නෙ නැහැ. කවදාහරි දවසක ඔයාට තේරේවි, මිනිසුන් දස ලක්‍ෂ ගණනින් අති විශාල දුක් කන්දරාවක් විඳින බව. ඔයාගේ තාත්තා අයිති වෙන්නෙත් ඒ දුක් විඳින පන්තියටයි. ඔයාගේ ඇඟේ දුවන්නේ තාත්තාගේ ලේ බව අමතක කරන්න එපා. ඔයාගේ තාත්තා අප්‍රමාණ දුක් සහගත ජීවිතයක් ගත කළ කෙනෙක්.
ඒ ගැන ඔයා ලැඡ්ජා වෙන්න වුවමනාවක් නැහැ. මතු දවසක ලෝකයට කියන්න ඔයාට ඉතිරිවන එකම සුදුසුකම ඒක වෙන්න පුළුවන්. ඒ නිසා මගේ ලෙයින් උරුම වුණු ඒ අයිතිය රැකගන්න. කවදාහරි දවසක නිර්ධනයන් දුකින් මුදවන්න ඔයා කරන සටනේදී මේ උරුමය විශාල බලයක් බවට පත් කරගන්න. නිවැරැදි බවට හද පත්ලෙන්ම හිතන සටනක් පරදින්නෙ නැහැ. අවස්‌ථා
කිහිපයකදීම ඔයාගේ තාත්තාව පැරැද්දුවා. හැබැයි තාත්තා කවදාවත් අසමත් වෙලා නැහැ. අද මම ඉන්නෙ හිර ගෙදර. ඒක ලැඡ්ජාවට හේතුවක් නොවෙයි. ආඩම්බරයට හේතුවක්. ජනතාව වෙනුවෙන් සටන් කරන්න දවසක මම මේ හිරගෙදරින් එළියට එනවා. මේක මට ලොකු අත්දැකීමක්. එයින් මගේ ධෛර්යය ශක්‌තිමත් කෙරෙනවා.
මේ හිරගෙවල් හදලා තියෙන්නේ ඔයා මම වගේ අයට. යටත් විජිතවාදී නීතියෙන් මේ රට නිදහස් කරගන්න සටන් කරපු නිසා ශ්‍රේෂ්ඨ වීරයන්ට හිරගෙවල්වලට යන්න වුණා. අප මේ ඉදිරියට ගෙන යන්නේ ඔවුන් කළ ඒ සටනයි. කවදා හරි දවසක ඔබත් මේ සටනේ කොටස්‌කාරයෙක් වේවි.
ඒ සටන වෙනුවෙන් හිරගෙදරට එන්න මතුයම් දවසක ඔයාට සිද්ධ වුණොත්, එතැනදී මගේ සුවඳ ඔයාට දැනේවි. එදාට ඔයා බලන්න එන්න මම ජීවතුන් අතර නැහැ. ඒත් මතක තියා ගන්න ඔයාගේ තාත්තා එයා නියෝජනය කරපු පන්තියට විමුක්‌තිය දෙන්න සටන් කළ බව. ඔයාගෙන් මා ඉල්ලන එකම ඉල්ලීම ඒකයි. ඔයාගේ පෙනුම කොයි වගේද කියල මතක් කරගන්න මම අද අමාරුවෙන් උත්සාහ කළා. ඒත් ඔයාගේ මුහුණ මතක් කරගන්න මට හරිම අමාරුයි. හිරේට එන්න කලින් ඔයාගේ මුහුණ දකින්න මට ලැබුණේ වාර කිහිපයකදී විතරයි. ඉදිරි දවසක මාව මෙතනින් නිදහස් කරාවි. එදාට ඔයාව බලන්න මම එනවා. ඔයාගේ ස්‌වරූපය වෙනස් වෙන්න පුළුවන්a. ඒත් ඔයාගේ පෞරුෂත්වය වෙනස් වෙන්නෙ නැහැ. හිරෙන් නිදහස් වෙලා ආව දවසක මිනිස්‌කම මොකද්ද කියන එක මම ඔයාට කියලා දෙන්නම්. මම අහපු දැකපු දේවල් ගැන ඔයාට කියලා දෙන්නම්. දුක මොකක්‌ද කියලා කියා දෙන්නම්. අත්දැකීම් දරාගෙන අනාගතයේදී යහපත් කෙනෙක් වෙන්න.
විමුක්‌ති කියන්නේ නිදහසට. එහෙත් තමන් පමණක් විමුක්‌තිය ලැබීම පළක් ඇති දෙයක් නොවෙයි. පුතේ, ඔයාගේ ජීවිතය දුක්‌විඳින දශ ලක්‍ෂ සංඛ්‍යාත ජනයාට විමුක්‌තිය ලබා දෙන්න ඔයාගේ ජීවිතය කැප කරන්න. ඔයාට තාත්තාගේ ලේ උරුමයි. ඒ රුධිරය දුකින් සහ දුක් විඳින ජනතාවගේ සටන්වලින් පදම් වෙලා දවසක මේ ජනතාවත් දුකින් මුදවාගෙන ඔයත් දුකින් මිදෙන්න.
මම හැමදාම දකින විමුක්‌තියේ හීනය එයයි. ඒ හීනය හැබෑ කළ හැකි එකම අපේක්‍ෂාව ඔයයි. මගේ අපේක්‍ෂාව ඔබේ අරමුණ බවට පත්වන දවසක අප දෙදෙනාම ජය ගන්නවා. ඔයාගේ තාත්තාගේ පංතියේ හැමෝම එදාට ජයග්‍රහණය සමරාවි. ඒ සාර්ථකත්වය තිරසාර වේවා. පුතාට දෙවියන්ගේ පිහිටයි.
(මේ ලිපිය වැලිකඩ හිරගෙදර සිට 1982 දී සිංහලෙන් ලියූවක් වන නමුදු අපට සොයාගත හැකි වූයේ එහි ඉංගී්‍රසි පරිවර්තනයකි. ඉහත සඳහන් වන්නේ එම පිටපතේ පරිවර්තනයකි.)
– දිවයින පුවත්පතිනි