( ජනතා අපේක්ෂා පැහැර නොහැරිය යුතුය)
මෛත්‍රීපාල සිරිසේන රජයේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා පත්‍රිකාවක් දැන් ප්‍රසිද්ධ කොට තිබේ. එහි සඳහන් එක් වැදගත් කරුණක් මෙන්ම එහි නොමැති තවත් වැදගත් කරුණක් පිළිබඳ කෙටියෙන් මෙහි ලියමි. සඳහන් කරුණ, ‘අගමැති ආණ්ඩුවේ ප්‍රධානියා වන්නේය’ යන්න යි. එහි නොමැති කරුණ, මැතිවරණ ක්‍රමය ප්‍රජාතන්ත්‍රීයකරණය සඳහා වන සංශෝධනය යි.
යෝජිත සංශෝධන පසුබිමෙහි සළකා බැලූ විට සාකච්ඡා පත්‍රිකාවේ එන ‘අගමැති ආණ්ඩුවේ ප්‍රධානියා වන්නේය’ යන්න හුදු කරුණුමය සඳහනක් ලෙස පෙනී යා හැකිය. නමුත් ජනාධිපති ට ඇති විධායක බලතල කප්පාදු කිරීමට එරෙහි විවේචකයන් ඉදිරිපත් කරන අදහසක් වන්නේ යෝජිත ප්‍රතිසංස්කරණ වලින් අගමැති ට අසීමිත බලතල ලැබෙන බවයි. එයින් ජනතාවට පරමාධිපත්‍යය අහිමි ව සීමිත ඡන්දදායකයන් පිරිසකගේ ඡන්දයෙන් බලයට පත්වන අගමැතිවරයෙකු අතට රාජ්‍ය බලය හැසිරවීම පත් වන බවයි.
අපට ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන්නේ වත්මන් විධායක ජනාධිපති ක්‍රමය යටතේ පරමාධිපත්‍යය ජනතාවට අහිමි වූ හෙයිනි. එහෙයින් යෝජිත ප්‍රතිසංස්කරණ යටතේ පරමාධිපත්‍යය ජනතාවට යළි පැවරෙන බවට අප සහතික විය යුතුය. එසේ වන්නට නම් කිසිදු තනි පුද්ගලයෙකුට ව්‍යවස්ථාමය බලයක් හිමි නොවන තැනට වග බලා ගත යුතුය. පාර්ලිමේන්තු ක්‍රමයක් යටතේ ඇති සීමිත ජනතා පරමාධිපත්‍යය රැකෙන්නේ ජනයා පාර්ලිමේන්තුවට පත් කර ගන්නා නියෝජිතයන් මගිනි. මෙම නියෝජිතයන් බහුතරයකගේ විශ්වාසය දිනාගන්නා තැනැත්තා වශයෙන් අගමැතිවරයා පත් කෙරෙයි. අගමැති ගේ උපදෙස් මත ඇමති මණ්ඩලය පත් කෙරෙයි. අගමැති යනු කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ය. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය යනු පාර්ලිමේන්තුව විසින් ජනතා පරමාධිපත්‍යය ක්‍රියාවට නැංවීමට විධායක බලය පවරන නියෝජිත කණ්ඩායමකි. ඔවුන් තම සියලු කටයුතු වලදී පාර්ලිමේන්තුවට වග කියන බවට සහතික කිරීමෙන් පමණක් ජනතා පරමාධිපත්‍යය රැකෙයි.
එහෙයින් ව්‍යවස්ථාව ජනතා පරමාධිපත්‍යය සහතික කෙරෙන පරිද්දෙන් සංශෝධනය කිරීමේ දී එහි තනතුරු හා අදාළ සංකල්පීකරණය ද ඊට අනුකූලව සිදු කිරීමට අප පරෙස්සම් විය යුතුය. මේ කෙරෙහි ව්‍යවස්ථා සම්පාදකයන් අවධානය යොමුකළ ඇති ආකාරය විවිධ ව්‍යවස්ථා අධ්‍යයනයෙන් හඳුනා ගත හැකිය. උදාහරණයක් ලෙස 1972 ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාව බලන්න.
එහි පළමු පරිච්ඡෙදයේ අංක 4 සහ 5 වගන්ති වල ජනතා පරමාධිපත්‍යය ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වූ නියෝජිතයන් ගේ ජාතික රාජ්‍ය සභාව මගින් ක්‍රියාවට නැංවෙන බව සඳහන්ය. ජනරජයේ රාජ්‍ය බලයේ උත්තරීතරතම උපකරණය ජාතික රාජ්‍ය සභාව වන්නේය. එය ජනතාවගේ ව්‍යවස්ථාදායක බලයත්, ජනාධිපති සහ කැබිනට් මංඩලය මගින් රාජ්‍ය ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලයත් ක්‍රියාවට නංවන බව ද එහි සඳහන්ය.
මෙහි අවධාරණය ඇත්තේ ජනාධිපති, ජාතික රාජ්‍ය සභාව සහ කැබිනට් මංඩලය පිළිබඳ මිස අගමැති පිළිබඳ නොවේ.
1972 ජනරජ ව්‍යවස්ථාවේ 13 වැනි පරිච්ඡෙදයේ 92 වැනි වගන්තියේ කැබිනට් මංඩලය පිළිබඳ ඇති සඳහන මෙපරිදිය. ආණ්ඩුවේ දිශානතිය සහ පාලනය පිළිබඳ වගකීම පැවරෙන අමාත්‍යවරුන්ගේ කැබිනට් මංඩලය ජාතික රාජ්‍ය සභාවට සාමුහිකව වගකියනු ඇති අතර ඔවුන් වගකිය යුතු සියලු කරුණු සම්බන්ධයෙන් ජාතික රාජ්‍ය සභාවට පිළිතුරු බැඳිය යුතු වෙයි. ඇමතිවරු අතරින් කැබිනට් මංඩලයේ ප්‍රධානියා වනු ඇති අය අගමැති වනු ඇත. ජාතික රාජ්‍ය සභාවේ විශ්වාසය දිනා ගැනීමට වැඩියෙන්ම ඉඩඇති ජාතික රාජ්‍ය සභා සාමාජිකයා අගමැතිවශයෙන් පත් කෙරෙනු ඇත.
මෙහි අවධාරණය ඇත්තේ කැබිනට් මංඩලය පිළිබඳය. කැබිනට් මංඩලය සාමුහිකව ජාතික රාජ්‍ය සභාවට වග කියයි. අගමැති වැදගත් වන්නේ කැබිනට් මංඩලයේ ප්‍රධානියා ලෙසින් මිස තනිව ගෙන නොවේ.
තව එක් කෙටිඋදාහරණයක් පමණක් ලෙසින් වත්මන් ඉන්දීය ව්‍යවස්ථාව සළකා බලමු. එහි 74 වැනි වගන්තියේ ඇමති මංඩලය ගැන ඔවුන් පත් කෙරෙන ආකාරය සහ ඔවුන්ගේ වගකීම් සමගින් සඳහන් වන්නේ මෙලෙසය. “අගමැති ප්‍රධානියා වන ඇමති මංඩලයක් තිබෙනු ඇත.” මෙහිද අවධාරණයට ඇමති මංඩලයට ය. අගමැති වැදගත් වන්නේ එහි ප්‍රධානියා ලෙස මිස තනිව ගෙන නොවේ.
එහෙයින් මා මෙහි ලා අවධාරණය කරන්නට කැමැත්තේ යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වචනයට නැඟීම ජනතා පරමාධිපත්‍යය ක්‍රියාවට නැංවෙන ආකාරය සහ ඇමති මංඩලය සාමුහිකව පාර්ලිමේන්තුවට වග කියන බව තහවුරු කරමින් ඉතා පරිස්සමෙන් සිදු කළ යුතු බවයි. එහිදී ‘අගමැති ආණ්ඩුවේ ප්‍රධානියා වන්නේය’ යන යෙදුම ව්‍යවස්ථාවට ඇතුළු කිරීම සිදුවුව හොත් එය තනි පුද්ගලයෙකුට පැවරිය යුතු නැති බලයක් ව්‍යවස්ථාදායකව පැවරීමක් වනු ඇත. එහෙයින්ම ජනතා පරමාධිපත්‍යයට බරපතළ හානියක් ද වනු ඇත. අවශ්‍ය නම් මෙහිදී උචිත යෙදුම වනු ඇත්තේ ‘අගමැති ඇමති මංඩලයේ ප්‍රධානියා වන්නේය’ යන්න යැයි යෝජනා කරමි.
මැතිවරණ ක්‍රමය වෙනස් නොකිරීම
ජනතා පරමාධිපත්‍යය සමග බැඳුණු අනෙක් වැදගත් කරුණ මැතිවරණ ක්‍රමය යි. පාර්ලිමේන්තු ක්‍රමය තුළ ජනතා පරමාධිපත්‍යය රැකෙන එකම ක්‍රමය ජනතාවගේ ඡන්දයෙන් ඡන්ද කොට්ඨාශයකට මන්ත්‍රීවරයෙකු පත් කොට ගෙන ඔහු හෝ ඇය එම ඡන්ද කොට්ඨාශයේ ජනතාවට සෘජුව වග කියන තත්වයට පත් කිරීම යි. වත්මන් දිස්ත්‍රික් පදනමින් සහ සමානුපාතික නියෝජනය යටතේ මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ ක්‍රමය ජනතා පරමාධිපත්‍යය එකහෙළා උල්ලංඝණය කරයි. දිස්ත්‍රික් පදනමින් පත්වන මන්ත්‍රීවරු ඡන්දදායකයන්ට සෘජුව වග නොකියති. ඔවුන් වග කියන්නේ තමන්ට ඡන්ද එකතු කොට දෙන නියෝජිතයන්ට සහ දිස්ත්‍රික් මට්ටමින් ඡන්දය දිනීමට අවශ්‍ය පරිදි මහා පරිමාණයෙන් මුදල් සහ සම්පත් සපයන ඒජන්තයන්ටය. කුඩුකාරයන්, මැරයන්, එතනෝල්කාරයන් සහ වෙනත් දූෂිතයන් පාර්ලිමේන්තු එන්නේ මේ හේතුවෙනි.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ දින සියයේ වැඩ පිළිවෙලත් ප්‍රතිපත්ති ප්‍රකාශයත් දිස්ත්‍රික් පදනම වෙනුවට ඡන්ද කොට්ඨාශ පදනමින් මන්ත්‍රීවරුන් පත් කර ගැනීම සමග කුඩා පක්ෂ වලටද සාධාරණයක් වන සේ සමානුපාතික නියෝජන ක්‍රමය ද ඇතුළත් මිශ්‍ර ක්‍රමයක් දැන් පවත්නා මැතිවරණ ක්‍රමය වෙනුවට සම්මත කොට ගනු ඇති බවට පොරොන්දු වීය.
නමුත් දැන් මෛත්‍රී රජය පවසන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු හෙයින් ඉදිරි මහ මැතිවරණයට පෙර එය කළ නොහැකි බවයි.
මෙම ස්ථාවරය ගැනීම ජනතා පරමාධිපත්‍යය යළි පිහිටුවන බවට මෛත්‍රී රජය ජනතාවට දුන් පොරොන්දුව බරපතළ ලෙස කඩ කිරීමක් වනු ඇත. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමෙන් තොරව හුදෙක් ජනාධිපති තනතුරේ බලතල කප්පාදු කිරීමෙන් පමණක් ජනතා පරමාධිපත්‍යය යළි ස්ථාපිත කළ නොහැක්කේය. ප්‍රජාතන්ත්‍රවාදය සැබෑ ලෙස තහවුරු කළ නොහැක්කේය. ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙන්නට නම් මහින්ද රාජපක්ෂ රජය කළාක‍් මෙන් හුදු කුමන හෝ මැතිවරණ පැවැත්වීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවෙයි. අපට අවශ්‍ය කෙරෙන්නේ තමන්ට සෘජුව වග කියන නියෝජිතයන් ඡන්දයෙන් පත් කර පාර්ලිමේන්තුවට පත් කර යැවීමට 1978ට පෙර මෙරට ජනයාට තිබුණු අවස්ථාව යලි ලබා ගැනීමටයි. පාර්ලිමේන්තු ක්‍රමය තුළ ජනතා පරමාධිපත්‍යය රැකෙන්නට නම් මේ පියවර ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය ය.
-
එය කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍ය නම් එය පවත්වමු. වැදගත් වන්නේ දින සියය කෙසේ හෝ පියමං කිරීම නොවේ, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ මූලික මැතිවරණ පොරොන්දු වූ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම සඳහා වූ වැදගත්ම යෝජනා දෙක වන විධායක ජනාධිපති ක්‍රමයෙන් පාර්ලිමේන්තුවට වග කියන ක්‍රමයකට මාරු වීමත් ඡන්ද කොට්ඨාශ පදනමින් මන්ත්‍රීවරුන් පත් කර ගැනීමට ජනතාවට හැකි වන මැතිවරණ ක්‍රමයකට මාරු වීමත් මහ මැතිවරණයකට යාමට පෙර ක්‍රියාත්මක කිරීම යි.
එසේ නොවුව හොත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස තෝරා පත් කර ගනිමින් ඔහු කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය බරපතල ලෙස පළුදු වනු ඇත.
තමන් රටට දුන් යහපත් අරමුණු ඉටු කිරීම සඳහා යහපත් නොවන මාර්ග තෝරා ගැනීමට යාමේ අවස්ථාවකට මෛත්‍රීපාල සිරිසේන රජය පත් වෙමින් සිටියි. තමන් ගේ අරමුණු ඉටු කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය කෙසේ හෝ අවශ්‍ය වන හෙයින් ඒ සඳහා අවශ්‍ය මාර්ග වලට එළඹීමට රජයට බල කෙරී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ම පිළිගෙන තිබේ. ඉන් ප්‍රධාන දෙය නම් බලයෙන් පහ කෙරුණු දූෂිත රජයේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් ගේ සහයෝගය ලබා ගැනීම සඳහා ඔවුන් සතුටු කිරීම අරමුණු කොට විවිධ සහන සැළසීම සහ වරදාන ප්‍රධානයයි. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම කල් දමන්නේ තම යහපත් අරමුණු ඉටු කිරීම සඳහා අපේක්ෂා කරන බලය නව ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ තමන්ට නොලැබෙනු ඇත යන බියෙන් නම් ඊළඟ මහ මැතිවරණයෙන් පසු මැතිවරණ ක්‍රමය වෙනස් නොකෙරෙන තැනකට යළි අප තල්ලු වී ගිය හොත් එය අරමුණ විසින් මාර්ගය යුක්ති යුක්ත කරන තැනට යොමු වීමෙන් අවසානයේදී අරමුණ පරාජය කිරීමට ඉඩ සැළසූ තවත් අවස්ථාවක් ලෙස ඉතිහාසගත වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සඳහා වන ජනතා අරගලය තවත් වටයකට කල් යනු ඇත. ජනතා විමුක්ති පෙරමුණ වැනි සමානුපාතික ක්‍රමය යටතේ වැඩි වාසි අත්වනු ඇති පක්ෂද මේ බව වටහා ගත යුතුය