Saturday, April 20, 2024

යෝෂිත රාජපක්ෂ පැන්නේ ජවිපෙ ලිපියට බයේ

හිටපු ජනාධිපති රාජපක්ෂ පුත් යෝෂිත රාජපක්ෂ අද අලුයම ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරක්ෂක ලේකම්වරයාට යවන ලද ලිිපියකට බියෙන් බව දැනගන්නට තිබේ.
එම ලිපියෙන් ජවිපෙ කියා සිටින්නේ නාවික හමුදාවේ ලූතිනන් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව විමර්ශනයක් පැවැත්වෙමින් තිබියදී ඔහුට නිවාඩු අනුමත කර විදේශ ගත වීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පල කරමිනි. එමෙන්ම රාජකාරියේ යෙදී සිටින අතරතුර දේශපාලනයේ සහ වානිජ් ව්‍යාපාරයන්හි යෙදීම සම්බන්ධයෙන් යෝශිත රාජපක්ෂට එරෙහිව පියවර ගන්නා ලෙස ද එමගින් ඉල්ලා සිට තිබේ.

එම ලිපිය මෙසේ ය:

ආරක්ෂක ලේකම්තුමා
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය,
15/5, බාල දක්ෂ මාවත,
කොළඹ-03

ලේකම්තුමනි,

    නාවික හමුදාවේ ලූතිනන් යෝෂිත රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල

බස්නාහිර පලාත් සභා මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස හා බස්නාහිර පලාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල වන අප විසින් 2015 ජනවාරි 25 දින නාවික හමුදාවේ ලූතිනන් යෝෂිත රාජපක්ෂට එරෙහිව කරුණු 13ක් යටතේ චෝදනා ඔබ වෙත ඉදිරිපත් කළෙමු. ඒ සඳහා නාවික හමුදාපතිවරයා මගින් නිසි විමර්ශනයක් සිදුකරන බව ඔබ විසින් එම අවස්ථාවේ අප වෙත දැනුම් දෙන ලදී.

ඔහුට එල්ල වී ඇති චෝදනා විමර්ශනයට නාවික හමුදා නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කළ බවත්, එහෙත් කැඳවනු ලැබූ කිසිදු දිනක එම කමිටුව හමුවේ සාක්ෂි දීමට ලූතිනන් යෝෂිත රාජපක‍ෂ සහභාගී වී නැති බවත් අප වෙත දැනගන්නට ලැබී ඇත. එම කමිටුව පත්කර දැන් සති දෙකක කාලයක් ඉක්ම ගොස් ඇත.

මෙසේ විමර්ශනයක් පැවැත්වෙමින් තිබියදී සහ අදාල පුද්ගලයා තවම චූදිතයකුව සිටියදී පෙබරවාරි 09 සහ 15 අතර කාලය තුළ පෞද්ගලික සංචාරයක් සඳහා ලූතිනන් යෝෂිත රාජපක‍ෂ රුසියාවට ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. එය ඔහුගේ පෞද්ගලික සංචාරයක් බවත් ඒ සඳහා ඔබගේත් නාවික හමුදාපතිවරයාගේත් අනුමැතිය ලැබුණු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක‍ෂ මහතා වැඩිදුරටත් මාධ්‍ය වෙත පවසා තිබුණි.

නාවික හමුදාවේ මෙන්ම සාමාන්‍ය රාජ්‍ය සේවයේ ක්‍රමවේදය අනුව මෙවන් පෞද්ගලික සංචාරයක් සඳහා මාස 3කට ප්‍රථම ඉල්ලූම් කළ යුතුව ඇත. එම ඉල්ලීම අංශ ප්‍රධානී, අධ්‍යක්ෂ (පිරිස්), අධ්‍යක්ෂ ජනරාල් (පිරිස්), නාවික හමුදාපති මගින් ආරක‍ෂක ලේකම්වරයා වෙත යොමුකළ යුතුව ඇත. එසේම ආරක‍ෂක ලේකම්වරයා වෙත එම ඉල්ලීම අවම වශයෙන් විදෙස් සංචාරයට දින 7කට පෙර ඉදිරිපත් කළ යුතුව ඇත.

නිසි ක්‍රමවේදය මෙසේ තිබියදී, හමුදා නිලධාරීයෙකුට එරෙහිව විමර්ශනයක් පැවැත්වෙමින් තිබියදී ඔහුට නිවාඩු අනුමත කිරීම බලවත් වරදක් බව බැලු බැල්මට පෙනේ. නාවික හමුදා නිලධාරියෙකුට පෞද්ගලික සංචාරයකට නොව විවාහ ගිවිසගැනීමකට පවා පූර්ව අවසරක් ගත යුතුව තිබියදී වෙනත් හමුදා නිලධාරීන්ට නැති වරප්‍රසාදයක් ලූතිනන් යෝෂිත රාජපක‍ෂට ලැබුණේ ඔහු හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයා නිසාදැයි ඔබ විසින් රටට පැහැදිළි කළ යුතුව ඇත.

නාවික හමුදාවේ කීර්ති නාමයට කැළලක් ලෙසට කටයුතු කළ, එනිසාම නාවික හමුදා සෙබළුන්ගේ හා නිලධාරීන්ගේ ධෛර්යය හා ආත්ම විශ්වාසය පළුදු වන ලෙස හැසිරුන ලූතිනන් යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳ මහජන නියෝජිතයන් ලෙස අපගේ බලවත් කණස්සල්ල පළකර සිටිමු.

නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වන බව පෙන්නුම් කිරීම යහපාලනයක සැළකිය යුතු මූලධර්මයක් බවද වැඩිදුරටත් සඳහන්කර සිටිමු.

මෙයට
වෛද්‍ය නලීන්ද ජයතිස්ස
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී

Archive

Latest news

Related news