Tuesday, July 16, 2024

විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන් අහෝසි නොකරන්නැයි බලපෑම් – ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

වාමාංශික පක්ෂ දෙකේ නායකයන් ඡන්දෙන් පස්සේ කටයුතු කරන ආකාරය විශාල ප‍්‍රශ්නයක්. මට කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකර සහෝදරයා සහ තිස්ස විතාරණ සහෝදරයයි මුණගැහුණා ඒ දෙන්නා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මුණ ගැසී එන අවස්ථාවක. ඒ වෙලාවේ ඩිව් ගුණසේකර සහෝදරයගෙන් මම ඇහුවා ”අපේ නම් දිගටම පාක්ෂිකත්වය තහනම් කරනවා. ඔයගොල්ලන්ගේ විසම්මුතික පිරිස ගැන මොකද කියන්නේ?” කියලා. ඔහු කිව්වා

”නෑ නෑ අපිට ඒක ලොකු ප‍්‍රශ්නයක් නෙවෙයි. අපි මුල ඉඳලාම කිව්වා එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවට නගින්නේ නැතිව ඕනේ දෙයක් කරගන්න කියලා. අපි මේක අවබෝධයෙන් කෙරුවේ.”

කෙප්ප
ඔහු කියන්නේ අමුලික බොරු. ඒ අතින් අපේ නායකයෝ ඊටත් වඩා බොහොම අවංකයි. ඒ ගොල්ල කියනවා මේ අයව ආපහු පක්ෂයට ගන්නේ නැහැ කියලා. බොහෝම පැහැදිලිව තැන් කිහිපයකම ඒක කියලා තියෙනවා. එය එසේ නම් අපට දේශපාලනය කරන්න වෙනත් තැනක් අවශ්‍යයයි.

සමසමාජ පක්ෂයෙන් අපි 13 දෙනෙක් එළියට දාලා තියෙනවා. ඉතිරි අය තමයි තීරණ ගන්නේ අප තියාගන්නවද නැත්ද කියලා. තිස්ස විතාරණ සහෝදරයා කියනවා මුළු ඡුන්දයම ගෙන ගියේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයකට කියලා. මෛත‍්‍රිපාල සිරිසේනත් ඒ කුමන්ත‍්‍රණයේ කොටස්කාරයෙක් කියලා.

තිස්ස විතාරණ ප‍්‍රසිද්ධියේම කිව්වා මෛත‍්‍රිපාල සිරිසේන ජාතික ඖෂධ පනත ගේන්න කිසිම උනන්දුවක් දැක්වුයේ නැහැ කියලා. ඡුන්දයෙන් පසු ප‍්‍රකාශයක් කරලා සමාජවාදී ජනතා පෙරමුණ කියනවා ඇමරිකාව සහ එහි සගයන් විසින් ජාති හා ආගම් සුළු ජන කොටස් නොමඟ යවමින්, රාජ්‍ය නොවන සංවිධානවල සහය ද ඇතිව මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීම අපගේ බලවත් කනස්සල්ලට හේතුවක් කියලා. එහෙම කියලා දවස් දෙක තුනකට පස්සේ ඔහු ගිහින් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හම්බවෙනවා. සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය වෙන වෙනමත් ගිහින් ජනාධිපතිවරයා හම්බවුණා. තමන්ට වාහන ගන්න, තමන්ගේ උපදේශක උපදේශිකාවෝ දිගටම තියාගන්න. එහෙම කටයුතු කරමින් ගිය සතියේ යටියන්තොටට ගිහින් තිස්ස විතාරණ කියනවා අපිට තැන් 13ක් ලැබිලා තියෙනවා ඡන්දේ ඉල්ලන්න කියලා. මේවා අමුලික බොරු. ඒ ගැන කිසිම සාකච්ඡාවක් වෙලා නැහැ.

දැන් මේ මිනිස්සු කිසිම විළිලැජ්ජාවක් නැතිව කෝට් එක අනික් පැත්ත ඇඳගෙන අපිව දේශපාලනයෙන් ඉවත් කරන්න හදනවා. ඒ නිසා අපි ඒක සළකා බැලිය යුතුයි. කොමියුනිස්ට් පක්ෂයේ සාහෝදරයෝ ලොකු විශ්වාසයකින් ඉන්නවා අභ්‍යන්තරව ප‍්‍රශ්න විසෙ`දයි කියලා. නමුත් සම සමාජ පක්ෂය ගැන මට ලොකු විශ්වාසයක් නැහැ.

අපි අද ජනාධිපතිවරයා හමු වුනු වෙලාවේ කියා සිටියා වාමාංශික පක්ෂය ලෙස අපිව පිළිගන්න කියලා. ජාතික විධායක සභාවට අපේ නියෝජිතයන් පත්කරමු කියලා. මම දැක්කා වික‍්‍රමබාහුත් පත්කරලා තියෙනවා. සාමාජිකයන් හතරක් ඉන්න වික‍්‍රමබාහුට පුළුවන් නම් ජාතික විධායක සභාවේ ඉන්න වමේ පක්ෂයේ සාමාජිකනුත් සිටිය යුතුයි. එය ජනාධිපතිතුමාගේ අවධානයට යොමු වුණ බව පෙනුණා.

ලැජ්ජා නැතිකම
හෙට අනිද්දා තීරණාත්මක දවසක් එනවා. අපේ සාමාජිකත්වය තහනම් කිරීම තහවුරු වුණොත් මාස ගණනක් තිස්සේ ඕක ඉවත් කරන්නේ නැහැ. අපේ අත් බැඳලා දාලා දැන් ඒ අය ලැජ්ජා නැතිව සිරිසේනගේ පිටිපස්සේ එල්ලෙන්නයි හදන්නේ. ඩිව් සහෝදරයාගේත් වැඩි වෙනසක් නැහැ.

ව්‍යවස්ථා සම්පාදන දේශපාලන කමිටුවට දැනටමත් බලපෑම් එල්ල වෙලා තියෙනවා විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු නැහැ කියලා. ජාතිවාදී කොටසක් වැරදි අර්ථකතනයක් දෙන්න උත්සහා කළා. දූෂණ පිළිබඳ කමිටු පත්කරලා තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙන වේගයෙන් ඒවා කෙරෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ පීඩනය දිගටම රැගෙන යන්න ඕනේ.

අවස්ථාවදී ලෙස මහින්ද රාජපක්ෂ පිටිපස්සේ ගිහින් එයාගේ ගුණ ගායනා කරපු අය, ඒ ජාතිවාදී මඩගොහොරුව එකතු කරලා විමල් වීරවංශලාත් එක්ක එකට මාධ්‍ය හමු තියපු මිනිස්සු දැන් ලැජ්ජා නැතිව යනවා ජාත්‍යන්තර කුමන්ත‍්‍රණය නියෝජනය කරනවා කියා ඒ අය හ`දුන්වා දුන්නු මෛත‍්‍රිපාල සිරිසේනගේ පිටිපස්සේ. මේ ගැන අවබෝධයෙන් කටයුතකු කරමින් අපි වමේ කේන්ද්‍රයේ කටයුතු ඉදිරියට ගෙනියන්න අවශ්‍යයයි. දීර්ඝ කාලයක් තිස්සේ වමේ ප‍්‍රතිපත්ති දේශපාලනය කළ අපි ඉදිරියටත් ඒ දේශපාලනය වෙනුවෙන් කටයුතු කරන්න තැනක් හදාගත යුතුයි.

(ලිපියේ මුල් ශීර්ෂ පාඨය: තිස්ස-ඩිව් විළි ලැජ්ජාවක් නැතිව කෝට් එක අනික් පැත්ත ඇඳගෙන)

-‘ඉදිරිය‘ පෙබරවාරි 08 කලාපයෙනි

Archive

Latest news

Related news