Friday, April 19, 2024

වාසුදේවගේ මහින්දාගමනය යක්ෂාවේශයකි – සුනන්ද දේශප්‍රිය

( දේශය කාටූනයෙනි)

වාසුදේව නානායක්කාර අවසානයේදී හැව අර තිබේ. දැන් ඔහුගේ සැළැස්ම රාජපක්ෂ විධායක අගමැති ලෙස බලයට ගෙන ඒමට ය. ඒ සඳහා ඔහුට අපූරු හවුල්කරුවෝ දෙදෙනෙකු සිටිති. ඒ අවස්ථාවාදයෙන් අගතැන් පත් වීරවංශ සහ ගම්මන්පිල ය. මෙම පෙරමුණට එක් වන බව කියන දිනේශ් ගුණවර්ධන මහතා එවැනි ජරා දේශපාලනඥයකු නොවේ.

‘මහින්දාගමනයට ඔබ සූදානම් ද’ යනුවෙන් රුස්වීම් මාලාවක් පැවැත්වීමට මෙම හවුල දුන් සූදානම් වෙයි. එය ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය යි. එමෙන්ම එම කුම්භාන්ඩයන් හෙළිදරව් කිරීම අපේ ප්‍රාජාතන්ත්‍රීය අයිතිය යි.

මහින්දාගමනය යනු මෙරට ආගමික සංකල්පකි. එනම් මෙරටට බුදු දහම ගෙන ආ බවට කියැවෙන මිහිදු හිමියනගේ පැමිණිම ය. එවැනි ආගමික සංකල්පක් පෙරටු කර ගනිමින් රාජපක්ෂ යළි බලයට ගෙන ඒමට දැරෙන තැත අනීවාර්යයෙන්ම හැරෙනු ඇත්තේ හුදෙක් සිංහල බෞද්ධ ජාතිකවාදී දේශපාලනයක් දෙසට ය. වාසුදේවට ද සිදුවනු ඇත්තේ සාදුකාර දෙමින් කුම්භාන්ඩ පෙරහැරේ ගමන් කිරීමට ය.

මෙම රාජපක්ෂවාදී කුම්භාන්ඩ දේශපාලනඥයින්ට අවශ්‍ය කරන්නෙ කුමක් ද?

අපි කළකට පෙර විප්ලවාදියකු ලෙස ද ඊට පසු ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස ද පෙනී සිටි මෙම වාසුදේවම උදාහණයකට ගමු. ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව පවසයි. 17 වන සංසෝධනය බලාත්මක කර ස්වාධීන කොමිෂන් සභා පිහිට විය යුතු බව පවසයි. උතුරු නැගෙනහිර සිවිල් පාලනය පිහිටුවිය යුතු බව පවසයි. නමුත් ඒ ප්‍රතිසංස්කරණ සියල්ළ හිමින් සීරුවේ කර ගෙන යමින් සිටින ආන්ඩුව පෙරළා දමා රාජපක්ෂ බලයට ගෙන ආ යුතු බව පවසයි. ඔහුගේ වචන ඔහු හෙළිදරව් කරයි. මෙන්න ඔහු කියන දෙය: ‘මහා මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට නම් මහින්ද රාජපක්ෂ එය මෙහෙය විය යුතු ය.’ අවශ්‍ය වෙන කිසිවක් නොවේ. ජයග්‍රහණය කිරීමය. මන්ද යත් එවිට යළි ඇමැතිකමේ රස විදිය හැකි නිසා ය.වාසුදේවට ඇති එකම ප්‍රශ්ණය බව පෙනෙනේනේ තමාට ඇමැතිකම නැති කම විතර ය. මන්ද යත් වත්මන් පාලනය යටතේ වාසුදේවට ආතක් පාතක් නැති නිසා ය. විරවංශ සහ ගම්මන්පිල ඊට වෙනස් නැත. ඔවුන්ගේ එකම උවමනාව තමන්ට දේශපාලන බලය ලබා ගැනීමයි.

මෙම දේශපාලන කුම්භාන්ඩයන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් සිය නිවයේ සිට පුවත්පත් සාකච්ජාවක් කැදවූ රාජපක්ෂ කියා ඇත්තේ යළි දේශපාලනයට පිවිසීමට අදහසක් නැතත් තමාට සහාය දුන් දේශපාලන පක්ෂ අතරමං වන්නේ නම් තමා මහා මැතිවරණයේ දී එම බලවේගයන්ට නායකත්වය දීමට ඉදිරිපත් වන බවයි.

අප මෙම වර්ධනය සුළු කොට නොතැකිය යුතු ය. මන්ද යත් විමල්- ගම්මන්පිල- වාසු කල්ලිය පිට සිට ළදරු ප්‍රතිසංස්කරනවාදී ආන්ඩුව පෙරළීමට දරන තැතට ශ්‍රිලනිපය ඇතුලේ සිට නිමල් සිරිපාල සහ අනුර යාපා වැනි පිරිස් ක්‍රියාකාරී සහයෝගයක් දෙන නිසා ය.

රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු සිංහල බෞද්ධ ජාතිවාදී දේශපාලන ව්‍යාපරයක් ජූනි මාසයේ දී පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේ ප්‍රධාන විපක්ෂය බවට පත් වුව හොත් එය විසින් ශ්‍රී ලංකාව යළි අගාධයක් කරා ඇද දමනු ඇත. මන්ද යත් එවැනි දේශපාලනයක් විසින් ශ්‍රී ලංකාවෙහි මෙරට ජනවාර්ගික බෙදීම් බිය ජනක මට්ටමකට ඉහළ නැංවිය හැකි නිසා ය.

අමාත්‍ය ජෝන් අමරතුංගට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාශ භංග යෝජනාව මෙම සැළැස්මේම කොටසකි. අප්‍රේල් මාසයට පෙරම තමන් යළි බලයට පත් වන බවට අනුර යාපා දැන් වහසි බස් දොඩවන්නේ එනිසා ය.

මෙම විශ්වාශ භංග යෝජනාව ජයග්‍රහණය කිරීමට නිමල් සිරිපාල – ප්‍රියදර්ශණ කණ්ඩායම සමත් වුව හොත් එමගින් මෙම කුම්බාන්ඩ බලවේග පෙරේත බලයෙන් ඉදිමෙන්න්ට ඉඩ තිබේ. එමෙන්ම වෙනසක් අපේක්ෂවෙන් රාජපක්ෂ මර්දනය හමුවෙහි ජනාධිපතිවරණයෙහි අරටුව ලෙස ක්‍රියා කළ රටපුරා සිටින ක්‍රියාධර පිරිස් අඩපණ විමට ද ඉඩ තිබේ. එමෙන්ම ජනාධිපති සිරිසේන සභාපතිත්වය දරන පක්ෂය එනම් ශ්‍රීලනිපය ඔහුගේම ආන්ඩුවේ ඇමැතිවරයකුට එරෙහිව විශ්වාශ භංග යෝජනාවක් ගෙන ඒමෙන් රාජපක්ෂ විරෝධී කඳවුර මහත් අවුලකට පත්වීමට ද ඉඩ තිබේ.

මෙම ජෝන් අමරතුංග සිදුවීම ළදරු ප්‍රතිසංස්කරණවාදී ආන්ඩුව මුහුණ දෙන තීරණාත්මක අභියෝගයක සංකේතයකි. ජෝන් අමරතුංග කර ගෙන ඇත්තේ ඉල්ලං කෑමකි. ඔහු ශ්‍රිලනිපයට එරෙහිව දේශපාලන ත්‍රස්තවාදය මුදා හැර තිබේ. පොලීසියට ද බලපැම් කර තිබේ. අඟුරු මෙළවූවෝ චන්ඩ ගිනිදැල් පැතිය යුතුවාක් මෙන් ඔහු විශ්වාශ භංගයට මුහුණ දී පරාජය වුවහොත් ඇමැතිකමින් ඉවත් විය යුතු ය.

දෙමසකින් විසුරුවා හැරීමට නියමිත පාර්ලිමේන්තුවක ඇමැතිවරයකු මෙළෙස හැසිරෙන විට පස්වසරකට බලයට පැමිණය හොත් කොහොම හිටිවිද යන ප්‍රශ්ණය ඇත්ත එකකි.

ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ තේරුම් ගත යුතු කාරණය නම් හුදෙක් දින සියයේ වැඩ සටහන පමණක් නොව සිය දේශපාලනඥයින්ගේ හැසිරීම ද ඊළග මහා මැතිවරණයේ දී තීරණාත්මක වනු ඇති බවයි. ජනාධිපතිවරණයෙහිදී මෙරට මහා ජනයා දැක් වූ සාධනීය දේශපාලන ක්‍රියාකාරිත්වය මහා මැතිවරණයේ දී ඊටත් ඉහළ මට්ටමකට ගෙන ඒමට නම් ආන්ඩුව යහ පාලනය සහ නීතියේ ආධිපත්‍යය යළි පිහිටුවා ඇති බව ප්‍රායෝගිකවම පෙන්නුම් කළ යුතු ය.

කෙටියෙන් කියන්නේ නම් ජොන් අමරතුංග වර්ගයේ ගොන්පාට් නොදා සිටිමට වග බලා ගත යුතු ය. එපමණක් ම නොවේ. පසුගිය දා ජනාධිපති සිරිසේන සමඟ සන්නස්ගල පැවැත්වූ රූපවාහිණී සාකච්ජාව  දේශපාලනඥයින් ප්‍රශ්ණ කිරීමේ සම්ප්‍රදාය වෙනුවට ඩැශ් ගැසීමට බෝලය උඩ දමන වර්ගයේ එකක් බවටත් විවේචන තිබේ.

ශ්‍රී ලංකාවේ භාවිත භාෂා තුනෙන්ම පුවත්පත් පළ කරන ලේක් හවුසියේ සියලු කතුවරුගේ අධ්‍යක්ෂ වශයෙන් පත් කර ඇත්තේ අඩුම වශයෙන් භාෂා දෙකක හෝ ප්‍රවීණත්වයක් ඇති අයකු නොව දේශපාලන හෙංචයියෙකි. රූපවාහිනී සංස්ථාවට සෝමරත්න පත් කිරීමෙන් ප්‍රතිස්ස්කරණවාදී කලා සහ සංස්කෘතික බලවේග දුර්මුඛ කිරීම තවමත් එහෙම ය.

වෙනසක් ඇතිව පවත්වන ලද නමුත් මෙවර නිදහස් උත්සවයේ දී හමුදා සංදර්ශණයට නායකත්වය දුන්නේ රාජපක්ෂ සට්ටැමියකු සහ පොන්සේකා විරෝධියකු වු නිලධාරියෙකි. එබැවින් පොන්සේකා නිදහස් උත්සවයට සහභාගි වූයේ ද නැත.

දැනටමත් එක් ඇමැතිවරයකු අනවශ්‍ය ඇඟිළි ගැසීම් නිසා ධූරයෙන් ඉවත් වන බවට ද වාර්තා පළ වී තිබේ.

මෙවැනි දුබලතා මගින් සිදු වන්නේ ප්‍රතිසංස්කරණවාදී කඳවුර දුර්වල වී රාජපක්ෂවාදී බලවේග සඳහා අලුත් අවකාශයන් නිර්මාණය වීම ය. මෙවැනි තත්වයන් ඇති නොවිමට වග බලා ගැනීම ප්‍රතිසංස්කරණවාදී බලව්ගයන්හි වගකීමයි.
රාජපක්ෂ විසින් වරදාන මගින් ගොඩ නගන ලද දූෂණයේ සහ භිෂණයේ යාන්ත්‍රණය සෑම ක්ෂේත්‍රයකම මුල් ඇද ඇති බලගතු එකකි. එය දින සියයකින් විනාශ කළ නොහැක. සීත සමයෙහි නිදි වදින හිම වළසුන්මෙන් මේ යාන්ත්‍රණයේ බලගතු පිරිස් දැන් නිහඩ ය. ඔවුන් ඊනියා  ‘මහින්දාගමනයට’ යළි සූදානම් වන්නේ සීත සමය අවසන් වූ පසු මරු විකළෙන් මෙන් ගොදුරු සොයා යන අර හිම වළසුන් මෙන් දඩයමේ යෑම පිනිස ය.

ප්‍රතිසංස්කරණවාදි ආන්ඩුවෙහි පරාජය අපේක්ෂා කරන බලවේග දෙකක් සිටිති. එකක් දේශීය රාජපක්ෂවාදී බලවේගයි. අනෙක එල්ටීටීඊ හිතවාදී දෙස් විදෙස් බලවේගයි. ජනාධිපතිවරනයේ දි දෙමළ ජනයා ජන්දය පාවිච්චි කිරීමෙන් වැළැක්වීම දරන ලද උත්සාහය සහමුලින්ම අසාර්ථක වීමෙන් පසු මෙම දෙස් විදෙස් එල්ටීටීඊ හිතවාදී පිරිස් දැන් යෙදි සිටින්නේ ප්‍රතිසංස්කරණවාදි ආන්ඩුවෙහි වැරදි සෙවීමෙහි ය. දෛවයේ සරදමකට මෙන් රාජපක්ෂවාදී භීෂණකාරි බලවේග සහ එකී බලවේග සිටින්නේ එකම අපේක්ෂාවක ය.

වාසුදේවගේ සහ විමල් වීරවංශගේ ‘මහින්දාගමනය’ නමින් පෙනෙන සුන්දර දෙය නොව යක්ෂාවේශයක් බව මෙරට මහා ජනයාට අවබෝධ කැරෙන මතවාදී දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීම අද දවසේ අභියෝගයක් වන්නේ මෙම දේශපාලන පසුබිම තුළ ය. මෙම ‘යක්ෂාවේශයට ඔබ සූදානම් ද’ ප්‍රචාරයකයින් විසින් පිළිතුරු දිය යුතු ප්‍රශ්ණ අප විසින් සමාජ ගත කළ යුතු ය.

ආන්ඩුවේ වැරදි සහ දුබලතා පෙන්වා දෙන අතරම ප්‍රතිසංස්කරණවාදී දේශපාලන බලවේග මෙම ‘යක්ෂාවේශයට ඔබ සූදානම් ද’ ව්‍යාපාරය පැරදවීම සඳහා පෙරමුණ ගැනීම ඉතා වැදගත් ය. මන්ද යත් අන්ඩුව තුලින්ම මතු විය හැකි යක්ෂයන් දමනය කළ හැකි සමාජ දේශපාලන බලවේගයක් බවට ද එය පත් වනු ඇති නිසා ය.

Archive

Latest news

Related news