Thursday, April 25, 2024

වෙනස ගැන උතුරේ ජනයා තෘප්තිමත්; දින 100ට උනන්දුවක් නෑ – සාමිනාදන් විමල්

(මිනිස්සු බය නැතිව උද්ඝෝෂන කරනවා; ඒක හොද ළකුණක්)

ජනාධිපතිවරණයෙන් පසු නව ආණ්ඩුව පිළිබඳ උතුරේ විශ්වාසය  යහපත්ද?

යහපත් තලයක තියෙනවා. දකුණේ ජනතාව වගේම උතුරේ ජනතාවත් වෙනසක් බලාපොරොත්තු වුණා. ඒ වෙනස සිද්ධ වුණා.ඒ දේ යහපත් ප‍්‍රවණතාවක් ලෙස උතුරේ ජනතාව පිළිගන්්නවා. තෙල් මිල පහළ බස්සනකොට ඒක දකුණට වගේම උතුරේ ජනයාගේ ජන ජීවිතයටත් වාසියක්. දූෂණ අක‍්‍රමිකතා කතා කරනකොට උතුරත් ඒ ගැන උනන්දුයි. වත්මන් ආණ්ඩුව දුෂිතයන්ට දඬුවම් දෙයි කියලා උතුර බලාපොරොත්තු වෙනවා. ඒවා ඉටු කිරීම හරහා දකුණේ වගේම උතුරේ ප‍්‍රසාදයටත් ආණ්ඩුව ලක්වෙනවා ස්ථිරයි.

උතුරේ ආණ්ඩුකාර ධුරයට නව ආණ්ඩුව සිවිල් පරිපාලකයෙක් පත් කරනවා. උතුරේ ජනයා ඊට කැමති ද?

ඒක මේ ආණ්ඩුව ගත්ත හොඳ තීන්දුවක්. උතුරේ මිනිස්සු ඒකට කැමතියි. ඒ වගේම අවතැන් වූ පිරිස් නැවත පදිංචි කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීන්දුවටත් දෙමළ ජනයා කැමතියි. මේ උතුරට විශේෂිත තත්ත්වයන්. මේ දේවල් නිසා උතුරේ ජනතාව ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් ඇති කරගෙන තියෙනවා.

දින සියයේ වැඩසටහන ගැන උතුරේ ජනයා උනන්දුද?

නැහැ. උතුරේ ජනතාවට ඒක එතරම් අදාළ කාරණයක් නෙමෙයි. මොකද ඒ තුළ උතුරට බලපාන විශේෂ කාරණා නැහැ. විශේෂයෙන්ම බලය බෙදීම වගේ කාරණා ඒ තුළ අඩංගු නැහැ. ඒ නිසා දින සීයේ කරුණුු පිළිබඳ උතුර සැලකිලිමත් නැහැ. ජනාධිපතිවරණයට පෙර වගේම ජනාධිපතිවරණයට පසුත් උතුරේ ප‍්‍රධාන කරුණක් වන ජනවාර්ගික ගැටලූව සම්බන්ධව ප‍්‍රාණවත් බවක් දකුණ තුළ දෙමළ ජනයා දකින්නේ නැහැ. ඒ නිසා මේ දින සීයේ වැඩසටහන උතුරට අදාළම නැහැ.

ආණ්ඩු මාරුවීමත් සමග උතුරේ ජන ජීවිතය වෙනස් වෙලාද?

මම හිතනවා වෙනස්වෙලා කියලා. ඒකට කදිම උදාහරණය තමයි යාපනයේ විදුලිබල සපයන ආයතනයක කළු තෙල් කවලම් වී ඒවා පානීිය ජලයට මුසුවීමට එරෙහිව උද්ඝෝෂණයක් පැවැත් වෙනවා. මේක හොඳ ප‍්‍රවණතාවක්. ඒ තුළින් අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ඉස්මතු වෙලා තියෙනවා. මීට පෙර ජනතාව ජීවත් වුණේ විශ්වාසයකින් නෙමේ. ඒත් අද ජීවත්වීම පිළිබඳ විශ්වාසය ඇති වෙලා තියෙනවා. කොටින්ම මේ ජයග‍්‍රහණයත් එක්ක උතුරේ ජනතාව විශ්වාස කරන්න පටන් ගත්තා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නැගී සිටීමක් උතුරේ වගේම දකුණෙත් වුණා කියලා. ඒ නිසා උතුරේ අපි විශ්වාස කරනවා මේ ජයග‍්‍රහණය සැමගේ එකමුතුවක් ලෙස. ඒ අවබෝධය උතුරට තියෙනවා. අද උතුරටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ විශ්වාසය ඇතිවෙලා. නිරපරාදේ සිරභාරයට ගෙන සිටින චෝදනා නැති දෙමළ සිරකරුවන් ගැන විසඳුමක් මේ ආණ්ඩුව ලබාදෙයි කියලා උතුරේ ජනයා දැඩිව විශ්වාස කරනවා. කොහොමත් මේ වෙනස පිළිබඳ උතුරේ ජනයා තෘප්තිමත් කියලා හිතන්න පුළුවන්.

(ලේඛකයකුද වන සාමිනාදන් විමල් යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකි

– ravaya.lk

Archive

Latest news

Related news