Friday, April 26, 2024

මිත්‍යාවන් බිඳ හෙලූ ජයග්‍රහණය – රංජිත් හේනායකආරච්චි

( උඩි යටිකුරුවීම)

මිත්‍යාවට යටවීම හේතුවෙන් අනපේක්ෂිත මොහොතක කැඳවූ ජනාධිපතිවරණයක තීරණාත්මක සටනකින් ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් අයිතීන්, නීතියේ ආධිපත්‍ය, දූෂනයන් පිටු දැකීම වැනි තේමාවන් පෙරදැරිකරගෙන ඇතිකළ සන්ධානයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කර ඇත. එය ඉතිහාසීය වැදගත්කමක් ඇති ජයග්‍රහණයකි. ඒ රට ගිලී තිබූ හා තවදුරටත් පත්වෙමින් තිබූ විනාශකාරී තත්වය මෙතුලින් මොහොතකට නතරවන බැවිනි. නමුත් මෙවැනි තත්වයක් ඇතිකරමින් ජයග්‍රහණය කිරීම යනු පුද්ගලයින් මාරු කිරීමක් පමණක් නොවන බව අප තරයේ මතක තබා ගත යුත්තෙමු. මෙම ජයග්‍රහණය තුලින් සිදු වන්නේ විනාශ කාරී මාවතක ගිලී සිටි රට මොහොතකට එම ගමන නතර කිරීම පමනි. එය සැබෑ ජයග්‍රහණයක් කර ගැනීමට නම් වහාම ක්‍රියාත්මක වන අයුරින් ක්‍රියාමාර්ගයන්, වැඩපිලිවෙලවල් සකස් කර ගත යුතුය. මෙතෙක් රට ඇද වැටී තිබූ අගාධයට වැටීමට හේතුවූ කාරණයන් විමසා එම හේතු නැවත ඇතිවීමට නොහැකි වන යාන්ත්‍රණයක් ඇති කර ගත යුතුව ඇත.

කිසිම ජයග්‍රහණයකින් හිස් තෝන්තු කර නොගත යුතුය. එවිට සිදුවන්නේ තමන්ට අර පැරණි ක්‍රියාදාමය තුලම ගිලී යාමයි. විශේෂයෙන්ම දේශපාලන ජයග්‍රහණයකදී හිස් තෝන්තු කර ගැනීම රටකටම විනාශය කැඳවනු ලබයි. යුධ ජයෙන් හිස් තෝන්තු කර ගැනීම තුල මහින්ද, විමල් ඇතුළු කල්ලිය කරගනු ලැබුවේ එයයි.

මෙම ජයග්‍රහණය ලංකා සමාජයට කියා දෙන පාඩම් ගණනාවකි. මුලින්ම සමාජයට කියාදෙන වැදගත් පණිවිඩය වන්නේ මහින්දලා මෙන්ම තවත් බොහෝ දෙනෙකු සමාජගත කර තිබූ සීමාවක් නැති මිත්‍යා මත බිඳ හෙලනු ලැබීමයි. සාත්තරකරුවන්ගේ සාත්තර, ජ්‍යෙතිෂ්‍යකරුවන්ගේ අනාවැකි, කූඨ කට්ටඩියන්ගේ යාග හෝම, කේන්දර කරුවන්ගේ කේන්දර බැලීම්, අතේ කරේ එල්ලාගත් රන්සුර මෙන්ම රන්ගුලි මිරිකීම ආදී මෙකී නොකී මිත්‍යාවන්, මිත්‍යාදෘෂ්ඨීන් සියල්ලම මෙම ජයග්‍රහණය විසින් මොහොතකින් සුණු විසුණු කරනු ලැබීය. එමෙන්ම මෙම අනාවැකි, සාත්තර, කේන්දරවලින් රැවටී කළ මෝඩ ක්‍රියාව නිසා මහින්ද රාජපක්ෂට වසර 2 ක පාලන බලයද අහිමිකරවනු ලැබ ඇත. මෙයින් සෑම ලාංකීකයෙකුටම ඉගෙන ගැනීමට යමක් ඇත. මහින්දලා කේන්දර, අනාවැකි සහ යාගහෝම මෙන්ම සුභ නැකත් අනුව ගත් සියලු තීරණයන් ජනතාවගේ තීරණය හමුවේ සුණු විසුණු වී ගොස් ඇත. එනිසා මෙම ජයග්‍රහණය මෙම මිත්‍යාවන් සියල්ල බිඳ දමා ඇත. එය රටේ ජන සමාජයට කියාදෙන වැදගත්ම පණිවිඩයයි.

අනෙක් අතට වැදගත්ම දෙය වන්නේ ලංකා සමාජය ගැන ප්‍රතිබිම්භයක් මෙම ඡන්දය තුලින් ලබා දී තිබීමයි. මෙහිදී සිංහල සමාජයෙන් හරි අඩක්ම තවමත් අගතියට එරෙහිවීමට, දූෂනය පිටු දැකීමට බොරුව, වංචාව සහ ජාතිවාදී ප්‍රචාරයන් පිටු දැකීමට සූදානම් නැති බව පෙන්වා ඇත. එමෙන්ම ඔවුන් තාමත් බඩගෝස්තරවාදය එනම් සුළු සුළු සන්තෝසම්, තෑගි ලැබීම් ආදිය යටපත්වීමෙන් මිදී නැති බවයි. යහපාලනය, යුක්තිය, මිනිස් අයිතීන්, ප්‍රජාතන්ත්‍රවාදය හෝ නීතියේ ආධිපත්‍ය වැනි දේ ඔවුන් තමනට රජයේ මුදලින් තෑගි ලෙස ලබාදෙන භාණ්ඩයකට හිලව් කරන තත්වයක්ද පෙන්වයි. එමෙන්ම සිංහල සමාජයක ඉගෙන ගැනීමට හොඳ ආදර්ශයක් රටේ කුඩා ජන කණ්ඩායම් මෙම ජයග්‍රහණය සහතික කරමින් ලබාදෙනු ලැබේ.

මෙම ජනාධිපතිවරණයේදී මහින්ද ඇතුළු කල්ලිය හැකි උපරිමයෙන්ම ජාතිවාදය ඉතා පහත් තුච්ඡ අයුරකින් ප්‍රචාරය කරමින් එය තමන්ගේ වාසිය සඳහා යොදා ගනු ලැබීය. අවසාන මොහොත දක්වාම මහින්ද, විමල්, එස්.බී., ඩලස් වැනි ලැජ්ජා විරහිත මිනිසුන් මේ ජරා ජාතිවාදය නැමැති අශූචි වලට පැන එහි දියබුං ගැසීය. ඒවාගේම පොදු අපේක්ෂක ඇතුළු විපක්ෂය සුළුතර ජනතා ණ්ඩායම්වල අයිතීන් තහවුරු කිරීමක් ගැන කතා කිරීමටද මැලිවිය. එසේ නැත්නම් බිය විය. සුළුතර  ජන කණ්ඩායම්වල අයිතිය වෙනුවෙන් කිසිවෙකු (සිවිල් සමාජයේ ඉතා ටික දෙනෙකු හැර) හඬක් නොනැගූ තරම්ය. එහෙත් විශාල ලෙස ඡන්ද මධ්‍යස්ථාන වෙත යමින් මුළු රටටම ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සඳහා මෙම කුඩා ජන කණ්ඩායම් තම ඡන්දය පාවිච්චි කරමින් ඔවුන් රටටම ආදර්ශයක් සපයා ඇත. ඡන්දය යනු බත්පතට, සාරියකට හෝ බයිසිකලයකට වැනි දේකට ලඝුකර නොගෙන සමාජයක මිනිසුන්ගේ වුවමනාවන් අනුව මෙහෙයවීමට යොදා ගැනීමටමිනිසෙකු සතු අයිතිය බව ඔවුන් වටහාගෙන ඇති බව ලංකා සමාජයට පෙන්වා ඇත. ඉගන ගන්නේ නම් සිංහල සමාජයට මෙය හොඳ ඉගැන්වීමකි. නිදහස ලැබූ දා සිටම හාල් සේරුවකට, කරෝල කෑල්ලකට, සරමකට හෝ කම්බායකට තම ඡන්දය හිලව් කර දුන් සිංහල සමාජයට ඡන්දයේ වටිනාකම ඉගන ගන්නවානම් මෙය ඉතා හොඳ අවස්ථාවකි.

මෙම ජයග්‍රහණය තුල තවත් වැදගත් පණිවිඩයක් සමාජ ගතවනු ලබයි. බලය, ප්‍රචන්ඩත්වය කොතරම් ඉහල ආකාරයකින් යෙදුවා වුවත් අවසානයේදී ජනබලය හමුවේ මේ සියල්ල යටවී යන බවයි. දූෂනය, වංචාව වැනි දේවලට සදාකල් පැවැත්මක් නොමැති බවත් මෙතුලින් සනාථ කරනු ලබයි.

මිත්‍යාවන් බිඳ හෙලමින් ලබා ඇති මේ ජයග්‍රහණයක් බවට පත්කර ගැනීමට නම් අපට ක්ෂණිකව මෙන් දීර්ඝකාලීනව කළයුතු බොහෝ දේ තිබේ. මේ ලැබූ ජයග්‍රහණය නැවත ආපස්සට හැරවීම වලක්වා ගැනීමට ක්‍රමවේදයන් සහ යාන්ත්‍රණයන් යොදා ගැනීම වැදගත් වේ. මේ අතරින් වහාම ක්‍රියාත්මක කළයුතු කාරණා ගණනාවකි. නීතියේ ආධිපත්‍ය නැවත ස්ථාපති කිරීම, ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු පදවියේ නැවත පිහිටවීම, රාජ්‍ය දේපළ යටමඩි ගැසීම, ඒවා අනිසි ලෙස පුද්ගල උවමනාවන් සඳහා යොදා ගැනීම වැනි දේ පිළිබඳව සොයා බලා එම වැරදිවලට සමබන්ධ පුද්ගලයින් නීතියේ ඉදිරියට පැමිණ වීමට ක්‍රමවේදයක් සකස් කර ගැනීම. පසුගිය කාල වකවානුවේ ජරාජීර්ණ කර ඇති පොලිස් සේවාව ප්‍රතිසංස්කරණය කර දූෂ්‍ය වී ඇති නිලධාරීන්ට දඬුවම් පැමිණවීම, ව්‍යවස්ථාවේ වෙනසක් සඳහා ක්‍රියාමාර්ගයන් සකස් කර ඒවා ක්‍රියාවේ යෙදවීම ඇරඹීම, සාපරාධී ලෙස වෙන්කර ඇති ජන කණ්ඩායම් අතර ඇති සහජීවනය ඇති කිරීම සඳහා සියළුම ජනකණ්ඩායම් අයිතීන් තහවුරුවන වැඩ පිලිවෙලකට ක්‍රියාදාමයක් ඇරඹීම.

 

රාජිත් හේනායකආරච්චි

 

 

 

 

 රංජිත් හේනායකආරච්චි

Archive

Latest news

Related news