Tuesday, April 23, 2024

වව්නියාවේ යුද හමුදා කදවුරක දේශපාලන රැස්වීම්

(ශ්‍රි ලංකා කමාන්ඩෝ් භට පිරිසක් යුද උත්සවයකදි වර්ණ ගැන්වූ අහස පසුබිමෙහි ඇතිව ගමන් කරති; රොයිටර් ජායාරූපයකි)

ජනාධිපතිවරණයේදී රජයට සහය ලබාගැනීම සඳහා දේශපාලන කටයුතුවලට යුද හමුදා නිලධාරීන් යොදාගැනීම තුළ ජනාධිපතිවරණය පිළිබදව දැඩි සැක සහිත තත්ත්වයක් උද්ගතවී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂක රජිත් කීර්ති තෙන්නකෝන් ප්‍රකාශ කරයි.

ඔහු මේ බව පැවසුවේ රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ ප්‍රදේශීය දේශපාලනඥයින් පිරිසක් දෙසැම්බර් 16 වෙනිදා වවුනියාවේ යුදහමුදා කදවුරකදී දේශපාලන රැස්වීමක් පැවැත්වීම සම්බන්ධයෙන් එම සංවිධානයට ලැබුණු තොරතුරු පිළිබදව විමසූ අවස්ථාවේදීයි.

දේශපාලන රැස්වීම්

තවදුරටත් අදහස් දැක්වු රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටියේ වවුනියාවේ පමණක් නොව දිවයිනේ පළාත් කිහිපයකම යුද හමුදා නිලධාරීන් දේශපාලන රැස්වීම් පවත්වා ඇති බවයි.

මීට අමතරව රජයට සහාය දැක්වීම පිණිස යුද හමුදා අණුඛණ්ඩ කීපයක්ම දිවයිනේ විවිධ පළාත්වල පිහිටුවා ඇති බවද ඉන් සමහරක් ආගමික ස්ථානවල පිහිටුවා ඇතැයිද ඔහු කියා සිටියේය.

මේ පිළිබදව තම සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළ බවද මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඒ සම්බන්ධයෙන් පියවර ගනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහාවූ ව්‍යාපාරය නගන චෝදනාව සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගෙන් තොරතුරු විමසූ විට ඔහු කියා සිටියේ එවැනි පැමිණිල්ලක් තම කාර්යාලයට ලැබී ඇති බවයි.

පරීක්ෂණයක්

එම පැමිණිල්ල වවුනියාව තේරීම් බාර නිලධාරියා ඇතුළු අවශ්‍ය නිලධාරීන් වෙත යොමු කොට එවැනි රැස්වීමක් පැවැත්වූයේද යන කාරණය ගැන පරීක්ෂණයක් පවත්වන බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

ප්‍රාදේශීය වශයෙන් සිදුවන මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් සෘජුවම අදාල පළාතේ තේරීම්බාර නිලධාරියා වෙත පැමිණිලි ඉදිරිපත් කරන්න්නේනම් පරීක්ෂණ කටයුතු වඩා ඉක්මන් වන බවද ඔහු පැවසුවේය.

කෙසේ වෙතත් මොනම හේතුවක් මතවත් යුද හමුදා කදවුරක් තුළ දේශපාලන රැස්වීමක් පැවැත්විය නොහැකි බව කී මැතිවරණ කොමසාරිස්වරයා ඉදිරිපත්වී ඇති සියලුම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද වැඩිදුරටත් සඳහන් කළේය
දිනසේන රතුගමගේ වවුනියාවේ සිට
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/12/141217_army_election

Archive

Latest news

Related news