Friday, March 29, 2024

වෙනසක් කරමු! මිනිස්කම රජයමු!! හිසටයි උදරයටයි දැනෙන විදිහට!!!

අපට වෙනසක් අවශ්‍ය යි. වෙනසකට රට ලැහැස්ති යි. ජන ගග භීෂණයෙන් දූෂණයෙන් පිරුනු රාජපක්ෂ පාලනය පිසදා දෙගොඩ තලා යන්න හැඩ වෙනවා.

ඇයි, අපට වෙනසක් අවශ්‍ය?

අපට මිනිස්සු විදිහට ගරුත්වයක් ඇතිව බයක් නැතිව කාලා බිලා යහතින් යහපත්ව ජීවත් වෙන්න ඕන නිසා.

මිනිස් ජිවිතයක් කියන්නේ වටිනා දෙයක්. ඒ වටිනාකමට සරිලන පරිසරයක් නිර්මානය කරන එක තමයි

ආන්ඩුවක රාජකාරිය.

ආර්ථික සෞභාග්‍යය සහ යහ පාලනය කියන්නේ එකම කාසියේ දෙපැත්ත. මිනිස්කම රැකෙන්න ඒ දෙපැත්තම ඕනෑයි.

ඒත් මොනවද මේ ආන්ඩුව කරන්නේ?

ඇමැතිවරුම සීයකට වැඩියි. ලෝකයේ ජනගහණය අනුව වැඩිම ඇමැතිවරු ඉන්න රට තමයි මේ අපේ පුංචි රට. මහින්ද අමරවිර කියන ඇමතිතුමා පසුගිය 25වෙනිද කියල තිබුණ ‘අපි දැන් ඇති තරම් හම්බ කරගෙන ඉන්නේ. අපට වෙන ඕනෙ නෑ ඒ නිසා අපිම පත් කරොත් දූෂණ වංචා නවතීවි’ කියළ.

අනෙත් අතට ඇමැතිවරුම සියක් හිටියත් රටේ අයවැයෙන් සීයයට 54ක් පාලනය කරන්නේ රාජපක්ෂ පවුල. ඇමැතිකමක් කියන්නේ පරම්පරාවකට හම්බ කර ගන්න දෙන දේශපාලන අල්ලසක්.

රජතුමාගෙ පුතෙක්ගේ සපත්තු දෙක විතරක් එක් ලක්ෂ පනස් දාහයි. ඔරලෝසුව ලක්ෂ හතරක්ලු. යන්නේ කෝටි ගනන් වටින

ලැම්බෝගිනි කාර්වල. රජ පවුලේ දරුවන්ගේ මෝටර් බයිසිකල් රේස් යන්නේ කොළඹ රටේ පාරවල් වහල අපේ සල්ලි වලින්.

මොන ජනාධිපතිවරය ද මේ විදියෙ පවුල් පාලනයක් ඇති කරේ කියළ ටිකක් හිතල බලන්න.

ජනාධිපතිවරයාගේ නම අහසේ පා කිරීමට ආරම්භ කළ මිහින් ලංකා නම් ගුවන් සේවය පටන්ගත් දා සිට 2014 දක්වා රු. කෝටි 1200ට වැඩි පාඩුවක් තියෙනවා. ඒ විතරක් නොවෙයි. මෙන්න කෝප් කමිටු වාර්තාව ඒ ගැන කරන සටහන. ”මිහින් ලංකා වැනි ආයතනවලට ප‍්‍රාග්ධනය නොමැතිකම නිසා සහ අවශ්‍ය කාලරාමුව තුළ මහා භාණ්ඩාගාරයේ ප‍්‍රතිපාදන නොලැබීම නිසා සිය ව්‍යාපාරයන්ට ආයෝජනය කිරීමට අවස්ථාව අහිමිවී තිබුණි. මෙය, මෙම ආයතනයන්ට පවත්නා ගැටළු තවත් උග‍්‍ර තත්වයට පත් කරමින් ඉහළ පොලී අනුපාතිකයන් යටතේ ණය ගැනීමට සලස්වා තිබේ.”

මේ නිරපරාද සල්ලි පාසැල් අධ්‍යපනය දියණු කරන්න යෙදෙව්ව නම් කොච්චර දෙයක් ද? නම අහසේ යවන්න රු.කෝටි 1200 විසි කරන්නේ මොන රටේ ද?

ලංකාවේ තියෙන්නේ හම්බන්තාට කියන රජ පවුලේ දිසාව විතර ද? ගුවන් පාලම්ම දුසිම් ගානක් දාන්න යනව. මැස්සො වාහන ගුවන් කොටුපලයි, හාල් මැස්සෙක්වත් එන්නැති වරායයි වේලෙන අන්තර් ජාතික සම්මන්ත්‍රණ ශාලාවයි ..

තව මොනවද නැත්තේ? කෝ ලංකාවේ අනෙක් පළාත්වලට යටිතල සංවර්ධනයක්?

හම්බන්තොටට වක්කරපු නිරපරාද ධනස්කන්ධය ගැන වෙනම කතා කරන්න ඕනෙ.

ජනාධිපතිට අදාළ වියදම විතරක් දවසකට කෝටි දෙකයි. උපදේශකයොම 50ක් විතර.

මේකද රටක සංවර්ධනය කියන්නේ‍්? චීන්නුන්ට විතරක් රුපියල් කෝටි 81,000ක් ණය යි. රාජපක්ෂ සංවර්ධනය කියන්නේ පවුල් සංවර්ධනය සහ ණය සංවර්ධනය.

අධිවේගී පාරවලුත් හදන එක ඇත්ත. ඒත් ඒ පාරවල් වලට අවශ්‍ය ප්‍රමාණයට වඩා දෙතුන් ගුණයක ධනස්කන්ධයක් යට කරල ඒවා යටි මඩි ගහ ගන්න කොට මොකක්ද රටකට යන කළ දවස. යටි මඩි ගහන සල්ලි ගෙවන්න පටි තද කර ගන්න වෙන්නේ අපට.

රුපියල් කෝටි 3900 ක් ඒ කියන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 209ක් වියදම් කරළ හදපු හම්බන්තොට මත්තල ගුවන්

තොටුපළේ      මාසික ආදායම රුපියල් 16,000 යි. ගුවන් තොටුපල හැදුවෙ ගරානාවට. ආර්ථිකයට ඕන නිසා නොවෙයි.

මත්තල ගුවන් තොටුපල වගේ දෙතුන් ගුණයක්ටත් වඩා විශාලයි ජපන් ආධාරයෙන් කටුනායක ගුවන් තොටේ ඉදිවෙන දෙවැනි පර්යන්තය. ඒත් වියදම මත්තලට වඩා අඩුයි. රුපියල් කෝටි 3000යි.

කොහොම ගැහිල්ලක් ගහන්න ඇත් ද? මෙන්න තවත් එකක්.

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 25.8 ක දුර ප්‍රමාණය ඉදිකරන්න රු. කෝටි 4500.7 ක්‌ (ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක්) වැය කරා. ඒ කියන්නේ එක්‌ කිලෝමීටරයක්‌ ඉදිකිරීම සඳහා රු. කෝටි 180ක්‌ . 2012 නොවැම්බර් මාසයේ දි කෙන්යාවේ කිලෝමීටර් 50 ක් දිග මේ වගේ දෙගුණයක පාරක් විවෘත කරා. ඒ සඳහා වැය වුනේ ඇමරිකානු ඩොලර් මිලියන 360 යි. එහි දිග පළල මීට වඩා දෙගුණයක්. චීන සමාගමක්‌මයි හැදුවේ. ඒකෙ කිලෝමීටරයක වියදම වියදම රු. කෝටි 97 යි. ඒත් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ එක්‌ කිලෝමීටරයක්‌ හදන්න රුපියල් කෝටි 180 ක්‌ ගිහින්.
කෙහොම ගැහිල්ලක් ගහන්න ඇත්ද? කිලෝමීටරයකින් කෝටි 100ක් විතර ගසා කාපු ආන්ඩුවක් මේක.

මේ අමතර සල්ලි යන්නේ‍් අර අමරවීර ඇමැති කියපු විදිහට පාලක කල්ලියට හම්බ කරන්න. ඉතිං මේ සල්ලි ගෙව්න්නේ කව්ද? කොමිස් ගරානාව පාලකයින්ට. බදු ගෙවන්නේ අපි. දන්නවද හැම සීනී කිලෝවක්ම ගන්න කොට අපි ආන්ඩුවට රුපියල් 30ක් බදු ගෙවන බව?

රාජපක්ෂ ආන්ඩුව බලයට ආ 2005 දි සිගරට් අරක්කු බදු රු. කෝටි 2700යි. අද ඒ වගේ දෙගුණයකටත් වැඩි වුනා. 2012 දි විතරක් ආන්ඩුව රු. කෝටි 5360ක් ගත්ත සිගරට් අරක්කු බදු විදිහට. මේ බදු මහජනයගෙන් ගන්න සල්ලි. මතට තිත කියළ බේගල් ඇද බාන මේ ආන්ඩුව දුවන්නේ මිනිසුන්ට සිටරට් අරක්කු පොවල.

බඩ මිල අහසට යන්නේ රොකට් වේගෙන්. ඉතිං කීයක් අතට ගත්තත් මදි! දාහෙ කොලයක් වාෂ්ප වෙන්න සුරුස් ගාල. යුද්දේ ඉවරවෙලා පස් අව්රුද්දක් ගියත් හිසටයි උදරයටයි දැනෙන සංවර්ධනයක් නැත්තේ ඔන්න ඔය දූෂණ නිසා. වැරදි ආර්ථික සැළසුම් නිසා.

රාජපක්‍‍ස ‍‍‍ණයගැති පාලනය
රාජපක්‍‍ස ‍‍‍ණයගැති පාලනය

කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝ මිටරයකින් රු. කෝටි සියයක් විතර ගසා කාපු ආන්ඩුව 2014 වර්ශයේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට වෙන්කළේ රු. කෝටි 120යි. ක්‌ පමණයි. ඒ කියන්නේ කාන්තාවන්ගේ සහ ළමයින්ගේ සංවර්ධනය වෙනුවෙන් අව්රුද්දකටම ලැබුනේ කොළඹ – කටුනායක මාර්ගයේ කිලෝමීටරයක්‌ සඳහා වැය කළ මුදලටත් වඩා අඩු මුදලක්.‌ පාරක් හදන්න කොමිස් ගහගෙන එක් අදිවේගී මාර්ගයක් හදන්න රු. කෝටි 4570 ක් වැය කරපු ආන්ඩුව 2014 රටේම අධ්‍යාපනයට වියදම් කළේ ලක්ෂයකට වැඩි ගුරු පරපුරේ වැටුප් ද ඇතුළුව රු. කෝටි 3800 ක්‌ පමණයි.!

අධ්‍යාපනයට අවම මුදලක් වියදම් කරන දකුණු ආසියාවේ රට ලංකාව. සෞඛ්‍ය සේවය දවසෙන් දවස පිරිහෙනවා. ගමනාගමනයත් ඒ වගේම ගිනි ගනන්.
මෙන්න මේ නිසයි හිසට දැනෙන සංවර්ධනයක් නැත්තේ. ආර්ථික මූලිකත්වයන් එහෙම පිටින්ම පටලවාගෙන.

රස්සාවක් ගන්න නම් දේශපාලකයො පස්සේ යන්න ඕන. සුදුසුකමට රස්සාවක් නෑ. රස්සාවක් ලැබුනත් ලැබෙන ගාන අතපල්ලෙන් යනව.

ඒ විතරක් නොවෙයි. රවේ තිබුණ සියළු ස්වාධීන රාජ්‍ය ආයතන දේශපාලනීකරණය කරළ. ඒකයි සුදුස්සාට නියම තැන නැත්තේ. පොලීසිය අද රාජපක්ෂ පාලනයේ බළල් අතක්. අධිකරණ ස්වාධීනත්වය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරානි බන්ඩාරනායකත් එක්කම බලෙන් ඉවත් කරල දාල.

පසුගිය කාලය පුරාම ආන්ඩුවේ අන්තවාදී බළල් අත් සිය වස් ගණනාවක් සාමයෙන් ජීවත් වූ මුස්ලිම් ජනයාටත් ඔවුන්ගේ ආගමික ස්ථානවලටත් අනේක හිරිහැර එල්ල කරා. යුද්දෙන් පස් අව්රුද්දක් ගිහිල්ලත් දෙමළ මිනිස්සුන්ට නිදහසේ ජිවත්වෙන්න පරිසරයක් නැහැ.

දකුනට නැති නිදහසක් උතුරට කොහෙන්ද?

ආන්ඩුවේ අව්රුදු දහයක් විතරම ඉදළ එලියට බැහපු ගමන් අතුරලියේ රතන හාමුදුරුවන්ගේ පන්සල අල්ල ගන්න මැරවරයො එව්ව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අව්රුද් 40කට වඩා හිටපු ජේෂ්ඨයෙක් වන මෛත්‍රීපාල සිරිසේන එලියට බැහැපු ගමන් ඔහුට බෙහෙත් මාෆියාව කියළ පහර දෙනව. ඔහුගේ ආරක්ෂාව ඉවත් කරළ. ඒ උනාට ඇමැති මර්වින්ගේ මදාවි පුතාටත් ක්ලබ්ගානේ නටන්න යන්න එස්ටීඑප් ආරක්ෂාව. යුද හමුදාපති සරත් පොන්සේක බොරු නඩුවකට හිරේ දාල විශ්‍රාම වැටුප් කපල තරැ පටි ගැලෙව්ව. ඒ උනාට ප්‍රභාකරන්ගෙන් පස්සේ එල්ටීටීඊ නායකය වුන කේ.පි. රජ සැප දිගෙන කියාගෙන ඉන්නව. නැගෙනහිර දි පොලිස් නිලධාරින් 600ක් මරන්න අණ දීපු එල්ටීටීඊ දෙවැනියා වුන කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙක් කරල ඇමැතිකමකුත් දීල. යුද්දේ කරපු ජෙනරල්වරු දුසිම් ගානක් ගෙදර යැව්ව.

වංචාවයි දූෂණයි ඉව වහා ගිහින්. ගොවියට සහනාධාර නෑ. සේවයට වැඩි පඩි නැහැ.

සරසවි දරුවො හැමදාම මහමඟ අයිතීන් දිනා ගන්න. අධ්‍යාපනයට සෞඛයට නිසි තැනක් නෑ.

ආන්ඩුව දෙදරලා. විපක්ෂය නැගිටලා. එක්සත් ජන ගංගාව තවත් වර්ණවත් කරමු. මනසටත් ඇගටත් දැනෙන වෙනසකට මඟ පාදමු.

ඉතිං මේ තමයි වෙනසකට වෙලාව. යහ පාලනයයි ආර්ථික සංවර්ධනයයි එකට ගමන් කරවන අලුත් වෙනසක් ඇති කරමු. රට හදමු. මේ අදහස් පතුරවමු. වපුරමු. ජනවාරි 08 දා අස්වැන්න කපා ගමු.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ජන්දය දෙමු.
ජයවේවා

( ප්‍රජාතන්‍ර්වාදි මහජන මණ්ඩපය විසින්්  බෙදා හරිනු ලබන අත් පත්‍රිකාවකි)

Archive

Latest news

Related news