Thursday, April 18, 2024

මාධ්‍ය නිදහස රැක ගැනීමේ කෙටි කාලීන යෝජනා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් මෛත්‍රීට

අද එනම 16වන  අඟහරැවාදා නිදහස්් මාධ්‍ය ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපංල සිරිසේන මහතා හමුවි ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස යළි තහවුරු කිරීම පිණිස අවශ්‍ය වන කෙටි කාලින පියවර අඩංඟු ලියැවිල්ලක් ඒ මහතාට පිරිනමන ලදි. එම ලියවිල්ල පහක පළවේ.

ශ්‍රී ලකාවේ මාධ්‍ය නිදහස

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොදු විපක්ෂය වෙත ඉදිරිපත් කරන කෙටි කාලීන යෝජනා..

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට, 17 වන සංශෝධනය යළි බලාත්මක කිරීම, වඩා යෝග්‍ය මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීම සහ මහජනයා පෙළෙන ආර්ථික දුෂ්කරතාවයන්ට සහන ලබා දීම ප්‍රථම දින සියයේ වැඩ සටහන වශයෙන් ඇතිව එළඹෙන ජනාධිපතිවරණය සඳහා තරඟ කරන විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට නිදහස් මා‍ධ්‍ය ව්‍යාපාරය දැනටමත් සිය සහයෝගය පළ කර තිබේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ අත්සන් කරන ලද පොදු එකඟතා ගිවිසුමෙහි නිල කොටස්කරුවකු ද වෙයි.

පසුගිය වසර ගණනාව පුරා මෙරට බරපතල ලෙස ඛාදනයකට ලක් වූ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ නිදහස පදනම් කර ගත් මාධ්‍ය නිදහස ආරක්ෂා කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙනු ලබන වත්මන් ආන්ඩුවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නැවත නැවත කරන ලද ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. එනමුත් එම ඉල්ලීම් ජනාධිපති ප්‍රමුඛ ආන්ඩුව විසින් සහමුලින්ම නොසළකා හැර ඇති බැවින් තෙවන ජනාධිපතිධුර කාලයක් සඳහා තරඟ වදින රාජපක්ෂ මහතාට යළිත් එවැනි ආයාචනයක් කිරීමෙන් ප්‍රතිපලයක් වෙතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කල්පනා නොකරයි.

එබැවින් ජනාධිපතිවරණයෙන් ජය ගැනිමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුව විසින් ප්‍රථම දින සියය තුළ මෙරට මාධ්‍ය නිදහස යම් තරමකට හෝ තහවුරු කරනු පිණිස නිදහස් මා‍ධ්‍ය ව්‍යාපාරය පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කරන ලෙස යෝජනා කරයි.

1. තොරතුරු නිදහස

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් ප්‍රඥාප්තිය සහ ශ්‍රි ලංකාන්ඩුවේ ව්‍යවස්ථාව විසින් පිළිගෙන ඇති, මහ ජනයාගේ අනුලංඝනීය අයිතියක් වන තොරතුරු දැන ගැනීමේ නිදහසට ගරු කරන බවට සංකේතාත්මක ප්‍රතිචාරයක් වශයෙන් 2004 පෙබරවාරි මාසයේ දී අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් අමාත්‍ය මංඩලය විසින් අනුමත කරන ලද තොරතුරු නිදහසේ පනත බලාත්මක කළ යුතුය. එහිලා ජනමාධ්‍යවේදී සංගම්, ජනමාධ්‍ය කතුවරුන් සහ ජනමාධ්‍ය හිමිකරුවන් නියෝජනය කරන ශ්‍රී ලංකා ජනමාධ්‍ය ආයතනය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටී.

2. දණ්ඩ මුක්තිය අහෝසි කිරීම

17වන සං‍ශෝධනය බලාත්මක කිරිමෙන් පසු ස්වාධීන ආයතන වශයෙන් ස්ථාපිත විය යුතු ආයතනයක් වන මානව හිමිකම් කොමිසම වහාම පසුගිය දස වසර තුළ මෙරට සිදුවූ ජනමාධ්‍යවේදීන් ඝාතනයන් සහ ‍ එල්ල වූ ප්‍රහාරයන් මෙන්ම ජනමාධ්‍ය ආයතනයන්ට එල්ල කරන ලද ප්‍රහාරයන් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් ආරම්භ කළ යුතු අතර ඒ සඳහා මානව හිමිකම් කොමිසමෙහි විශේෂ කාර්යාංශයක් ආරම්භ කළ යුතුය. රාජ්‍ය ආරක්ෂක සහ බුද්ධි අංශ විසින් මේ සම්බන්ධයෙන් සොයා ගෙන ඇති තොරතුරු ලබා ගැනීමට මානව හිමිකම් කොමිසමට අවස්ථාව ලබා දිය යුතු ය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය යෝජනා පොදු විපක්ෂ ජනාධිපතිවරයාට බාර දිම
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය යෝජනා පොදු විපක්ෂ ජනාධිපතිවරයාට බාර දිම

3. මාධ්‍ය ස්වාධීනත්වය

මහ ජනයාගේ තොරතුරු දැන ගැනීමේ නිදහස සාක්ෂාත් වන්නේ ජනමාධ්‍ය ආචාර ධර්ම මත පදනම් වූ සත්‍ය ගරුක සහ සමබර විවිධත්වයෙන් යුතු මාධ්‍ය සංස්කෘතියක පැවැත්ම විසිනි. එහිලා සංඛේතාත්කම සහ ආරම්භක පියවරක් වශයෙන් රාජ්‍ය පාලනය යටතේ ඇති මුද්‍රිත සහ විද්‍යුත් ජනමාධ්‍ය නිර්-දේශපාලනීය කර මහජන සේවා ජනමාධ්‍ය පිළිවෙත යටතේ පවත්වා ගෙන යෑමට පියවර ගත යුතු ය. ව්‍යවස්ථා වෙනස්කම් වලින් අනතුරුව පැවැත්වෙන මහා මැතිවරණයක දී රාජ්‍ය පාලිත ජනමාධ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාගේ නිර්දේශ අකුරටම ක්‍රියාත්මක කරන බවට වග බලා ගත යුතු ය.

4. මාධ්‍ය වාරණය අහෝසි කිරීම

පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය භයංකාර ස්වයං වාරණයක ගිලී ගිය බව ප්‍රසිද්ධ කරුණකි. සත්‍ය ගවේශණය සහ සත් වාර්තාකරණය අද මරණිය තර්ජන ලඟා කර ගැනිමක් බවට පත්ව තිබේ. මෙම තත්වය වෙනස් කිරිමේ සංකේතාත්මක සහ හදිසි පියවරක් වශයෙන් වත්මන් රජය විසින් නිල සහ නිල නොවන අන්දමින් වාරණය කර ඇති සියළු වෙබ් අඩවි නිදහස් කළ යුතු ය.

5. සමාජ වගකීම

ජනමාධ්‍ය නිදහස, සමාජ වගකිමෙන් බැදි සිටිය යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පිළිගනී. සමාජ වගකීම ජනමාධ්‍ය ආචාර ධර්ම විසින් ප්‍රකාශයට පත්වෙයි. අසත්‍ය තොරතුරු මත පදනම්ව පුද්ගලයින්ට අපහාස කිරීම ජනමාධ්‍ය නිදහස ඇතුලින් කා දමන පිලිකාවක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සළකයි. එවැවින් අගතියට පත් වන එවැනි පුද්ගලයින්ට සාධාරණය ඉටු කර ගැනීමට මඟක් සලසනු වස් කර්තෘ සංසදයේ ප්‍රධානත්වයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ද සහාය ඇතිව සකස් කරන ලද ශ්‍රී ලංකා ජනමාධ්‍ය ආයතනය විසින් පිළිගෙන ඇති වෘත්තීය ආචාර ධර්ම මාලාව මත කටයුතු කරන ජනමාධ්‍ය පැමිණිළි කොමිසම හා ස්වෙච්‍ඡාවෙන් බැදෙන සේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සියලුම මුද්‍රිත, විද්‍යුත් සහ වෙබ් අඩවි අතුලත් නව මා‍ධ්‍ය කෙරෙන් ද ඉල්ලීමක් කරයි.

නව ජනාධිපතිවරයා යටතේ දින සියයේ ප්‍රතිසංස්කරණ අවසානයකට පැමිණීමෙන් පසු යෝජිත ජාතික ආණ්ඩුව විසින් ක්‍රියාවට නැංවිය යුතුයැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කල්පනා කරන දිර්ඝ කාලීන යෝජනා මාලාව, පසුව අනෙක් ජනමාධ්‍ය සංගම් ද සමඟ එක්ව ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමු.

මෙයට

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන්
සුනිල් ජයසේකර
කැදවුම්කරු

සම්පත් සමරකෝන්

ලේකම්

ලියැවිල්ල පිඩීඑෆ් විදිහය කියැවිමට FMM 2014 Proposals to Common Opposition

 

Archive

Latest news

Related news