Thursday, April 25, 2024

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 53 ක් ;ප්‍රචණ්ඩ ක්‍රියා 26 ක්; ගිණි අවි භාවිත කිරීම් 8 ක්

කැෆේ මැතිවරණ වාර්තා – 26

2014 දෙසැම්බර් 10 දින පෙ.ව. 6 දක්වා කාලසීමාව තුල ‍කැෆේ සංවිධානය වෙත මැතිවරණ පැමිණිලි 79 ක් ලැබී ඇත. ඒ අතර ප්‍රචණ්ඩ ක්‍රියා 26 ක් ඇතුළත් වෙයි. ගිණි අවි භාවිත කිරීමේ සිදුවීම් 8 ක් ද මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 53 ක් ද මීට ඇතුළත් වෙයි.

දෙසැම්බර් 9 වන දින අනුරාධපුර, මහනුවර, ගම්පහ දිස්ත්‍රික්ක වලින් සිදුවීම් වාර්තා වී ඇත.

අනුරාධපුර එජනිස ප්‍රා. සභා මන්ත්‍රීවරියට ප්‍රහාරයක්
අනුරාධපුර ගල්නෑව හුරිගස්වැව සුදර්ශනගම පවත්වාගෙන ගිය එජනිස මැතිවරණ කාර්යාලයකට දෙසැ. 9 දින ප්‍රහාරයක් එල්ල වී ඇත. හුරිගස්වැව ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන ඩබ්.එම්.සමන් නොහොත් පොට්ටයා ඇතුළු පිරිසක් මෙම ප්‍රහාරය සිදු කළ බව පැමිණිල්ලේ සදහන් වේ. පක්ෂ කාර්යාලයට පහරදීමේ සිද්ධිය සැලවීමත් සමඟ එම ස්ථානයට පැමිණි ගල්නෑව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීනි වී.කේ.සීලවති කුමාරිහාමි මහත්මියට මෙම කණ්ඩායම පහර දී ඇත. ඇය මේ වනවිට ගල්නෑව රෝහලේ ප්‍රතිකාර ලබයි. ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකුත් මේ දක්වා අත් අඩංගුවට ගෙන ඇත.

මහනුවර වැලිගල්ල එජනිසයේ ගැටුමක්
මහනුවර වැලිගල්ල එජනිස මැතිවරණ කාර්යාලයේ දී සන්ධාන ආධාරකරුවෙකුට ප්‍රහාරයක් එල්ල වී ඇත. දෙසැම්බර් 9 දින පස්වරුවේ සිදුවු මෙම පහරදීම සිදු කර ඇත්තේ ද එම කාර්යාලයේම අයෙකු විසිනි. මෙම ගැටුම සම්බන්ධයෙන් පහර කෑ පුද්ගලයා පේරාදෙණිය පොලිසියට ද, පහර දුන් පුද්ගලයා දවුලගල පොලිසියට ද පැමිණිලි කොට ඇත. තුවාල ලැබූ අය මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

චන්ද්‍රිකාගේ රැස්වීමක් පැවති හෝටලයට ප්‍රහාරයක්
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහභාගි වු රැස්වීමක් පැවති මහනුවර පල්ලෙතලවින්න ප්‍රදේශයේ හෝටලයක‍ට ඊයේ (9) පස්වරුවේ ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම රැස්වීම අවසන් වීමෙන් පසුව ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් මෙම හෝටලයට පහර දී ඇත. ප්‍රහාරයෙන් මෙම හෝටලයේ කාමර 21 ක ජනේලවලට හානි සිදුව ඇත.

බලහත්කාරයෙන් බස්වල ස්ටිකර්
බස්නාහිර පළාත් සභාවේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ වේලාසටහන්කරුවන් ගම්පහ දිස්ත්‍රික්කයේ පෞද්ගලික බස් රථ ගණනාවක බලහත්කාරයෙන් ජනාධිපතිවරණ ස්ටිකර් අලවන බව ‍සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැමිණිලි කරයි.

දිවයිනේ බෝහෝ ප්‍ර දේශයන් හි ධාවනය වන බස්රථවල මේ වන විට මැතිවරණයට තරග වදින අපේක්ෂකයින්ගේ ස්ටිකර් අලවා ඇත. මෝටර් රථ ආඥා පනතේ විධි විධාන අනුව ද, මැතිවරණ නීති අනුව ද මෙය නීති විරෝධී කටයුත්තකි.

ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගැනීමෙන් පසුව තවමත් දිවයිනේ කිසිදු ප්‍රදේශයක බැනර්, කටවුට් ඉවත් කිරීමක් සිදුවී නොමැත. පුත්තලම, හලාවත, ගාල්ල, මාතර, කුරුණෑගල, බදුල්ල, අනුරාධපුර, කලුතර, මතුගම, රත්නපුර නගරවල විශාල වශයෙන් නීති විරෝධී ප්‍රචාරක ද්‍රව්‍ය දැකිය හැකිය.

මාධ්‍ය ඒකකය/ කැෆේ සංවිධානය

Archive

Latest news

Related news