ඡායාරූපය: ඇම්නෙස්ටි ජාත්‍යන්තර විධායක කමිටුවේ සාමාජිකාවක් ලෙස (වමේ සිට 4 වැනියා) සූරියා වික්‍රමසිංහ 1977 දී ක්ෂමා ජ්‍යත්‍යන්තරය වෙත පිරිනැමුණූ නොබෙල් සාම ත්‍යාගය පිළිගැනීමේදී.
රී ලංකාවට මානව හිමිකම් සහ සමාජ සාධාරණය වෙනුවෙන් හඬ නැගූ නිර්භීත සහ නොසැලෙන හඬක් නිහඬව ගොස් ඇත. ශ්‍රී ලංකාවේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ (CRM) ලේකම්වරිය, ක්ෂමා ජාත්‍යන්තරයේ (Amnesty International) ජාත්‍යන්තර විධායක කමිටුවේ හිටපු සභාපතිනිය, දේශපාලන සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිර්භීත ක්‍රියාකාරිනියක් සහ අයිතිවාසිකම් අහිමි වූවන් වෙනුවෙන් නිහඬව නමුත් නොසැලී පෙනී සිටි සුරියා වික්‍රමසිංහගේ සමු ගැනීමත් සමඟ රට පුරා දිගු කාලීන රික්තයක් ඇති කර තිබේ. නීතිමය නිවැරදි බව, සදාචාරාත්මක පැහැදිලි බව සහ පෞද්ගලික ධෛර්යය යන ඇය සතුව තිබූ දුර්ලභ ගුණාංග, ඇගේ පොදු ජීවිතය පුරාම ඇය නොසැලී පවත්වා ගත්තාය.
අරගලයෙන් පන්නරය ලැබූ පවුලක්
සුරියා උපත ලැබුවේ ශ්‍රී ලංකාවේ විශිෂ්ට ප්‍රගතිශීලී පවුලකට දාව ය. එකල මගේ දේශපාලන දර්ශනවාදියා වූ ඇගේ පියා, දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ සහෝදරයා, 1943 දී පිහිටුවන ලද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ (අතීතයේ ලංකා කොමියුනිස්ට් පක්ෂය) නිර්මාතෘවරයා ද, ප්‍රධානතම නායකයෙකු ද විය. ඇයගේ මව වූ ඩොරීන් යං වික්‍රමසිංහ, 1930 දශකයේ ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික සමාජවාදී කාන්තාවකි. පසුව ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූ ඇය, බ්‍රිතාන්‍ය යුද හමුදා සාමාජිකයන් වෙනුවෙන් නොව දේශීය වුවමනාවන් උදෙසා අරමුදල් රැස් කිරීමට රන්වන් සූරිය මල් අලෙවි කළ “සූරිය මල් ව්‍යාපාරයේ” ප්‍රථම සභාපතිනිය ද වූවාය. පසුව විරෝධය දැක්වීමේ සහ කරුණාවේ සංකේතයක් බවට පත් වූ එම ව්‍යාපාරය සූරියා වෙත ඇගේ නම ලබා දුන්නේය. ඩොරීන් 1998 දී ශ්‍රී ලංකාවේ දෙවන උසස් තම සිවිල් ගෞරව සම්මානය, දේශමාන්‍ය යන නාමයෙන් පිදුම් ලැබුවාය. ඇගේ සහෝදරයා සුරේන් කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු විය. එම පරමාදර්ශී අරමුණු දශක ගණනාවක ප්‍රායෝගික මානව හිමිකම් ක්‍රියාකාරකම් බවට පත් කරමින්, සූරියා එම උරුමය දැඩි කැපවීමකින් යුතුව ඉදිරියට ගෙන ගියාය.
සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය (CRM): අනතුරට ලක් වන්නන්ට පලිහක්
CRM (සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ) දිගු කාලීන ලේකම්වරිය ලෙස, සූරියා එම සංවිධානය ශ්‍රී ලංකාවේ ඉතාමත් ම ප්‍රතිපත්ති ගරුක සිවිල් සමාජ හඬක් බවට පත් කළාය. එක් නීති විශාරදයෙකු විස්තර කළ පරිදි ඇය, කැරලි කෝලාහල, සිවිල් යුද්ධය, හදිසි නීතිය සහ දේශපාලන පෙරළි මධ්‍යයේ වුවද “හදිසි නීතියේ අත්තනෝමතික ක්‍රියාකාරකම්වලට එරෙහිව නැගී සිටි නිර්භීත සටන්කාමිනියක” වූවාය. මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ නිරීක්ෂණය කිරීම ඕනෑම සාම ගිවිසුමක මූලික හා සාකච්ඡා කළ නොහැකි අංගයක් විය යුතු බවට තර්ක කළ
මුල්ම කණ්ඩායම් අතර ඇයගේ නායකත්වය යටතේ පැවති සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය ද විය: “ඕනෑම දේශපාලන විසඳුමක අත්‍යවශ්‍ය අංගයක් ලෙස නීත්‍යානුකූලව මෙන්ම ප්‍රායෝගිකව ද ශ්‍රී
ලංකාව පුරා මානව හිමිකම් නිසි ලෙස තහවුරු කිරීම පැවතිය යුතු බව එම ව්‍යාපාරයේ ස්ථිර විශ්වාසය වූයේය. ” .
ඇය රාජ්‍ය ප්‍රචණ්ඩත්වය ලේඛනගත කළාය, ගැටුම් පවතින කාල සීමාවන් තුළ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මක වාර්තා ප්‍රකාශයට පත් කළාය. ගෝලීය හිමිකම් සංස්කෘතිය කෙරෙහි ඇය දැක්වූ බලපෑම හේතුවෙන් ‘වන් වර්ල්ඩ් ඇක්ෂන්’ (One World Action) ආයතනය විසින් ජාත්‍යන්තර මට්ටමින් හඳුනා ගත් නොපෙනෙන බලවත් කාන්තාවන් 100 දෙනාගෙන් එක් අයෙක් ලෙස ඇයව පිලි ගන්නා ලදි.
ක්ෂමා ජාත්‍යන්තරය සහ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම
1982 සිට 1985 දක්වා කාලය තුළ සූරියා, හෘද සාක්ෂියේ සිරකරුවන් (prisoners of conscience) වෙනුවෙන් වූ ලෝක ව්‍යාප්ත ව්‍යාපාරයේ කේන්ද්‍රය බවට පත් වෙමින්, ක්ෂමා ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර විධායක කමිටුවේ සභාපතිනිය ලෙස සේවය කළාය. ක්ෂමා ජාත්‍යන්තරය සමග ඇය කළ කටයුතු 1971 අප්‍රේල් නැගිටීමේ පසුබිම සමග තදින් ම බැඳී තිබුණි. එවකට හදිසි නීතිය යටතේ තරුණයන් දහස් ගණනක් ඝාතනය කෙරුණු අතර, හදිසි නීතිය සහ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා (CJC) පනත යටතේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් දස දහස් ගණනක්
සිරගත කර තබන ලදී. 1970 දශකයේ මුල් භාගයේ දී, චූදිතයන් ඇසුරු කිරීම පවා දේශපාලනිකව අවදානම් සහගත වූ වකවානුවක, ප්‍රකට නීතිඥයන් වූ එස්. නඩේසන් සහ ගුරුස්වාමි යන මහත්වරුන් සමඟ සූරියා අපරාධ යුක්ති විනිශ්චය කොමිසම හමුවේ පෙනී සිටිමින් සුසිල් සිරිවර්ධන සහ විරාජ් ප්‍රනාන්දු යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටියාය. එයඉතා නිර්භීත ක්‍රියාවකි.
1975 වසරේ දී, ක්ෂමා ජාත්‍යන්තරයේ ඉවොන් ටර්ලින්ගන් (Yvonne Terlingen) මෙනෙවිය සමඟ සූරියා, කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටි රෝහණ විජේවීර සහෝදරයා මුණ ගැසීමට
පැමිණියේය. දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය (CRM) ඒ වන විටත් ගෙන යමින් සිටි අරගලය තවදුරටත් තීව්‍ර කරන ලෙස ඉල්ලමින්, තමන්ගේ
අභියාචනය ක්ෂමා ජාත්‍යන්තරය වෙත ගෙන යන ලෙස රෝහණ, ඉවොන්ගෙන් ඉල්ලා සිටියේය.
ඔවුන් ඉතා ඕනෑ කමින් සහ අවධානයෙන් යුතුව සවන් දුන් බව විජේවීර පසුව මතක් කළේය.එකල සිරගත කරනු ලැබ සිටි පුද්ගලයෙකු වශයෙන් මම පසුව මෙසේ ලීවෙමි: "දේශපාලන
සිරකරුවන් නිදහස් කර ගැනීමේ අරගලය සම්බන්ධයෙන් ක්ෂමා ජාත්‍යන්තරය සහ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය අවංක ව කටයුතු කරන බව අපට විශ්වාස වූ අතර, ඒ පිළිබඳව අපි
ඔවුන්ට කෘතඥ වූයෙමු.
පෝරකයට එරෙහිව
මරණ දඬුවමට එරෙහිව සූරියා ගෙන ගිය අඛණ්ඩ ව්‍යාපාරය ඇයගේ සදාචාරාත්මක විශ්වාසයේ ප්‍රබලතම ප්‍රකාශනයන් අතර විය.ප්‍රවාද (Pravada) සඟරාවට ලිපියක් ලියමින් ශ්‍රී ලංකාව තුළ නීතිය අනුව එල්ලා මැරීම යළිත් ආරම්භ කිරීම අපේ රටේ ප්‍රගමනයට එරෙහිව තබන පසුගාමී පියවරක් වනු ඇති බවට ඇය තර්ක කළේය. මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවට ඉදිරිපත්
වන තර්ක ඇය ඉතා පැහැදිලිව ත්, තර්කානුකූලව ත් බිඳ දැමුවාය: එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙහෙයවන ලද ජාත්‍යන්තර පර්යේෂණ මගින් තහවුරු කර ඇති පරිදි එය අපරාධ
වැළැක්වීමේ සාර්ථක ක්‍රමවේදයක් නොවීම, යුක්තිය පසිඳලීමේ දී නොවැළැක්විය හැකි වැරදීම් සිදු වුවහොත් එම දඬුවම යළි නිවැරදි කළ නොහැකි වීම, දක්ෂ නීති නියෝජනයක් ලබා ගැනීමට
වත්කමක් නොමැති දුප්පත් අසරණ ජනතාවට ඉන් අසමානුපාතික ලෙස දැඩි අසාධාරණයක් සිදුවීම සහ එය, නූතන පුනරුත්ථාපන අධිකරණ ප්‍රවේශයන් සමඟ මූලික වශයෙන් නොගැළපීම
යන කරුණු ඇය එහි දී පෙන්වා දුන්නාය. පොලිස් පරීක්ෂණ කිසිසේත්ම දෝෂ රහිත නොවන බවත්, යුක්තිය පසිඳලීමේ අතපසුවීම්වලට වැඩිම ගොදුරු බවට පත් වන්නේ දුප්පත් ජනතාව
බවත් පෙන්වා දෙමින් නිර්දෝෂී පුද්ගලයන් මරණ දණ්ඩනයට ලක්වීමේ අනතුර පිළිබඳව ඇය විශේෂ අවධානයෙන් පසු වූවාය. දකුණු අප්‍රිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය උපුටා
දක්වමින් මිනීමරුවන්ගේ හැසිරීම කෙරෙහි තම සදාචාරාත්මක කෝපය ප්‍රකාශ කිරීම සඳහා රජය සීතල සහ සැලසුම් සහගත ලෙස ඔවුන් ඝාතනය කිරීමට සම්බන්ධ විය යුතු නැත යනුවෙන්
ඇය දැඩි විශ්වාසයකින් යුතුව ලීවාය. කිසිදු තත්වයක් යටතේ මරණ දඬුවම යළි ක්‍රියාත්මක නොකරන ලෙස ඇයගේ නායකත්වය යටතේ ඉල්ලා සිටි සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය, ඒ
වෙනුවට ප්‍රචණ්ඩකාරී අපරාධ සඳහා සැබෑ, ක්‍රමවත් විසඳුම් සෙවිය යුතු බවත් අවධාරණය කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන් ගේ ආරක්ෂිකාව
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය මගින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමට තර්ජනයක් වූ අවස්ථාවේ දී, ඊට එරෙහිව නැඟුණු ප්‍රතිපත්තිමය විරෝධතා නැඟූ හඬවල් අතර සූරියා ගේ හඬ ද වූයේය. “සිකුරාදා සංසදය” (Friday Forum) වෙනුවෙන් හිටපු එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් ජයන්ත ධනපාල මහතා සමඟ එක්ව ලියූ ලිපියකින් ඇය, ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන් උල්ලංඝනය කිරීම, ශ්‍රේෂ්ඨාධිකරණයේ ව්‍යවස්ථාපිත බලතල නොසලකා හැරීම සහ විරුද්ධ මත මර්දනය කිරීම සඳහා රාජ්‍ය බලය යොදාගැනීම දැඩි ලෙස හෙළා දුටුවාය. එමෙන්ම, අධිකරණයේ ස්ථාවරත්වය පිළිබඳව ඇය තුළ පැවති විශ්වාසය, "ශ්‍රී ලාංකීය ජනතාවට බලාපොරොත්තුවේ ස්වර්ණමය රේඛාවක් බඳු වන බව ඇය ප්‍රකාශ කළාය. සමාජ විද්‍යාඥයින්ගේ සංගමය, සිකුරාදා සංසදය, සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය සහ ක්ෂමා ජාත්‍යන්තරය හරහා ඇය සිදු කළ මෙහෙවර තුළින් එක් ස්ථාවර බැඳීමක් දක්නට ලැබුණි. එනම්, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන්නේ එය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන ආයතන සහ පුද්ගලයන්ගේ ශක්තිය මත පමණක් බවයි.
පෞද්ගලික මතකාවර්ජනයක්
මම සුරියා ව මුලින්ම දැන හඳුනා ගත්තේ, අපේ රටේ නූතන ඉතිහාසයේ වඩාත්ම කැළඹිලි සහගත කාල පරිච්ඡේදයක් වූ 1970 දශකයේ මුල් භාගයේ දී ය. ප්‍රකට එස්. නඩේසන් මහතා සහ
ගුරුස්වාමි මහතා සමඟ අපරාධ යුක්ති කොමිසම හමුවේ සුසිල් සිරිවර්ධන සහ විරාජ් ප්‍රනාන්දු මහත්වරුන් වෙනුවෙන් ඇය පළමු වරට පෙනී සිටි අවස්ථාව මට පැහැදිලිවම මතකය. `එමෙන්ම
1975 දී ක්ෂමා ජාත්‍යන්තරයේ ඉවොන් ටර්ලින්ගන් සමඟ ඇය නව මැගසින් බන්ධනාගාරයේ දී රෝහණ විජේවීර සහෝදරයා හමුවීමට ආ ගමන ද මට මතකය. සිරගත වූවන් දෙස අනුකම්පාවෙන් බැළු අය එතරම් නොසිටි යුගයක, 1971 අප්‍රේල් නැගිටීම පිළිබඳ රජයේ කතන්දරය ප්‍රමුඛ දේශපාලන මතය ලෙස දැඩිව ස්ථාපිත වී තිබූ සමයක, සූරියා සහ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය අපරාධ යුක්ති කොමිෂන් සභා පනත ස්ථාපිත කළ දින සිටම පාහේ එයට එරෙහිව උද්ඝෝෂණය කළහ. ඇය සහ ඇයගේ සගයෝ එම සිරකරුවන් දෙස රජය බැලූ කෝණයෙන් නොව, අයිතිවාසිකම්, ගරුත්වය සහ සාධාරණ නඩු විභාගයකට හිමිකම් ඇති මනුෂ්‍යයන් ලෙස දුටුවහ. වසර පනහකට වැඩි කාලයක් පුරා, ඇයගේ කැපවීම කිසිදු විටෙක සෙලවෙනු හෝ දේශපාලන වාසි තකා ඇයගේ සදාචාරාත්මක ප්‍රතිපත්ති දියාරු කරනු මා කිසිදා දැක නැත.
සූරියා වික්‍රමසිංහ මහත්මිය ඉතිරි කර ගොස් ඇත්තේ හුදෙක් තනතුරු හෝ තර්ක කළ නඩු තීන්දු මගින් පමණක් මැනිය හැකි උරුමයක් නොවේ. ඇය ලෝකයේ ජීවත් වීම සඳහා සුවිශේෂ මාවතක් ඉතිරි කර ගියාය. ඒ සැප පහසුව උදෙසා කිසි විටෙකත් ප්‍රතිපත්ති පාවා නොදෙන, වඩාත්ම කොන් කරන ලද අයගේ අයිතිවාසිකම් සමාජයක වටිනාකම්වල සැබෑ පරීක්ෂණය ලෙස සලකන, සහ සාධාරණත්වයේ දිගු ගමන උදෙසා ඉවසීමෙන් යුක්තව, නිහතමානී ව, දෛනික වෙහෙස දැරීමක් අවශ්‍ය කරන ජීවන රටාවකි. ඇගේ මව නායකත්වය දුන් අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරය සහ රන්වන් සූරිය මල සිහිපත් කරමින් ඇයට තැබූ නම, ඊට වඩා මැනවින් ගැළපිය නොහැකි තරම් ය. ඒ මල මෙන්ම, දුෂ්කර තත්වයන් තුළ පෝෂණය ලබා දුන් ඇය, ආලෝකය වඩාත්ම අවශ්‍ය ස්ථානවල දීප්තිමත්ව පිපුණාය.
සාමයේ සැතපෙන්න, සුරියා. ඔබ කළ කාර්යභාරය ඔබේ අභිමානයට සාක්ෂි වේ. ශ්‍රී ලංකාව ඔබට කිසිදා ගෙවා නිම කළ නොහැකි ණයගැති කමකින් බැඳී සිටී.
2026 මැයි 1 වන දා

