විමුක්තියේ සිට රාජ්‍ය පරිපාලනය දක්වා: ජවිපෙ පොරොන්දුව සහ ශ්‍රී ලංකාවේ උරගා බැලීම – ලයනල් බෝපගේ

ආන්තිකයෙන් උපන් ව්‍යාපාරයක්

1960 ගණන්වල අග සහ 1970 ගණන්වල ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) විසින් හැඩ ගස්වන ලද අප බොහෝ දෙනෙක් කිසිදා සම්පූර්ණයෙන්ම මැකී නොගිය විශ්වාසයන් සහිතව සිටිති. යොවුන් වියේ පසු වූ අපි අසමානතාවය කෙරෙහි කෝපයට පත්ව සිටියෙමු. නිදහසින් පසු බොහෝ කලක් තිස්සේ පැවත ආ යටත් විජිත ආර්ථික උරුමයන් නිසා අපි උදහසට පත් වූයෙමු. සමාජීය, ආර්ථික සහ දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට බොහෝ යහපත් දේ හිමි විය යුතුව ඇතැයි අපි විශ්වාස කළෙමු. අද, එම මූලයන් ගෙන් වර්ධනය වූ පක්ෂයක් රට පාලනය කරයි. අප ඉදිරියේ ඇති ප්‍රශ්නය, අප ගමනාන්තයට පැමිණ ඇත්ද යන්න නොව, අප සැබවින්ම නිවැරදි මාර්ගයේ ගමන් කරනවාද යන්නයි.

ජවිපෙ ආරම්භය සිදු වූයේ 1965 අප්‍රේල් මාසයේ ගාල්ලේ අක්මීමන කම්කරු පන්ති නිවසක යි. විසි දෙහැවිරිදි රෝහණ විජේවීර ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය වෙනස් කරන සාකච්ඡාවක් සඳහා තවත් හත් දෙනෙකු රැස් කර ගත්තේය. මොස්කව්හි පැට්‍රිස් ලුමුම්බා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමෙන් පසු, රෝහණ සහෝදරයා සෝවියට් මතවාදය සහ ස්ථාපිත වමේ පන්ති-සම්මුතිවාදී ප්‍රවණතා කෙරෙහි කලකිරීමට පත් විය. පවතින කිසිදු සමාජවාදී සංවිධානයකට ශ්‍රී ලාංකික සමාජය පරිණාමනය කිරීමට අවශ්‍ය විප්ලවීය අධිෂ්ඨානය නොමැති බව ඔහු නිගමනය කළේය.

ජනතා විමුක්ති පෙරමුණ ග්‍රාමීය නිර්ධන පංතිය සැබෑ සමාජ පරිවර්තනයක අවශ්‍ය පදනමක් ලෙස හඳුනා ගත්තේය. කෘෂිකාර්මික කම්කරුවන්, රැකියා විරහිත තරුණ තරුණියන් සහ සහතිකයක් සහිත එහෙත් අපේක්ෂාවන් නොමැති සිංහල කතා කරන පාසල් හැර ගිය වැනි අයගෙන් එය සමන්විත විය. ව්‍යාපාරයේ ආරම්භක මතවාදය රඳා පැවතුණේ අධිරාජ්‍ය විරෝධය, ආර්ථික ස්වයංපෝෂිත බව, සීතල යුද්ධ සුපිරි බලවතුන්ගෙන් ස්වාධීනව සිටීම, අදූෂිත බව සඳහා කැපවීම සහ සමාජවාදී පාලනය යටතේ ජාතික සමගිය පිළිබඳ දැක්මක් මත යි.

කැරැල්ල පරාජය වීමෙන් පසු 20,000කට වැඩි තරුණ තරුණියන් පිරිසක් රජයේ අත්අඩංගුවට ගැනුණි.

1971 කැරැල්ල සති කිහිපයක් තුළ යුදමය වශයෙන් පරාජයට පත් කරන ලදි. එහෙත් එය නව දේශපාලන බලවේගයක සම්ප්‍රාප්තිය නිවේදනය කළේය. මෙම බලවේගය මුල් බැස ගත්තේ කොළඹ විසිත්ත කාමර තුල නොව දකුණේ ගම්මානවල ය. තහනම, සිරගත කිරීම සහ වඩාත්ම ප්‍රමුඛ නායකයන් සහ රෝහණ සහෝදරයා ඇතුළු 60,000 ක් පමණ නීති විරෝධී ලෙස ඝාතනය කිරීමෙන් අවසන් වූ සහ 1987 සිට 1989 දක්වා පැවති ව්‍යසනකාරී දෙවන කැරැල්ලෙන් පසු ජවිපෙ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට කැප වූයේය. යට බිම් ගත විප්ලවවාදී කණ්ඩායමක සිට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් සහිත පාලන සන්ධානයක් කරා 1965 සිට 2024 දක්වා ගමන් කල මග අසාමාන්‍ය ය.

ආර්ථික උරුමය සහ අභියෝග

ජාතික ජන බලවේග ආණ්ඩුව ස්ථාවර රටක් උරුම කර ගත්තේ නැත. 2022 ස්වෛරී ණය පැහැර හැරීම ගැඹුරු කැළැල් ශේෂ කර ඇත. උද්ධමනය සියයට 70 දක්වා ඉහළ ගියේය. විදේශ සංචිත කඩා වැටුණි. දැඩි දුෂ්කරතා හමුවේ සමාජ නිර්මිතය බිඳ වැටුනේය. 2026 මුල් භාගය වන විට සාර්ව ආර්ථික දර්ශක ස්ථාවර බවට පත් වී තිබුණේය. උද්ධමනය සියයට 2 සිට 3 දක්වා අඩු වී තිබිණි. දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 4 සිට 5 දක්වා වන බව පුරෝකථනය කර ඇත. මේවා සැබෑ ජයග්‍රහණයන් වේ. නමුත් ස්ථාවර කරණය යන්නෙන් පරිණාමනයක් අදහස් වන්නේ නැත.

ඉහළ නැඟෙන විරැකියාව, දරිද්‍රතාවය සහ ආදායම් අසමානතාවය දිගටම පවතී. සමස්ත දර්ශක වැඩිදියුණු වන විට පවා, IMF වැඩසටහන හා සම්බන්ධ කප්පාදු කිරීමේ කොන්දේසි වැඩ කරන ජනතාවගේ දුෂ්කරතාවන් උග්‍ර කරවා ඇත. වක්‍ර බදු වැඩි කිරීම්, විදුලි ගාස්තු වැඩි කිරීම්, වැටුප් කප්පාදුව සහ සෞඛ්‍ය වියදම් කපා හැරීම් බෙහෙවින් පැටවී ඇත්තේ ඒවා දරා ගත නොහැකි අය මතයි. අධ්‍යාපන වියදම් පවතින්නේ තවමත් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ක මට්ටමක යි. පවතින ඕනෑම අනාගත ආණ්ඩුවක් IMF විස්තීර්ණ අරමුදල් පහසුකමේ කොන්දේසි සූක්ෂම ලෙස අනුගමනය කිරීමට ව්‍යවස්ථාදායක ව බැඳී සිටී. මුල් JVP දැක්ම ඉල්ලා සිටි ව්‍යුහාත්මක ආයෝජන සඳහා ඉතිරිව ඇත්තේ කුඩා මූල්‍ය ඉඩකඩකි.

ගෝලීය පරිසරය මෙම උරුමය සංකීර්ණ බවට පත් කරයි. ඉරානය, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම තෙල් මිල තියුණු ලෙස ඉහළ නංවා තිබේ. 2026 මාර්තු වන විට සංචාරක පැමිණීම් වසරින් වසර සියයට 23 කින් පහත වැටී ඇත. වාර්ෂික ආදායම් අහිමි වීම් ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ක් බවට ඇස්තමේන්තු කර ඇත. වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 4 ක් පමණ වන ගල්ෆ් සහයෝගිතා කවුන්සිල ජාතීන් වෙතින් කෙරෙන සේවක ප්‍රේෂණ සියයට 60 ක් දක්වා ප්‍රක්ෂේපිත පහත වැටීමකට මුහුණ දෙයි. ගෝලීය කම්පන එකට එක්වීමෙන් සිදු වන මුළු ප්‍රක්ෂේපිත විදේශ විනිමය අහිමි වීම් ඇමරිකානු ඩොලර් බිලියන 8 ඉක්මවයි. එම අගය, රටේ යොදා ගත හැකි විදේශ විනිමය සංචිත ඉක්මවා යයි. 2022 පැවති අවතාර හුදෙක් ඓතිහාසික පමණක් නොවේ. ඔවුහු වර්තමානයේ ද හොල්මන් කරති.

ජාතික ජන බලවේගයේ (NPP) පළමු වසර තුළ එහි ආර්ථික උපායමාර්ගය බොහෝ දුරට එහි පූර්වගාමීන් අනුගමනය කල නව ලිබරල් පථය ඔස්සේ දිගටම ගමන් කර ඇති බවට විචාරකයින් කරන සඳහන නිවැරදි ය. මෙම ආතතිය අවංක සාකච්ඡාවකට සුදුසු වේ. එය වෙනත් අතකට යොමු කිරීමෙන් පලක් වන්නේ නැත. පක්ෂයේ ආරම්භක අධිරාජ්‍ය විරෝධී ආර්ථික දැක්ම සහ ණය බරින් පිරුණු කුඩා විවෘත ආර්ථිකයක් පාලනය කිරීමේ ප්‍රායෝගික අවශ්‍යතාවය අතර පවතින පරතරය සැබෑ ය. එය නම් කර ආමන්ත්‍රණය කළ යුතු වේ.

ඉදිරි ආර්ථික මාවත

ව්‍යාපාරය මගින් හැඩ ගස්වා ඇති අපට කළ හැකි වැදගත් ම දායකත්වය වන්නේ NPP යට එහි පරිනාමණීය ජනවරමට බැඳී සිටීමට උපකාර කිරීමයි. මෙයින් අදහස් කරන්නේ විවේචනාත්මක නොවී ප්‍රීති ඝෝෂා පැවැත්වීම් හෝ අධෛර්යයට පත් කරන අන්දමේ විවේචන හෝ නොවේ. එහි අදහස වන්නේ දැක්ම සහ සීමාවන් යන දෙකම වටහා ගන්නා සහෝදර සහෝදරියන්ගේ ක්‍රියාකාරී අවංකභාවයයි. පක්ෂයේ බිම් මට්ටමේ ස්වභාවය එහි විශාලතම වත්කම වේ. කාලයාගේ ඇවෑමෙන් රැඩිකල් ආණ්ඩු හීලෑ බවට පත් කරන ආයතනික පීඩනයන්ට එරෙහිව එය ආරක්ෂා කළ යුතුය.

සැබෑ බහු ධ්‍රැව ලෝකයක් ඉස්මතු වීම ශ්‍රී ලංකාවට 1971 දී නොපැවති සැබෑ විකල්ප ඉදිරිපත් කරයි. විචක්ෂණශීලී වන ආර්ථික හවුල්කාරිත්වයන් විවිධාංගීකරණය කිරීම, ස්වාධීනව පැවතීම සඳහා ජවිපෙ තුල පැවති ඓතිහාසික කැපවීමට අනුකූල වේ. ශ්‍රී ලංකාව විසින් IMF රාමුව, චීන තීරයක් සහ මාවතක් සඳහා මූල්‍යකරණය හෝ බටහිර වෙළඳ මනාප වේවා – ඒ ඕනෑම තනි කණ්ඩායමක් මත යැපී සිටීම අඩු කළ යුතු වේ. කොවිඩ් වසංගතය සහ වත්මන් ලෝක අර්බුදය ආහාර, ජලය, බලශක්තිය සහ විදුලි සංදේශ වැනි ක්ෂේත්‍රවල සුරැකියාව සහතික කිරීමේ තීරණාත්මක වැදගත්කම ඉස්මතු කර ඇත. ශ්‍රී ලංකාව, පුරවැසියන් සහ රාජ්‍ය අංශයේ සේවකයින් ආහාර වගා කිරීමට දිරිමත් කිරීම නොකඩවා කර ගෙන යා යුතුය. දැඩි ආහාර අනාරක්ෂිත භාවයට මුහුණ දීමට සහ මානුෂීය අර්බුදයක් වළක්වා ලීමට මෙය අත්‍යවශ්‍ය වේ.

ආහාර ස්වෛරීභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා නාගරික කෘෂිකර්මාන්තය, ප්‍රජා අවකාශයන් සහ ගෙවතු වගා බලමුළු ගැන්විය යුතුය. අරමුණ වන්නේ මිල අධික ආනයනිත ආහාර ද්‍රව්‍ය මත යැපීම අඩු කිරීම යි. යටත් විජිත සමයේ සිට මන්ත්‍රයක් ලෙස පුනරාවර්තනය කරන සියයට සියයක් අපනයන දිශානතිය මත කටයුතු කිරීම, කැළඹිලි සහිත ලෝකයක් තුල ශ්‍රී ලංකාවට සේවය නොකරනු ඇත. පුනර්ජනනීය ප්‍රභවයන් වෙත සිදු කරන පිරිසිදු බලශක්ති සංක්‍රාන්තිය මගින් රටේ ව්‍යුහාත්මක තෙල් ආනයන අවදානම ආමන්ත්‍රණය කළ හැකිය. සමාජ සුබසාධනය පුළුල් කිරීම, අවම වැටුප වැඩි කිරීම සහ මහජන සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීම සුඛෝපභෝගී කාරණා නොවේ. ඒවා ඵලදායී සහ සාධාරණ සමාජයක අත්තිවාරම් වේ.

නොවිසඳූ ජාතික ප්‍රශ්නය

රට විනාශයට තල්ලු කළ දූෂිත ප්‍රභූ පැලැන්තිය දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීමක් වූ අරගල ව්‍යාපාරයේ උච්ච අවස්ථාව මතින් NPP ය බලයට පත් විය. එහි දූෂණ විරෝධී ජනවරම සැබෑ ය. පළමු වසරෙන් පසුව එය ලබා තිබෙන සියයට 65 ක ප්‍රමාණයේ අනුමත කිරීම, පුළුල් බලාපොරොත්තුවක් පිළිබඳව සාක්ෂි දරයි. එහෙත් ජාතික ප්‍රශ්නය තවමත් නොවිසඳන ලදුව පවතී. මෙය ආණ්ඩුව මුහුණ දිය යුතු වඩාත්ම හදිසි ව්‍යුහාත්මක අභියෝගය වේ.

උතුරු නැගෙනහිර දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් අඛණ්ඩව හමුදා පැවැත්මකට මුහුණ දෙමින් සිටිති. ඉඩම් අත්පත් කර ගැනීම් නොකඩවා කෙරේ. ක්‍රියාකාරීකයෝ හිරිහැර කිරීම් වලට මුහුණ දෙති. ව්‍යවස්ථානුකූල ව නියමිත පළාත් සභා මැතිවරණ අත්හිටුවා ඇත. බලය බෙදා හැරීම සහ බහුත්වවාදී සිවිල් ජාතිකවාදය පිළිබඳව NPP යේ 2024 ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දී තිබෙන ප්‍රතිඥා, ජවිපෙ එකතු වූ ඕනෑම සංවිධානයක් විසින් මෙතෙක් ගෙන තිබෙන ඉතාමත් ම ප්‍රගතිශීලී ස්ථාවරය නියෝජනය කරයි. එහෙත් කඩදාසියේ කරන කැපවීම් තවමත් බිම් මට්ටමේ ව්‍යුහාත්මක වෙනස්කම් බවට පරිවර්තනය වී නොමැත.

තවදුරටත් ප්‍රමාද කිරීමෙන් තොරව පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතුය. 13 වන සංශෝධනය යටතේ අව්‍යාජ අන්දමින් බලය බෙදා හැරීම පෙරට යා යුතුය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කළ යුතුය, එසේ නැතහොත් මූලික වශයෙන් ප්‍රතිසංස්කරණය කළ යුතුය. ඉතිහාසයේ සිදු වුන වැරදි වලට අවංකව මුහුණ දීමෙන් ලැබෙන සදාචාරාත්මක අධිකාරිය වාර්ගික දේශපාලනයට ලැබෙන සහනයක් නොවේ. ජනතා විමුක්ති පෙරමුණ සැම විටම අපේක්ෂා කරන ජාතික සමගියේ පදනම වන්නේ එයයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ද තවමත් ඇනහිට තිබේ. මෙය මූලික මැතිවරණ පොරොන්දුවක් විය. ජාතික ජන බලවේගය විසින් දියත් කරන ලද ‘ක්‍රම වෙනසට’ එය ප්‍රධාන වූයේය. විධායක බලය තනි නිලයකට කේන්ද්‍ර ගත වීම 1978 සිට ශ්‍රී ලංකාවේ අධිකාරවාදයට හේතුකාරක වී තිබේ. එය ඉවත් කිරීම අත්‍යවශ්‍ය වේ. ඊට වෙනත් විකල්පයක් නොමැත. පාර්ලිමේන්තුවේ සුපිරි බහුතරයක් තිබියදීත්, තවමත් සැලකිය යුතු ව්‍යවස්ථාමය වෙනස්කම් ඉටු කර නොමැත. ප්‍රමාද වන සෑම මාසයක් ම පරිනාමණයේ ප්‍රතිඥාව නිහඬව ඉවත් කර ගන්නා මාසයක් වේ. පාර්ලිමේන්තු ක්‍රමයකට සංක්‍රමණය වීම සඳහා ජාතික ජන බලවේගයට ජනවරම ත්, පාර්ලිමේන්තු බහුතරයත් තිබේ. එය සොයා ගත යුතුව ඇත්තේ දේශපාලන අධිෂ්ඨානයයි.

පොරොන්දුව කල් ඉකුත් වී නැත

1960 සහ 1970 ගණන්වල ජනතා විමුක්ති පෙරමුණට එක් වූ අප එසේ කළේ ශ්‍රී ලංකාවේ ජනතාව ගෞරවයෙන් යුතුව ජීවත් වීමට සුදුසු බව අප විශ්වාස කළ බැවිනි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මලයියහ සහ නාගරික කම්කරුවා යන සියල්ලන්ම දරිද්‍රතාවෙන්, සූරාකෑමෙන් සහ අසාධාරණ ව්‍යුහවල ප්‍රචණ්ඩත්වයෙන් නිදහස ලැබීමට සුදුසු වේ. එම විශ්වාසය කල් ඉකුත් වී නැත. සියලු ප්‍රතිවිරෝධතා සහ බාධාවන් තිබියදීත්, NPP ආණ්ඩුව නියෝජනය කරන්නේ, හැම විටම පාලනයට ලක් කර ඇති අයගේ ඵල ප්‍රයෝජන වෙනුවෙන් පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිදහසින් පසු ඉතිහාසය තුල ගත් බරපතලම උත්සාහය යි.

2026 ලෝකය සැබවින්ම භයංකර ය. තෙල් සඳහා කරන ගැටීම් ගෝලීය ආර්ථිකය අස්ථාවර කරයි. දේශගුණික විපර්යාස වේගවත් වේ. අධිකාරවාදය ඉදිරියට ඇදෙයි. මෙම පරිසරය තුළ, වඩාත් සාධාරණ සමාජයක් ගොඩනැගීමට උත්සාහ කරන කුඩා දූපත් ජාතියක් දැඩි අවදානම් වලට මුහුණ දෙයි. එසේ වුවත්, ජවිපෙ කිසි විටෙකත් දුෂ්කර තත්වයන් හේතුවෙන් හැකිළී ගිය ව්‍යාපාරයක් නොවීය. එය ගොඩ නඟන ලද්දේ සුසාන භූමි, කුඹුරු සහ කර්මාන්තශාලා බිම්වල එකිනෙකා කෙරෙහි විශ්වාසය හැර අන් කිසිවක් නොතිබුන යෞවනයන් විසිනි. මේ මොහොතේ අවශ්‍ය වන්නේ – විනයගරුක, අදූෂිත සහ සාමාන්‍ය ජනතාවගේ ජීවිතවල මුල් බැස ගත් – එම ජීව ගුණය මයි.

විමුක්තියේ ගිනි සිළුව නෂ්ඨාවශේෂයක් නොවේ. එය ජීවමාන උරුමයකි. අපි එය ඥානවන්ත ලෙස යොදා ගනිමු.

මෙල්බර්න්, 2026 අප්‍රේල් 5

Archive

Latest news

Related news