Thursday, January 29, 2026

වෙනසක පොරොන්දුව සහ යථාර්ථය: නොනැසෙන දරිද්‍රතාවය සහ පරිණාමන අභියෝගය (02) -ලයනල් බෝපගේ

2025 අවසානය කරා ළඟා වෙත්ම, පැවතුණ පාලනයේ අසමත් වීම් වලට අමතරව, ආර්ථික චිත්‍රය දැඩි ලෙස කැළඹිලි සහගත ව පැවතුණි. දරිද්‍රතා මට්ටම් නොවෙනස්ව සියයට විසිපහක් පමණ විය. ඉන් අදහස් වූයේ සෑම නිවාස හතරකින් ම එකක් ආහාර අනාරක්ෂිත භාවයට මුහුණ දුන් බවයි. දෙමව්පියන්ට තම දරුවන් පෝෂණය කිරීම දුෂ්කර විය. පවුල්වලට ඖෂධ සහ ආහාර අතර නොකල හැකි තේරීම් කරන්නට සිදු විය. NPP ය බලයට පත් කිරීමට උදව් වුනු ආර්ථික සහන පිළිබඳ පොරොන්දුව, මිලියන සංඛ්‍යාත පුරවැසියන් සඳහා තවමත් ඉටු නොවී පැවතුණි.

2025 අයවැය අධ්‍යාපනය වෙනුවෙන් වාර්තාගත ප්‍රතිපාදන වෙන් කර ඇති බව ප්‍රකාශ කල නමුත් ගණන් හිලව් පවසන්නේ වෙනස් කතාවකි. ඉදිරි වසරවල දී අරමුදල් නොකඩවා ඉහළ යනු ඇතැයි නිලධාරීන් අවධාරණය කලේ වුවද, ප්‍රතිපාදනය පොරොන්දු වූ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හයක ඉලක්කයට වඩා අඩු වූයේය. වැඩි වන තෙරපුම යටතේ මහජන සේවාවන් පීඩාවට ලක් වුවද, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන වියදම් සැබවින්ම කප්පාදු කිරීම් වලට ලක් විය. ගුරුවර ගුරුවරියෝ යල් පැන ගිය උපකරණ සහිත ජනාකීර්ණ පන්ති කාමර තුල කටයුතු කළහ. රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හිඟ වී ගියේය. සමාජ සේවාවන් වෙත වාචික ව කැපවීම සහ සැබෑ සම්පත් වෙන් කිරීම අතර පවතින පරතරය, ආණ්ඩුවේ ප්‍රමුඛතා සම්බන්ධයෙන් පවතින මහජන විශ්වාසය අඩපණ කර තිබේ.

මේ අතර, 2026 අයවැය ආරක්ෂක වියදම් ඉහළ මට්ටමක පවත්වා ගෙන යයි. එයින් සියයට අසූපහක් වෙන් කර ඇත්තේ නවීකරණය හෝ අත්‍යවශ්‍ය සමාජ සේවාවන් සඳහා ආයෝජනය කරනවා වෙනුවට, වැටුප් වැනි පුනරාවර්තන වියදම් ආවරණය කිරීම සඳහා ය. පාසල් සහ රෝහල් යන්තමින් ජීවිතය ගැට ගසා ගන්නා අතර හමුදා අයවැය ආරක්ෂිතව පවතී. මෙම වෙන් කිරීම් රටාව පිළිබිඹු කරන්නේ NPP යට පරිණාමනීය වරමක් තිබුනේ වුවද, එයට අභියෝග කිරීමට නොහැකි බව හෝ එය එසේ කිරීමට අකමැති බව සනාථ කර ඇති මුල් ඇද ගෙන තිබෙන ආයතනික ප්‍රමුඛතා යි.

දිත්වා සුළි කුණාටුව සහ අයවැය අභිලාෂ

2025 අගභාගයේ දිත්වා සුළි කුණාටුව හමා ගිය විට සොබාදහම තවත් විනාශකාරී පහරක් එල්ල කළේය. එය ඩොලර් බිලියන හතක් දක්වා තක්සේරු කර තිබෙන විනාශකාරී හානියක් සිදු කළේය. යටිතල පහසුකම් බිඳ වැටුණි. කෘෂිකාර්මික ඉඩම් ජලයෙන් යටව ගියේය. මෙම ව්‍යසනය, ඒ වන විට පැවතුණ දුෂ්කර තත්වය තවත් සංකීර්ණ කර ලීය. එය, සංවර්ධන ප්‍රමුඛතා වලින් සම්පත් හදිසි ප්‍රතිචාර දැක්වීම් සහ ප්‍රතිසංස්කරණය කිරීම් වෙත යොමු කලේය. සුළි කුණාටුව හෙළි දරව් කලේ දේශගුණික විපර්යාසයන්ට ශ්‍රී ලංකාව ගොදුරු වීමට තිබෙන අවදානම සහ අනෙකුත් කැප වීම් පවත්වා ගනිමින් ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට ආණ්ඩුවේ ක්‍රම පද්ධතිවලට ඇති සීමිත ධාරිතාව යි.

ආණ්ඩුව සහ පාලිතයන් යන දෙකොටසම මුහුණ දෙන ප්‍රශ්නය ගැඹුරු එකකි. ප්‍රායෝගික අඛණ්ඩතාව නියෝජනය කරන්නේ කඩ කල නොහැකි සීමාවන් යටතේ පවතින බුද්ධිමත් භාරකාරත්වයක් ද, නැතහොත් එහි අඩංගු වෙන්නේ මූලික වශයෙන් පරිණාමනීය වෙනසක් සඳහා ලැබූ ජනවරම පාවා දීමක් ද? එම ප්‍රශ්නයට ලැබෙන පිළිතුර බොහෝ විට, ආණ්ඩුවේ දේශපාලන පැවැත්ම පමණක් නොව, රටේ ආර්ථික අනාගතය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කෙරෙහි පවතින මහජන විශ්වාසය ද තීරණය කරනු ඇත.

මෙම පසුබිමට එරෙහිව, 2026 අයවැය කැපී පෙනෙන අන්දමේ අභිලාෂකාමී ඉලක්ක තබා ඇත. ඒවා නම්, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.5 ක ප්‍රාථමික අතිරික්තයක් සහ සියයට හතකට ආසන්න ආර්ථික වර්ධනයකි. බොහෝ විශ්ලේෂකයින්ට මෙම සංඛ්‍යා පිළිගත නොහැකි බවක් පෙනුණේය. IMF අරමුදලේ වඩාත් ගතානුගතික සියයට 3.1 ක වර්ධනයක් පිළිබඳ ප්‍රක්ෂේපණය, විශේෂයෙන් නිෂ්පාදන ධාරිතාව කෙරෙහි දිත්වා සුළි කුණාටුව ඇති කර තිබෙන විනාශකාරී බලපෑම සැලකිල්ලට ගත් විට, වඩාත් යථාර්ථවාදී බවක් පෙනුණි. ආණ්ඩුවේ ප්‍රක්ෂේපණ සහ ස්වාධීන තක්සේරු කිරීම අතර පවතින විසන්ධිය, ප්‍රතිපත්ති සම්පාදකයින් ආර්ථික යථාර්ථයන් සමඟ සම්බන්ධ වී සිටියේ ද නැතහොත් දුෂ්කර මූල්‍ය තෝරා ගැනීම් සාධාරණීකරණය කිරීම සඳහා ශුභවාදී උපකල්පන මත විශ්වාසය තැබුවේ ද යන්න පිළිබඳ ප්‍රශ්න මතු කරයි.

දේශපාලන වාග්ලංකාරය සහ සාම්ප්‍රදායික ප්‍රතිපත්ති අතර මෙම වර්ධනය වන විසන්ධි වීම පිළිබිඹු කරන්නේ NPP ආණ්ඩුව මුහුණ දී සිටින මූලික අභියෝගයකි. ඔව්හු අතීතයෙන් බිඳී යාමට පොරොන්දු වෙමින් බලය අත්පත් කර ගත්හ. එහෙත් ජාත්‍යන්තර කැපවීම්, මූල්‍ය යථාර්ථයන් සහ සමගාමී බහුවිධ අර්බුදවලට මුහුණ දෙන කුඩා දූපත් ආර්ථිකයක් උපායික ව හසුරුවන්නට ඇති සීමිත ඉඩකඩ විසින් ඔවුන්ව කොටු කරනු ලැබ ඇති බව ඔවුන්ට පෙනී ගියේය.

ආණ්ඩුව සහ පාලිතයන් යන දෙකොටසම මුහුණ දෙන ප්‍රශ්නය ගැඹුරු එකකි. ප්‍රායෝගික අඛණ්ඩතාව නියෝජනය කරන්නේ කඩ කල නොහැකි සීමාවන් යටතේ පවතින බුද්ධිමත් භාරකාරත්වයක් ද, නැතහොත් එහි අඩංගු වෙන්නේ මූලික වශයෙන් පරිණාමනීය වෙනසක් සඳහා ලැබූ ජනවරම පාවා දීමක් ද? එම ප්‍රශ්නයට ලැබෙන පිළිතුර බොහෝ විට, ආණ්ඩුවේ දේශපාලන පැවැත්ම පමණක් නොව, රටේ ආර්ථික අනාගතය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කෙරෙහි පවතින මහජන විශ්වාසය ද තීරණය කරනු ඇත.

දේශපාලන ක්‍රම පද්ධති බිඳ වැටීම (Entropy)

භෞතික විද්‍යාවෙන් ලැබෙන ප්‍රබල රූපකයක් NPP ආණ්ඩුව මුහුණ දෙන අභියෝග තේරුම් ගැනීමට අපට උපකාරී වේ. තාප ගති විද්‍යාවේ දෙවන නියමය පවසන්නේ ඕනෑම හුදකලා වූ ක්‍රම පද්ධතියක, ව්‍යුහය සහ පිළිවෙල පවත්වා ගැනීම සඳහා ශක්තිය නොකඩවා යොදවන්නේ නම් මිස, අපිළිවෙළේ මිනුම වන බිඳ වැටීම (Entropy), කාලයත් සමඟ සෑම විටම වැඩි වන බවයි. මෙම මූලධර්මය රසායනාගාරයෙන් ඔබ්බට පාලනය දක්වා විහිදේ. භෞතික පද්ධති මෙන්ම දේශපාලන ක්‍රම පද්ධති ද, නිරන්තර අලුත් කිරීමෙන් සහ උත්සාහ දැරීමෙන් තොර වූ විට ස්වභාවිකවම බිඳී යෑම හා ක්ෂය වී යෑම දෙසට ඇදී යයි.

දේශපාලන ආයතනවලට ඵලදායී ලෙස ක්‍රියාත්මක වීම සඳහා නොකඩවා පවතින සිවිල් ශක්තියක් අවශ්‍ය වේ. මෙම ශක්තිය ප්‍රකාශයට පත් වන්නේ මහජන විශ්වාසය, ක්‍රියාකාරී සහභාගීත්වය, ප්‍රමාණවත් සම්පත් සහ පැහැදිලි ලෙස බෙදාහදා ගත් දැක්මක් ලෙස යි. මෙම මූලාංග දුර්වල වන විට, දේශපාලන බිඳ වැටීම වැඩි වෙයි. බෙදී යාම සහ ධ්‍රැවීකරණය, ප්‍රගතිය මන්දගාමී කරමින් ද, ක්‍රම පද්ධතික අක්‍රමිකතා ඇති කරවමින් ද, යන්ත්‍රයක ගැටීම මෙන් ක්‍රියාත්මක වෙයි. වුවමනාවට වඩා සංකීර්ණ ක්‍රියාවලි විසින් අධික නිලධරවාදය (red tape) සහ අවහිරතාව ඇති කෙරේ. ඒවා පිරිහී යන පිළිවෙලක දෘශ්‍යමාන ප්‍රකාශනයන් වේ. නැවුම් බලශක්ති යෙදවීමක් නොමැතිව, යහපත් චේතනාවෙන් යුත් ක්‍රම පද්ධති පවා අකාර්යක්ෂමතාව දෙසට ඇදී යයි.

NPP ආණ්ඩුවේ පළමු වසර මෙම බිඳ වැටීම ක්‍රියා කරන අන්දම හෙළිදරව් කරයි. පාර්ලිමේන්තු බහුතරයෙන් සැලකිය යුතු කොටසක් ආණ්ඩු කිරීමේ පරිපාලන අත්දැකීම් නොමැති නවක දේශපාලනඥයින්ගෙන් සමන්විත වේ. අවම වශයෙන් ඔවුන්ගෙන් සමහරක් හිතාමතාම හෝ වෙනත් ආකාරයකින් නොමඟ යවා ඇති බව පෙනේ. මෙම ඌණතාවය රටට අතිශයින්ම අවශ්‍ය සංකීර්ණ නීතිමය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවේ යෙදවීමට බාධාවක් වී ඇති බව වාර්තා වේ. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සහ පලාත් සමග බලය බෙදාහදා ගන්නට නිර්භය ලෙස පොරොන්දු ලබා දුන්නද, 2026 අයවැය මඟින් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලි සඳහා අරමුදල් කිසිවක් වෙන් කර නොමැත. පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් කරා ගෙන ගිය ගති ශක්තිය ක්‍රමයෙන් එක තැන පල් වෙමින් පවතින බව ද, සමහර විට පරිණාමනය පවත්වා ගැනීමට අවශ්‍ය සංවිධානාත්මක ශක්තිය නොමැතිව විසිරී යන බව ද පෙනේ.

කාර්යක්ෂමතාවට එරෙහිව ඵලදායීතාව

කළමනාකරණ ගුරු පීටර් ඩ්‍රකර් කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව අතර තීරණාත්මක වෙනසක් පෙන්වා දුන්නේය. කාර්යක්ෂමතාව රඳා පවතින්නේ දේවල් නිවැරදිව කිරීම මත යි. ඵලදායීතාව රඳා පවතින්නේ නිවැරදි දේවල් කිරීම මත යි. අතුරුදහන් වූවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සාධාරණත්වය ඉටු කිරීම සඳහා NPP ය ගන්නා ප්‍රවේශය නිරූපණය කරන්නේ ක්‍රියාවලිය සහ අරමුණ අතර පවතින මෙම ආතතිය යි.

ආණ්ඩුව අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලය ඇතුළු දේශීය යාන්ත්‍රණ පවත්වා ගෙන යයි. 2025 අග භාගය වන විට, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය අතුරුදහන් වූවන් විසිතුන් දෙනෙකු සාර්ථක ලෙස සළකුණු කර, වන්දි ගෙවීමට පහසුකම් සැලසීම සඳහා දක්නට නොමැති බවට වූ සහතික (Certificates of Absence) නිකුත් කළේය. අයවැයෙන් රුපියල් ලක්ෂ දෙකක තනි පුද්ගල ගෙවීම් වෙන් කිරීමත් සමගම, වන්දි ගෙවීමේ කාර්යාලය පවුල් හාරදහසකට වැඩි පිරිසකට මූල්‍ය ආධාර ලබා දුන්නේය.

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) 2017 දී එය ආරම්භ කළ දිනයේ සිට කවර හෝ නඩුවක් විසඳා නැත. පවතින දේශීය නීතිවල බරපතළ ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීමට අවශ්‍ය රාමු නොමැති අතර, සම්පත් සීමාවන් හේතුවෙන් සංකීර්ණ නඩු කළමනාකරණය කිරීමේ දී නීතිපති කාර්යාලයට සහ පොලිසියට බාධා කරයි.

එහෙත් චෝදනා එල්ල වුන අපරාධකරුවන්ට එරෙහිව කරන ලද අර්ථවත් අපරාධ නඩු පැවරීම් දුර්ලභ ය. නොදත් සාධක හේතුවෙන්, පොරොන්දු වූ අරමුදල්වල සැබෑ ලෙස බෙදා හැරීම ප්‍රමාද වී හෝ සම්පූර්ණ නොකර පවතී. 2026 මුල් භාගයේ දී “Project 5M” නමින් නව මුලපිරීමක් දියත් කරන ලද්දේ මෑත කාලීන ආපදා ආශ්‍රිත මරණ හා සම්බන්ධ පවුල් සඳහා රුපියල් මිලියනයක ක්ෂණික වන්දි සහ නිවාස ලබා දීම සඳහා යි. මෙම ක්‍රම පද්ධතියට වෘත්තීය පුහුණුව, ජීවනෝපායික අවස්ථා සහ මනෝ සමාජ සහයෝගය ද ඇතුළත් වේ.

කෙසේ වෙතත්, විශේෂයෙන් දෙමළ බහුතර ප්‍රදේශවල, ඇතැම් වින්දිත කණ්ඩායම්, සැබෑ අපරාධ යුක්තිය සහ සත්‍යය පැවසීම නොමැතිව, මූල්‍යමය ආධාර ලෙස ඔවුන් සලකන දේවල් ප්‍රතික්ෂේප කරති. විදේශීය විනිසුරුවන් සම්බන්ධ ජාත්‍යන්තර යාන්ත්‍රණවලට හෝ සාක්ෂි එක්රැස් කිරීමට විරුද්ධ වෙන ආණ්ඩුව දේශීය විසඳුම් සඳහා දක්වන සිය කැපවීම පවත්වා ගෙන යයි. ඇතැම් පාර්ශ්වකරුවන් තෘප්තියට පත් කර ඇති එය, අනෙක් අය කලකිරීමට පත් කර ඇති ස්ථාවරයකි. මෙම ප්‍රවේශය සාධාරණත්වය සහ සංහිඳියාව සඳහා පවතින වඩාත් ගැඹුරු අවශ්‍යතාවය සපුරා ලීමේ ඵලදායීතාවට වඩා මූල්‍ය වන්දි ලබා දීමේ කාර්යක්ෂමතාව කෙරෙහි ප්‍රමුඛත්වය දෙයි.

අපරාධකරුවන්ට දණ්ඩ මුක්තිය ලබා දීම සහ සම්පත් වළක්වා ලීමේ හේතුවෙන් අතීතයේ කරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ආමන්ත්‍රණය කිරීමේ දී ශ්‍රී ලංකාව ප්‍රබල අභියෝගවලට මුහුණ දෙයි. ප්‍රමාද කිරීම්, දණ්ඩ මුක්ති සංස්කෘතියක් සහ අධිකව බර පැටවුන අධිකරණ පද්ධතියක් හේතුවෙන් පීඩා විඳින තනි පුද්ගල පරීක්ෂණ අකාර්යක්ෂම වන්නේය. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) 2017 දී එය ආරම්භ කළ දිනයේ සිට කවර හෝ නඩුවක් විසඳා නැත. පවතින දේශීය නීතිවල බරපතළ ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීමට අවශ්‍ය රාමු නොමැති අතර, සම්පත් සීමාවන් හේතුවෙන් සංකීර්ණ නඩු කළමනාකරණය කිරීමේ දී නීතිපති කාර්යාලයට සහ පොලිසියට බාධා කරයි.

ප්‍රධාන ගැටුම්වලින් පසු ගතව ගොස් ඇති කාලය, ප්‍රධාන සාක්ෂිකරුවන්ගේ මරණ හේතුවෙන් සාක්ෂි නොමැති වීමට හේතුකාරක වී තිබේ. අව්‍යාජ සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම, වින්දිතයින්ගේ අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය දීමෙන් සහ ජාතිය සුවපත් කිරීම ප්‍රවර්ධනය කිරීමෙන් උපාය මාර්ගික විකල්පයක් සැපයිය හැකිය. කෙසේ වෙතත්, ජාත්‍යන්තර ආයතන සහ වින්දිත කණ්ඩායම් අතර සැකයක් පවතී. මෙයට හේතුව වන්නේ දේශපාලන කැමැත්තකින් තොරව, යෝජිත සත්‍යය, එකමුතුකම සහ සංහිඳියාව සඳහා වූ කොමිසම (CTUR) වැනි නව කොමිසමක් සැබෑ වෙනස්කම් ක්‍රියාත්මක කරනවාට වඩා සන්නිරීක්ෂණ වෙනතකට යොමු කිරීමට පමණක් සේවය කළ හැකි බවට පවතින කනස්සල්ල යි.

ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු සහ නැති වුන විශ්වාසය

ක්ෂේත්‍ර කිහිපයක වාග්ලංකාරය සහ යථාර්ථය අතර පරතරය පුළුල් වෙමින් පවතී. ආණ්ඩුව හමුදාව විසින් අත්පත් කර ගෙන සිටි ඉඩම් ආපසු ලබා දීම දිගටම කර ගෙන යන නමුත් එය සිදු කරන්නේ තම ජීවිත යළි ගොඩනඟා ගන්නට උත්සාහ කරන ජන ප්‍රජාවන් කලකිරීමට පත් කරවන තරම් ගොළුබෙලි වේගයකිනි. වඩාත් කණස්සළු කාරී වන්නේ ආණ්ඩුව, අනාගතයේ මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පෙන්නුම් කරන සමාන අඩුපාඩු සහිත තවත් පනතක් ඉදිරිපත් කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමේ මැතිවරණ පොරොන්දුව ආපසු හරවා ඇති බව පෙනීමයි.

දැනෙන ආර්ථික වැඩිදියුණු කිරීම් අපැහැදිලි ලෙස පැවතුණ හොත් ඡන්දදායකයින්ගේ ආරම්භක හොඳ හිත ඛාදනය වීමේ අවදානමක් ඇත. පරිණාමනීය වෙනසක් සඳහා ඡන්දය දුන් පුරවැසියෝ කෙමෙන් සිදු වන ප්‍රගතිය සහ නිලධාරිවාදී අකර්මණ්‍යතාව පිළිබඳව නොඉවසිලිවත් වෙමින් සිටිති.

වන්දි ගෙවීමේ කාර්යාලය හමුදා නිලධාරීන්ගෙන් පුරවා ඇති බවට ද ආණ්ඩුවට චෝදනා එල්ල වේ. මැතිවරණයේ දී දෙමළ ප්‍රදේශවල සැලකිය යුතු සහයෝගයක් දිනා ගත්ත ද, අලුතින් පත් කරන ලද පරිපාලන යාන්ත්‍රණ බොහොමයක දී NPP ය ඇතුළත් කර ගැනීමේ ප්‍රවේශයන් යොදා නොගැනීම  භාවිතා කර නොමැත. මෙය ත්, සංක්‍රාන්තිමය සාධාරණත්වය කෙරෙහි ආණ්ඩුව දක්වන පරීක්ෂාකාරී ප්‍රවේශය ත්, එම ප්‍රදේශවල ආණ්ඩුව තෝරා පත් කර ගැනීමට උපකාරී වූ ජන ප්‍රජාවන් අතර වර්ධනය වන කලකිරීමක් ඇති කර තිබේ.

දුබල ක්‍රියාත්මක කිරීම හේතුවෙන් යහපත් අභිප්‍රායයන් අඩපණ කරනු ලැබීමේ රටාව ප්‍රතිපත්ති ක්ෂේත්‍ර බොහොමයක් හරහා දැක ගත හැකිය. පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය, රාජ්‍ය පරිපාලනයේ දී සමගාමී ව බහු භාෂාවන් යොදා ගැනීම (උදා: පළමු ජනාධිපති දේශනයේ සිට දිත්වා සන්නිවේදනය දක්වා කරන ලද ඉදිරිපත් කිරීම්) සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වටා ඇති මෑත කාලීන විවාදවලින් පෙන්නුම් කරන්නේ එක් අතකින් සහභාගිත්වවාදී, උපදේශාත්මක සහ ඇතුළත් කර ගන්නා කළමනාකරණ භාවිතාවන් ද, අනෙක් අතින් ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම ද අතර පවතින විසන්ධි වීම් ය. විවිධ නායකයින් පවතින ගැට‍ළු සම්බන්ධයෙන් එකිනෙකට විවිධ හෝ පරස්පර විරෝධී ස්ථාවරයන් ප්‍රකාශ කරන විට, ආධාරකරුවන් සහ බලා සිටින අය යන දෙපිරිස ම අතර ව්‍යාකූලත්වය පැතිර යයි. එය දේශපාලන විරුද්ධවාදීන්ට ආණ්ඩුවේ අභිප්‍රායයන් අභියෝගයට ලක් කිරීමට ද අවස්ථා ලබා දෙයි.

සංවිධානාත්මක ජෛව බලය පවත්වා ගැනීම සහ එදිරිවාදීන්ට එරෙහිව ස්ථාවර දේශපාලන ක්‍රියා මාර්ගයක් පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය නිරවුල් බව, ශිෂ්ටත්වය සහ ඒකාබද්ධ දිශානතිය ස්ථිරසාර අන්දමින් නොව කඩින් කඩ සකස් කර ඇති බව පෙනේ. ආණ්ඩුවේ විශ්වාසනීයත්වය ට හානි කරවන මෙම අනනුකූලතාව, ආධාරකරුවන්ට එහි වාර්තාව රකින්නට හෝ පුරවැසියන්ට එහි සැබෑ ප්‍රමුඛතා වටහා ගැනීම දුෂ්කර බවට පත් කරයි.

බාහිර ආර්ථික බලපෑම්

බාහිර ආර්ථික බලපෑම් ආණ්ඩුව මුහුණ දෙන අභියෝග තවත් සංකීර්ණ බවට පත් කරයි. ඇඟලුම් සහ තේ ඇතුළු ශ්‍රී ලංකා අපනයන සඳහා එක්සත් ජනපද යළි පනවන ලද තීරු බදු ආර්ථිකය ප්‍රකෘතිමත් කරන්නට දරන උත්සාහයන්ට තර්ජනයක් වේ. 2027 මැද භාගයේ දී බාහිර ණය සඳහා සැලකිය යුතු ප්‍රාග්ධන ආපසු ගෙවා දැමීම් සිදු කිරීමට නියමිත ය. මේ සඳහා අනවශ්‍ය විදේශ විනිමය වියදම් කපා හැරීම ද, මූලික දේශීය අවශ්‍යතා සපුරාලීම සඳහා කෘෂිකාර්මික සහ කාර්මික නිෂ්පාදනය පෙරට ගෙන යෑම ද, වැඩිදියුණු කිරීම ද, අපනයන ප්‍රමුඛ වර්ධන යාන්ත්‍රණ ශක්තිමත් කිරීම ද මගින් වේගවත් සංචිත ඒකරාශි කර ගන්නට කටයුතු කිරීම අවශ්‍ය වේ. මෙම පියවරවලින් බොහොමයක් තවමත් ක්‍රියාවට නැංවිය යුතුව තිබේ.

දැනෙන ආර්ථික වැඩිදියුණු කිරීම් අපැහැදිලි ලෙස පැවතුණ හොත් ඡන්දදායකයින්ගේ ආරම්භක හොඳ හිත ඛාදනය වීමේ අවදානමක් ඇත. පරිණාමනීය වෙනසක් සඳහා ඡන්දය දුන් පුරවැසියෝ කෙමෙන් සිදු වන ප්‍රගතිය සහ නිලධාරිවාදී අකර්මණ්‍යතාව පිළිබඳව නොඉවසිලිවත් වෙමින් සිටිති. සිවිල් ජන බල ශක්තිය, විශ්වාසය, ඇතුළත් කර ගැනීම, සහභාගීත්වය සහ තියුණු දැක්ම නොකඩවා එන්නත් කිරීමෙන් තොරව, අපිළිවෙළ දෙසට ක්‍රම පද්ධතියේ පවතින ස්වාභාවික ප‍්‍රවණතාවය වේගවත් වේ. NPP ය බලයට පත් වූයේ ක්‍රම පද්ධති වෙනසක් පොරොන්දු වෙමිනි. කෙසේ වෙතත්, ක්‍රම පද්ධතික පරිණාමනයක් සඳහා හුදු මැතිවරණ ජයග්‍රහණයට වඩා වැඩි යමක් අවශ්‍ය වේ. ඒ සඳහා තිරසාර උත්සාහයක ද, නිරවුල් ප්‍රමුඛතා ද, සියළු දෙනා ඇතුළත් කර ගන්නා පාලනයක් ද, මුල් ඇද ගත් ඵල ප්‍රයෝජනවලට අභියෝග කිරීමට ධෛර්යය ද අවශ්‍ය කෙරේ.

මතු සම්බන්ධයි

2026 ජනවාරි 29 වන දා

Archive

Latest news

Related news