Tuesday, January 13, 2026

නීතිපති සහ Sunday Times රනිල්ගේ නඩුව දියාරු කිරීමේ මරාගෙන මැරෙන සටනක! – අලුත්ම වටය ගැන සවිස්තර හෙළිදරව්වක්.

සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පසුගිය ඉරිදා (11) රනිල් වික්රමසිංහගේ නඩුවට අදාළව පළකර තිබූ වාර්තාව තනිකරම පකෂග්රාහී වාර්තාකරණයක් පමණක් නොව, රනිල් බේරාගැනීමේ නීතිපතිවරයා ප්රමුඛ බලවේගවල කුමන්ත්රණයේ, ‘සතියේ (නො)නිල මාධ්ය කොන්ත්රාත්තුවේ’ අලුත්ම එළිදැක්ම ලෙස නම්කළ හැකි ය.

අප මේ කියන පක්ෂග්රාහී, මාධ්ය කොන්ත්රාත්තුව උක්ත සන්ඩේ ටයිම්ස් වාර්තාව ඇසුරෙන් පමණක්ම වුව කදිමට පෙන්වා දිය හැකි වුවත්, තොරතුරු මත නොව තර්ක මත ගොඩනඟන්නට සිදුවන ඒ කර්තව්යය පසුවට තබා, එම වාර්තාවේ අඩංගුවෙහි ඇති සාවද්ය භාවයත්, කරුණු විකෘති කිරීමත්, මේ නඩුවට අදාළව සැබවින් ම දැනට සිදුවෙමින් පවතින දෙයත් පිළිබඳ අප සතු ඇතැම් තොරතුරු හෙළිදරව් කිරීමට මෙහි දී ප්රමුඛත්වය ලබාදෙන්නෙමු.

ටයිම්ස්මය බොරු විදිල්ල

සන්ඩේ ටයිම්ස් වාර්තාවේ පළමු කරුණුමය බොරුව එන්නේ එහි තුන් වැනි ඡේදයේ ය.
සන්ඩේ ටයිම්ස් ඉංග්‍රිසි ලිපිය මෙහි ඇත:AG’s Dept divided on filing charges against Ranil _ Print Edition – The Sunday Times, Sri Lanka
නියෝජ්ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මේ සිද්ධියට ආදළාව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට සම්බන්ධ විමර්ශන භාරව සිටි බව ටයිම්ස් කියන කරුණ සාවද්ය ය. සමන් ඒකනායකගෙන් අපරාධ පරීක්ෂණ දොර්තමේන්තුව අවස්ථා දෙකක දී කටඋත්තර ගන්නා විට, වසන්ත පෙරේරා මේ නඩු කටයුත්ත සම්බන්ධයෙන් කිසිදු නිල වගකීමක් දැරූවකු නොවේ.
රනිල්ට අදාළ නඩු කටයුත්තේ ප්රධාන අධීක්ෂණ නිලධාරියා වන අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ට සහාය වීමටය යි කියමින් නීතිපති පාරින්ද පළමු වරට වසන්ත නම්කර යවන්නේ, රනිල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පළමු දවසේ ය. (අපට අනුව නම් එහිදී ද නීතිපතිවරයා සතුව තිබුණේ යටි අරමුණකි. දැන් සිදුවී ඇත්තේ එය සනාථ වීමකි.)
එදා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නඩු කටයුත්ත තනිකර ම මෙහෙයවූයේ දිලීප පීරිස් වන අතර, ඔහුගේ සහායට යැවූ වසන්ත පෙරේරාට කට අරින්නට සිදුවූයේ කාරණා දෙකකට පමණි.
පළමුව, සමන් ඒකනායකට අදාළ විමර්ශන සම්බන්ධයෙන් කැරුණු විමසීමේ දී “ඔහුට අදාළ විමර්ශණ අවසන් වූ විට නිරීක්ෂණ දැනුම් දෙන” බව කියන්නට ඔහුට කට අරින්නට සිදුවිය.
දෙවනුව, රනිල් සම්බන්ධයෙන් විමර්ශනවල තත්ත්වය විමසූ විට, ‘ඔහුගෙන් ඉදිරියටත් සාක්ෂි සටහන් කරගන්නට තිබෙන’ බව කීමටත් වසන්තට ‘අවස්ථාවක්’ ලැබිණි.

වසන්ත පෙරේරාගේ ගැටලුකාරී පළමු අතදැමිල්ල

එහෙත් ගැටලුවේ ආරම්භය ඇත්තේ, මේ ආකාරයෙන් මේ නඩුවට සාහායක නිලධාරියා වශයෙන් නම්කිරීමට පෙර වසන්ත පෙරේරා විසින් විමර්ශනවලට කරන ලද ‘නොමනා’ මැදිහත්වීමෙහි ය.
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක දෙවැනි වර ප්රකාශයක් සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සීඅයිඩී) ගෙන්වන්නට තීරණය කළ අවස්ථාවේ දී සීඅයිඩීයට දුරකතනයෙන් කතාකළ වසන්ත පෙරේරා විමසා සිටියේ, ඒකනායක නැවත සීඅයිඩීයට ගෙන්වන්නට යන්නේද කියා ය.
දුරකතනයට පිළිතුරු දුන් සීඅයිඩී නිලධාරියා එය සනාථ කළේ ය.
එවිට වසන්ත පෙරේරා විමසා සිටියේ, ඒකනායක අත්අඩංගුවට ගැනීමට යන්නේද කියා ය. විය යුතු පරිදි ම ඊට සීඅයිඩී නිලධාරියාගේ පිළිතුර වූයේ, එය දැන්ම ගත හැකි තීරණයක් නොවන බවත්, එය තීරණය වනු ඇත්තේ ප්රකාශය සටහන් කරගැනීමෙන් අනතුරුව බවත් ය.
ප්රකාශයක් සටහන් කරගැනීමට සීඅයිඩීයට කැඳවන පුද්ගලයකු අත්අඩංගුවට ගන්නවාද නැද්ද යන්න, ඒ පුද්ගලයාගේ ප්රකාශය සටහන් කරගන්නා තුරු තීරණය කරන්නට පුළුවන් කමක් නැත.

“සමන් ඒකනායක ගත්තොත් නඩුවට අපි නෑ!”

එහෙත් වසන්ත පෙරේරා මෙහිදී සීඅයිඩී නිලධාරියාට කියා ඇත්තේ, සමන් ඒකනායක අත්අඩංගුවට ගතහොත් නීතිපති දෙපාර්තමේන්තුව මේ නඩුවේ දී සීඅයිඩීය වෙනුවෙන් පෙනී නොසිටින බව යි.
ඒ වනවිට වසන්ත පෙරේරාට මේ නඩු කටයුත්තට අදාළව කිසිදු නිල අදාළත්වයක් තිබී නැත. එපමණක් නොව වසන්ත පෙරේරා කිසිදු අවස්ථාවක රනිල්ගේ විමර්ශනයට අදාළව සීඅයිඩී විමර්ශන අධීක්ෂණ වගකීමක් පැවරී සිටි නිලධාරියකු ද නොවේ.
ඒ වනවිට ඔහුට නීතිපති දෙපාර්තමේන්තුව තුළ පැවරී තිබුණේ පිට පළාත්වල නඩු කටයුතු හා විශේෂ නඩු අධීක්ෂණ අංශයේ රාජකාරි ය. ඊට සීඅයිඩී විමර්ශන ඍජුව අයත් නොවිණි. මේ ‘විශේෂ නඩු කටයුතු’ නම් විෂය පථය යටතේ ඔහුට රනිල්ගේ නඩු කටයුත්තට අදාළ විමර්ශන ගැන සීඅයිඩීයෙන් විමසන්නට බලයක් ඇතැයි කෙනකුට තර්ක කළහැකි වුවත්, (එය ද සාමාන්ය සම්ප්රදායට පටහැනි ක්රියාවකි) ‘අසවල් ක්රියාමාර්ගය ගන්නේ නම් හෝ නොගන්නේ නම්’ නීතිපති දෙපාර්තමේන්තුව සීඅයිඩීය වෙනුවෙන් පෙනී සිටින්නේ නැතැයි ප්රකාශ කිරීමට නියෝජ්ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරාට කිසිදු අධිකාරී බලයක් අප දන්නා තරමින් නැත.
රනිල් වික්රමසිංහට අදාළ විමර්ශනවල කිසිදු අධීක්ෂණ වගකීමක් පැවරී නොසිටි වසන්ත පෙරේරාට ඔහුගේ ඉල්ලීම මත සීඅයිඩීය ලබාදී ඇත්තේ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ සාක්ෂි සම්පිණ්ඩනයක් පමණි. ඒ සාක්ෂි සම්පිණ්ඩනය පමණක් අත ඇති ඔහුට රනිල්ට හෝ වෙන කිසිවකුට එරෙහිව නඩු දමන්නට ප්රමාණවත් සාක්ෂි හෙළිදරව් වී ඇතිද මදිද කියන්නට කිසිදු හැකියාවක් තිබිය නොහැකි ය යන්න අපේ ආරංචි මාර්ගවලින් පැවසේ.

“MLA එකක් අරන් නෑ!” – වසන්ත පෙරේරා

සන්ඩේ ටයිම්ස් කියන අන්දමට, වසන්ත පෙරේරා මේ නඩුවෙන් ඉවත් වෙමින් ඉදිරිපත් කර ඇති වාර්තාවේ දැක්වෙන අනෙක් ප්රධාන කාරණයක් වන්නේ, අපරාධ සිදුවීම්වලට අදාළට අපරාධ වැරදි සම්බන්ධ අන්යෝන්ය සහයෝගීතා පනත (Mutual Assistance in Criminal Matters Act) යටතේ ප්රතිපාදන සපයා ඇති අන්යෝන්ය නීති සහයෝගීතාවක් (Mutual Legal Assistance – MLA) පූර්වයෙන් ලබා නොගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් බ්රිතාන්යය බලා පිටත් වීම යි. එවැන්නක් ලබා නොගැනීම හේතුවෙන් සිය භාර්යාවගේ උපාධි ප්රධානෝත්සවයට සහභාගී වීමට රනිල්ට ලැබුණු වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්යාල (the University of Wolverhampton) ආරාධනා පත්රය සත්ය එකක්ද යන්න තහවුරු කරගන්නට විමර්ශකයන්ට නොහැකි විනැයි පෙරේරා තර්ක කර ඇති බව ටයිම්ස් කියයි.
මෙහි දී පැනනැඟෙන පළමු ගැටලුව වන්නේ, මේ නඩුවේ ප්රධාන අධීක්ෂණ නිලධාරී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීපට නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට මෙය බාධාවක් බවට පැන නොනැඟෙන ගැටලුවක්, අතරමැද දී නීතිපතිවරයා විසින් නඩුවට සම්බන්ධ කරන ලද නියෝජ්ය සොලිසිටර් ජනරාල් වසන්තට පැනනැඟෙන්නේ ඇයිද යන්න සහ ඉන් වඩා බලවත් වන්නේ වසන්තගේ නිරීක්ෂණයද, දිලීපගේ නිරීක්ෂණයද යන්න යි.

ටිරාන්ලාගේ – බෝගොල්ලාගමලාගේ අතපෙවිල්ල

මෙසේ MLA එකක් ලබානොගෙන විමර්ශන කණ්ඩායම බ්රිතාන්යයට ගියේ මන්ද යන්න ගැන අප කළ සොයාබැලීමේ දී, මේ කියන නියෝජ්ය සොලිසිටර් ජනරාල්ට හෝ ටයිම්ස් වාර්තාකරුවන්ට හමු නොවූ බව පෙනෙන තොරතුරු කිහිපයක් අපට වාර්තා විය.
පළමුව, MLA එකක් ලබාගැනීම යනු දවසෙන් දෙකෙන් කළ හැක්කක් නොව සැලකිය යුතු තරම් කාලයක් ගතවන ක්රියාවලියකි.
ලන්ඩනයේ ශ්රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට සම්බන්ධ පුද්ගලයන් කිහිපදෙනකුගේ ප්රකාශ සටහන් කරගැනීම එවැනි දිගු කාලයක් වැය නොකර වහාම සිදුකළ යුතුය යි සීඅයිඩී විමර්ශකයන් තීරණය කර ඇත්තේ හේතු ඇතිව ය.
ඒ වනවිටත් හිටපු අමාත්යවරුන් වන ටිරාන් අලස් සහ රෝහිත බෝගොල්ලාගම ඇතුළු කිහිපදෙනකුගෙන් මහකොමසාරිස් කාර්යාලයට අනිසි බලපෑම් එල්ලවෙමින් තිබූ බව සීඅයිඩීයට විශ්වාස කටයුතු මාර්ගවලින් වාර්තා වී තිබිණි. අලස්, බෝගොල්ලාගම ඇතුළු පිරිස උත්සාහ දරමින් හා බලපෑම් කරමින් සිට ඇත්තේ ලන්ඩනයේ මහකොමසාරිස් කාර්යාලයේ මෙම සංචාරයට අදාළව ඇති සාක්ෂි විනාශ කිරීමට හෝ වෙනස් කිරීමට ය.
විමර්ශන කණ්ඩායම ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලයේ අදාළ ප්රකාශ සටහන් කරගනිමින් සිටියදීත් මහකොමසාරිස් කාර්යාලයට දිගින් දිගටම ලැබුණු දුරකතන ඇමතුම් පරීක්ෂා කර බැලුවහොත් මේ තොරතුර සනාථ වනු ඇතැයි අපට වාර්තා වේ.
දෙවනුව, සීඅයිඩී තීරණය වී ඇත්තේ වඩා කල් ගතවන MLA අවසරයක් ලබාගෙන ගොස් වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්යාලයෙන් මේ ආරාධනාව ඇත්තද නැත්තද යන්න තහවුරු කරගැනීම තමන්ගේ විමර්ශනයට මේ මොහොතේ අදාළ නොවන බව ය. මන්ද යත්, වැදගත් ගැටලුව වන්නේ ඒ ආරාධනාව වලංගුද නැද්ද යන්න නොව, රාජ්ය තාන්ත්රික ප්රොටෝකෝලවලට අනුව මේ සංචාරය නිල එකක්ද නැතිද යන්න තහවුරු කරගැනීම බව යි. ඊට අදාළව මහකොමසාරිස් කාර්යාලයේ ඇති සාක්ෂි විනාශ කරන්නට හෝ වෙනස් කරන්නට පෙර අදාළ විමර්ශන සිදුකිරීම සිය අවශ්යතාව බව ඒ අනුව විමර්ශකයන්ගේ තීරණය වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ විමර්ශන ආයතනයට ම බව ද මෙහිදී අමතක නොකළ යුතු ය.

දිලීපගේ නිරීක්ෂණවලටත් තාම වෙච්ච දෙයක් නෑ

සන්ඩේ ටයිම්ස් අනෙක් නොමඟ යවනසුලු සඳහන එන්නේ පුවතේ අවසන් ඡේදයේ ය. ලන්ඩන් ගිය සීඅයිඩී විමර්ශකයන් විසින් ලබාගන්නා ලද ප්රකාශවල උදෘත එවන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව ලිඛිතව දන්වා යවා ඇතත්, මේ දක්වා සීඅයිඩීය ඒ උදෘත ලබාදී නොමැති බව ඉන් කියැවේ.
සීඅයිඩීය විසින් පළමුව නීතිපති දෙපාර්තමේන්තුවට ලබාදෙන්නේ කිසියම් ප්රකාශයක උදෘත නොව, සම්පිණ්ඩනයකි. නඩු නිමිත්තක් තියෙනවාද නැතිද යන්න නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කරන්නේ මේ සාක්ෂි සම්පිණ්ඩනය සලකා බලා ය. උදෘත ලබාදෙන්නේ එසේ නඩු පැවරීමට කරුණු ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කරන්නේ නම්, ඉන් අනතුරුව ය.
මේ නඩුවේ දී අතිශයින් තීරණාත්මක බව පෙනෙන ලන්ඩනයේ විමර්ශනවල උදෘත ඉල්ලා සිටියත් නොලැබුණු බව ටයිම්ස් එකට කියා ඇත්තේ, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් අවස්ථා දෙකකදී ලබාගන්නා ලද ප්රකාශවල සම්පිණ්ඩන යවමින්, ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පතා සිටි සීඅයිඩීයට, දැන් සති 6ක් ද ඉක්ම ගොස් ඇතත් අද මේ වනතුරුත් සිය උපදෙස් ලබාදීමට කටයුතු නොකළ නීතිපති දෙපාර්තමේන්තුව යි.

ලන්ඩන් සාක්ෂි ගැන ඇයි මේ තරම් කලබල?

තමන් විසින් පවරන ලද නඩුවක සැකකරුවකුගේ නීතීඥයන්ට සාමාන්ය තතු යටතේ නොලැබෙන සුවිශේෂී වරප්රසාදයක් වන තමන් හමුවී නඩුව ගැන සාකච්ඡා කිරීමේ දුර්ලභ වරය රනිල්ගේ නඩුවේ රනිල් වෙනුවෙන් පෙනීසිටින නීතීඥයන්ට ලබාදුන්නේ ද මේ නීතිපතිවරයාම ය. සන්ඩේ ටයිම්ස් ම කී විදියට ඒ නීතීඥ කණ්ඩායම නීතිපතිවරයා හමුවූයේ, නීතිපතිට නොදන්වා සීඅයිඩීය ලන්ඩන් ගොස් ඇති බවට කේලාම් කියන්නට ය. මේ සීඅයිඩී ලන්ඩන් ගමන ආරංචි වූ තැන් පටන්, එහිදී සොයාගන්නා ලද සාක්ෂි මොනවාද යන්න දැනගැනීමට සැකකාර පාර්ශ්වය මාරාන්තික සටනක් දෙමින් සිටින බව පැහැදිළිව පෙනෙන්නට තිබේ. ඒ තතු යටතේ සමන් ඒකනායකගෙන් ලබාගත් ප්රකාශවල සම්පිණ්ඩන යවා විමසන ලද උපදෙස්වලට සති 6ක් තිස්සේ උත්තර නොදෙන නීතිපති, දැන් ලන්ඩන් උදෘත ඉල්ලා කරදර වන බවක් පෙනේ.

දිලීප පීරිස්ගේ නිරීක්ෂණ අදටත් අතුරුදහන්?

අවසාන වශයෙන්, “The Sunday Times learns that…” යයි කියමින් ටයිම්ස් ලියන කතාවේ ඇති තවත් වරදක් පෙන්වාදීමට කැමැත්තෙමු.
ටයිම්ස් සිය පුවතේ අවසන් ඡේදයට පෙර ඡේදයෙන් කියන්නේ සමන් ඒකනායකට අදාළ විමර්ශන උදෘත සහිතව රජයේ නීතීඥ සමදරී පියසේන විසින් සම්පාදනය කරන ලද පිටු 11කින් යුතු වාර්තාවක් ද නඩු කටයුත්ත සම්බන්ධයෙන් තමන්ගේ මතය සමඟ දිලීප පීරිස් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව ය.
අපේ තොරතුරුවලට අනුව නම් මේ නඩු කටයුත්තේ දී සහාය නීති නිලධාරිනියක ලෙස කටයුතු කරන රජයේ ජේෂ්ඨ නීතීඥ සමදරී පියසේන නඩුවේ ප්රධාන අධීක්ෂණ නිලධාරී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ට පිටු 12කින් යුතු සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එහි අඩංගු වී ඇත්තේ සමන් ඒකනායකට අදාළ විමර්ශන සම්පිණ්ඩන පමණක් නොවේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්රධාන ප්රොටොකොල් නිලධාරියාගේ, විදේශ අමාත්යාංශයේ හිටපු ලේකම් අරුණි විජේවර්ධනගේ, අදාළ කාලයේ බ්රිතාන්යයේ ශ්රී ලංකා මහකොමසාරිස් ලෙස කටයුතු කළ සරෝජා සිරිසේනගේ, රනිල්ගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්රා පෙරේරාගේ ඇතුළු විමර්ශනයේ අතිශය වැදගත් ප්රකාශ පිළිබඳ නිරීක්ෂණ එහි අඩංගුව තිබී ඇත.
මේ පිටු 12 වාර්තාව දිලීප පීරිස් විසින් පිටු 8ක් දක්වා සංස්කරණය කර නීතිපතිවරයාට භාර දී ඇත්තේ පසුගිය අඟහරුවාදා වන නමුත්, ඊයේ වන තුරුත්, දින 6ක් තිස්සේත් ඒ සම්බන්ධ නීතිපතිවරයාගේ ප්රතිචාරය ආපසු ලැබී නැත.

වාර්තාවේ හිල් සොයා මෙහෙයුමක්!

ඒ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවේ ම දිලීපට පහළ තැන් කරා යවා, වාර්තාවේ ඇති ‘රිංගා යාහැකි හිල්’ ගැන තීක්ෂණ සොයාබැලීමක් සිදුකරමින් සිටින බවට ද තොරතුරු අපට වාර්තා වී තිබේ.
රනිල් නඩුවෙන් බේරෙන්නට යනවාය යි අර්ථ දැක්විය හැකි, නඩුවෙන් ඉවත් වන්නට තීරණය කළ සහාය නිලධාරියකුගේ වාර්තාවක් ගැන තොරතුරු ටයිම්ස් එකට පාස් වෙන්නේ, නඩුව සම්බන්ධයෙන් ඊට ප්රතිවිරුද්ධ බලවත් මතයක් ඉදිරිපත් කරමින් ‘නඩුව පවත්වාගෙන යාමට ප්රමාණවත් සාක්ෂි තිබෙන බව’ කියන ප්රධාන අධීක්ෂණ නිලධාරියාගේ වාර්තාව අතුරුදහන් වී තිබෙන තත්ත්වයක වීම ද මේ කුමන්ත්රණයේ තරම පෙන්වන සාධකයකි.
නීතිපතිවරයාගේ අභිමතය හා සමාන්තර වන බව සාධාරණ ලෙස සැක කළ හැකි වසන්ත පෙරේරාගේ පිටු හයේ වාර්තාව සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ප්රවෘත්තියේ මුඛ්ය තේමාව වන්නේ මෙවන් පසුබිමක ය.
නියෝජ්ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා යනු නීතිපති පාරින්ද රණසිංහගේ විශ්වාසවන්ත ම නිලධාරියකු බව අපේ ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ කොහිහැටි වෙතත්, මේ ‘විවාදාපන්න නඩුවට මැදි වී නිකං නාගන්නේ නැතුව ඉන්නැ’ යි ඔහුගේ ජ්යේෂ්ඨයන්ගෙන් ලැබුණු උපදෙස් ද වසන්ත පෙරේරා මේ නඩුවෙන් ඉවත්වීමට බලපා ඇති බව අපට වාර්තා වේ. එහෙත් අපේ නිරීක්ෂණයට අනුව, ඒ උපදෙස් පරිදි වසන්ත පෙරේරාට දැන් පැත්තකට වී ඉන්නට බැරිවන්නේ, විශේෂයෙන් ටයිම්ස් වාර්තාවෙන් පැනනැඟී ඇති අලුත් අර්බුදය නිසාවෙනි.
කොළපාට සමාජය

අයේෂාට උඩින් දැමූ පාරින්ද

නීතිපති පාරින්ද රණසිංහ යනු නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ නඩු සම්බන්ධයෙන් සැලකිය යුතු පරිචයක් සහිත පුද්ගලයෙක් නොවේ. ඔහුගේ අත්දැකීම් ඇත්තේ උදර්පන නීතිය සම්බන්ධයෙන් අධීක්ෂණ කටයුතු හා අන්යෝන්ය නීති සහයෝගීතාව (Mutual Legal Assistance – MLA) වැනි ක්ෂේත්රවල ය. සාමාන්යයෙන් නීතිපති ධූරයට පත්කිරීමේ දී වැඩි බරක් තැබෙන්නේ අදාළ නිලධාරියා සතු අපරාධ නඩු සම්බන්ධ පරිචයට ය.
පාරින්ද රණසිංහ නීතිපති වශයෙන් පත්වන්නේ එවකට ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් ව්යවස්ථාදායක සභාවට නීතිපති තනතුර සඳහා ඔහුගේ නම යෝජනා කර යැවීමේ ප්රතිපලයක් ලෙසිනි. රනිල් එසේ පාරින්ද නම්කරන්නේ, එවකට ඔහුට වඩා ජ්යේෂ්ඨත්වයෙන් ඉහළින් සිටි අයේෂා ජිනසේන නොතකා හරිමිනි. අයේෂා ජිනසේන යනු දශක තුනක පමණ කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරමින්, වාස් ගුණවර්ධන නඩුව ඇතුළු අතිශය බැරෑරුම් අපරාධ නඩු ගනණාවක් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් මෙහෙයවූ නිලධාරිණියක වන අතර, පාස්කුදින ප්රහාර පරීක්ෂණ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි මෙහෙයවන ලද්දේ ද ඇය විසිනි.
නීතිපති තනතුරට ඉහළම සුදුසුකම් සපුරා සිටි ඇය නොතකා හැර රනිල් විසින් පාරින්ද නීතිපති කරනු නොලැබුවේ නම්, පාරින්දට නීතිපති සිහිනයක් හැබෑකරගන්නට හැකි නොවන්නට බොහෝ ඉඩ තිබිණි. ඒ අනුව පාරින්ද රණසිංහ, තමන්ට නීතිපතිකම දෙන්නට කටයුතු කිරීම සම්බන්ධයෙන් රනිල් වික්රමසිංහට ණයගැති වීම තේරුම් ගත නොහැක්කක් නොවේ. එහෙත්, රටේ නීතිපතිවරයා වශයෙන් ඔහුගෙන් ඉටුවිය යුතු සේවාව වන්නේ සිය පත්කිරීමේ නිලධාරියාට කළගුණ සලකමින් යාම නොව, නීතිපති තනතුරේ වගකීම අපක්ෂපාතීව හා සාධාරණව ඉටුකිරීම යි.

සනත් බාලසූරිය විසින් මුහුණු පොතෙහි තබන ලද සටහනකි. නතිපතිවරයාගේ පුද්ගලික ජීවිතය ගැන තිබූ ජේදය ඉවත්කර ඇත. සම්පූර්න ලිපිය මෙහි ඇත.Sanath Balasooriya

Archive

Latest news

Related news