මෑතක දී මා ශ්‍රී ලංකාවේ යෝජිත රාජ්‍ය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත (PSTA) විවේචනයට ලක් කළ විට, ජාතික ජනතා බලවේගයට (NPP) සමීප යහපත් අදහස් දරන පුද්ගලයින් කිහිප දෙනෙක් මා දරන ස්ථාවරය යලි සලකා බලන ලෙස මගෙන් ඉල්ලා සිටියහ. ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා අත්‍යවශ්‍ය වන සංවාදයේ ජීව ගුණය ඉන් පිළිබිඹු කරන හෙයින්, ඔවුන්ගේ ඒ ප්‍රවේශය මම අගය කරමි. කෙසේ වෙතත්, සාවධාන ලෙස යලි මෙනෙහි කිරීමෙන් පසු, පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ යෝජිත PSTA කෙටුම්පත යන දෙකම අන්තරාදායක ඉදිරි මාවතක් නියෝජනය කරන බවට මම ඒත්තු ගෙන සිටිමි.
මගේ ස්ථාවරය ප්‍රතිපත්තිය පිළිබඳව වෙයි.
හදිසි නීති රටාව
1947 දී පනවන ලද සහ 1988 දී සංශෝධනය කරන ලද මහජන ආරක්ෂක ආඥා පනත (PSO), මහජන ආරක්ෂාව උදෙසා හදිසි අවස්ථා ප්‍රකාශ කිරීමට පුළුල් විධායක බලතල ලබා දුන්නේය. ඩී එස් සේනානායක මහතා ඇතුළු දේශීය ප්‍රභූ පැලැන්තිය අනුග්‍රහය දැක්වූ එම පනත මූලික වශයෙන් සකස් කරන ලද්දේ මාක්ස්වාදී වැඩ කටයුතු සහ කම්කරු ව්‍යාපාරය මැඩ පැවැත්වීම සඳහා ය. 1948 නිදහස ලැබීමෙන් පසු, අනුප්‍රාප්තික ආණ්ඩු විසින් සන්නද්ධ හමුදා යොදවා, වරෙන්තු රහිතව අත්අඩංගුවට ගනිමින්, අධිකරණ අධීක්ෂණය මඟ හරවා විරෝධතා, වැඩවර්ජන සහ කැරලි මැඩපැවැත්වීම සඳහා හදිසි නීති රෙගුලාසි භාවිතා කර ඇත.
1948 සිට 1970 දක්වා හදිසි නීති රෙගුලාසි ඉලක්ක කලේ පශ්චාත් යටත් විජිත ආතතීන් සහ සිංහල බහුතර වාදය හේතුවෙන් උතුරු නැගෙනහිර පැන නැගුණ සාමකාමී විරෝධතා යි. මෙම බලතල, ජාත්‍යන්තර සම්මතයන් බොහෝ ලෙස ඉක්මවා යමින් “ජාතික ආරක්ෂාව” වැනි අපැහැදිලි හේතු මත ප්‍රකාශනයේ, රැස්වීමේ, එකතු වීමේ මූලික අයිතිවාසිකම් සීමා කිරීමට විධායකයට ඉඩ ලබා දුන්නේය. ෆෙඩරල් පක්ෂය වැනි දෙමළ දේශපාලන ව්‍යාපාරවලට එරෙහිව එවැනි බලතල අසාධාරණ ලෙස යෙදවීම, සැබෑ ආරක්ෂක තර්ජන ආමන්ත්‍රණය කරනවාට වඩා නීත්‍යානුකූල ඉල්ලීම් යටපත් කර දැම්මේය.
ශ්‍රී ලංකාව නිදහසින් පසු එහි ඉතිහාසයේ වැඩි කාලයක් පුරාම පවත්වා ගෙන ගොස් ඇත්තේ නොකඩවා පවත්වා ගෙන ගිය හදිසි නීතිය යටතේ ය. පළමු හදිසි නීති අවස්ථාව ප්‍රකාශ කරන ලද්දේ “සිංහල පමණක්” භාෂා ප්‍රතිපත්තියට හා ඉන් පසු ඇති වූ කැරලි කෝලාහල වලට පසුව යි. පාලන තන්ත්‍රයේ ධවල භීෂණය ද, ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) 1971 අප්‍රේල් නැගිටීමෙන් ද පසු වසර හයක හදිසි අවස්ථාවක් පවත්වා ගෙන යන ලදි. ශ්‍රී ලංකා රජය හා දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය අතර සන්නද්ධ ගැටුම හා යුද්ධය පැවති කාලයේ දී හදිසි නීති පාලනය 1983 සිට 2011 දක්වා 28 වසරක් පුරා නොකඩවා පවත්වා ගෙන යන ලදි.
වඩාත් මෑතක දී, එනම්, මහනුවර මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය අතරතුරේ දී, 2018 පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව,2019 දී සහ 2021-2022 ආර්ථික අර්බුදය අතරතුරේ දී යලි යලිත් හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කරන ලදී. ගංවතුර සහ දිට්වා සුළි කුණාටුවෙන් පසු 2025 දෙසැම්බර් මාසයේ දී, ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුව හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කළේය. එසේ හදිසි නීතිය, සැබෑ තර්ජන ආමන්ත්‍රණය කරනවාට වඩා විසම්මුතිය කළමනාකරණය කිරීමේ සහ සිංහල බෞද්ධ ආධිපත්‍යය බලාත්මක කිරීමේ මෙවලමක් බවට පරිණාමනය වූයේය.
අනතුරුදායක මාදිලි
ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විරෝධී නීති සම්පාදනය 1970 දී පමණ ආරම්භ කරන ලද අතර 1971 ජවිපෙ නැගිටීමෙන් පසුව එම නීතිය බලාත්මක කරන ලදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂයෙන් සමන්විත වූ පාලක සන්ධානය, ඔවුන්ගේ ආශ්වාදය සඳහා යොමු වූයේ, සමාන අයිතිවාසිකම් සඳහා කළු සහ ඉන්දියානු ප්‍රජාවන් සතුව තිබූ අභිලාෂයන් මැඩ පවත්වන්නට සකස් කරන ලද දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී නීති වෙත සහ අයර්ලන්ත සටන්කාමිත්වයට එරෙහිව යොදා ගනිමින් තිබූ බ්‍රිතාන්‍ය හදිසි නීති රෙගුලාසි වෙත යි. මෙම නීති නියෝජනය කරන්නේ ඉතිහාසයේ ඉතාමත් අපකීර්තිමත් කැරලි මර්දන අසාර්ථකත්වයන් දෙකකි.
අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා (CJC) පනත, කළු බහුතරයට එරෙහිව වාර්ගික වෙන් කිරීම සහ වෙනස්කම් කිරීම පවත්වා ගෙන යාමට සකස් කල දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී යුගයේ නීති සෘජු ලෙසම මාදිලිය කර ගත්තේ ය. ඒ හා සමාන ලෙස CJC පනත, PTA පනත සහ යෝජිත PSTA පනත් කෙටුම්පත පන්තිය, ජාතිය, භාෂාව සහ ආගම මත පදනම්ව කරන වෙනස්කම් පවත්වා ගෙන යෑම සඳහා සකස් කර ඇත. මෙසේ සිදු වන්නේ එවැනි භාවිතාවන් නිමා කර දමන බවට දශක ගණනාවක් තිස්සේ දෙන ලද පොරොන්දු තිබිය දී ය.
ඉතිහාසය, දකුණු අප්‍රිකාවේ දී එහි තීන්දුව ලබා දුන් අතර වර්ණභේදවාදී නීති අසමත් වූයේය. අභ්‍යන්තර විරෝධතා, ජාත්‍යන්තර සම්බාධක සහ දරා ගත නොහැකි වියදම් හේතුවෙන් ක්‍රම පද්ධතිය, එහි නීති සමගම බිඳ වැටුනේය. දැඩි කුරිරු සන්නද්ධ මර්දනය මධ්‍යයේ වුවද, 1994 දී නෙල්සන් මැන්ඩෙලා බලයට ගෙන එමින් අප්‍රිකානු ජාතික කොංග්‍රසය ජයග්‍රාහී වූයේය.
අයර්ලන්තයේ බ්‍රිතාන්‍යය අසමත් වීම
අයර්ලන්තය තුල ක්‍රියාත්මක කරන ලද බ්‍රිතාන්‍ය හදිසි නීති රෙගුලාසි ද ඒ හා සමාන දැනුමක් ලබා දෙන කතාවක් කියයි. සටන්කාමිත්වය මර්දනය කිරීමේ ලා නිරන්තරයෙන් අසමත් වූ මෙම පියවර බොහෝ විට අපේක්ෂා කල ප්‍රතිඵලයට විරුද්ධ ප්‍රතිඵලයක් ලබා දුන් බව ඔප්පු විය. ජාතිකවාදී හැඟීම් තීව්‍ර කල එම පියවර, නිදහස උදෙසා කළ යුද්ධයේ සිට ආපදාවන් (the Troubles)[i] හරහා ප්‍රචණ්ඩත්වය උත්සන්න කළේය.
කළු සහ දුඹුරු පැහැ ජාතිකයන්[ii] අවිචාරවත් සහ ම්ලේච්ඡ ලෙස යොදා ගැනීම, විනිශ්චයකින් තොරව සිරගත කිරීම වැනි දැඩි පියවර, අයර්ලන්ත කතෝලික ප්‍රජාව දුරස්ථ බවට පත් කළ අතර අයර්ලන්ත ජනරජ හමුදාව (IRA) දුබල කරනවාට වඩා එයට ලැබුණ සහාය ශක්තිමත් කර ලීය. බ්‍රිතාන්‍යය, විසඳුමක් කරා පැහැදිලි මාවතක් ඉදිරිපත් නොකර, දේශපාලන උපාය මාර්ගයක් ද නොමැතිව ආරක්ෂණ පියවර මත විශ්වාසය තැබුවේ ය. 1920 අයර්ලන්ත ආණ්ඩු පනත ලබා දුන්නේ සීමිත ස්වදේශීය පාලනයක් ද, විධිමත් කරන ලද බෙදා වෙන් කිරීමක් පමණි. එය විසඳනවාට වඩා ආතතීන් අවුළුවා ලීය.
සිවිල් උසාවි, හමුදා අධිකරණවලින් ප්‍රතිස්ථාපනය කල අයර්ලන්තයේ සාමය ප්‍රතිස්ථාපනය කිරීමේ පනත (1920) හිර බාරයේ තබා ගන්නට අවසර දුන්නේය. එය විශිෂ්ට අන්දමින් අසාර්ථක විය. උසාවි පිරී ඉතිරී ගියේය; සාක්ෂිකරුවෝ සාක්ෂි දීම ප්‍රතික්ෂේප කළහ; 1921 නඩු තීන්දුවකින් ඊට මරණ දඬුවම් පැනවීමට බලය ලබා නොදුන් බව තීරණය විය. 1920 දෙසැම්බර් මස, යුද නීතිය ප්‍රකාශයට පත් කරන ලද විට, IRA ප්‍රහාර 1921 මුල් භාගය පුරා උත්සන්න විය.
ගරිල්ලා යුද්ධයෙන් ඉච්ඡා භංගත්වයට පත් බ්‍රිතාන්‍ය හමුදා පළි ගැනීම් වල, නිවාස සහ වෙළඳ ව්‍යාපාර ගිනි තැබීම් වල නිරත වූහ. මෙය ශ්‍රී ලංකාවේ 1983 කළු ජූලි සංහාරය සිහියට නංවයි. IRA ප්‍රචාරක ජයග්‍රහණ බවට පත් මෙම ක්‍රියාමාර්ග, බ්‍රිතාන්‍යයට ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස තිබුන කීර්ති නාමයට හානි කර, මධ්‍යස්ථ මත දුරස් කර ලීය. 1920 යුද්ධෝපකරණ වර්ජනය[iii] වැනි බහුජන සහයෝගය නොදැක්වීම් නතර කරන්නට හදිසි නීති රෙගුලාසිවලට නොහැකි විය.
යුද ජයග්‍රහණයක් අත් කර ගත හැකි වුවද, දේශපාලනිකව හා කීර්ති නාමයට සිදු වන හානිය අති විශාල බව බ්‍රිතාන්‍යය අවසානයේ දී පිලි ගත්තේය. මෙම පිලි ගැනීම 1921 සටන් විරාමයට සහ ඇන්ග්ලෝ-අයර්ලන්ත ගිවිසුමට[iv] මඟ පෑදීය. උතුරු අයර්ලන්ත සාම ක්‍රියාවලිය විදහා දක්වා ඇති පරිදි, සාමය සාක්ෂාත් කර ගන්නා ලද්දේ පුළුල් දේශපාලන සාකච්ඡා තුලින් පමණකි. 2025 දී, එක්සත් රාජධානියේ ආණ්ඩුව, “දෝෂ සහගත සහ අසමත් වූ නීති” ලෙස සලකනු ලැබූ සහ උසාවි විසින් නීති විරෝධී බවට තීන්දු කරන ලද 2023 උතුරු අයර්ලන්ත ආපදා (උරුමය සහ සංහිඳියාව) පනත අවලංගු කිරීම සඳහා සැලසුම් ප්‍රකාශයට පත් කලේය.
ශ්‍රී ලංකාවේ අසමත් වූ අත්හදා බැලීම්
ශ්‍රී ලංකාවට ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා බුද්ධිමය (රහස්) තොරතුරු ඇතුළු සැලකිය යුතු හමුදා උපදෙස් සහ සහයෝගය චීනය, ඉන්දියාව, පකිස්ථානය, රුසියාව සහ ඊශ්‍රායලය වැනි රටවලින් ලැබුණි. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව ද, විශේෂයෙන් බුද්ධිමය (රහස්) තොරතුරු ලබා ගැනීම සහ කැරලි මැඩපැවැත්වීම සඳහා පුහුණුව ලබා දීම සහ ආධාර කිරීම අතින් දායක විය. යුද්ධය අතරතුර මානව හිමිකම් පිළිබඳව කරන ලද බටහිර විවේචනවලින් පසුව, ශ්‍රී ලංකාව කාලයාගේ ඇවෑමත් සමග බටහිරට නැඹුරු ස්ථාවරවලින් ඈත් වී චීනය සහ රුසියාව සමඟ සමීප සබඳතා පවත්වා ගැනීමට යොමු විය.
1971 කැරැල්ලෙන් පසුව පිහිටුවන ලද අපරාධ යුක්ති කොමිෂන් සභා පනත (1972), මූලික යුක්තියේ මූලධර්ම අඩපණ කර දැමූ විශේෂ විනිශ්චය සභා බිහි කළේය. පැමිණිල්ල වරද ඔප්පු කරනු වෙනුවට විත්තිකරුවන් ඔවුන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීම අවශ්‍ය කරමින් මෙම පනත ඔප්පු කිරීමේ බර කණපිට හරවා ලීය. සාමාන්‍යයෙන් අධිකරණයේ දී පිළිගත නොහැකි සාක්ෂි පිළි ගන්නට අවසර දුන් එම පනත, අභියාචනා කිරීමේ අයිතිය ද ඉවත් කළේය.
රෝහණ විජේවීර සහෝදරයාට, පනතේ විධිවිධාන පවා අභිබවා ගිය දඬුවමක්, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමත් සමග විනිශ්චය සභාවේ දේශපාලනික හා පංතිමය පක්ෂග්‍රාහිත්වය පැහැදිලි විය. පනත යටතේ පනවන ලද සියලු දඬුවම් ආපසු හැරවීමත් සහිතව එම පනත 1977 දී අවලංගු කරනු ලැබුවද, එහි උරුමය ඉන් පසු පනවන ලද හෝ යෝජනා කරන ලද ත්‍රස්ත විරෝධී නීතිවල මුල් බැස තිබෙන යුක්තිය පිළිබඳ මූලධර්ම ඛාදනය වීම තුළ නොනැසී පවතී.
1979 දී තාවකාලිකව පනවන ලද සහ 1982 දී ස්ථිර කරන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), මුලින් දෙමළ බෙදුම්වාදය සහ එල්ටීටීඊ සංවිධානය ඉලක්ක කර ගත් බව පෙනෙන්නට තිබුණි. මර්දනය, වධහිංසා සහ ප්‍රචණ්ඩත්වය හරහා කෲර ලෙස ක්‍රියාත්මක කළ ද, එල්ටීටීඊය දිගටම ශක්තිමත් විය. අවසානයේ එල්ටීටීඊ සංවිධානය 2009 මැයි මාසයේ දී යුදමය වශයෙන් පරාජය කරන ලද්දේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ කාර්යසාධකත්වය නිසාවෙන් නොව, නිව්යෝර්ක්හි සැප්තැම්බර් 11 වන දා කළ ත්‍රස්ත ප්‍රහාරවලින් පසු වෙනස් වූ ජාත්‍යන්තර තත්වයන් ද, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ඊශ්‍රායලය සහ වෙනත් රටවලින් ලැබුණු යුදමය සහාය ද නිසාවෙනි. එක්සත් ජාතීන්ගේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර සහ දේශීය ත්‍රස්ත විරෝධී නීති වේගයෙන් ව්‍යාප්ත කර ලීම සඳහා සැප්තැම්බර් 11 එල්ල කරන ලද ප්‍රහාර ගෝලීය උත්ප්‍රේරකයක් ලෙස සේවය කළේය. 1979 සිට 2009 දක්වා LTTE ක්‍රියාකාරකම් වැළැක්වීමට PTA දැක්වූ අසමත් බව එහි සැබෑ කාර්යසාධකත්වය පිළිබඳව බොහෝ දේ පවසයි.
පැහැදිලි පාඩම
දකුණු අප්‍රිකාව, අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව පුරා එවැනි නීති පැනවීමේ, ක්‍රියාත්මක කිරීමේ සහ අසාර්ථක වීමේ රටාව ඉතා පැහැදිලි ය. එම රටාවෙන් උකහා ගත හැකි පාඩම වන්නේ, වෙනස්කම් කිරීම සහ මර්දනය මත පදනම් වූ ත්‍රස්ත විරෝධී සහ ආරක්ෂක නීති ක්‍රියාත්මක නොවන බවයි. එවැනි නීති ත්‍රස්තවාදය හෝ සටන්කාමිත්වය වළක්වනු නොලබන්නේ ඒවා ජනගහනය දුරස්ථ කර, දිවි පුදන්නන් බිහි කර, විරෝධය අවුළුවා, අවසානයේ ඒ නීතිවල ම ප්‍රතිවිරෝධතා හේතුවෙන් බිඳ වැටෙන නිසාවෙනි.
ඒ රටාව ම අධ්‍යයනය කිරීමෙන් සාර්ථක වන්නේ මොනවා දැයි නිගමනය කළ හැකිය. ඒ දේශපාලන විසඳුම්, සංවාදය, අව්‍යාජ ප්‍රතිසංස්කරණ සහ මානව හිමිකම්වලට ගරු කිරීම යි. මේවා බොළඳ පරමාදර්ශ නොවේ. ඒවා අධිකාරිවාදි පාලනය යටතේ අපමණ වූ අසාර්ථක අත්හදා බැලීම් තුලින් සහ ලෙයින් හා කඳුළෙන් ලියා ඇති ප්‍රායෝගික පාඩම් වේ.
ශ්‍රී ලංකාව සන්ධිස්ථානයකට පැමිණ ඇත. අපට අසමත් වන ලද යටත් විජිත මාදිලි දිගේ නොකඩවා ගමන් කළ හැකිය. එසේ නැතහොත් අපට ඉතිහාසයෙන් ඉගෙන ගෙන වෙනස් මාවතක්, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය සහ නීතියේ ආධිපත්‍යය මත ගොඩ නැගුණු මාවතක් තෝරා ගත හැකිය.
තේරීම පැහැදිලි ය. ප්‍රශ්නය වන්නේ, ස්ථාපිත ගතානුගතික ත්‍රස්ත විරෝධී මූලධර්මයට අනුකූල වීම සඳහා පවතින, විශේෂයෙන් බුද්ධි අංශ වරප්‍රසාද සහ ඒවා වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්වල දැඩි ජාතික හා ජාත්‍යන්තර බලපෑම් නොතකා, මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමට තරම් අධිෂ්ඨානයක් අපට තිබේද යන්නයි.
මතු සම්බන්ධ යි
2026 ජනවාරි 7 වන දා
[i] අයර්ලන්ත නිදහස් යුද්ධය (1919-1921) ස්වාධීන අයර්ලන්ත නිදහස් රාජ්‍යයක් ස්ථාපිත කළ නමුත් දිවයින දෙකඩ කරමින්, එක්සත් රාජධානියේ පාලනය යටතේ උතුරු අයර්ලන්තය නිර්මාණය කළේය. දශක ගණනාවක් තිස්සේ පැසවමින් පැවති බලවත් අමනාපයක් සහ කට්ටිවාදී බෙදීම් ඇති කල එය, අවසානයේ 1960 ගණන්වල අගභාගයේ සිට 1998 දක්වා පැවතුණ ‘ආපදාවන්’ (The Troubles) බවට වර්ධනය විය. “The Troubles” යනු උතුරු අයර්ලන්තයේ (එක්සත් අයර්ලන්තයක් බලා පොරොත්තු වන) අයර්ලන්ත රිපබ්ලිකන්වරුන් සහ (බ්‍රිතාන්‍යයන් ලෙස සිටින්නට කැමති) අල්ස්ටර් පක්ෂපාතී අය අතර ඇති වූ ප්‍රචණ්ඩකාරී වාර්ගික-ජාතිකවාදී ගැටුමකි. මෙය මහ සිකුරාදා ගිවිසුමත් සමග අවසන් වූ නමුත් ගැඹුරු කැළැල් ඉතිරි කර ගොස් ඇත.
[ii] කළු සහ දුඹුරු පැහැ ජාතිකයන් යනු අයර්ලන්ත නිදහස් යුද්ධයේ දී (1919-1921) තාවකාලික පොලිස් බලකායක් ලෙස රාජකීය අයර්ලන්ත පොලිස් භට කණ්ඩායමට (RIC) බඳවා ගත් හිටපු බ්‍රිතාන්‍ය සොල්දාදුවන් ය. ඔවුන්ගේ තාවකාලික කොළ පැහැති කබා සහ කාකි කලිසම් නිසා ඔව්හු එම අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබිණි. කෲරත්වය සහ විනය විරෝධී ක්‍රියා සඳහා ප්‍රසිද්ධ වූ ඔව්හු, සිවිල් මරණ සහ පුළුල් සතුරුකම්වලට මග පාදමින් අයර්ලන්ත ජනරජ හමුදාවට (IRA) එරෙහිව නගර ගිනි තැබීම ඇතුළු ප්‍රචණ්ඩකාරී පළි ගැනීම් කරමින් ප්‍රතිප්‍රහාර එල්ල කළහ. එසේ, ඔව්හු අයර්ලන්තයේ බ්‍රිතාන්‍ය පීඩනයේ සංකේතයක් බවට පත් වූහ.
[iii] 1920 යුද්ධෝපකරණ වර්ජනය (මැයි 27 – දෙසැම්බර් 21, 1920) අයර්ලන්ත නිදහස් යුද්ධයේ දී අයර්ලන්ත දුම්රිය සහ නැව් තටාක සේවකයින් විසින් එල්ල කරන ලද අකර්මන්‍ය විරෝධය පෑමේ ප්‍රධාන ප්‍රයත්නයක් විය. අයර්ලන්තය පුරා බ්‍රිතාන්‍ය සැපයුම් කටයුතු සැලකිය යුතු ලෙස කඩාකප්පල් කරමින් කම්කරුවෝ බ්‍රිතාන්‍ය හමුදා උපකරණ, යුද්ධෝපකරණ හෝ සන්නද්ධ හමුදා හැසිරවීම හෝ ප්‍රවාහනය කිරීම කම්කරුවන් ප්‍රතික්ෂේප කළහ.
[iv] 1921 දෙසැම්බර් 6 වන දින අත්සන් කරන ලද ඇන්ග්ලෝ-අයර්ලන්ත ගිවිසුම, අයර්ලන්ත නිදහස් යුද්ධය අවසන් කරමින්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුළ (කැනඩාව වැනි) ස්වයං පාලන ඩොමිනියනයක් ලෙස අයර්ලන්ත නිදහස් රාජ්‍යය ස්ථාපිත කළේය. එය ස්වයං පාලනයක් ලබා දුන් නමුත් බ්‍රිතාන්‍ය කිරීටය රාජ්‍ය නායකයා වශයෙන් තබා ගත් අතර නාවික කඳවුරු අත් නොහැර තබා ගත්තේය. ගිවිසුමට පක්ෂපාත සහ ගිවිසුමට විරුද්ධ කණ්ඩායම් අතර අයර්ලන්ත සිවිල් යුද්ධයට මඟ පෑදූ මෙය, අයර්ලන්ත ජාතිකවාදීන් ගැඹුරින් බෙදා දැමූහ. අවසානයේ දී, ගිවිසුමට පක්ෂපාතී පාර්ශවය පෙරට ආ අතර 1949 දී නිදහස් රාජ්‍යය ජනරජයක් බවට පත් විය.

