Friday, June 6, 2025

පලාත් පාලන මැතිවරණය, දෙමළ මුස්ලිම් ඡන්ද ජාජබ හැරයාම සහ ආරුගම්බේ නටන ඊශ්‍රායල් යුද අපරාධකරුවෝ – තිසරණී ගුණසේකර

ඡායාරූපය: ආරුගම්බේ වෙරළෙහි යුද අපරාධකාර ඊශ්‍රායල් සොල්දාදුවෝ මෙරට සර්පින් ලෝලීන්ට හයිරම් පාන බවට වාර්තා තිබේ.

(Sri Lanka Brief/04 June 2025) 

1990 දී එල්ටීටීඊය විසින් ෆාතිමා රෂ්ලාගේ පවුල යාපනයෙන් නෙරපා හරින ලදී. ඇය වසර පහකට පසු පුත්තලම සරණාගත ජනාවාසයක උපත ලබා 2004 දී නැවත යාපනයට පැමිණියාය. පසුගිය මාසයේදී, ප්‍රාථමික පාසල් ගුරුවරියක වන රෂ්ලාට යාපනය නගර සභාවේ ප්‍රසාද ආසනයක් ප්‍රදානය කිරීමට ඉලංකෙයි තමිල් අරසු කච්චි ITAK පක්ෂය වැදගත් තීරණයක් ගත්තේය. යාපනයේ පළාත් පාලන අධිකාරියක සාමාජිකාවක් වූ පළමු මුස්ලිම් කාන්තාව ඇයයි.

රෂ්ලාගේ ඉතිහාසගත පත්වීම යාපනයේ දේශපාලන භූ දර්ශනය තුළ මධ්‍යස්ථභාවය සහ බුද්ධිය කෙරෙහි බෙහෙවින් පිළිගත හැකි මාරුවක් පෙන්නුම් කරන එකම ලකුණ නොවේ. ITAK පක්ෂයෙන් තරඟ කළ මොහොමඩ් අබ්දුල්ලා යාපනය නගර සභාවට තේරී පත් විය. 1990 දී ඔහුගේ පවුල ද කොටි සංවිධානය විසින් යාපනයෙන් නෙරපා හරින ලදී. ඔහු ද පුත්තලමේ අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයෙකු ලෙස උපත ලැබූ අතර 2004 දී ඔහුගේ දෙමාපියන් සමඟ යාපනයට ආපසු පැමිණියේය.

උතුරේ සිටින සියලුම මුස්ලිම්වරුන් නෙරපා හැරීමට එල්ටීටීඊය ගත් තීරණය සදාචාරාත්මකව සාපකාරී සහ දේශපාලන අඥානකමක් විය. එල්ටිටීඊය පිළිබද ප්‍රවීණ නිරීක්ෂකයෙකු සහ ඉන්දියානු මාධ්‍යවේදියෙකු වන එම්.ආර්. නාරායන් ස්වාමි ඔහුගේ නව පොත වන “The Rout of Prabhakaran” හි ලියන පරිදි, “සොම්බියන් මෙන්, තමන්ව ආරක්ෂා කිරීමට කිසිවෙකු නොමැතිව, ව්‍යාකූල වූ මුස්ලිම්වරු, එල්ටීටීඊය විසින් ඉදිකර කර තිබූ බොහෝ බාධක පසුකර, සමූහ වශයෙන් යාපනයෙන් පිටතට යාමට පටන් ගත්හ. ඔවුන්ට අවසර දී තිබූ දේ හැර වෙන කිසිවක් රැගෙන නොයන ලෙස ඔවුන් සහතික කර ගැනීමට ඒ බාධක දමා තිබුණි. හොදින් සන්නද්ධ එල්ටීටීඊ සාමාජිකයින් මුස්ලිම් ප්‍රදේශවලට සහ නිවාසවලට ගියේ කිසිදු විරුද්ධවාදියෙකු ඉතිරි නොවන බව සහතික කිරීම සඳහා ය. එල්ටීටීඊය තම ශ්‍රේණින් තුල සිටි මුස්ලිම් සාමාජිකයින් බොහෝ දෙනෙකු මරා දැමූහ; අනෙක් අය සාධාරණ ලෙස අතහැර දැමූහ.”

දැන හෝ නොදැන, එල්ටීටීඊය දශක ගණනාවකට පෙර තම සිංහල සතුරා කළ දේ කරමින් සිටියේ, නමුත් ඊටත් වඩා නරක පරිමාණයකින් සුළු ජාතීන්ට විරුද්ධ වෙමිනි.

1952 පාර්ලිමේන්තු මැතිවරණයේදී, විද්වතෙක්, ඉතිහාසඥයෙක් සහ දේශපාලනඥයෙක් වූ එස්. නටේසන්, දෙමළ දේශපාලනයේ දැවැන්තයා වන එස්.ජේ.වී. චෙල්වනායගම් පරාජය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්ව ජය ලැබීය. ඉන්පසු සිංහල පමණක් පැමිණියේය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මෙම හලාහල විෂ දේශපාලනයට ගෙන ආවේය. සර් ජෝන් කොතලාවලගේ එක්සත් ජාතික පක්ෂය භාෂා සමානාත්මතාවය අතහැර දැමීය.

දේශපාලන අවස්ථාවාදයේ එම ඔක්කාරයජනක ප්‍රදර්ශනය තිබියදීත් එක්සත් ජාතික පක්ෂයට සිංහල ඡන්ද දිනා ගැනීමට එය උපකාරී වූයේ නැත. එය එක්සත් ජාතික පක්ෂය එක්සත් නොවන එකක් බවට පත් කර පිරිහුණූ ජාතිකත්වයක් ඇති කළේය. නටේසන් සහ අනෙකුත් දෙමළ නායකයින් ඊට විරෝධය පළ කරමින් පක්ෂයෙන් ඉල්ලා අස්විය. 1956 මැතිවරණයේදී චෙල්වනායගම් කන්කසන්තුරෙයි මැතිවරණ කොට්ඨාශය දිනා ගත්තේය. එය 2024 නොවැම්බර් දක්වා දෙමළ ජාතිකවාදයේ බලකොටුවක් ලෙස පැවතිණි.

2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී, උතුරු හා නැගෙනහිර බොහෝ ප්‍රදේශවල (කන්කසන්තුරෙයි මැතිවරණ කොට්ඨාශය ඇතුළුව) බහුතරය දිනා ගනිමින් ජාතික ජන බලවේගය/ජවිපෙ ඉතිහාසය නිර්මාණය කළේය. මාස හයකටත් අඩු කාලයකට පසු, පළාත් පාලන මැතිවරණයේදී, ඔවුන්ට මෙම වාසි බොහොමයක් අහිමි විය.මෙම මැතිවරණ පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ දෙමළ සහ මුස්ලිම් අවශ්‍යතා, උත්සුකයන් සහ බිය කෙරෙහි රජයේ අසංවේදී බව ය. පැරණි වැරැද්දක නැවත කියවීමක් සහ අලුත්ම වැරැද්දකි. එනම් දෙමළ ජනයා සතු ඉඩම් අත්පත් කර ගැනීමේ උත්සාහයක් සහ ගාසා තීරයේ යුද්ධයට විරුද්ධ වීම නිසා ලාංකික මුස්ලිම්වරුන්ට හිංසා පීඩා කිරීම නිසාය.

පැරණි මෝඩකම් වළක්වා ගැනීම

ඉතිහාසඥ සී.ආර්. ද සිල්වා 1971 මාධ්‍ය අනුව සරසවි ප්‍රමිතිකරණය හැඳින්වූයේ අකාර්යක්ෂම ප්‍රතිපත්ති පියවර සහ සුළුතර අවශ්‍යතා කෙරෙහි සංවේදීතාව නොමැතිකම වාර්ගික ආතතීන් උග්‍ර කළ හැකි ආකාරය පිළිබඳ වෛෂයික පාඩමක්ලෙසයි (https://educationforum.lk/2007/07/were-tamils-squeezed-out-of-higher-education-by-standardisation/). දේශීය විශ්ව විද්‍යාලවලට ඇතුළු වන දෙමළ සිසුන් සංඛ්‍යාව අඩු කිරීම අරමුණු කරගත් ප්‍රමිතිකරණ ප්‍රතිපත්තිය බිහි කළේ ප්‍රගතිශීලී/වාමාංශික යැයි කියනු ලබන රජයක් විසිනි. “වෛද්‍ය පීඨවලට ඇතුළත් වීමේ සුදුසුකම් ලැබීමේ ලකුණ දෙමළ සිසුන් සඳහා 400 න් 250 ක් වූ අතර සිංහලයින් සඳහා එය 229 ක් පමණි,” ඉතිහාසඥ කේ.එම්. ද සිල්වා ලිවීය. “ඊටත් වඩා නරක දෙය නම්, සිංහල සහ දෙමළ සිසුන් ඉංග්‍රීසි භාෂාවෙන් විභාගයට පෙනී සිටින විට අඩු සුදුසුකම් ලැබීමේ ලකුණක් සඳහා මෙම රටාවම අදාළ වීමයි. කෙටියෙන් කිවහොත්, එකම භාෂාවෙන් විභාග සඳහා පෙනී සිටින නමුත් ජනවාර්ගික කණ්ඩායම් දෙකකට අයත් සිසුන්ට වෙනස් සුදුසුකම් ලැබීමේ ලකුණු තිබුණි” (එම ලිපිය). මෙයින් පසුව දිස්ත්‍රික්ක අනුව ප්‍රමිතිකරණය සිදු කරන ලදී, එය ඌන සංවර්ධිත ප්‍රදේශවල අධ්‍යාපන පහසුකම් වැඩිදියුණු කිරීමේ සැබෑ අභියෝගය මග හැරීමේ ක්‍රමයකි.

දෙමළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මත පමුණුවන ලද විශම සැළකීම් යනාදිය නොවන්නට වාර්ගික යුද ගැටුම මඟ හරිනන්ට ඉඩ තිබුණි

ප්‍රමිතිකරණ ප්‍රතිපත්තිය දෙමළ විරෝධය උග්‍ර කළා පමණක් නොව. කුසලතා මත පදනම් වූ ඇතුළත් කිරීම් 30% දක්වා අඩු කිරීමෙන්, එය තෘතීයික අධ්‍යාපන ආයතනවල සහ ඒවායේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය අඩු කළේය. ජේ.ආර්. ජයවර්ධන පරිපාලනය මාධ්‍ය අනුව ප්‍රමිතිකරණය අහෝසි කළ නමුත් දිස්ත්‍රික්ක අනුව ප්‍රමිතිකරණය තවමත් කිසිදු දේශපාලනඥයෙකුට හෝ දේශපාලන පක්ෂයකට අත තැබීමට කැමැත්තක් නැති පූජනීය සුරුවමකි. විශ්ව විද්‍යාලවලට කුසලතා මත පදනම් වූ ප්‍රවේශය තවමත් 40% ක මට්ටමක පවතී. අප විශාල සංඛ්‍යාවක් නිපදවන ප්‍රමිතියෙන් තොර විශ්ව විද්‍යාල උපාධිධාරීන් (ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට දේශපාලනමැතිවරණ අභිප්‍රේරිත රජයකින් පමණක් රැකියා ලබා ගත හැකිය) මෙම උමතු මෝඩ ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයකි.

ග්‍රාමීය සිංහල මධ්‍යම සහ පහළ මධ්‍යම පංතියේ අභිලාෂයන් සහ වෘත්තීන් ඉදිරියට ගෙන යාම සඳහා නිර්මාණය කරන ලද ප්‍රමිතිකරණය, රට හැර යන හෝ බදු සහන සහ වෙනත් ආර්ථික ප්‍රතිලාභ ලබා නොදුන්නහොත් එසේ කිරීමට තර්ජනය කරන දේශප්‍රේමීවෘත්තිකයන්ගේ සන්නාමයක් ද නිර්මාණය කර ඇත.

අන්තර්ජාල මූලාශ්‍රවලට අනුව, කරාපිටිය ශික්ෂණ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයෙකු නොමැතිකම නිසා හෘද සැත්කම් නතර කිරීමට සිදුවිය හැකිය. මෙම පුවත පිළිබඳව අදහස් දක්වමින් සමන් ලෙස හඳුන්වන කෝපයට පත් පාඨකයෙකු සිංහලෙන් මෙසේ ලිවීය: “ලංකා විශ්ව විද්‍යාල වෛද්‍යවරුන් තොග වශයෙන් නිර්මාණය කරයි. ඉන්පසු ඔවුන් පුහුණුව සඳහා විදේශගත කරයි. පසුව රෝහල්වල වැඩ කිරීමට නොහැකි වේ… බදු මුදල් වලින් සුදුසුකම් සහ පුහුණුව ලබා දෙන මෙම වෛද්‍යවරුන්, ඔවුන් කොහේට පනින්නේද?” (පරිවර්තනය මගේ). මෙය ප්‍රමිතිකරණයේ අවසාන ප්‍රතිඵලයයි වෘත්තීය පන්තියකි. ඔවුන් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ තමන්ට නිදහසේ අධ්‍යාපනය ලබා දුන් රටට ඔවුන් කිසිවක් ණය නැති බවයි.

පෘතුගාලයේ මෑත මැතිවරණයේදී දක්ෂිණාංශික පක්ෂයක් වන චේගා විසින් ලබා ගත් සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් ස්පාඤ්ඤයේ IE විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය විසෙන්ට් වැලෙන්ටිම් පැවසුවේ ජනප්‍රියවාදී පක්ෂ “විසඳුම් සෙවීමට වඩා ගැටළු සෙවීමේදී බෙහෙවින් දක්ෂ” බවයි (https://www.theguardian.com/world/2025/may/29/nothing-will-be-the-same-again-portugals-chega-may-be-spot-on).

ජාජබ/ජවිපෙ සම්බන්ධයෙන් ද මෙය සත්‍යයකි. ජනාධිපති දිසානායක තමන්ම නිර්මාණය කළ ගිනිදැල් නොසලකා හැරීමට සහ IMF පරාමිතීන් තුළ ක්‍රියා කිරීමට බුද්ධිමත් වූ නිසා රජය ආර්ථිකය අවුල් කර ගත්තේ නැ. (මේ සඳහා ඔහුට නිසි ගෞරවය ලබා දිය යුතුය, මන්ද IMF ගනුදෙනුව අත්හැරීම ගෝඨා II තත්වයට හේතු වන්නට ඇති බැවිනි).

නමුත් රජය තමන්ගේම තීරණ ගැනීමට ඉඩ තිබයදී ලකුණු ලබා ගන්නේ නැත. මාස තුනක් ඇතුළත හිමිකාරිත්වය තහවුරු නොකළහොත් උතුරු පළාතේ ඉඩම් අක්කර 6,000 කට ආසන්න ප්‍රමාණයක් රජය විසින් පවරා ගන්නා බව පවසමින් 2025 මාර්තු මාසයේ ප්‍රකාශයට පත් කරන ලද ඉඩම් ගැසට් පත්‍රය මෙයට එක් උදාහරණයකි. මෙය සිදු ූයේ යුද්ධයේදී දැවැන්ත දේපළ විනාශයක් සහ බහු අවතැන්වීම්වලට ලක් වූ ජනතාවකට. මෙය සිදු වූයේ රාජ්‍ය අනුග්‍රහය ලත් සිංහල යටත් විජිතකරණය සහ හමුදා ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ ඓතිහාසික මතකයක් ඇති ස්ථානයක. එවැනි නිවේදනයක් නිකුත් කරනු ඇත්තේ ඓතිහාසික වැරදි සහ වර්තමාන අසාධාරණකම් කෙරෙහි සම්පූර්ණයෙන්ම නොසැළිකිලිමක් ආයතනයක් පමණකි. මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් වූ ආකාරය රජයට වැටහෙන්නේ නැත්නම්, අනාගතයේදී තමන්ගේ සහ රටේ අනතුරට හේතු වන එවැනි අසංවේදී සහ අසාධාරණ ක්‍රියාමාර්ග වැළැක්වීමට නොහැකි විය හැකිය.

යුද්ධය අවසන් වී වසර 16 ක් සපිරෙන අවස්ථාවේදී සිංහල ජයග්‍රාහීත්වයෙන් ඈත් වීමට රජය ගත් උත්සාහයෙන් පෙනී යන්නේ ගැසට් පත්‍රය දැන දැන කළ දෙයකට වඩා අතපසු කිරීමේ පාපයක් බවයි. එපමණක් නොව, නව පරිපාලනය යටතේ දෙමළ ජනතාවට 2024 නොවැම්බර් සහ 2025 මැයි මාසවලදී තම යුද්ධයෙන් මියගිය අය ගැන ශෝක වීමට සහ සිහිපත් කිරීමට අවසර දෙන ලදී. රාජපක්ෂ පාලනය යටතේ, දෙමළ ජනතාවට තම යුද්ධයෙන් මියගිය අයට ආදරය කිරීමට හෝ ශෝක වීමට මෙම ස්වභාවික අයිතිය අහිමි විය. 2015 දී රාජපක්ෂවරුන් පරාජයට පත් වූ පසු බාධා අඩු වූ අතර ඔවුන් නැවත පැමිණි විට නැවත ආරම්භ විය. පසුගිය වසරේ, අමාත්‍ය ටිරාන් අලස් යටතේ පොලිසිය, දෙමළ යුද්ධයෙන් මියගිය අය සැමරීම සඳහා කැඳ සෑදූ අය අත්අඩංගුවට ගැනීමට ICCPR පනත භාවිතා කළේය. නිල ඇඳුම් ඇඳගත් පොලිස් නිලධාරීන් පිරිසක් කැඳ සාදන කාන්තාවන් දෙදෙනෙකු බිම ඇදගෙන යන බිහිසුණු දර්ශන, දෙමළ ජනතාවගේ තවත් පරම්පරාවකට මතක් කර දුන්නේ ශ්‍රී ලංකාවේ කිසිදු අයිතියක්, එය කෙතරම් ස්වාභාවික හෝ මූලික වුවත්, සුළු කොට තැකිය හැකි බවයි.

ලංකාව මලයග දෙමළ ජනයාගේ ඡන්ද අයිතිය අහිමි කර, සිංහල පමණයි සහ විශ්ව විද්‍යාල ප්‍රමිතිකරණය වැනි අනුක්‍රමික අපරාධ වැරදි සිදු නොකළේ නම්, කළු ජූලියෙන්, දිගු ඊලාම් යුද්ධයෙන් සහ දෙවන ජවිපෙ කැරැල්ලෙන් අපට බේරෙන්න තිබුණි. රාජපක්ෂලා මෙහෙයවූ මුස්ලිම් විරෝධී ව්‍යාපාරය (අලුත්ගම සහ දිගන ප්‍රහාර ප්‍රතිඵලයක් ලෙස) නොතිබුනේ නම්, අපට පාස්කු ඉරිදා සංහාරයෙන් බේරෙන්න තිබුණි. ත්‍රස්තවාදය වැළැක්වීමට අපට අවශ්‍ය නම්, අවශ්‍ය වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නොවේ. (කුඩා කැරැල්ලක් පූර්ණ පරිමාණ යුද්ධයක් හෝ පාස්කු ඉරිදා සංහාරයක් බවට පත්වීම වැළැක්වීමට ත්‍රස්ත පනතට නොහැකි විය) අවශ්‍යෙ වන්නේ අකාර්යක්ෂම නොවන සහ සුළුතර අවශ්‍යතාවලට සංවේදී ප්‍රතිපත්තිමය පියවරයන්ය.

ශ්‍රී ලංකා සංස්ථාපිතය එල්ටීටීඊ දෘෂ්ටිවාදය සහ දෙමළ ජනතාව අතර වෙනස හඳුනා ගැනීමට සහ ඉගෙන ගැනීමට ප්‍රමාණවත් ලෙස පරිණත වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු,” නාරායන් ස්වාමි The Rout of Prabhakaran කෘතිය අවසානයේ පවසයි. ජාජබ/ජවිපෙ රජය සාමාන්‍ය දෙමළ ජනතාවට සාමයෙන් තම යුද්ධයෙන් මියගිය අය ගැන ශෝක වීමට ඉඩ දුන් විට එම වෙනස ඇති කළේය. විශේෂයෙන් සුළුතර ජාතීන් ඉලක්ක කරගත් ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී එම සංවේදීතාව පවතිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. නමුත් දැන් අවලංගු කර ඇති බව පැවසෙන ඉඩම් ගැසට් පත්‍රයෙන් පෙන්නුම් කරන්නේ මෝඩ දේවල් කිරීම සඳහා ආසාව ජීවමානව හා හොඳින් පවතින බවයි. එම විනාශකාරී ප්‍රවණතාවය පාලනය යටතේ තබා ගැනීම රජය ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගවලින් එකකි.

2025 මැයි 3 වන දින හින්ද් රාජබ්ට වයස අවුරුදු හතක් වන්නට ඇත

නව අනර්ථයන්ගෙන් වැළකී සිටීම

2025 මැයි 3 වන දින හින්ද් රාජබ්ට වයස අවුරුදු හතක් වන්නට ඇත. ඇය පලස්තීන ජාතිකයෙකු ලෙස ඉපදී ගාසා තීරයේ ජීවත් වූ නිසා ඇය වයස අවුරුදු පහේදී මිය ගියාය. 2024 ජනවාරි 29 වන දින ඇය සහ ඇගේ පවුලේ අය පලා යමින් සිටි මෝටර් රථය ඊශ්‍රායල ටැංකි ප්‍රහාරයකට ලක් විය. හය දෙනෙකු වහාම මිය ගියේය. පස් හැවිරිදි හින්ද් පැය ගණනක් රතු අඩසඳ සංනිවේදකයින් සමඟ දුරකථනයකට මුමුණමින් ජීවතුන් අතර සිටියේය: “මට ගොඩක් බයයිකරුණාකර එන්න.” ඊශ්‍රායල ෂෙල් වෙඩි ප්‍රහාරයකින් ඇයව බේරා ගැනීමට යවන ලද ගිලන් රථයට ගිනි තැබූ අතර, එහි සිටි වෛද්‍යවරුන් දෙදෙනා මිය ගියේය.

යුද අපරාධ සිදු කරන ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) සාමාජිකයින් හඳුනා ගැනීම සඳහා හින්ද් රාජබ් පදනම පිහිටුවන ලදී. පසුගිය මාසයේ, හින්ද්, ඇගේ පවුලේ අය සහ ඇයව බේරා ගැනීමට පැමිණි වෛද්‍යවරුන් දෙදෙනා මරා දැමූ මෙහෙයුමට වගකිව යුතු හමුදා ඒකකය පදනම විසින් හඳුනා ගන්නා ලදී. හින්ද් ඝාතනය සිදු වූ අවස්ථාවේ 401 වන සන්නද්ධ බළකායේ අණදෙන නිලධාරියා වූ ලුතිනන් කර්නල් බෙනී අහරොන්ට එරෙහිව ජ්‍යාත්න්තර අපරාධ අධිකරණය ICC වෙත යුද අපරාධ පැමිණිල්ලක් ගොනු කර තිබුණි. ඉදිරි මාසවලදී බලඇණියේ නිලධාරීන්ට එරෙහිව තවත් පැමිණිලි ගොනු කරනු ඇත.

ආරැගම්බේ සුව විදීමට ආ යුද අපරාධකරු ගැල් ෆෙරෙන්බුක්

කර්නල් අහරොන් (සහ ඔහුගේ යටත් නිලධාරීන්) දැනට අරුගම් බොක්කෙහි හෝ දකුණේ අපගේ අවිචාරවත් ආගන්තුක සත්කාරය භුක්ති විඳින්නේ නැතැයි අපි බලාපොරොත්තු වෙමු. මන්ද තවත් චෝදනා එල්ල වූ යුද අපරාධකරුවෙකු කරන බව සොයා ගන්නා ලද්දේ එහිදී නිසාය. ගාසා තීරයේ සන්නද්ධ පිරිස් වාහයක සිටින ඔහු වාහනයේ මොනිටරයේ පලස්තීන සිවිල් වැසියෙකුගේ මළ සිරුර දෙස බලා සිටින ආකාරය පෙන්වන වීඩියෝවක් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කළේය. ඔහුගේ සගයා හෙබ්‍රෙව් භාෂාවෙන් මෙසේ පවසයි, “අපි මෙහි සිටින්නේ ගැල් ෆවුන්ඩූක් (මිස්ටර් ෆෙරෙන්බුක්ගේ අන්වර්ථ නාමය) සමඟ අපගේ අළුගෝසුවා! මෙන්න, ශරීරයේ නටබුන් මෙන්න! [සිනාසෙයි] මෙන්න අලුගෝසුවා!” එම හැඳින්වීමෙන් පසු, ෆෙරෙන්බුක් හයියෙන් සිනාසෙමින් ඔහුගේ ජයග්‍රහණය ගැන පුරසාරම් දොඩන අයුරු දක්නට ලැබේ.

 

2024 දෙසැම්බර් මාසයේදී, ෆෙරෙන්බුක් ශ්‍රී ලංකාවේ ඔහුගේ සුවදායක කාලය ගත කිරීමට තීරණය කළේය. හින්ද් රාජාබ් පදනම ඔහුගේ පැමිණීම අනාවරණය කරගෙන ලංකා බලධාරීන්ට නිල වශයෙන් ලිවීය. ෆෙරෙන්බුක් දිවයිනේ සිටීම පිළිබඳව ප්‍රශ්න කළ විට අමාත්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ, චෝදනාවට ලක්වූ යුද අපරාධකරු ඊශ්‍රායල බලධාරීන් විසින් රහසේ පිටමංකරගෙනගියද ඔහු කිසිවක් නොදන්නා බවයි.

දෙසැම්බර් මාසයේම අහංගමේදී, “ඊශ්‍රායල සංචාරකයින් සියොන්වාදී විරෝධී ව්‍යාපාරයේ සේවය කිරීම සඳහා ප්‍රසිද්ධ දේශීය පවුලක් වෙත ළඟා වී, ඔවුන්ගේ දේපළවලට භෞතිකව පහර දී විනාශ කළහ” (https://www.aljazeera.com/news/2025/2/17/no-more-silence-israelis-face-gaza-war-backlash-on-sri-lankas-beaches). මෙය පලස්තීන හිතවාදීන් වීම නිසා දකුණු වෙරළ තීරයේ ලාංකිකයින්ට පහර දෙන ඊශ්‍රායල සංචාරකයින් පිළිබඳ අවම වශයෙන් වාර්තා වූ සිදුවීම් තුනෙන් එකකි.

ආරුගම් බොක්කෙහි, සර්ෆින් හැසිරීම් පිළිවෙත නොසලකා හැරීම (එනම් රළ තනිකරම අල්ලා නොගැනීම සහ දේශීය නිත්‍ය ක්‍රීඩකයින්ට ප්‍රමුඛතාවය ලබා දීමෙන් ධූරාවලිය පවත්වා ගැනීම වැනි) හේතුවෙන් ශ්‍රී ලංකා සර්ෆින් ක්‍රීඩකයින් සහ ඊශ්‍රායල හමුදා සංචාරකයින් අතර ගැටළු මතුවෙමින් තිබේ. ලාංකික සර්ෆර් කෙනෙකු වන ජීවන් හෝල්, ඊශ්‍රායල සංචාරකයෙකු නැවත නැවතත් රැල්ල බෙදා නොගන්නා බව සොයාගෙන මෙම වරද පෙන්වා දුන්නේය. සංචාරකයා, ඊශ්‍රායල් සොල්දාදුවා, වාදයක් ආරම්භ කළේය. “සොල්දාදුවාගේ මිතුරන් දෙදෙනෙක්, විවේකයක් සඳහා ගිය ඊශ්‍රායල සොල්දාදුවන් ද එයට එක් වූහ. තිදෙනා ඔහු වටා (ජීවන් හෝල්) සර්ප් කිරීමට පටන් ගත් අතර, හෙබ්‍රෙව් භාෂාවෙන් අපහාස කළහ” (එම ලිපිය). යුද අපරාධ සිදු කළ බවට සැක කෙරෙන ඊශ්‍රායල සොල්දාදුවන් සිටීම ගැන සඳහන් කරමින්, ප්‍රදේශයේ දිගු කලක් ඕස්ට්‍රේලියානු පදිංචිකරුවෙකු වන ජැක් කැම්බල් පැවසුවේ, “…ඔවුන් කණ්ඩායම් මානසිකත්වයකින් සිටිති. මට මෙහි මගේ පවුලට ආරක්ෂිත බවක් දැනෙන්නේ නැත” (එම ලිපිය).

පසුගිය මාසයේ, හිටපු ඊශ්‍රායල අගමැති සහ එක් වරක් ලිකුඩ් නායකයෙකු වූ එහුඩ් ඔල්මර්ට් තම රට ගාසා තීරයේ යුද අපරාධ සිදු කළ බවට චෝදනා කළේය. “අපි දැන් ගාසා තීරයේ කරමින් සිටින්නේ විනාශකාරී යුද්ධයකි: අවිචාරවත්, අසීමිත, කුරිරු සහ සාපරාධී සිවිල් වැසියන් ඝාතනය කිරීමකි. එය රජයේ ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයකි දැනුවත්ව, නපුරු ලෙස, ද්වේෂ සහගතව, වගකීම් විරහිතව එය සිදු කරයිඔව්, ඊශ්‍රායලය යුද අපරාධ සිදු කරයි,” (https://www.haaretz.com/opinion/2025-05-27/ty-article-opinion/.premium/enough-is-enough-israel-is-committing-war-crimes/00000197-0dd6-df85-a197-0ff64a5c0000).

වාර්තාවලට අනුව, පොලිසිය මෑතකදී ඊශ්‍රායල විරෝධී පෙළපාළියක සංවිධායකයෙකු වන මුස්ලිම්වරයෙකුගේ නිවසට ගොස් නෙතන්යාහු ත්‍රස්තවාදියෙකු ලෙස හඳුන්වන්නේ ඇයි සහ පලස්තීන දරුවන් මරා දැමූ විට මෙහි පෙළපාළි යන්නේ ඇයි වැනි ප්‍රශ්නයක් ඔහුගෙන් අසා තිබේ.

ඔල්මර්ට් එයට පිළිතුර ලබා දෙයි බෙන්ජමින් නෙතන්යාහු යටතේ ඊශ්‍රායලය යුද අපරාධ සිදු කරන නිසා, පස් හැවිරිදි හින්ද් වැනි දරුවන් ඝාතනය කිරීම එවැනි නපුරු අපරාධ ඉතා ස්වල්පයක් පමණි. පොලිස් හැසිරීම සහ ජනාධිපති දිසානායක විසින් 21 හැවිරිදි මොහොමඩ් රුස්ඩි ඊශ්‍රායල විරෝධී ස්ටිකරයක් ඇලවීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම නැවත නැවතත් සාධාරණීකරණය කිරීම, පළාත් පාලන මැතිවරණයේදී ජාජබ/ජවිපෙට දැඩි පාඩුවක් ඇති කළ බව පැහැදිලිය. ඊශ්‍රායල් හමුදා සංචාරකයින් සහ ප්‍රදේශවාසීන් අතර බරපතල සිදුවීමක් සිදුවීමට ඉඩ හැරීම රජයේ මැතිවරණ අවස්ථාවන්ට පමණක් නොව, සංචාරක කර්මාන්තයට සහ ආර්ථිකයට ඊටත් වඩා විශාල ප්‍රතිවිපාක ඇති කළ හැකිය. ගාසා තීරයේ යුද්ධය අවසන් වන තුරු සේවය කරන ඕනෑම ඊශ්‍රායල් සොල්දාදුවෙකු රටින් පිට තබා ගැනීමේ ප්‍රතිපත්තියක්, පවතින තත්වයන් යටතේ, ජනාධිපතිවරයාට සහ රටට කළ හැකි වඩාත්ම බුද්ධිමත් දෙය විය හැකිය.

ප්‍රභාකරන්ගේ ගමනකෘතියේ, නාරායන් ස්වාමි, එරික් සොල්හයිම් විසින් ඔහුට කරන ලද ප්‍රකාශයක් ගැන සඳහන් කරයි – “හොඳින් කියවන ලද, දැනුමැති ඇන්ටන් බාලසිංහම් මෙන් නොව, වේලුපිල්ලේ ප්‍රභාකරන් කුඩා නෝර්වීජියානු නගරයක නගරාධිපතිවරයකුලෙස පෙනුණු බවත් කතා කළ බවත්. නෝර්වීජියානු මැදිහත්කරු ප්‍රභාකරන්ගේ නිරපේක්ෂ නම්‍යශීලීභාවය ඔහුගේ ලොකුම දුබලතාවය ලෙස හඳුනාගත් අතර මෙය ඔහුගේ හුදකලාභාවයේ ප්‍රතිඵලයක් වන්නට ඇතැයි අදහස් කළේය. ඉඩම් ගැසට් පත්‍රය අවලංගු කිරීමට ජාජබ/ජවිපෙ රජය දක්වන කැමැත්තෙන් පෙන්නුම් කරන්නේ අවම වශයෙන් තමන්ගේම දේශපාලනමැතිවරණ අවශ්‍යතා සම්බන්ධයෙන් සම්මුතියක් ඇති කර ගැනීමට ඇති කැමැත්තයි. එවැනි නම්‍යශීලීභාවයක් හොඳ සලකුණකි.

ගාසා තීරයේ දරුවන් ඝාතනය කිරීම ලොව පුරා ජනතාවට වැදගත් වන්නේ මන්දැයි සහ යුද අපරාධකරුවන්ට චෝදනා එල්ල වීම නිවාඩුවක් ගත කිරීමට පමණක් නොව ශ්‍රී ලංකාවේ නිදහසේ හැසිරෙන්නට ඉඩ දීමේ නරක දෘෂ්ටිවාදය, නරක දේශපාලනය සහ නරක ආර්ථිකය ඇයි දැයි රජය තේරුම් ගනී යැයි බලාපොරොත්තු වෙමු. මොවුන් ළමයින් ඇතුළු සිවිල් වැසියන් ඝාතනය කිරීමට පුරුදු වී සිටින සොල්දාදුවන් ය; මොවුන් පශ්චාත් කම්පන ආතති ආබාධය PTSD රෝගයෙන් පෙළෙන සොල්දාදුවන් බව පිළිගත්තත් නැතත් එම මාරාන්තික සංයෝජනයට අපවම ඉලක්කයක් කර ගන්නේ ඇයි?

තිසරණී ගුණසේකර විසින් ඩේලි එෆ් ටී පුවත්පතට ලියන ලද Not-doing-stupid-stuff governance ලිපියෙහි සිංහල පරිවර්ථනය/ සුනන්ද දේශප්‍රිය සහ ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙතිනි.

Archive

Latest news

Related news