Friday, March 21, 2025

“නොනිල පොලිස්පති” ටිරන් සහ දේශපාලුවන්ට පාපන්දුවක් වූ “ශ්‍රී ලංකාවේ පොලිස්පති තනතුර”

ප්‍රියන්ත ජයකොඩි (විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති) විසිනි.

මේ දිනවල වඩාත්ම කතා බහට ලක්වෙන ප්‍රධානම මාතෘකාව තමයි ශ්‍රී ලංකාවේ පොලිස්පති තනතුර. වසර 158 ක ඉතිහාසයක් තියෙන මෙම තනතුර මුලින්ම ස්ථාපිත කරල තියෙන්නේ බ්‍රිතාන්‍ය පාලකයින් ඒ 1867 වර්ශයේදීයි.

බ්‍රිතාන්‍යන් සංවිධානාත්මක පොලිස් සේවාවක් 1866 වර්ෂයේ මෙරට පිහිටවනු ලැබූවත් මුල් වසරේ මෙම තනතුර හදුන්වනු ලැබුවේ “ ප්‍රධාන සුපිරින්ටැන්ඩන්ට්”(Chief Superintendent) නමින් 1867 තමයි “පොලිස් පති “ තනතුර හදුන්වාදී ඇත්තේ.

1867 සිට 1947 දක්වා වසර 80 ක කාලයක් මෙම ගෞරවනීය තනතුර හොබවා ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයින්.

එයින් වසර 23 බැගින් තනතුර දැරීමේ ගෞරවය හිමිවන්නේ ජෝජ් රොබට් විලියම් කැම්බල් ( 1867-1890)සහ හර්බට ලෙයාඩ් ඩවුබිගීන් ( 1913-1937)යන පොලිස්පති වරැන් දෙදෙනා විසිනුයි.

1947 නිදහස අභියස මෙම තනතුර ශ්‍රී ලාංකිකයන්ට හිමිවුනා. ප්‍රතම ශ්‍රී ලාංකික පොලිස්පති වුනේ ශ්‍රීමත් රිචඩ් අළුවිහාරේ එතුමා එවකට මධ්‍යම පලාතේ ආණ්ඩුවේ ඒජන්ත,D .S.සේනානායක අග්‍රාමාත්‍ය වරයාගේ කිට්ටු හිතවතෙක්. එතුමා 1955 විශ්‍රාම ලැබීමෙන් පසු 1956 මහ මැතිවරණයට කලාවැව ආසනයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස තරගවැදී වැඩි ජන්ද 5969 කින් මහජන එක්සත් පෙරමුණ අපේක්ෂක M.S .දිසානායකට පරාජය වී තිබෙනවා. “පුදන කොටම කාපි යකා “ කිව්ව වගේ මේ ගෞරවනීය තනතුර ආරම්භයේදීම අපේ අය අතින් දේශපාලනීයකරණය වුනේ එහෙමයි.

1956 බලයට පැමිණි බණ්ඩාරනායක රජයත් මේ දේම වඩාත් දරැණු ලෙස සිදුකලා 1955 පොලිස්පති ධූරයට පත්කරනු ලැබූ ප්‍රථම වෘතීය පොලිස් නිලධාරියා ලෙස සැලකෙන 13 වන පොලිස්පති ඔස්මන්ඩ් ද සිල්වා මහතා වර්ජනය කල වරාය කම්කරැවන් නීති විරෝධි ලෙස මර්ධනය කරන ලෙසට ඉහලින් ආ නියෝගය පැහැරහැරීමේ වරදට අගමැති වරයා විසින් පොලිස්පති තනතුරෙන් ඉවත්කර ඔහු සමග “Eighty Club”සමාජශාලාවේ “Bridge” ක්‍රීඩාකරනු ලබන මිත්‍රයාවූ M.W.F .අබේකෝන් නැමැති සිවිල් පරිපාලන නිලධාරියා මෙරට 14 වන පොලිස්පති ලෙස පත්කිරීම සිදුකර තිබෙනවා.

1970 බලයට පත්වුන සිරිමා බණ්ඩාරනායක රජය පොලිස්පති තනතුර ඇයගේ 1960-1965 රජයේ හිටපු කැබිනට් සගයකුවූ පී ද එස් කුලරත්නගේ බෑනා වූ ස්ටැන්ලි සේනානායකට පිරිනැමුවේ ජේශ්ඨත්වය සත 5 කටවත් මායිම් කර නොවේ.

1977 බලයට පැමිණි J.R. ජයවර්ධනත් එවකට ජේශ්ඨත්වයෙන් ඉදිරියෙන් සිටි කිහිප දෙනෙකු පසුපසට තල්ලුකර ඔහුගේ ඥාති සම්බන්ධයක් තිබූ ආනා සෙනවිරත්න මෙරට 19 වන පොලිස්පතිවරයා ලෙස පත්කර තිබෙනවා.

JR ප්‍රේමදාස පාලන වකවානු තුල පොලිස්පති තනතුර පූර්ණ ලෙසම දේශපාලනීයකරණයවූ පත්වීමක් වී තිබුනා. ඒ කාල සීමාව තුල කොන්ද කෙලින් තබාගෙන තනතුර හෙබවීමට තැත්කල සිරිල් හේරත් වැනි ගෞරවනීය නිලධාරින්ට පැදුරටත් නොකියා තනතුරෙන් ඉවතවීමට පවා සිදුවුනා . W.B රාජගුරැ,ලකී කොඩිතුවක්කු වැනි එවකට සිටි අපක්ෂපාත යැයි සැලකුන නිලධාරින් වසර 50 සම්පූර්ණ වනවිට රජය වෙතින් ලබාගත යුතු සේවා දිගුව ලබා නොදීම මත අඩු වයසින් විශ්‍රාම ගැන්වීම සිදුකල අතර අර්නස්ට් පෙරේරා වැනි “ රාජපාක්ෂික” නිලධාරින්ට අසීමාන්විත සේවා දිගු ලබාදීම සිදුකරනු ලැබුවා.

94 බලයට පැමිණි චන්ද්‍රිකා රජයත් මේ දේශපාලනීයකරණය දිගටම සිදුකලා. පසුගිය එජාප රජයන් යටතේ දේශපාලන පලිගැනීම්වලට ලක්ව සිටි බව සදහන් නිලධාරින් බුරැත්තක් නැවත සේවයේ පිහිටවනු ලැබුවා. ඒ අතර 25වන පොලිස්පතිවරයා ලෙස පත්වූ W.B. රාජගුරැ වගේම 26 වන පොලිස්පතිවරයා වූ ලකී කොඩිතුවක්කු යන මහත්වරැන්ද සිටිනවා.

චන්ද්‍රිකා පාලන යුගය අවසන් කරමින් බිහිවූ එජාප පාලන සමය තුල තමයි පොලිස්පති සහ නීතිපති වැනි වගකිවයුතු තනතුරැ පත්කිරීමේ බලය සර්වබලධාරි ජනාධිපති වරයා වෙතින් ඉවත්කර ව්‍යවස්ථා සභාවට පැවරෙන 17 වන ව්‍යවස්ථා සංශෝධනය කරලියට ගෙන එන්නේ .
මේ අනුව පත්වන ප්‍රථම පොලිස්පතිවරයා වන්නේ මෙරට 28 වන පොලිස්පති වරයා ලෙස පත්වූ ඉන්ද්‍රාද සිල්වා මහතායි .

මෙම ව්‍යවස්තා සභාව විසින් පොලිස්පතිවරුන් දෙදෙනෙකු පත්කරනු ලබන අතර 29 වන පොලිස්පතිවරයාවූ චන්ද්‍රා ප්‍රනාන්දු පත්කිරීම සිදුකරනු ලැබුවේත් ඒ ව්‍යවස්ථා සභාව විසින්මයි.

2005 බලයට පැමිණි මහින්ද රාජපක්ෂ රජය 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් 17 වන සංශෝධනය අවලංගුකර පොලිස්පති පත්කිරීම නැවත ජනාධිපතිවරයා අතට ගැනීම සිදුකරනු ලැබුවා.

මේ අනුව 30,31,32 සහ 33 වන පොලිස්පතිවරැන් පත්කිරීම සිදුකරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසිනුයි. ඒ අතර වික්ටර් පෙරේරා,ජයන්ත වික්‍රමරත්න,මහින්ද බාලසූරිය සහ N.K. ඉලංගකෝන් යන පොලිස්පතිවරුන් පත්කිරීම ඇතුලත්. මහින්ද බාලසූරිය තනතුරින් ඉවත්කර බ්‍රසීල තානාපති තනතුරට පත්කිරීම සිදුකරනු ලැබුවේත් මෙම කාලසීමාව තුලදීම වීම විශේෂත්වයක්.

2015 බලයට පැමිණි යහපාලන රජය 18 වන ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කර 19 වන සංශෝධනය මගින් ව්‍යවස්ථා සභාව නැවත පිහිටවීම හේතුවෙන් 34 වන පොලිස්පතිවරයා ලෙස 2016 දී පූජිත් ජයසුන්දර මහතා පත්වන අතර 2019 අප්‍රේල් 21 වන සිදුවූ පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීමේ චෝදනාවට ලක්වන ඔහු පලමුව අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් බන්ධනාගාර ගතවීම හේතුවෙන් ඔහුට පොලිස්පති තනතුර අහිමිවීම සිදුවනවා.

ඒ අතරතුර සිදුවූ දේශපාලන බල පෙරලිය හේතුවෙන් ගෝඨාභය රජය බලයට පත්වන අතර ඔහුත් සිය වැඩිමහල් සොහොයුරා අනුව යමින්ම 19 වන ව්‍යවස්ථා සංශෝධනය අවලංගුකර පොලිස්පති පත්කිරීමේ බලතල ඔහු යවතට ගැනීම සිදුකරනවා. මේ අනුව තමයි 2020 දී 35 වන පොලිස්පති වරයා ලෙස C.D. වික්‍රමරත්න මහතා පත්කිරීම සිදුවන්නේ.

2022 වර්ෂයේ සිදුවූ දේශපාලන පෙරලියත් සමගම ජනාධිපතිවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 21 වන ව්‍යවස්ථා සංශෝධනය කරලියට ගෙන එමින් ව්‍යවස්ථා සභාව නැවත පිහිටවනු ලැබූ අතර ඒ අනුව 36 වන පොලිස්පතිවරයා පත්කිරීමේ බලය එම ව්‍යවස්ථා සභාවට හිමිවීම සිදුවූවා.

ඒ නයින් බලන කල ව්‍යවස්ථා දායක සභාව සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ සැබෑ පිතෘත්වය රනිල් වික්‍රමසිංහ සතු වනවා.

එහෙත් මේ තත්වයට සම්පූර්ණ ප්‍රතිවිරැද්ධ තත්වයක් ඔහු 2023 ජනාධිපතිවරයා ලෙස පොලිස්පති පත්කිරීමේදී අනුගමනය කරනු ලැබ තිබෙනවා.

පොලිස්පතිවරයකු පත්කිරීම සදහා මෙතෙක් අනුගමනය කල නිවරැදි සම්ප්‍රදාය වුනේ ජේෂ්ඨත්වය අනුව ඊලග නිලධාරින් 3 දෙනෙකුගේ නම් ජනාධිපතිවරයා විසින් සිය නිර්දේශය ලෙස ව්‍යවස්ථා දායක සභාව වෙත යැවීමත් ව්‍යවස්ථාදායක සභාව රැස්වී ඒ ඒ ඒ නිලධාරින්ගේ සුදුසුකම් මෙන්ම නුසුදුසුකම්ද ජේශ්ඨත්වය යන මේ සියලු කරැණු සැලකිල්ලට ගෙන 9 දෙනකු සාමාජිකත්වය දරණ ව්‍යවස්ථාසභාවේ 5 දෙනෙකුගේ කැමැත්තට අනුව සුදුසු පත්කිරීම සිදුකිරීමයි.

මෙහිදී ව්‍යවස්ථා සභාවේ ප්‍රධානියා ලෙස කථානායකවරයාට මුල් අවස්ථාවේ ජන්ද බලය හිමි නොවන අතර සමව හෝ බෙදුනු මතයක් ප්‍රකාශ වුවහොත් ඔහුට දෙවන වටයේ තීරක ජන්ද බලය හිමිවීම සිදුවනවා.

2023 දී ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පොලිස්පති ධූරය සදහා සුදුසු නිලධාරින් තිදෙනෙකු ගේ නම් වෙනුවට ඒ අවස්තාව වනවිට ලංකාවේ ඉහලම අධිකරණය ලෙස සැලකෙන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස් අත්අඩංගුවට පත්ව සිටි සැකකරැවකුට පහරදී කෘර වධ බන්ධනයකට ලක්කිරීමේ සිද්ධියකට වරදකරැවකු කරනු ලැබ සිටි දේශබන්දු තෙන්නකෝන්ගේ නම පමණක් සිය නිර්දේශය ලෙස ව්‍යවස්ථා සභාව වෙත යොමුකරනු ලැබුවා.

තවද ඒ වනවිට මැයි 9 ගෝල්ෆේස් අරගලකරැවන්ට සිදුකරන ලද පහරදීමේ සිද්ධිය ඇතුලු සිද්ධීන් ගනනාවකට අදාල චෝදනා තෙන්නකෝන් වෙත එල්ල වී තිබියදී ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමේ අරමුණ පවා කෙලෙසමින් මෙම නිරදේශය සිදුකර තිබුණා.

පොලිස්පති පත්කිරීම ව්‍යවස්ථාදායක සභාව හමුවේ විවාද සම්පන්නව තිබියදී එම තනතුරට පත්කිරීම සදහා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර තිබූ එකම නම වූ දේශබන්දු තෙන්නකෝන් එම තනතුරට පත්කිරීමට එවකට විපක්ෂ නායක ලෙස කටයුතු කල සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මංත්‍රී කබීර් හෂීම් විරැද්ධ වී ඇති අතර අගමැති,දිනේශ්,ජනාධිපති නියෝජිත ඇමති නිමල් සිරිපාල, අගමැති නියෝජිත සාගර කාරියවසම් සහ ස්වාධීන සාමාජිකයකු එම පත්කිරීමට පක්ෂව ජන්දය ප්‍රකාශ කර තිබෙනවා.

තවද ස්වාධීන සාමාජිකයන් 2 දෙදෙනෙකු ජන්දය ප්‍රකාශ කිරීම සදහා පැමිණ නැහැ.

මේ අනුව දේශබන්ධු තෙන්නකෝන් පොලිස්පති තනතුර සදහ පත්කිරීමට අවශ්‍ය සාමාජික ජන්ද 5 ක් හිමි නොවීම මත ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීම අවසන්ව ඇති අතර රැස්වීම අවසන් වීමෙන් පසුව ලැබී ඇති තොරතුරැ වලට අනුව වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ දැඩි ඕනෑකම මත කතානායක වරයා පැමිණ නොසිටි සාමාජිකයන් දෙදෙනාත් පත්වීමට විරැද්ධවූ අය ලෙස උපකල්පනය කර පක්ෂව ජන්ද 4 ක් සහ විපක්ෂව ජන්ද 4 බැගින් සමවූ තත්වයක් මත කථානායක වරයාට හිමි දෙවන වටයේ තීරක ජන්දය පත්කිරීමට පක්ෂව ප්‍රකාශ කල ලෙස සලකා තෙන්නකෝන් 36 වන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම සිදුකර තිබෙනවා.

මෙම පත්වීම අභියෝගයකට ලක්කරමින් කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ පාර්ශවයන් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමේ ප්‍රතිපලයක් ලෙස තෙන්නකෝන්ගේ පත්වීම ට එරෙහිව අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් පනවා තිබෙනවා.එහෙත් මේ අතුරු තහනම් නියෝගය පනවා තිබුනත් තෙන්නකෝන් අදටත් නෛතිකව සැලකෙන්නේ 36 වන පොලිස්පතිවරයා ලෙසයි.

යමකු රටේ උත්තරීතර නීතිය ලෙස සැලකෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාව සිය විධායක හෝ වෙනත් බලයක් උපයෝගි කරගෙන මෙලෙස අන්තනෝමතික ලෙස අභියෝගයකට ලක්කිරීම තුලින් තමයි මෙවැනි විකෘතීන් බිහිවන්නේ.

2023 වර්ශයේ දී පොලිස්පති තනතුරට පත්කිරීම සදහා සුදුස්සකු හෝ සුදුස්සන් ව්‍යවස්ථා දායක සභාව වෙත නිර්දේශ කිරීමේදී එවකට සිටි ජනාධිපතිවරයා චෝදනා රාශියකට පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවකු කර තිබූ පුද්ගලයකු පමණක් එම තනතුරට පත්කිරීම සදහා නිර්දේශ කරයැවීමෙන් මෙන්ම හිටපු කථානායක වරයාද අනීතික ලෙස වැරදි විධායක නිර්දේශයකට අන්ධයන් සේ එකගවීමෙන් සිදුකරන ලද විකෘති දායක තත්වය නිසා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ උත්තරීතර තනතුරක් ලෙස සැලකෙන පොලිස්පති තනතුර “ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයන පොලිස්පති” ලෙස “ හොරා පොලිස්” තත්වයට ඇද දැමීම ඉතා කනගාටුදායක තත්වයක්.

ජනවරමකින් තොරව “ චිට් මංත්‍රි” වරයෙකු ලෙස පත්ව මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැනි ප්‍රබල අමාත්‍ය පදවියකට පත්ව නීනිය යුක්තිය තඹ සතයකට මායිම් නොකල සට කපට ව්‍යාපාරිකයකු වූ ටිරාන් අලස් දේශබන්දු තෙන්නකෝන් ගේ අනීනිකව පොලිස්පති තනතුරට පත්කිරීම මෙන්ම එම පත්කිරීමෙන් පසු එම තනතුර දේශපාලනික කරමින් තිරය පිටුපස සිට අමාත්‍ය පදවියට අමතරව “නොනිල පොලිස්පති” තනතුරද හෙබවූ ප්‍රභල බලවේගය ලෙසද සැලකෙනවා.

වික්‍රමසිංහ-මහින්ද යාපා -ටිරාන් අලස් තුන්කට්ටුව සිදුකරන ලද ව්‍යවස්තා විරෝධි කුමන්ත්‍රණකාරි සහ අනීතික තත්වයට අද දේශබන්දු තෙන්නකෝන් කියන පොලිස් නිලධාරියා පමණක් නොව ගෞරවනීය තනතුරක් වූ පොලිස්පති තනතුරද ඉතා අවාසනාවන්ත තත්වයකට පත්කොට තිබෙනවා.

අද ඇතිව ඇති මෙම විකෘති තත්වය අනාගතයේදී කිසිදු දවසක ඇති නොවන ආකාරයට විධායකය සතු බලය තමන්ගේ හිතුමනාපයට අන්තනෝමතික ලෙස “වෛශාවෘත්තියේ” නොයෙදවීමට සියලුම පාලකයින් කටයුතු කල යුතු බවද අවසානයේ අවධාරණයෙන් යුතුව සටහන් කරනවා.

Priyantha Jayakody මුහුණූ පොතිනි.

Archive

Latest news

Related news