ඡායාරුපය: ජනාධිපතිවරණයේ දී බස් සංගම් 10ක් සමඟ රනිල්ට එක් වූ බස් ගැමුණූ එකල කවර හෝ යොජනාවලියක් ඉදිරිපත් කළේද?
බස් ගැමුණු මහතා ඉස්සරහට බස් ගාස්තු ඉතා ඉහල යනු ඇති බව කියූ පුවතක් දුටිමි. ඊට ඔහු ඉදිරිපත් කරන එක් හේතුවක් වන්නේ ප්‍රවාහන සේවයේ අමතර කොටස් වල අධික මිල වැනි කරුණුය. එහෙත් ක්ෂේත්රයේ දීර්ඝ පළපුරුද්දක් ඇති ඔහු නොදන්නා පැත්තක්ද තිබේ. මේ ඒ ගැනය.
බස් හිමියන් නොසලකා හරින එක් කරුණක් වනුයේ කෙතරම් පිරිසක් තම දෛනික ගමන් වලින් බස් රථ ඈත් කර තිබේද යන්නයි. මගේම උදාහරණයකින් කියන්නේ නම්- මා දිනපතා කොළඹ එන්නේ දුම්රියෙනි. කළුතර දුම්රියපොල කරාවන කිලෝමීටර් පහක පමණ දුර එන්නේ යතුරු පැදියෙනි. වසර ගණනාවකට පෙර මා ආවේ බසයෙනි. එහෙත් කළුතර හොරණ බස් රථ හංගොළු ගමනින් ඒමේ ප්‍රතිපලය මා වෙනත් මාධ්‍යකට යොමු වීමයි. එසේම මා බම්බලපිටියේ සිට ටොරිංටන් දක්වා යන්නේ බසයෙනි. ඒ රුපියල් විසිහතේ දුරට තිහක් දුන් විට ඉතුරු රුපියල් තුන ගන්නට කොන්දොස්තර සමග හරුප කියමිනි. (හැකි හැම විටම මම විසිහත ගෙනයන්නට වග බලා ගතිමි) 154 බස් මාර්ගය යනු මිහිපිට නරකාදියකි. එහි බසයකට පොල් පැලයක් ගෙන නැග්ගොත් බහින විට ගස පීදෙයි.
අවසන මම විකල්පයක් සොයාගතිමි. දැන් මා මේ දුර යන්නේ සීසන් පතකින් සීටීබී බසයෙනි . ටොරිංටන් සිට බම්බලපිටි යන සැලකිය යුතු පිරිසක් දැන් සීසන් ගනිති.
මේ මගීන් ගැමුනුලාට අහිමි වූවේ ඔවුන් උඩ දමනා සේවයේ කඩප්පුලි වැඩ නිසාමය.
අනෙක් අතට මගියාට කිසි පලක් නැති යකඩ සහ ස්ටිකර් මෙන්ම හුටප්පරලයිට් සහ සෙටප් ද මගී අපට ගෙටප්, ස්ටෑන්ඩප් සටෑන්ඩප් ෆෝ යුවර් රයිට්ස් තත්වය ඇතිකරන අතරම බස්වල වියදමද සෑහෙන වැඩිකරයි.
බස්වල යකඩ කෑලි වලට මරාගන්නා බස් හිමියන් ඔය අනතුරුදායක අටලු නිසා මගියාට හා අන් වාහන මෙන්ම පදිකයාට වන අනතුරුද නොතකයි.
වරෙක ගාලු පාරේ මෙවන් බස් දෙකක ගෝරියක් කෙලවර වූවේ එක් බස් රියදුරෙක් අනෙකාගේ බසයේ වීදුරුවට සුදු යකඩ සයිඩ් කන්නාඩි පොල්ලෙන් ඇනීමෙනි. වීදුරු කටු වර්ෂාවකින් නැහැව යද්දීත් මගීන් මෝහන සුවයෙන් පසු වෙද්දීමට සිදු වූවේ බස්කාරයන් සමග පැටලෙන්නටය.
පසුගිය දිනෙක මතුගම සිට කොළඹ බලා එන සීටීබී බසයක් ජගතෙකුගේ බසයක් ඉස්සර කල විට අර බසයේ කොන්දොස්තර සීටීබී රියදුරුට තර්ජනය කළේ අපිට බස් මෙච්චරක් තියෙනව තෝ කුඩු කරනවා යනුවෙන් ආසිරි පතමිනි.
බස් වල ආදායම ඇතැම් මාර්ග වල පහල බැස ඇත. එසේම බොහෝ අය බස් වලින් ඉවත්වී පෞද්ගලික ප්‍රවාහන පහසුකම් සලසා ගනිති. හවස හතෙන් පසු බස් නැති පසුබිමක මගියා එසේ තමන්ට ගැලපෙන විසඳුම් සොයයි.
බස් ගැමුනුලාට බස් දුටු ගැමුනුලා වන්නට වුවමනා නම් පලමුවෙන් කල යුත්තේ සාර්ථක ප්‍රවාහන සේවාවක් සැලසීම මගින් මගියා ඊට ආකර්ෂණය කර ගැනීමයි. එසේ නොකර ආණ්ඩුවෙන් ගේම ඉල්ලීමෙන් පලක් නැත. යම් හෙයකින් ආන්ඩුවට සීටීබිය නගා සිටුවන්නට හැකිනම් මගියා නිසැකවම බස් හිමියා දුගියා කරනු ඇත. ප්‍රවාහනය ලෑබ ලැබීමේ පලමු කොන්දේසිය මගී තෘප්තියයි. ඒ කොන්දේසිය ඉටු කරනු වෙනුවට සුදු යකඩ පොලුවල අමුනා මගියා වෙන්දේසියේ දමන්නේ නම් බස් කම්බස් වීම වලක්වාලිය නොහැකිය.
අපට ගැමුනුලාට කියන්නට ඇත්තේ මෙයයි. ගොන් පොරකරුවන් විසින් පාලනය නොවනා ශිෂ්ටසම්පන්න බස් සේවයක් හදන්න. එවිට අපිද ඔබ සමග සිටගනිමු. එහෙත් ඔබ අපේ ජංගම කනත්ත හදා වරෙල්ලා මැරෙන්න කියන විට අප ඉන්නේ බස් සේවයෙන් ගවු ගාණක් ඈතය.
අපට තොරන් හදා, දඩි බිඩි සෙටප් දී දෙන වදය එක සතියක් ඔබේ දරුවෙකුට අත්විඳින්නට දී ප්‍රතිපලය බලන්න. මෙහි ඇති සෞඛ්‍ය අහිතකර බව ගැන වෙදැදුරන් කට ඇරිය යුතුය. සමාජ විද්‍යාත්මක බලපෑම ගැන අදාල විද්වතුන් කට ඇරිය යුතුය.
බස් සේවය ශිෂ්ට කිරීම යනු බොහෝ පැතිවලින් සමාජය ප්‍රගතිය කරා ගෙන යාහැකි වැඩකි. එහෙත් මෙය ඉවසිල්ලෙන්, පුලුල් මහජන අවබෝධයෙන්, මාධ්‍ය සහායෙන්, නීතියේ ආධිපත්‍ය මත කල යුත්තකි.
මගී අපට බස් හිමියා පාඩු ලබනු දකින්නට ඇවැසි නැත. එසේම ඔහුට අප වහලෙකු කරගන්නට, ප්‍රාණ ඇපයට ගන්නට , අපේ ජීවිත්වීමේ අයිතිය පැහැරගන්නට ඉඩ සලසන්නට අපකෙසේවත් සූදානම් නැත.
බලධාරීනි,පවත්නා නීති වලට අනුගත නැති බස් රථ ඉවත්කර ගන්නට ඉඩ දී නව සේවා සම්පාදකයන්ට ඉඩ දෙන්න. මනා අධීක්ෂණයක් පවත්වා ගන්න. මගියා තම අයිතිවාසිකම් පිළිබඳ දැනුමෙන් සන්නද්ධ කරන්න. නිසි අධීක්ෂණය යටතේ බස් දුවන දවසට අනතුරු අඩුය. එය ඊයේ පෙරේදා සංඛ්‍යා ලේඛන වලින් පැහැදිලිය.
බස් හිමියන්ගේ හඬටද කන් දෙමින්, ඔවුන්හට තමන් මේ කරන්නේ මහජන සේවයක් බව වටහා දෙන්නට උත්සාහ දරමු. ඔවුන්ගේ සේවය පිණිස වන බාධා මගහරවන්නට හැකි සෑම සහයක්ම දෙමු. එහෙත් ඔවුන් ආලවක චරිතයම රඟන්නේ නම් නීතිය සහ ආණ්ඩු බලය යොදවා නිසිපාලනය ඇතිකළ යුතුය.
ජනතාව ආණ්ඩුවට බලය දුන්නේ යහපත් ජීවිතයක් අපේක්ෂාවෙනි. එය කෙසේවත් සේවය වලලන සුදුයකඩ පොලු අවසංස්කෘතියකට බිලිදිය යුතු නැත. ස්ලෝ ගියරයේ වුවත් කම් නැත, ස්ථිරවම ගමනාන්තය දක්වා යා යුතුය.