Wednesday, December 18, 2024

පළාත් සභා මැතිවරණය සහ 13 සංසෝධනය ගැන අගමැති මෝඩි කළ ඉල්ලීමට ජනපති අකුදිගෙන් ප්‍රතිචාරයක් නැහැ!

(Sri Lanka Brief/17.12,2024) ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර පැවති හමුවකින් පසු ඊයේ (16) නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයෙහි 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ බොහෝ ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණ පැවැත්වීම ගැන සඳහන් නොවේ.

එසේ නමුත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී අග්‍රාමාත්‍යවරයා කළ මාධ්‍ය ප්‍රකාශයේ ඉංග්‍රීසි පරිවර්තනය මෙසේ දක්වයි.

” ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණය සහ සංහිඳියාව ගැනත් අපි කතා කළා. ජනාධිපති දිසානායක මහතා ඔහුගේ ඇතුළත් ඉදිරිදර්ශනය මට පැහැදිලි කළා. ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම ( 13 වන ව්‍යාවස්ථාව ක්‍රියාත්මක කිරීම ලෙස කියවන්න – ශ්‍රී ලංකා බ්‍රීෆ්) සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ඔවුන් තම කැපවීම ඉටු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”

එසේ නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ  රාජ්‍ය සංචාරය අතරතුරදී 2024 දෙසැම්බර් 16 මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශයෙහි ඉන්දිය අගමැතිවරයා විසින් කරන ලද එම ප්‍රකාශයේ සඳහන් පළාත් සභා මැතිවරණය පැවැත්වීම හෝ 13 වන සංසෝධනය ක්‍රියාත්මක කිරීම ගැන කිසිදු සඳහනක් නොමැත.

එහි මෙසේ සඳහන් වේ:

“පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී පෙර නුවූවිරූ ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රකාශ වූ ජන වරම අප රටේ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීමට හැකිවන දේශපාලන පරිවර්තනයක බීජ රෝපණය කර තිබෙනවා. උතුර, දකුණ, නැඟෙනහිර සහ බස්නාහිර දිශාවල පිහිටි සියලුම පළාත්වල විවිධ ප්‍රජාවන් සහ විවිධ තරාතිරම්වල ජනතාව මෙම ජනවරමට දායක වුණා. මගේ ජනතාව විසින් එවැනි වැදගත් වගකීමක් පවරන ලද නායකයෙකු ලෙස, ප්‍රජාතන්ත්‍රවාදයේ හරය පවතින්නේ විවිධ දේශපාලන මත සහ කණ්ඩායම්වල සහජීවනය තුළ බව මා පැහැදිලිවම වටහාගෙන සිටිනවා.”

යුද්ධාවසානයේ සිට දෙරට නායකයින් එකඟවූ සියලුම ඒකාබද්ධ ප්‍රකාශන්යන්හි  මෙරට දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීම සදහන් වීය. තවද ඉන්දීය ආණ්ඩුව, ජිනීවා මානව හිමිකම් කමිටුව හමුවෙහි දිගින් දිගටම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් ස්ථාවරය ද එය විය.

උතුරු නැගෙනහිර දෙමළ ජනයා අනුර කුමාර දිසානායක ආණ්ඩුවට සහය දී ඇති බැවින් තවදුරටත් දේශපාලන විසඳුමක් ගැන කතා කිරීමට අවශ්‍ය නැතයි යන ප්‍රවාදයක් ද ජාජබ සම්බන්ධ පිරිස් ජනගත කරමින් සිටිති.

ඉන්දීය සහ ශ්‍රී ලංකා නායකයින් අතර ඒකාබද්ධ ප්‍රකාශයක දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් සහ බලය බෙදා හැරීම ගැන සඳහන් නොකළ පළමු අවස්ථාව මෙයයි. 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට කැපවීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ අකමැත්ත හේතුවෙන් බලය බෙදා හැරීම පිළිබඳ සඳහනක් නොකළ බව තතුදත් ආරංචි මාර්ග පවසයි.

එවකට අගමැති මහින්ද රාජපක්ෂ සහ අගමැති නරේන්ද්‍ර මෝදි අතර පැවති අථත්‍ය හමුවකින් පසු සැප්තැම්බර් 26 වන දින ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරන ලදී. එම ප්‍රකාශයේ මෙසේ සඳහන් විය:

“ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සමඟ සංහිඳියාවේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම ඇතුළුව එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ ගෞරවය සඳහා දෙමළ ජනතාවගේ අභිලාෂයන් සපුරාලන ලෙස අගමැති මෝදි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාවේ ජනතාවගේ වරමට අනුව පෝෂණය වූ සංහිඳියාවක් ඇති කර ගැනීමෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන ක්‍රියාත්මක කිරීමෙන්, දෙමළ ජනතාව ඇතුළු සියලු ජනවාර්ගික කණ්ඩායම්වල අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ විශ්වාසය පළ කළේය.”

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවීමෙන් පසු 2019 නොවැම්බර් මාසයේදී නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයේ මෙසේ සඳහන් විය: “ශ්‍රී ලංකාවේ සංහිඳියාව පිළිබඳ අපගේ අදහස් අපි හුවමාරු කර ගත්තෙමු. ජනවාර්ගික සමගිය පිළිබඳ ඔහුගේ සියලු දෙනා ඇතුළත්  ඔහුගේ දේශපාලන දෘෂ්ටිකෝණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මට පැවසීය. දෙමළ ජනතාවගේ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ ගෞරවය යන අභිලාෂයන් ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සංහිඳියාව පිළිබඳ ක්‍රියා පටිපාටිය ඉදිරියට ගෙන යනු ඇතැයි මම විශ්වාස කරමි. සංහිඳියාව පිළිබඳ ක්‍රියා පටිපාටියට 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම ද ඇතුළත් වේ,”

2023 ජූලි මාසයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන් වූයේ මෙසේය:

“ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. සමානාත්මතාවය, යුක්තිය සහ සාමය සඳහා නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය මෙහෙයවනු ඇත. දහතුන්වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට සහ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට ඇති කැපවීම ඉටු කරනු ඇත. ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවට ගෞරවයක් සහ ගෞරවනීය ජීවිතයක් සහතික කරනු ඇත.”

එම සංචාරයේදීම රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “ඉන්දියාවේ සහාය ඇතිව ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම ශ්‍රී ලංකාවේ කර්මාන්ත සහ අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය ඉහළ නැංවීමේ ඉලක්කය කරා යන තීරණාත්මක පියවරකි. ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගයක් ඉදිකිරීම ශ්‍රී ලංකාවට දැරිය හැකි සහ විශ්වාසදායක බලශක්ති සම්පත් සැපයුමක් සහතික කරනු ඇතැයි අගමැති මෝදි සහ මම විශ්වාස කරමු.”

මෙම ව්‍යාපෘතිය මෙවර ඒකාබද්ධ ප්‍රකාශනයේ නැත.

ජනාධිපති  අකුදි ගේ සංචාරයෙන් පසු 16වන  නිකුත් කළ ඒකබද්ධ ප්‍රකාශයේ බලය බෙදා හැරීම පිළිබඳව කිසිදු සඳහනක් නොමැතිවීම මෙරට දෙමළ දේශපාලන සංවිධාන අතර කුකුසක් ඇති කර තිබේ.

Archive

Latest news

Related news