Thursday, December 12, 2024

පොලිස් ඉතිහාසයේ ගැහැනුන්නට ලැබුණ අවස්ථා සහ වර්තාගත වර්ථමාන පත් කිරීම්

වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ මෙරට ඉතිහාසය වෙනස් කරමින් වාර්තා පිට වාර්තා තබමිනි. ඒ පිටුපස සිටි නොසැලෙන ශක්තිය වූයේ කතුන්ය. මෙරට මැතිවරණ ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුවට යැවෙන්නේද මෙවර මහා මැතිවරණයෙනි. රටේ දෙවැනි පුටුව කාන්තාවක් හොබවන පසුබිමක මෙරට පොලීසියේ ලොකු පුටු රැසක්ද මේ වන විට කාන්තාවන් අතට පත් වී ඇත්තේ ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයද උඩු යටිකුරු කරමිනි.

පොලිස් සේවාව මෙරට ස්ථාපිත වන්නේ ඉංග්‍රීසීන් විසින් මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කර ගැනීමත් සමඟිනි. ඒ වර්ෂ 1796 දීය. ඉතිහාසගත තොරතුරුවලට අනුව මුල්ම පොලිස් ස්ථානය වන්නේ මරදාන පොලිස් ස්ථානයයි. එහෙත් අපේ රටේ විධිමත් ආකාරයට ව්‍යවස්ථාපිතව පොලීසියක් ක්‍රියාත්මක වූයේ යැයි සැලකෙන්නේ 1866 සැප්තැම්බර් 03 වෙනිදා සිටය. එතැන් සිට ගෙවී ගිය වසර 158ක ඉතිහාසය තුළ ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුර කාන්තා නිලධාරිනියන් අතට පත්වී නැත. පොලීසියේ හදවත බඳු පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ අණදෙන නිලධාරීකම පවා කාන්තාවක් අතට ගොස් නැත. පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ධුරය පවා පැවතියේ පිරිමි නිලධාරීන්ගේ අණසකට යටත්වය.

ඓතිහාසික වෙනස් වීම් 

වත්මන් වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය සියල්ල වෙනස් කරනු ලබන්නේ පොලිස් කතුන්ට නිසි තැන ලබාදීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරමිනි.

කාන්තාවන්ට සමතැන ලබාදීමට මුල් වූ පොලිස්පතිවරු අතර ඉතිහාස ගත වන්නේ පූජිත් ජයසුන්දර සහ සී.ඩී. වික්‍රමරත්නය.

පොලිස් කතුන්ට ඉහළට යාමට අවකාශ ඇති බව සඳහන් කරමින් අනාගතයේ දිනක පොලිස් කාන්තාවක් පොලිස්පති වනු ඇති බවට පසුගිය අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවේ පැවති ගිණුම් කාරක සභා රැස්වීමේදී එවකට සිටි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පවසන විට බොහෝ අය ඒ දෙස බැලුවේ අවඥාසහගතවය. ඒ අවස්ථාවේදී සී.ඩී. වික්‍රමරත්නගේ හයියට සිටියේ වත්මන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පමණි.

සී.ඩී. වික්‍රමරත්න පොලිස්පති ධුරය දරමින් සිටියදී ඔහු කාන්තා නිලධාරිනියන්ට පොලිස් ස්ථානාධිපති ධුරය ලබාදීමට වැඩසටහනක්ද ආරම්භ කරනු ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ කාන්තාවක් පොලිස් ස්ථානාධිපති පුටුවේ වාඩිවන්නේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රියර් අද්මිරාල් සරත් වීරසේකර සේවයේ නිරතව සිටි වකවානුවේ දී ය. ගම්පහ නාල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස පොලිස් පරීක්ෂිකාවක් වන කාංචනා සමරකෝන් පත්කරමින් ඇරඹි ඒ විප්ලවයට ඇගෙන්ම නැවතීමේ තිත තැබෙන්නේ කාන්තාවන්ට පොලිස් ස්ථානාධිපති ධුරය ලැබීමෙන් බඩගෝස්තරවාදී ඇතැම් ඉහළ පොලිස් නිලධාරීන්ගේ මෙන්ම දේශපාලනඥයන්ගේ උදහසට ලක් වෙමිනි.

ගැහැනු සහ පිරිමි පත්කිරීම් වෙනස

බාධා හා බලපෑම් එකපිට ආවත් සී.ඩී. වික්‍රමරත්න පොලිස්පතිවරයෙක් ලෙස සිය සටන අතහැර දැමුවේ නැත. දිගින් දිගටම කරුණු පෙන්වා දෙමින් මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරියක්, නියෝජ්‍ය පොලිස්පතිවරියන් සිව් දෙනෙක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් 13 දෙනෙක් වශයෙන් පොලීසියේ කාන්තා නිලධාරීන් ඉහළට ගෙන ඒමට අවශ්‍ය අනුමැතීන් ලබාගත්තේය. ඒ 2021 වසරේ අගෝස්තු 12 වෙනිදාය. ඒ අනුව ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුර 12 ක් පිරිමි නිලධාරීන්ට වෙන්වන විට කාන්තාවන්ට වෙන්වන්නේ 01ක් පමණි. නියෝජ්‍ය පොලිස්පති ධුර 48ක් පිරිමි නිලධාරීන්ට වෙන්වන විට කාන්තාවන්ට වෙන්වූයේ 04කි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධූර පිරිමි නිලධාරීන්ට 169ක් වෙන්වන විට කාන්තාවන්ට වෙන්වූයේ 13කි. පොලිස් අධිකාරි ධුර පිරිමි නිලධාරීන්ට 162ක් වෙන්වන විට කාන්තාවන්ට වෙන් වන්නේ 04ක් පමණි. සහකාර පොලිස් අධිකාරි ධුර පිරිමි නිලධාරීන්ට 314ක් වෙන්වන විට කාන්තා නිලධාරීන්ට වෙන් වන්නනේ 16ක් පමණි.

විශම සැළකීම පෙන්වන සංඛ්‍යාලේඛන

මේ හැරුණු කොට ප්‍රධාන පොලිස් පරීක්ෂක ධූර 780ක් පිරිමි නිලධාරීන්ට වෙන්වන විට කාන්තාවන් වෙනුවෙන් වෙන්වන්නේ 66කි. පොලිස් පරීක්ෂක ධුර පිරිමි නිලධාරීන්ට 2699ක් වෙන්වන විට කාන්තාවන්ට වෙන් වන්නේ 266ක් පමණි. උප පොලිස් පරීක්ෂක ධුර පිරිමි නිලධාරීන්ට 5312ක් වෙන්වන විට කාන්තාවන් වෙනුවෙන් 642ක් පමණි. එසේම පොලිස් සැරයන් ධුර පිරිමි නිලධාරීන්ට 15,315ක් වෙන්වන විට කාන්තාවන්ට වෙන් වන්නේ 1800කි. පොලිස් කොස්තාපල් ධූරය පිරිමින් වෙනුවෙන් 45,055ක් වෙන්වන විට කාන්තාවන්ට වෙන් වන්නේ 8468ක් පමණි.

කාන්තා පොලිස් නිලධාරීන් වෙනුවෙන් වෙන්ව ඇති තනතුරු ප්‍රමාණය පිරිමි නිලධාරීන්ගේ සංඛ්‍යාවේ අනුපාතයක් ලෙස ගත් කල ප්‍රමාණවත් නොවුණත් මේ ප්‍රමාණයෙන් හෝ කාන්තාවන්ට පොලීසියේ ඉහළට යන්නට අවස්ථාව උදාකරදීම හේතුවෙන් ශ්‍රී ලංකා පොලීසියේ පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස බිහිවන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බිම්සානි ජාසිංහ ආරච්චියි. ඒ වැඩබලන තනතුරක් ලෙසිනි. ඇය ඒ තනතුර හිමිකරගත්තේ 2020 වසරේදීය. එයද ස්ථිර තනතුරක් නොවීය. එම තනතුර පවා ඇයට ලබාදීම සම්බන්ධයෙන් උරණ වූ පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 14 දෙනෙක් එවකට සිටි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට එන්තරවාසියක් යොමු කරනු ලබන්නේ එම පත්වීම වැරදි බව සඳහන් කරමින් එම වැරදි ක්‍රියාව සිදු කළාට රුපියල් මිලියන 05ක වන්දියක් ඉල්ලමිනි.

පිරිමි නිලධාරීන් සමඟ කාන්තා නිලධාරිනියන්ට සමව වැඩ කළ නොහැකි බව මෙන්ම කාන්තා නිලධාරිනියන්ට පිරිමි නිලධාරින් සමඟ හැරෙන්නට බැරි බවට පොලීසියේ පිරිමි නිලධාරීන් අතර ලොකු කසු කුසුවක් පවා ඇති වන්නේ ඒත් එක්කමය. ඒ සියලු චෝදනා හා අපහාස මැද සී.ඩී. වික්‍රමරත්න එකක් ව පැවති කාන්තා නියෝජ්‍ය පොලිස්පති ධුර ගණන 04ක් බවට ඉහළ දමා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයක්ද කාන්තාවන් වෙනුවෙන් වෙන්කරමින් අවස්ථාක් උදාකර දෙන්නේ කාන්තාවකට පොලිස්පති ධුරය දක්වා ගමන් කිරීමට ඇති අවස්ථාව උදාකර දෙමිනි.

පොලිස් නිලධාරිනියක් කරළියට

බිම්සානි ජාසිං ආරච්චි මහත්මියට අමතරව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටින රේණුකා ජයසුන්දර, පොලිස් සුබසාධන අංශයේ ප්‍රධානියා ලෙස සේවයේ නිරත ජයන්තා පද්මිණි වීරසූරිය සහ පරියේෂණ හා තොරතුරු අංශයේ ප්‍රධානී නිශානි සෙ‍ෙනවිරත්න යන මහත්මීන්ට නියෝජ්‍ය පොලිස්පතිවරු වන්නට අවස්ථාව ලැබෙන්නේ ද ඒ අනුවය. අද වන විට ශ්‍රී ලංකා පොලීසියේ බැබළෙන චරිත වන මෙම නිලධාරීන් නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත්වන්නේද බිම්සානි මෙන්ම වැඩබලන පදනම මතය. ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයේ සිට නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා උසස්වීම් ලැබීමේදී සම්පූර්ණ කළ යුතු කාලය මෙම නිලධාරීන් ඒ වන විට සම්පූර්ණ කර නොමැතිව සිටි බැවිනි. දැන් ඒ අයගේ කාලය හරිය. ලබන වසරේදී බොහෝ විට මේ නිලධාරිනියන්ට ස්ථිර ලෙස නියෝජ්‍ය පොලිස්පති ධුර සඳහා පත්වීම් ලැබෙනු ඇත. සැබෑ ලෙසම මෙම නිලධාරීන් ඉතිහාසගත වන්නේ එහිදීය.

මේ නිලධාරිනියන් සිව්දෙනා අතර සිටින නිශානි සෙනෙවිරත්න මහත්මිය වැඩිම කාලයක් සේවයේ නිරතව සිට ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවාවේය. ඇය නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීම් ලබන්නේ එහි සේවයේ සිටියදීය. එසේම ජයන්තා පද්මිණි වීරසූරිය මහත්මිය ද මේ අය අතර සුවිශේෂී චරිතයකි. ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා ඉතිහාසයේ විමර්ශන අංශයේ අධ්‍යක්ෂධුරය මෙතෙක් දරා ඇති එකම කාන්තා නිලධාරිනිය වන්නේ ඇයයි.

ගැහැනුන්ට තැන වසර 87කට පසු

ආරම්භයේ පටන් පිරිමි නිලධාරීන්ට පමණක් වෙන්ව තිබුණු පොලිස් සේවාවට කාන්තාවන්ට දොරගුළු විවර වන්නේ විධිමත් පොලිස් සේවාවක් මෙරට ස්ථාපිත වී වසර 87 කට පසුවය. ඒ 1953 වර්ෂයේදීය. කාන්තාවන්ට ඒ අවස්ථාව එදා හිමිකර දෙන්නේ සර්. රිචඩ් අලුවිහාරේ පොලිස්පතිවරයාය. ඔහු සැලකෙන්නේ මෙරට පොලිස් සේවාවේ 12 වෙනි පොලිස්පතිවරයා ලෙසිනි. අපේ රටේ පොලිස් සේවාවේ මුල්ම ස්වදේශීය පොලිස්පතිවරයා ලෙස සැලකෙන්නේද සර්, රිචර්ඩ් අලුවිහාරේය. ඊට පෙර පොලිස්පති ධුරය දැරූවන් 11 දෙනාම ඉංග්‍රීසි ජාතිකයන්ය. අනුරාධපුර දිසාපති ලෙස සේවයේ නිරතව සිටි සර් රිචර්ඩ් අලුවිහාරේ විසින් අපේ රටේ කතුන්ට පොලිස් සේවයේ දොරගුළු විවර කරන්නේ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් සිව් දෙනෙකු මුලින්ම පොලිස් සේවයට එක්කර ගනිමිනි. ඉතිහාසයේ තොරතුරුවල ලියැවී ඇති ආකාරය අනුව මුල්ම පොලිස් කාන්තා නිලධාරිනිය ලෙස සැලකෙන්නේ සෝමා ගුණවර්ධනයි. පොලීසියේ තනතුරු හා උසස්වීම් කාලයක් පුරාවටම උරුම වූයේ පිරිමි නිලධාරීන්ට පමණි. කාන්තා නිලධාරීන් සීමා වී තිබුණේ කොස්තාපල් තනතුරට පමණි. ඒ ඉතිහාසය වෙනස් කරනු ලබන්නේ ප්‍රමිලා දිවාකරයි. 1958 වසරේදී ආධුනික පොලිස් කොස්තාපල්වරියක් ලෙස පොලිස් සේවයට එක්වන ඇය ඉතිහාසයට එක්ව ඇත්තේ මුල්ම සැරයන්වරිය, උප පොලිස් පරීක්ෂකවරිය, පොලිස් පරීක්ෂකවරිය, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය, සහකාර පොලිස් අධිකාරිවරිය, පොලිස් අධිකාරිවරිය ලෙසිනි.

1939 වසරේ ජුනි 17 වෙනිදා උපන් ප්‍රමිලා දිවාකර වයස අවුරුදු 60 සැපිරීමත් සමඟ පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව සිටියේ 1999 වසරේදීය. ඒ වන විට ඇය සේවයේ නිරතව සිටියේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය ලෙසිනි. ළමා හා කාන්තා කාර්යාංශයේ මුල්ම අධ්‍යක්ෂවරිය වන්නේද ඇයය. එදා ඇයට අවුරුදු 60 න් විශ්‍රාම ගන්නට ඉඩක් නොවූවාය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයට උසස් කරමින් තවත් වසර තුනක් ඇයව පොලිස් සේවාය තුළ රඳවා ගත්තාය. ඒ අනුව ඇයට පොලිස් සේවාවෙන් විශ්‍රාම ගැනීමට සිදුවන්නේ 2002 වසරේදීය. ඒ අනුව ශ්‍රී ලංකා පොලීසියේ මුල්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියගේ වාර්තාවට ද හිමිකම් කියන්නේ ඇයයි.

ප්‍රමිලා දිවාකර දීර්ඝ කාලයක් තිස්සේ පොලිස් සේවාව තුළ සටන් කළේ පොලීසියේ කාන්තාවන්ට සමතැන ලබා ගන්නටය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියක් ලෙස පවා ඇයට ඉහළට එන්නට අවකාශ ලැබෙන්නේ ඇයට තිබුණු ආත්ම ශක්තිය නිසාය. ඇය විශ්‍රාම ගැනීමෙන් අනතුරුව කාන්තාවන්ට ඉහළට ඒමේ අවස්ථාව තිබුණේ උපරිම ලෙසින් අහුරාය. ඇය විශ්‍රාම ගන්නා අවස්ථාවේ සිටි තැනට පොලිස් කාන්තාවක් පත්වන්නේ නම් ඒ වසර 15කට පසුවය . ඒ 2017 වසරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියක් ලෙස බිම්සානි උසස්වීම් ලබමිනි.

පොලිස් ඉතිහාසය අලුත් වෙයි

අනතුරුව පූජිත් ජයසුන්දර පොලිස්පතිවරයා ලෙස කාන්තාවන්ට යම් අවස්ථාවක් පොලීසිය තුළ උදාකර දෙන්නේ පොලිස් අධිකාරිවරියන් ලෙස සේවයේ නිරතව සිටි කතුන් 08 දෙනෙකුට 2019 වසරේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන් ලෙස උසස්වීම් ලබාදෙමින් පොලිස් ඉතිහාසය අලුත් කරමිනි. ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේද අනුමැතිය ඇතිවය.

එදා එසේ උසස්වීම් ලබන්නේ එකල රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයේ සිටි තිලිණා ජයවර්ධන, මේ වන විට නියෝජ්‍ය පොලිස්පතිනියන් ලෙස සේවයේ නිරතව සිටින රේණුකා ජයසුන්දර, පද්මිණී වීරසූරිය, සහ එකල පොලිස් මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂ ලෙස සේවයේ නිරතව සිටි ධිමතී පෙරියප්පෙරුම, එකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානී ලෙස සේවයේ නිරතව සිටි දර්ශිකා කුමාරි, රාජ්‍ය බුද්ධි සේවයේ සහකාර අධ්‍යක්ෂිකා නිශානි සෙනෙවිරත්න, පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ එකල නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරය දැරූ මදාරා ආරියසේන සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ අධීක්ෂණ නිලධාරිනිය ලෙස එකල සේවයේ නිරතව සිටි ඉමේෂා මුතුමාලි යන පොලිස් අධිකාරිවරියන් අට දෙනාය.

මෙම නිලධාරිනියන් උසස්වීම් ලබන මොහොත වන විට පොලිස් දෙපාර්තමේන්තුවේම සිටියේ පොලිස් අධිකාරිවරියන් 09 දෙනෙක් පමණි. නමවැන්නා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ එකල අධ්‍යක්ෂිකාව වන ලංකා රාජනී අමරසේනයි. ඇය පසුකාලයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයට උසස්වීම් ලැබුවාය.

මෙම නිලධාරිනියන් අතර සහකාර පොලිස් අධිකාරීවරියන් ලෙස සෘජුව පොලිස් සේවයට එක්වූ නිලධාරිනියන් තිදෙනෙක්ද සිටියහ. ඒ මදාරා ආරියසේන, ඉමේෂා මුතුමාලි සහ ලංකා රාජිනී අමරසේන ය‍. පොලිස් ඉතිහාසයේ සෘජුව සහකාර පොලිස් අධිකාරිවරියන් ලෙස පොලිස් සේවයට එක්වූ පළමු හා එකම නිලධාරීන් වන්නේ ඔවුන්ය.

පොලිස් ඉතිහාසය අලුත් කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු ලෙස උසස්වීම් ලද නිලධාරිනියන් අට දෙනා අතර සිටි තිලිනාත්, රේණුකාත්, පද්මිණිත්, ධිමනීත්, දර්ශිකාත්, නිශානිත් පොලිස් සේවයට එක්ව ඇත්තේ උප පොලිස් පරීක්ෂිකාවන් ලෙසිනි. ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියන් ලෙස පොලිස් සේවයට එක්වන මදාරා, ඉමේෂා සහ ලංකා පොලිස් සේවයට එක්වන්නේ 2007 වසරේ නොවැම්බර් 03 වෙනිදාය. ඒ පිරිමි නිලධාරීන් 14 දෙනෙක් සමඟ කරට කර තරග කරමිනි.

පිරිමි ලොකු පුටු පෙරළීම

ශ්‍රී ලංකා පොලීසියේ කැපී පෙනෙන චරිත වන එම නිලධාරිනියන් අතර සිටි රේණුකාත්, පද්මිණිත්, නිශානිත් මේ වන විට වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීම් ලබා සිටින විට දර්ශිකාත්, මදාරාත්, ඉමේෂාත්, ලංකාත් පොලිස් ඉතිහාසය වෙනස් කරමින් සිටින්නේ පිරිමින්ට පමණක් හිමිව තිබුණු පොලීසියේ සුවිශේෂි අංශවල ලොකු පුටු තරණය කරමිනි. එම අවස්ථාව මෙම නිලධාරිනියන්ට ලැබෙන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියෙන් පසුගිය 02 වෙනිදා වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් නිකුත් කළ පොලීසියේ ඉහළ නිලධාරීන්ගේ ස්ථාන මාරුවීමේ නියෝග ප්‍රකාරවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකාව

ඒ අනුව පොලිස් ඉතිහාසයේ මෙතෙක් කාලයක් පිරිමි නිලධාරීන්ගේ බූදලයක් බවට පත්ව තිබුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පුටුව හිමිවන්නේ ඉමේෂා මුතුමාලිටය. ශ්‍රී ලංකා පොලීසියට ආධුනික සහකාර පොලිස් අධිකාරිවරියක් ලෙස එක්වූ ඇය රුහුනු විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය (BSc) සහ විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී (LLB) උපාධිය ලබා සිටින්නියකි.

මතුයම් දවසක ශ්‍රී ලංකා පොලීසියේ කාන්තාවක් පොලිස්පති වන්නේ නම් ඊට හොඳටෝම සුදුසුකම් ඇති නිලධාරිනිය වන්නේ ඇයයි. ඒ ඇය වයස අවුරුදු 60න් පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව සිටින්නේ 2041 වසරේදී බැවින් ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට මුලින්ම උසස්වීම් ලැබීමට වැඩි අවස්ථාවක් ඇත්තේ ඇයට බැවිනි. ඒ ඇය සමඟ පොලිස් සේවයට එක්වූ සෙසු නිලධාරිනියන් දෙදෙනා මෙන්ම පිරිමි නිලධාරීන් 14 දෙනාට වඩා ඇය වයසින් බාල තැනැත්තියක් වන බැවින් යම් දිනක පොලීසියේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරිනිය වන්නේ ඇය බැවිනි.

ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියක් ලෙස පොලිස් සේවයට එක්වීමෙන් අනතුරුව නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරියක් ලෙස සේවයේ නිරතව සිට ඇති ඉමේෂා මුතුමාල පොලිස් නිෂ්කාශන අංශයේත් කලක් සේවය කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශණ අංශ අධීක්ෂණ නිලධාරිනිය ලෙසද ඇය කටයුතු කර තිබුණාය. ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කළාය. එම පත්වීම ඇයට ලැබෙන්නේ 2021 වසරේ ජූනි මාසයේදීය. ඒ එම තනතුරට කාන්තා නිලධාරිනියක් පත්වන ප්‍රථම අවස්ථාව එය බවට ඉතිහාසයට එක්වෙමිනි. එම ඉතිහාසය නැවතත් අලුත් කෙරෙන්නේ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය දක්වා ඉහළට යමිනි.

ලංකා රාජිනී අමරසේනගේ ගමන

ශ්‍රී ලංකා පොලීසියට අධුනික සහකාර පොලිස් අධිකාරීවරියන් ලෙස එක් මෙන් පොලිස් ඉතිහාසය වෙනස් කළ තවත් නිලධාරිනියක් වන්නේ ලංකා රාජිනී අමරසේනයි. ඇය ශ්‍රී ලංකා පොලිස් සේවයට මුලින්ම එක්වන්නේ උප පොලිස් පරීක්ෂිකාවක් ලෙසිනි. ඒ 1997 වසරේදීය. නිත්‍ය සේවයට කාන්තා උප පොලිස් පරීක්ෂිකාවන් සෘජු බඳවා ගැනීම් කෙරෙන්නේ එම වර්ෂයේදීය. එවර බඳවාගෙන ඇති කාන්තා උප පොලිස් පරීක්ෂිකාවන් ගණන 175 දෙනෙකි. ඒ අය අතරින් අදවන විට බිම්සානි, රේණුකා, පද්මිණි සහ නිශානි වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරියන්ය. ඒ අතර සිටින ලංකා පොලිස් සේවයේ නිරතව සිටියදී සිය උපාධිය සම්පූර්ණ කරගෙන ආධුනික සහකාර පොලිස් අධිකාරිවරියක් ලෙස නැවත පොලිස් සේවයට ආවාය. ඒ මදාරා හා ඉමේෂා සමගිනි. ලංකා කලක් පොලිස් මූලස්ථානයේ අධ්‍යක්ෂවරිය ලෙසද කටයුතු කළාය. එම තනකුර ජ්‍යෙෂ්ඨතම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට හිමිවන්නකි. ඇය එම තනතුරද දැරුවාය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල උප පොලිස් පරීක්ෂිකාවක් සහ පොලිස් පරීක්ෂිකාවක් ලෙස සේවය කර ඇති ඇය ඇල්පිටිය , මීටියාගොඩ, බෙන්තොට, පේරාදෙණිය, අම්බලන්ගොඩ යන පොලිස් ස්ථානවල විවිධ පැමිණිලි අංශවලත් , ළමා හා කාන්තා කාර්යාංශවලත්, පරිපාලන අංශවලත් ස්ථානාධිපති ලෙසද කටයුතු කර තිබුණාය.

ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියක් ලෙස ඇය පොලිස් සේවයට නැවත එක්වන්නේ මීටියාගොඩ පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටියදීය. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පොලිස් සේවයේ නිරතව සිටියදීම ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියන් ලෙස පොලිස් සේවයට එක්වන පළමු කාන්තා නිලධාරිනියන් වන්නේ ද ඇයයි.

වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් ඇයට මෙවර බාරදෙන්නේ පොලීසියේ ඇති භාරධුරම වගකීමකි. ඒ පොලිස් නිලධාරීන්ගේ විවිධ අකටයුතුකම් ගැන විමර්ශන පැවැත්වීමට ඇති පොලීසියට එරෙහි විමර්ශන අංශය වන පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයයි. පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණයේ පවතින මෙම අංශයේ අධ්‍යක්ෂ ධුරය මෙතෙක් කලක් සින්නවී තිබුණේ පිරිමි නිලධාරීන්ටය. මෙම අංශයේ ලොකු පුටුව හිමි වූ පළමු කාන්තා නිලධාරිනිය වන්නේ ලංකාය.

දර්ශිකා කුමාරිද පොලිස් සේවයට එක්වන්නේ 1997 පොලීසියට එක්වූ පළමු කාන්තා උප පොලිස් පරීක්ෂක කණ්ඩායමේ සිටි නිලධාරිනියක් ලෙසිනි.

පරිගණක අපරාධ විමර්ශන අංශය අලුත් මාවතකට

සහකාර පොලිස් අධිකාරීවරියක් ලෙස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස 2008 වසරේදී සේවයේ නිරතව සිට ඇති ඇය 2008 හා 2020 කාලය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකාවක් ලෙස ද සේවයේ නිරතව සිට ඇත්තේ පරිගණක අපරාධ විමර්ශන අංශය අලුත් මාවතකට රැගෙන යමිනි. අනතුරුව ඇය 2020 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂිකාව ලෙස සේවයේ නිරතව සිටියාය. පරිගණක ආශ්‍රිතව ළමුන්ගේ නිරුවත් ඡායාරූප හුවමාරු වීම් සම්බන්ධයෙන් විමර්ශන අංශයක් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානගත වන්නේ ඇගේ කාලය තුළදීය. 2022 වසරේදී එවකට සිටි පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙසද කටයුතු කර ඇති ඇය පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂිකාව ලෙස සේවයේ නිරතව සිටියේ ඇයයි. දැන් ඇයට ලැබී ඇත්තේ පොලිස් ඉතිහාසය වෙනස් කළ තනතුරකි. ඒ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණ දෙන නිලධාරී තනතුරය. මෙම තනතුර දෙවැනි වන්නේ පොලිස් පරිපාලන අධ්‍යක්ෂට පමණි. පොලිස් ඉතිහාසයේ කාන්තා නිලධාරිනියක් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ අණදෙන නිලධාරිනිය ලෙස පත්වන පළමු අවස්ථාව වන්නේද මෙයයි.

ආධුනික පොලිස් අධිකාරීවරියක් ලෙස පොලිස් සේවයට එක්වූ මේ වන විට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක්ලෙස ඉහළටම ගොස් සිටින මදාරා ආරියසේනට භාර කෙරෙන්නේ පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයයි. ශ්‍රී ලංකා පොලිස් රෝහල අයත් වන්නේ ඊටය. ඇයට මෙම තනතුර හිමිවන්නේ ලොකු වැඩ කොටසක් පොලිස් රෝහල වෙනුවෙන් කරන්නටය. මදාරා යනු පොලීසියේ සිටින තවත් යකඩ ගැහැනියකි. ආධුනික සහකාර පොලිස් අධිකාරිවරියන් ලෙස පුහුණුව ලබා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් එළියට ආ ඇයට එදා හිමිවන්නේ කැලණියයි.

පොලිස් දූෂණ ගුහාව: පොලිස් රෝහල

ශ්‍රී ලංකා පොලීසියේ දූෂණ ගුහාවක් බවට කාලයක්ම පත්ව තිබුණේ ශ්‍රී ලංකා පොලිස් රෝහලය. ඹෟෂධ මිලදී ගැනීමේ සිට බොහෝ දේවල් ගැන ලොකු කතාබහ පැවතුණි. මේ තත්ත්වය මත පොලිස් රෝහලේ අධ්‍යක්ෂ ධුරයට පත්කරනු ලබන්නේ මදාරාවය. ඒ ඉතිහාසයේ කාන්තා නිලධාරිනියක් පොලිස් රෝහලේ මුල් පුටුවට පත්කරන පළමු අවස්ථාව බව සනිටුහන් කරමිනි. ඇය පොලිස් රෝහල සුද්ධ කරන්න පටන් ගැනීමත් පොලිස් රෝහලින් ඇය විසිවන්නේ පොලීසියේ මුල්ලකටය. දේශපාලන බලපෑම් හමුවේ එදා පොලිස්පතිවරයාව සිටි සී.ඩී. වික්‍රමරත්නට පවා ඊට එරෙහි වන්නට ඉඩක් නොවීය.

පොලිස්පති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරමින් සිටියදී වසර තුනකට පසු නැවතත් ඇයට හිමිවන්නේ පොලිස් රෝහලමය. ඒ පොලිස් රෝහල සුද්ධ කරන්නට පමණක් නොව, පොලීසියේ සේවයේ නිරත හා විශ්‍රාම ගොස් සිටින නිලධාරීන්ටත් ඒ අයගේ පවුල්වල සාමාජිකයන්ටත් සෙසු රෝහල්වලට නොදැවෙනි සේවාවක් ලබාදෙන තැනක් බවට පත්කිරීමේ අභියෝගයද භාර දෙමිනි.

අනාගතය සුභවාදීය

පොලීසියේ දැනට සේවයේ නිරත නිලධාරීන්ගේ පැටිකිරිය හාරා අවුස්සා බැලීමේදී තවත් වසර 10කින් ශ්‍රී ලංකා පොලීසියේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් මදාරා, මුතුමාල , ලංකා සමඟ ආධුනික සහකාර පොලිස් අධිකාරීන් ලෙස පොලිස් සේවයට එක්වූ පිරිමි නිලධාරීන් 14 දෙනා පමණි. ඒ හැමෝම අතරින් මදාරා වයසින් වැඩිමල් මුතුමාලට පමණි. ඇය පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව සිටින්නේ 2040 වසරේදීය. මුතුමාල විශ්‍රාම ගැනීමට නියමිතව ඇත්තේ 2041 වසරේදීය. ලංකා මේ අයට වඩා වයසින් වැඩිමහල්ය.

තව වැඩි කාලයක් යන්නට මත්තෙන් මේ අය නියෝජ්‍ය පොලිස්පතිවරියන් ලෙස උසස්වීම් ලබනු ඇත. ඒ වෙනකොට දැනට වෙන්ව ඇති කාන්තා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුර ගණනද ඉහළ යනු ඇත. ඊට අවශ්‍ය පිඹුරුපත් ඇත්තේ මේ වන විටත් සැකසෙමිනි. එය එසේ වුවහොත් ඉදිරි වසර 10 තුළ මදාරාත්, ශ්‍රී ලංකා පොලීසියේ ඉතිහාසය වෙනස් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරියන් බවට පත්වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි වනු ඇත. එසේම ඔවුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් වීම් ලබා ඊළඟ වසර පහ තුළ මෙම නිලධාරිනියන්ට ඒ අයගේ හැකියාව මත පොලිස්පති ධුරයටද පත්වීමට ඇති ඉඩකඩ බොහෝය.

ගයාන් කුමාර වීරසිංහ/ සිළුමිණ

Archive

Latest news

Related news