අරගලයේ ප්‍රතිඵලයක් ලෙස වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වූ බවට ඇතැම් දේශපාලන විචාරකයන් හඳුන්වනු ලැබූව ද, ගෝල්ෆේස් අරගලය පිළිබඳව සිය සමාජ ජාල ඔස්සේ වාර්තා කිරිම නිසා එවක බලධාරින් විසින් පිටුවහල් කළ විදෙස් තරුණියක දෙවසරකට වැඩි කාලයක් තිස්සේ තම මව් රට බලා යාමට නොහැකිව මෙරට සිරවී සිටින බව බීබීසී සිංහල සේවයට නිරීක්ෂණය විය.
ආගමන විගමන දෙපාර්තමේන්තුව එවකදී පැවසුවේ, 2022 අගෝස්තු 15 වන දා සිට බ්‍රිතාන්‍ය ජාතික කෙලී ෆ්‍රේසර්ගේ වීසා අවලංගු කළ බව ය.
ආගමන විගමන නීති උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් ඇය මෙරටින් පිටුවහල් කිරීමට තීරණය කර තිබිණි.
අරගලය පිළිබඳව ඉන්ටග්‍රෑම් ඔස්සේ වාර්තා කළ මෙම බ්‍රිතාන්‍ය තරුණියගේ ගුවන් ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයට ගැනීමෙන් අනතුරුව පැවැත්වූ විමර්ශනයකින් අනතුරුව ඇයගේ වීසා අවලංගු කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසා තිබිණි.
අධිකරණයෙන් දුන් තීන්දු මොනවා ද?
ආගමන හා විගමන පාලකවරයා ගනු ලැබූ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඇය 2022 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කළ අතර, රුපියල් ලක්ෂ 05ක නඩු ගාස්තුවක් ගෙවන ලෙස ඇයට නියෝග කෙරිණි.
ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා කෙලී ෆ්‍රේසර් අභියාචනාධිකරණය වෙත ද පෙත්සමක් ගොනුකළ අතර, 2022 අගෝස්තු 16 වන දා පෙත්සම ප්‍රතික්ෂේප කරන ලද්දේ පෙත්සම විභාගයට ගැනීමට තරම් ප්‍රමාණවක් කරුණු ඉදිරිපත් කිරීමට පෙත්සම්කාරිය අපොහොසත් වී ඇති බව තීරණය කරමිනි.
හේතු නොදක්වා වුව ද වීසා අවලංගු කිරීමට හෝ අවසන් කිරීමට අභිමතානුසාරී බලයක් ආගමන හා විගමන පාලකවරයාට ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු මගින් තහවුරු කර ඇති බව විනිසුරුවරයා විසින් පෙන්වා දෙනු ලැබීය.
මේ අතරවාරයේදී ඇය සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් මෙරටට පැමිණි මුල් අවස්ථාවේදී වැලිගම ප්‍රදේශයේ හෝටලයකදී ලිංගික අපයෝජනයකට ලක්වූ බව අනාවරණය කළා ය.
ඒ සම්බන්ධයෙන් තමා පොලිසියට පැමිණිලි කළ බවත්, පොලිසිය කළ කැඳවීමකට අනුව පොලිසිය වෙත ගිය අවස්ථාවේදී පැමිණිල්ල ඉවත් කර ගන්නා ලෙසට තමාට බලපෑම් කළ බවත් ඇය පැවසීය.
‘ඒ ළමයා කීයටවත් පිටුවහල් කිරිම කියන එකට එකඟ වුණේ නැහැ.’
කෙලී ෆ්‍රේසර්ගේ නීතිඥවරයා ලෙස කටයුතු කරනු ලබන නාගානන්ද කොඩිතුවක්කු මෙම සිදුවීමට අදාළව ශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සහය ලබා ගැනීමට ගත් උත්සහය සම්බන්ධයෙන් ද බීබීසි සිංහල සේවය සමග කියා සිටියේය.
ඔහු පවසන්නේ, මේ සිද්ධිය වූ සමයේදී මහ කොමසාරිස් කාර්යාලය සමග සාකච්ඡා කළ බව ය. එහිදී මහ කොමසාරිස් කාර්යාල නිලධාරින් පවසා තිබුණේ, බ්‍රිතාන්‍ය තරුණියට මෙරට රැඳවුම් මධ්‍යස්ථානයට භාර වෙන ලෙසත් ඉන් පසුව ඔවුන් මැදිහත් වී ඇයව හැකි ඉක්මනින් බ්‍රිතාන්‍යය වෙත පිටුවහල් කිරීමට මැදිහත් විය හැකි බවත් ය.
“මට ඉල්ලීමක් කළා එයාව ගිහිල්ලා වැලිසර ද කොහෙ ද තියෙන ඩිටෙන්ෂන් කෑම්ප් එකට දාන්න, ඊට පස්සේ සාධාරණ කාලයක් ඇතුළත එයාව බ්‍රිතාන්‍යයට පිටුවහල් කරන්න පුළුවන් කියලා. නමුත් ඒ ළමයා කීයටවත් පිටුවහල් කිරීම කියන එකට එකඟ වුණේ නැහැ.”
බ්‍රිතාන්‍යය බලා යාමට ඇති අයිතිය සහතික කරන ලෙස ජනාධිපතිට ඉල්ලීමක්
මේ අතර, 2024 නොවැම්බර් මස 11 වන දා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් නාගානන්ද කොඩිතුවක්කු ඉල්ලා සිටින්නේ, වසර දෙකකට වැඩි කාලයක් නිවාස අඩස්සියේ සිටින කේලි ෆ්‍රේසර්හට නිදහස ලබා දෙන ලෙස ය.
මීට පෙර, ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියට ද මෙතෙක් ප්‍රතිචාර ලැබී නැති බව ද මෙම ලිපියෙන් සිහිපත් කර දී තිබේ.
“ඇයට නැවතත් ගෞරවාන්විතව නිදහස් බ්‍රිතාන්‍ය පුරවැසියකු වශයෙන් බ්‍රිතාන්‍යය බලා යාමට ඇති අයිතිය සහතික කරන මෙන්, ඔබ වෙත 2024 ඔක්තෝබර් මස 03 වන දින ඉල්ලීමක් ඉදිරිපත් කළත්, මේ දක්වා ඊට ප්‍රතිචාරයක් ලැබිලා නැහැ.”
වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ කේලි ෆ්‍රේසර් තවමත් හෙළි නොකළ ස්ථානයක ඇය රැඳී සිටින අතර, ඇය ඉල්ලා සිටිනුයේ පිටුවහල් නියෝගය අත්හිටුවා මෙරටින් ගෞරවාන්විතව පිටව යාමට අවසරය ලබා දෙන ලෙස ය.
මේ වන විට ඇය මානසික හා ශාරිරික වශයෙන් ඉතා දුෂ්කර තත්ත්වයකට මුහුණ දී සිටින බව ද නාගානන්ද කොඩිතුවක්කු සිය ලිපියෙන් ජනාධිපතිවරයා වෙත දන්වා ඇත.
මෙම සිදුවිම සම්බන්ධව වැඩිදුරටත් තොරතුරු දැන ගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව සම්බන්ධ කර ගැනීමට බීබීසි සිංහල සේවය ගත් උත්සහය සාර්ථක වූයේ නැත.
(බීබීසී සිංහල සේවයෙනි)