Tuesday, November 12, 2024

අතුරුදහන්කිරීම් වලට වගකිවයුතු අපරාධකරුවනට දඩුවම් ලබාදීමේ ප්‍රයත්නය අත්හල නොහැකියි.

ඡායාරූපය: 2024 අගොස්තු 27 දින අතුරුදහන්වූවන්ගේ පවුල් එකමුතුව විසින් රත්දොලුගම ස්මාරකය අභියස පැවැත් වූ අනුස්මරණ රැස්වීමට සහභාගි වූ මවක්. (c)sunandadeshapriya

ශාන්ත ඩී. පතිරණ.

30 අවුරුදු යුද්ධය නිසාවෙන්ද , 88 – 89 පැවැති රාජ්‍ය පාලනය තුල ක්‍රියාත්මක වූ රාජ්‍ය ත්‍රස්තවාදය නිසාවෙන්ද අප රටේ පුද්ගලයින් දසදහස් ගනනින් බලහත්කාර අතුරුදහන්කිරීම් වලට ගොදුරු විය.  සංඛ්‍යාවක් නිශ්චිත ලෙස සදහන් කිරීමට නොහැකිවූවත් එය ලක්ෂය ඉක්මවා ඇති බව නිල සහ නිල නොලත් වාර්තා තහවුරු කරයි. විශේෂයෙන් 1995 – 1999 කාලවල අතුරුදහන්කිරීම් පිළිබද සොයා බැලීම සදහා පත්කල ජනාධිපති කොම්ෂන් සභාව විසින් 30000 ක් පමණ අතුරුදහන්කිරීම් පිළිබද  පැමිණිලි ලැබී ඇති බවත් ඒ අතරින් සිදුවීම්  3000 පමණ ඉතා පැහැදිලි ශාක්ෂි ඇති බව එම කොමිෂම සනාථ කරයි.

1995 සිට නීතිඥ මනෝරි මුත්තෙට්ටුවේගම මහත්මියගේ සභාපතිත්වයෙන්  ක්‍රියාත්මක වූ මෙම කොමිෂන් සභාව විසින් හදුනාගත් ශාක්ෂි ඇති  අපරාධවලට සම්බන්ධ පොලිස් නිලධාරීන් 495 දෙනෙකුට නඩුපැවරීම සදහා  2000 වර්ෂයේදී නීතිපති විසින් පියවර ගන්නා ලදී.  චන්ද්‍රිකා ජනාධිපතිනියගේ පාලන කාලය තුල ක්‍රියාත්මක වූ මෙම නඩු පැවරීමේ ක්‍රියාවලිය  සදහා පොලිස් දෙපාර්තුමේන්තුවේ පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත  DIU නම් ඒකකයක් පිහිටුවන ලදී.  නඩු පැවරීමට පෙර අවශ්‍යය විමර්ෂණ , පරීක්ෂණ ක්‍රියාත්මක වූයේද  පොලිස් නිලධාරීන් විසින්මය. ක්‍රමාණුකූලව නඩුවිභාග ක්‍රියාත්මක වූවත්  චෝදනා ලැබූ කිසිදු පොලිස් නිලධාරියෙකුට දඩුවම් ලබා දීමට අසමත් වී ඇත.  මේ අනුව බලන කල පොලිස් නිලධාරීන්ට එරෙහි විමර්ෂණ , පරීක්ෂණ  පොලිස් නිලධාරීන් විසින්ම සිදුකිරීම කොතෙක් ස්වාධීනද, අපක්ෂපාතීද යන්න ගැටළු සහගතය. මෙයින් සිදු වූයේ පැමැණිලි කල වින්ධිතයින් තවතවත් වින්දිත භාවයට පත්වීමය. මෙම නඩු පැවරීමේ ක්‍රියාවලියෙන්  වසර ගනන් උසාවි වල රස්තියාදුවීම,  නිදැල්ලේ සිටින අපරාධකරුවන්ගේ තර්ජන, ගර්ජන වලට ගොදුරුවීම හැර කිසිදු යුක්තියක් ඉටුනොවූ බව අසරණ වූ එම පවුල්වල සාමාජිකයින්ගේ අදහසයි.

අවංකව මෙම විමර්ශණ  සාර්ථකව සිදුකිරීමට කැමති නිලධාරීන් සිටියත් නිලධාරීන්ට අවශ්‍ය දීමනා, පහසුකම් හිතාමතා ලබානොදීම නිරන්තරයෙන්  සිදුවිය. ඒ අනුව එම විමර්ශණ නිලධාරීන් අධෛර්ය කිරිම සිදුවිය. තවද බොහෝ ශාක්ෂිකරුවන් මියගොස්ය. පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥයින්ගේ උදාසීනත්වය ආදී බොහෝ කරුණු මෙම නඩුවිභාග  අසාර්ථක වීමට හේතුවිය.

ශ්‍රී ලංකාවේ බලහත්කාර අතුරුදහන්කිරීම්  සම්බන්ධව කිසියම් මට්ටමක සාර්ථක වූ නඩුවිභාගයක් වූයේ 1992 ආරම්භ වී  1998  වසරේ අවසන්වූ ඇඹිලිපිටිය සිසුන් 32 ක් අතුරුදහන්කිරීම් සම්බන්ද නඩුවයි. වසර කීපයක්  තිස්සේ  මානව හිමිකම් නීතිඥ වරුන්, මානව හිමිකම් ක්‍රියාධරයින්ගේ, වින්ධිතයින්ගේ  නිරන්තර කැපවීම ප්‍රතිපලයක් ලෙස අපරාධකරුවන් 12 දෙනෙකුට වසර 10 ක බරපතල වැඩ ඇතිව සිරදඩුවම් නියම කිරීමට හැකිවිය. නමුත් වසර 7 ක් 8 ත් ඇතුලත ඔවුන් නිදහස ලැබුවේය. අපරාධයේ සවභාවය අනුව මෙම දඩුවම සෑහීමකට පත්විය නොහැකි බව මෙම පවුල්වල සාමාජිකයින්ගේ අදහසයි. අපරාධවලට අනුබලදුන්, වගකියුතු දේශපාලඥයින් , බලදරයින්  නිදැල්ලේ සිටින පරිසරයක් තුල නීතියේ ආදිපත්‍ය ගරු නොකරන පසුබිමක් තුල අපරාධකරුවනට නීතියෙන් දඩුවම් ලබාදීම අපේක්ෂා කල නොහැකි තරම්ය.  යුක්තිය ඉටුකරවා ගැනීමට දරණ සියළු ප්‍රයත්නයන් අකර්මන්‍ය කිරීමට, උදාසීන කිරීමට ඉතා ශූක්ෂමව උපායශීලීව ඔවුන් කටයුතු කරයි.

බලහත්කාර අතුරුදහන්කිරීම මනුෂත්වයට එරෙහි අපරාධයක් වූවත් එය අපරටේ නීතියෙන් අපරාධයක් ලෙස පිලිගැනීමට ප්‍රමානවත් ප්‍රතිපාදන නොතිබුනි. නඩුපැවරීමට සිදුකරන ලද්දේ බලහත්කාරයෙන්  පැහැරගෙන යාමේ වරද පාදක කරගගෙනය. එනමුත් 2016 දී  බලහත්කාර අතුරුදහන්කිරීම වලින් සියළු පුදගලයින් ආරක්ෂා කිරීමේ  එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතියට  ශ්‍රී ලංකා රජය එකගවීමෙන් අනතුරුව බලහත්කාර අතුරුදහන්කිරීම අපරාධයක් ලෙස අප රටේ නීතියට අනුගතවිය. තවද මෙය  පනතක් ලෙස පාර්ලිමේන්තුවේ සම්මත විය.  2018 අංක 5 දරණ  බලහත්කාර අතුරුදහන්කිරීම වලින් සියළු පුදගලයින් ආරක්ෂා කිරීමේ පනතින් ප්‍රයෝජනය ගත හැක්කේ වර්තමානයේ හෝ අනාගතයේ සිදුවන අතුරුදහන්කිරීම සම්බන්ධව පමණි. යුක්ති මූලධර්මයන්ට  අනුව අතීතයේ නැතහොත් 2018 මාර්තු 21 වන දිනට පෙර සිදුවූ බලහත්කාර අතුරුදහන්කිරීම සම්බන්ධව භාවිතා කල නොහැක.

කෙසේ වෙතත්  මෙම පනතට 2018 න් ඉදිරියට සිදුවන අතුරුදහන්කිරීම් සම්බන්ධව අධිකරණයෙන් වරදකරුවන පුද්ගලයෙකුට වසර 20 සිරදඩුවමක් සමග රුපියල් ලක්ෂ 10 ක්  තම පෞද්ගලික මුදලින් දඩයක් ගෙවිය යුතු වේ. ඊට අමතරව වින්දිතයාට ලක්ෂ 5 කට නොඅඩු වන්දියක් ගෙවිය යුතු වේ.  මෙම පනත භාවිතයට ගෙන දඩුවම් ලබාදීමේ අවස්ථාවක් තවමත් වාර්තා වී නොමැත.   කෙසේ වෙතත් අනාගතයේ බලහත්කාර අතුරුදහන්කිරීම නතර කිරීමට මෙම පනත මහත් උපකාරයක් වනු ඇත.

එසේ වුවත් උතුරෙත් දකුණෙත් සිදුවූ බලහත්කාර අතුරුදහන්කිරීම් වලට ගොදුරු වූවන්ගේ ඉරනම සෙවීමට , යුක්තිය ඉටුකිරීම අරමුණූ කරගනිමින් පිහිට වූ  අතුරුදහන්වූවන් සදහා වූ  කාර්යාලයට (OMP) තවමත් එම අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වී ඇත. සත්‍ය සෙවීම කාර්ය සදහා අවශ්‍ය විශේෂඥ සේවාවන්, අවශ්‍ය පහසුකම් , මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට නොහැකි වී ඇත. එනිසා මෙම රාජ්‍ය යාන්ත්‍රණ ක්‍රියාත්මක වන්නේද  ඉතා මන්දගාමීවය.

තත්වය එසේවූවත් බලයට පත්වූ වත්මන් රාජ්‍ය පාලනය යටතේ නීතියේ ආධිපත්‍ය තහවුරුකිරීම සදහා යහපත් පසුබිමක් ගොඩනැගුනහොත් අතුරුදහන්වූවන් වෙනුවෙන් යුක්තිය පසදලීමේ  ප්‍රයත්නයන් සාර්ථක කර ගැනීමට අවශ්‍යය මුලපිරීම පහසුවනු ඇත.

දසක 3 කට වැඩි කාලයක් තිස්සේ බොහෝ අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් සියළු පීඩාවන් සහ වේදනාවන් විද දරා ගනිමින් අපරාධකරුවන්ට දඩුවම් ලබාදීමේ බලාපොරොත්තුව අත්නොහැර සිටී. එම බලාපොරොත්තුව වෙනුවෙන් නොපමාව සාධාරණය ඉටුවිය යුතු වේ. ඒහෙයින්  වසර 30 – 35 ගතවී ඇතත් ධෛර්ය උනන්දුව දක්වන වින්දිතයින්, මානව හිමිකම් ක්‍රියාධරයින්, නීතිඥයින්ගේ, විශ්වවිද්‍යාල ප්‍රජාව මෙම අරමුණ වෙනුවෙන් පෙළගැස්වීම සහ ජනතා බලවේගයක් ගොඩනැගීම කාලීන අවශ්‍යතාවයක් වන අතර ඒ සදහා වහා වහා ක්‍රියා කල යුතුව ඇත.

ශාන්ත ඩී. පතිරණ, මානව හිමිකම් ක්‍රියාධර

Archive

Latest news

Related news