Monday, October 14, 2024

“මුදල් නැතැයි කියා මැතිවරණයක් කල් දැමීම භයානක පුර්වාදර්ශයක්”;  රනිල් රාජපක්ෂ වරදකරු කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙන්න

සුනන්ද දේශප්‍රිය.

2023 මාර්තු මස 09 දා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් තීරණය කර තිබූ  පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම  මූලික අයිතීන් කෙලෙසීමක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය  අද (22දා) ප්‍රකාශ කළේය.

එවකට මැතිවරණ කොමිසමේ සභාපති වූ නිමල් පුංචිහේවා සහ මැතිවරණ කොමිසමේ සෙසු සාමාජික සාමාජිකාවන්, නීතිපතිවරයා සහ හා මුදල් ඇමති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව එම තීන්දුවෙහි දැක්වේ.

හිමිකම් කෙලෙසූ  ජනපති පෝලිමට රනිල්!

මේ අනුව මෙරට ජනතාවගේ මූලික අයිතීන් කඩ කිරීම වෙනුවෙන්  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරු කරන ලද පස්වැනි ජනපති බවට රනිල් රාජපක්ෂ පත් වේ.

මෙයට පෙර චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ විවිධ කෙලෙසීම් සම්බන්ධයෙන් එලෙස වරදකරුවන් කර තිබේ.

ලබන සැප්තැම්බර් 21 දා පරාජය වී සාමාන්‍ය පුරවැසියකු බවට පත් වන රනිල් රාජපක්ෂට විරුද්ධව මේ සම්බන්ධයෙන් නඩු පැවරීමට හැකි වනු ඇතයි නීති අංශ පවසති.

හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට  අද ප්‍රකාශ කළ තීන්දුව මගින් නියෝග කර තිබේ.

පළාත් පාලන මැතිවරණයට මුදල් නැති බව කී ආණ්ඩුව නිදහස් දිනයට සහ ජනරජ පෙරහරට මුදල් වියදම් කළ බවට පෙත්සම්කරුවෝ කරුණූ දැක් වූහ. එම තර්කය සම්පුර්ණයෙන් පිළිනොගත්  නමුත් අධිකරණය සිය තීන්දුවෙහි මෙසේ සඳහන් කර තිබේ.

“කෙසේ වෙතත්, මෙම ආකාරයේ අරමුදල් වියදම් කිරීම පෙන්නුම් කරන්නේ, පවතින සීමිත සම්පත් කළමනාකරණය කිරීමේ මුවාවෙන් ඔවුන් විසින්ම නිර්මාණය කර ඇති සීමාවන්ට විධායකය තම වියදම් සීමා නොකළ බවයි. රට පුරා සිටින සුදුසුකම් ලත් ඡන්දදායකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය වන විට එය ප්‍රමුඛත්වය දිය යුතු එක් ක්ෂේත්‍රයක් ලෙස නොසැලකීම හෝ අරමුදල් ඉල්ලීමේදී අවම වශයෙන් එක් ඉල්ලීමක් පමණක් හෝ අනුමත කිරීම අත්තනෝමතික වේද නැත්ද යන ප්‍රශ්නය මෙයින් මතු වේ.

“එකී මැතිවරණය සඳහා අරමුදල් සම්පාදනය කළ හැකි දිනයක් හෝ වේලාවක් හෝ අමාත්‍ය මණ්ඩල සංදේශයේ හෝ අදාළ අමාත්‍ය මණ්ඩල තීරණවල සලකා බලා නොමැති බව සඳහන් කළ යුතුය. තවද,  ගරු ජනාධිපතිවරයා ද වන මුදල් අමාත්‍යවරයා වෙතින් අනුමැතිය සඳහා වැඩිදුර අරමුදල් ඉල්ලා සිටින විට ප්‍රතිචාරයක් දී නොමැති බව පෙනේ.”

මුදල් දීම ජනපතිගේ වගකීම

පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ලබා දීම ජනාධිපතිවරයාගේ වගකීම බව තීන්දුව සඳහන් කරයි.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ඇ) වගන්තිය ප්‍රකාරව මැතිවරණ කොමිසමේ ඉල්ලීම පරිදි මැතිවරණ පැවැත්වීම සඳහා නිසි කොන්දේසි නිර්මාණය කිරීම සහතික කිරීම ජනාධිපතිවරයාගේ යුතුකමයි.”

මැතිවරණ කොමිසම ජනාධිපතිවරයා වෙත මුදල් ඉල්ලිමක් කර නැතයි අතිරේක නීතිපතිවරයා තර්ක කළේය.

මුදල් ඇමති සහ ජනාධිපති දෙන්නෙක් නොවෙයි!

අධිකරණය එය පිළි ගත්තේ නැත. ජනාධිපතිවරයාට තමන් දරන අනෙක් ඇමතිකම් වෙනුවෙන් පවා මුක්තිය තිබේ. ඒ බව සලකන විට මුදල් ඇමතිකම සහ ජනාධිපතිකම අතර කෘතිම වෙනසක් ඇති තළ නොහැකි බව තීන්දුව ප්‍රකාශ කරයි.

ඉන් අදහස් කරන්නේ කොමිසම මුදල් ඇමතිගෙන් කළ ඉල්ලීම, ජනාධිපතිගෙන් කළ ඉල්ලීමක් නොවිය හැක්කේ කෙසේද යන්නය.

තීන්දුව ප්‍රකාශ කරන්නේ මුදල් ඇමතිවරයාගේ (එනම් රනිල් වික්‍රමසිංහගේ) හැසිරීම තීරණ ගැනීමේ දී අත්තනෝමතික බව තහවුරු වන බවය. ඊට හේතුව නම් මුදල් වියදම් කළ යුතු ක්ෂෙත්‍ර සඳහන් අමාත්‍ය මණ්ඩල සංදේශය අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කළ අවස්ථාවේදී එමගින් මැතිවරණ ක්‍රියාවලියට එහි බලපෑම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ ඇගයීමට ලක්වන කරුණු කිසිවක් ජනාධිපතිවරයා විසින් හෙළි නොකළ නිසාය.

රනිල් රාජපක්ෂ කළේ කොලය වහලා ගැහීමකි. මුදල් දිය යුතු ක්ෂේත්‍ර සඳහන් කිරීමේ දී පළාත් පාලන මැතිවරණය මඟ හැරියේ එමගින් තමන්ට ගැලවිය හැකියයි සිතමින් විය යුතුය.

අතිරේක නීතිපතිවරයා තවදුරටත් කියා සිටියේ පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් කළ නොහැකි වූයේ පුරවැසියන්ගේ ජීවත් වීමේ අයිතිය සුරැකීමට බවය. එම තර්කය සම්බන්ධයෙන් නඩු තීන්දුව කරන සඳහන ඉතා වැදගත්ය. එය කියන්නේ රට බංකොළොත් කිරීමට පුරවැසියා වගකිය යුතු නැති බවයි.

“කෙසේ වෙතත්, තම පුරවැසියාගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා රාජ්‍යයේ වත්මන් වගකීම ප්‍රශ්න කිරීමට මෙම අධිකරණය අදහස් නොකරයි. පුරවැසියන්ගේ ජීවන තත්ත්වය මෙතරම් අවිනිශ්චිත තත්ත්වයකට පත් වූයේ නම් ඒ පුරවැසියාගේ වරදක් නිසා නොව රාජ්‍යයේ විධායක අංශය විසින් ආර්ථිකය හසුරුවා නොගැනීම නිසා විය හැකිය. එසේ නමුත් එයට වත්මන් වගඋත්තරකරුවන් (එනම් වත්මන් ජනාධිපති යනාදීන්) වගකිව යුතු නැතැයි කෙනෙකුට තර්ක කළ හැකිය. නමුත් ඔවුන්ගේ පූර්වගාමීන් ඊට වගකිය යුතුය. මේ අනුව, රජයට එම  වගකීමෙන් වැළකී සිටිය නොහැක, එය (රජයේ හැර) වෙනත් කෙනෙකුගේ වරදක් නොවේ.”

“පවතින ප්‍රශ්නවලට විසඳුම් ලබාදී රටේ යහපත වෙනුවෙන් විසඳුම් ලබා දීමට සහ රටට අහිතකර ලෙස උග්‍ර වීම වැළැක්වීමට ගත හැකි සෑම පියවරක්ම ගැනීමට එකී අමාත්‍ය මණ්ඩල තීරණ හා රාජ්‍ය වියදම් පාලනය පියවර ගෙන ඇති බව දැක්වීමට එය උපුටා දක්වා ඇති බව පෙනේ. ජනතාව. කෙසේ වෙතත්, ඉහත සඳහන් ඡේදයේ සඳහන් පරිදි, මෙම නඩුවේ අදාළ වගඋත්තරකරුවන් ද රජයේ තනතුරු භාර ගන්නා විට රටේ පැවති සත්‍ය තත්ත්වය දැන සිටිය යුතුය. අයවැය සකස් කිරීමේදී පවා ඒ අනුව ඔවුන්ගේ ක්‍රියාවන් හැඩගස්වා තිබිය යුතුය.

තීන්දුව ප්‍රකාශ කරන්නේ මැතිවරණයට මුදල් වෙන්කරන ලද අයවැය වාර්තාව ඉදිරිපත් කර සතියක් තුළ වෙනස් කළ බවයි.

“අයවැයෙන් සති කිහිපයකට පසුව පමණක් අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන අනුව ඉදිරියට නොයෑමේ මෙම ස්ථාවරය ගැනීම, අයවැයෙන් සති කිහිපයකට පසු (ඉහත කී) මෙම ප්‍රමුඛතා තෝරා ගැනීම ප්‍රශ්නාර්ථයකි. ඒ අත්තනෝමතික සහ වෙනත් අරමුණක් සඳහා ය.”

බංකොලොත් කලේ ජනතාව නොවෙයි!

තීන්දුව ඉතා පැහැදිළිව කියන්නේ රටෙහි මුදල් තත්වය පිරිහීම ජනතාවගේ වරදක් නිසා සිදුවූවක් නොවන බවයි.

“අනෙක් අතට මේ රජයේ මුදල් පිරිහීම නිසා පළාත් පාලන මැතිවරණයට මුදල් ලබාදීමට අපහසු වූවත් එය පෙත්සම්කරුවන්ගේ හෝ මේ රටේ ජනතාවගේ වරදක් නොවේ.  එම පසුබිම තුළ, 2023 පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු කාල සීමාව තුළ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ප්‍රතික්ෂේප කිරීමේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ වගකීම රජයට ප්‍රතික්ෂේප කළ හැකිද? මගේ මතය අනුව පිළිතුර නිෂේධාත්මක විය යුතුය.”

ඉන් අදහන් වන්නේ රජය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවය.

රනිල් රාජපක්ෂගේ භයානක පූර්වාදර්ශය

තීන්දුව ඉතාම තීරණාත්මක ප්‍රකාශයක් අතුලත් කර ගනී.

“මැතිවරණයක් පැවැත්වීම සඳහා මුදල් ප්‍රතික්ෂේප කිරීම මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට බාධා කරන භයානක පූර්වාදර්ශයක් නිරායාසයෙන්ම සපයනු ඇත. මේ අනුව, ප්‍රතික්ෂේප කිරීම සිදු කළ ආකාරය නීත්‍යනුකූල දැයි බැලීමට අවශ්‍ය විය හැකිය.”

ඉන් කියැවෙන්නේ මුදල් නැති බව කියා එක් වරක් මැතිවරණ කල් දැමීම සාධාරණ කළ හොත් එම හේතුව දක්වා නැවත නැවත මැතිවරණ කල් දැමීමට පාලකයින්ට හැකියාවක් ලැබෙන බවය. මෙම තීන්දුව අනාගතයට අදාළ වන්නේ එලෙසය.

කොමිසම මැතිවරණ තීන්දුව ගැනීම හරි!

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සිය ප්‍රකාශයන්හිදී ප්‍රකාශ කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව සිය පරිපාලනමය සහ ව්‍යවස්ථාපිත ක්‍රියාකාරීත්වයක් පවත්වාගෙන යාමේදී සාධාරණත්වයේ මූලධර්මයෙන් පැහැදිලි බැහැරවීමක් දක්නට ලැබෙන බවයි. එනම් පළාත් පාලන මැතිවරණය කැඳවීම වරදක් බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය එම තර්කය පිළිගත්තේ ද නැත.

“පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ ව්‍යවස්ථාපිත හා ව්‍යවස්ථාපිත යුතුකමක් තිබෙන විට අදාළ බලධාරියා එකී මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන විට එය අසාධාරණ යැයි කිව නොහැකිය. අනෙක් අතට අයවැයෙන් මුදල් වෙන්කිරීම් සිදුවී ඇති විට මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට එම මුදල් මුදා හරිනු ඇතැයි නීත්‍යානුකූලව අපේක්ෂා කළ හැකිව තිබූ බැවින් එම ක්‍රියාවලිය ආරම්භ කර එය දිගටම කර ගෙන යාමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට දොස් පැවරිය නොහැක. ඒ සදහා ඔවුන් ව්‍යවස්ථාපිතව බැඳී ඇත.

“විවිධ බලපෑම් යටතේ මුදල් මුදා හැරීමේ දුෂ්කරතා කල් තියා දැක බලා අවශ්‍ය පියවර ගත යුතු අතර පවතින මුදලේ වියදම් සම්බන්ධයෙන් නීතියට අනුව කල් ඇතිව ප්‍රමුඛතා සැකසීමට පියවර ගත යුත්තේ අදාළ අධිකාරියේ අනුමැතිය ඇතිව භාණ්ඩාගාරය මෙහෙයවූ මුදල් හා භාණ්ඩාගාර අමාත්‍යාංශයේ ලේකම්වරයාය. මැතිවරණ කොමිෂන් සභාව විසින් කරන ලද මුදල් ඉල්ලීම්වලට ඉතා ආසන්නව අයවැය ප්‍රතිපාදන සිදු කර ඇති බව පෙනේ.”

එමගින් ඇඟවෙන්නේ හිතාමතාම මුදල් ප්‍රතිපාදන වෙනත් ක්ෂේත්‍ර කරා යොමු කරන ලද බවය.

කොමිසම තීරණය ගත් හැටි හරි

අතිරේක නීතිපතිවරයා ගෙන ආ තවත් තර්කයක් වූයේ මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන මැතිවරණ තීන්දුව ගත්තේ නිසි ලෙස නොවන බවයි. එකල රනිල් රාජපක්ෂගේ ගෝල පිරිස ද එම අදහස ප්‍රකාශ කරමින් කොමිසමට බැණ වැදුණේ ය.

අතිරේක නීතිපති කිය සිටියේ මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් වලංගු වීමට නම් සාමාජිකයන් භෞතිකව එක් ස්ථානයක රැස් විය යුතු බවත් සෑම තීරණයක් සඳහාම අදහස් බෙදීමක් තිබේද නැද්ද යන්න ඡන්දයක් මගින් වාර්තා කළ යුතු බවත්ය.

ශ්‍රේෂ්ඨාධිකරණය එම තර්කය ද  ප්‍රතික්ෂේප කළේ ය.

තීන්දුව කියා සිටින්නේ නූතන තත්වයන් අනුව භෞතිකව රැස්වීම අනවශ්‍ය බවත් එනම් අන්තර් ජාලය හරහා සම්බන්ධ වීම ප්‍රමාණවත් බවය. තවද බෙදීමක් නැතොත් ඡන්දය විමසීමක් අවශ්‍ය නොවන බවය. එය නීතිපතිවරයා යළි අසාර්ථක වීමකි.

වරදකරුවන් තිදෙනෙක්

සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන වරදකරුවන් තිදෙනෙක්  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දක්වා තිබේ.

  1. 2023 පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(අ) වගන්ති යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගරු නීතිපතිවරයා නියෝජනය කරන රාජ්‍යයේ විධායක ශාඛාව වගකිව යුතුය.

  2. මෙම පෙත්සම්වලට (එනම් පළාත් පාලන මැතිවරණයට) අදාළ කාල සීමාව තුළ නිලතල දැරූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ සහ සාමාජිකයින්ගේ දෝෂාරෝපණයට ලක් වූ ක්‍රියා සහ අතපසුවීම් (පහසුව සඳහා නම් වශයෙන් නිමල් පුංචිහේවා, එස්.බී.දිවාරත්න, එම්.එම්. මොහොමඩ්, කේ.පී.පී.පතිරණ සහ පී.එස්.එම්. චාල්ස්) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1 12(1) වගන්ති යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීම සඳහා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) 2023 පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සඳහා නිසි ලෙස සැලසුම් කිරීම සහ ක්‍රියාවලිය කළමනාකරණය කිරීම සහ සුදුසු උපදෙස් නිකුත් කිරීමට එහි බලතල භාවිතා නොකිරීමට වගකිව යුතුය.

  3. මුදල් ඇමතිවරයා ද වන ගරු ජනාධිපතිවරයාගේ වරදකාරී ක්‍රියා සහ අතපසුකිරීම් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(අ) වගන්ති යටතේ සහතික කර ඇති මහජනයාගේ මූලික අයිතිවාසිකම් අත්තනෝමතික ලෙස උල්ලංඝනය වීමට හේතු වී ඇත.

නියෝග තුනක්

තීන්දුව නියෝග තුනක් ලබා දී ඇත.

ඒවා නම්

  1. නීතියෙන් නියම කර ඇති පරිදි වෙනත් මැතිවරණ පැවැත්වීමේ රාජකාරිය සැලකිල්ලට ගනිමින් 2023 පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට දින නියම කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කරනු ලැබේ.

  2. එකී මැතිවරණය පැවැත්වීම සඳහා නීතියෙන් පැවරී ඇති බලතල සහ අධිකාරිය ක්‍රියාත්මක කරන ලෙසත්, අදාළ රාජ්‍ය ආයතනවල සහාය ලබා ගන්නා ලෙසත් මැතිවරණ කොමිෂන් සභාවට තවදුරටත් නියෝග කරනු ලැබේ.

  3. සෑම පෙත්සම්කරුවකුටම පිරිවැය ලෙස රුපියල් එක් ලක්ෂ පනස් දහසක් බැගින් ගෙවන ලෙස රජයට නියම කෙරේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

සම්පූර්ණ තීන්දුව ඉංග්‍රිසි බසින් මෙහි ඇත.LG election SC decision 22. 08.24

මෙම ලිපියෙහි එන නඩු තීන්දුවේ උදෘත නිල පරිවර්ථනයක් නොවන අතර වරහන් තුළ දක්වා ඇති අදහස් පරිවර්තකගෙනි.

Archive

Latest news

Related news