Monday, August 19, 2024

රවි සහ ශානි, තමන්ට ව්‍යාජ චෝදනා කළැයි මිලියන 100ක් ඉල්ලා හිටපු ඩීඅයිජී පාලිත රොශාන් සහ හිටපු එස්එස්පී සේනක කුමාරසිංහට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට!

තමන් දෙදෙනා මාලිමාවේ විශ්‍රාමික පොලිස් සාමූහිකය ගොඩ නැගීමට මූලිකත්වය ගත් බවත් ඉන්පසු හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන පාලිත රොශාන් සහ හිටපු සහකාර පොලිස් අධිකාරිවරයකු වන සේනක කුමාරසිංහ පුවත්පත් සාකච්ජාවක් පවත්වා තමන්ට විරුද්ධව ව්‍යාජ චෝදනා එල්ල කළ බවට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවෙහි හිටපු ප්‍රධානීන් වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි මානව හිමිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

දැනට එම විශ්‍රාමික පොලිස් සාමූහිකයට 5000ක් විශ්‍රාමික පොලිස් නිලධාරීන් එක්ව සිටින බව සඳහන් කරන රවි සහ ශානි. විශ්‍රාමිකයින් ලෙස තමන්ට දේශපාලන අයිතිය ඇති බව සඳහන් කරති.

එම  විශ්‍රාමික පොලිස් නිලධාරීන් දෙදෙනා පුවත්පත් සාකච්ජාවක් පවත්වා පාස්කු ප්‍රහාරය නොවැළැක්වීමට වගකිව යුත්තේ තමන් දෙදෙනා බව කී බව පෙත්සම සදහන් කරයි. එම ප්‍රකාශය මෙසේ උපුටා දක්වා තිබේ.

අනතුරුව 2024.07.06 දින හෝ ඊට ආසන්න දිනකදී 8 වැනි වගඋත්තරකරු විසින් කොළඹ 01, පොලිස් මූලස්ථානයේ දී පෙත්සම්කරුවන්ට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇති බවත්, එම පැමිණිල්ල පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසුව තමන් දැනගත් බව පෙත්සම්කරුවෝ පවසති.

මෙම පැමිණිල්ල පිළිබඳව, 8 වැනි වගඋත්තරකරු සහ 9 වැනි වගඋත්තරකරු වන හිටපු ඩීඅයිජී පාලිත රොශාන් සහ හිටපු එ්එස්පී සේනක කුමාරසිංහ  මාධ්‍ය වෙත ප්‍රකාශයක් ද ලබා දී තිබේ.

එම ප්‍රකාශය හිරු ටීවී ප්‍රවෘත්ති ඔස්සේ විකාශය කර ඇති බවත්, පාස්කු ප්‍රහාරයට පෙත්සම්කරුවන් සම්පූර්ණයෙන් වගකිව යුතු බවත් 8 වැනි වගඋත්තරකරුවා ප්‍රකාශ කර ඇති බවත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කොමිෂන් සභා ද නිර්දේශ කර ඇත්තේ පෙත්සම්කරුවන් අවිවාදයෙන්ම ඊට වගකිව යුතු බවත් යැයි එම වාර්තා සඳහන් කළ බව පෙත්සම්කරුවෝ පවසති.

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් ඉදිරිපත් කරන ලද චෝදනා සම්පූර්නයෙන්ම අසත්‍ය බව පෙන්වීමට අවශ්‍ය කරුණු දීර්ඝ වශයෙන් රවි සහ ශානි එක්ව ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි සඳහන් වේ.

දැනට නඩු පවරා ඇති සියලුම සැකකරුවන් අත්අඩංඟුවට ගන්නා ලද්දේ සහ  සහරාන් කණ්ඩායමෙහි සියලු ආරක්ෂිත නිවාස සොයා ගන්නා ලද්දේ රවි සෙනවිරක්න සහ ශානි අබේසේකර කියා සිටිති. එපමණක් නොව පාස්කු ප්‍රහාර විමර්ශනය කළ කිසිදු කොමිෂන් සභාවක් විසින් තමන් දෙදෙනාට විරුද්ධව කිසිදු චෝදනාවක් ඉදිරිපත් කර නැති බවත් සදහන් කර තිබේ.

සහරාන් කණ්ඩායම සම්බන්ධයෙන් හමුදා බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලය සහ රාජ්‍ය බුද්ධි සේවය දැන සිටි බවට සැක කළ හැකි කරුණූ ගණනාවක්ද එහි දක්වා තිබේ.

එම නිලධාරීන් දෙදෙනා විසින් කරන ලද පොලිස් පැමිණිල්ලේ අරමුණ වන්නේ තමන් අත්අඩංඟුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තැබීම බව සඳහන් කරන පෙත්සම්කරුවෝ, තමන් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කර අවසන් වනතුරු එලෙස අත්අඩංගුවට ගැනීම වළක්වන අන්තර්වාර නියෝගයක් ඉල්ලා සිටිති.

තවද තමන්ට කරන ලද අවමානයට පිළියමක් මේ රුපියල් මිලියන සියයක වන්දියක් ලබා දෙන ලෙසද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම් අතර කල්මුණේ සහරාන් කණ්ඩායමේ ආරක්ෂක නිවාසයේ පිපිරීමෙන් පසු අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ විමර්ශන වාර්තා සහ ප්‍රකාශ සහ එහිදී සහරාන්ගේ බිරිඳ වූ අබ්දුල් කාදර් ෆාතිමා හාදියා විසින් දෙන ලද ප්‍රකාශය අධිකරණයට කැඳවන ලෙසත් දක්වා ඇත.

සේ. පියවර්ධන විසිනි.

Archive

Latest news

Related news