Thursday, November 21, 2024

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පෙර පක්ෂ වෙනස් විය යුතුය – නීතිඥ හරේන්ද්‍ර බානගල

සැබවින්ම වෙනස් විය යුත්තේ ඡන්ද ක්‍රමය පමණක්ද?

ශ්‍රි ලංකාවේ පවතින ඡන්ද ක්‍රමය පිළිබද ඒ ඒ කාලවලදී විවිධාකාර මතවාදයන් පවතින අතර මැතිවරණ ක්‍රමය වෙනස් කිරිම පිණිස විවිධාකාර සාකච්ඡා මණ්ඩපයන්ද බිහිවනු අපට දැකිය හැකිය. රටක ජනගහනය වෙනස් වීම මත ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව වෙනස් වන අතර, භූ විෂමතාමය වශයෙන්, ආර්ථික වශයෙන් හා සමාජීය වශයෙන් ඔවුන් සිය පාලන ක්‍රමය  උදෙසා නියෝජිතයින් පත්කර ගැනීමේ ක්‍රියාවලිය කුමක්ද යන්න විමසා බැලීම සෑම රාජ්‍යයකටම පොදු කරුණක් වේ.

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පවතින ශ්‍රි ලංකාව තුළ පුරවැසියාට තම නියෝජිතයා පත්කර ගැනීමේ ක්‍රමවේදය කුමක්ද යන්න කලින් කලට වෙනස් වී තිබෙනු දක්නට ඇත. මුලික වශයෙන් වර්ෂ 1978 දි පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදුන්වා දීමට පෙර ලංකාවේ ජනතා නියෝජිතයින් තෝරාගනු ලැබු ඡන්ද ක්‍රමය වුයේ කේවල කොට්ඨාශ ඡන්ද ක්‍රමයයි.

වර්ෂ 1978 දී හදුන්වාදෙනු ලැබු වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් එකී කේවල කොට්ඨාශ ඡන්ද ක්‍රමය වෙනුවට සමානුපාතිකව නියෝජිතයින් තෝරා ගැනීමේ ඡන්ද ක්‍රමයක් වෙත පරිවර්තන වු අතර එමගින් ජයග්‍රහණය කරණු ලබන පක්ෂයේ ඡන්ද වලට පමනක් නොව පරාජය වන පක්ෂ වල ඡන්ද සඳහා ද යම් වටිනාකමක් හිමි විය. එසේම කිසිසේත්ම ඡන්ද කොට්ඨාශයක් ඡයග්‍රහණය කිරීමට තරම් ඡන්ද පදනමක් නොමැති දේශපාලන පක්ෂවලට පවා යම් නියෝජනයක් තහවුරු කර ගැනීමේ අවස්ථාව හිමි විය.

නමුත් එකී සමානුපාතික ක්‍රමය සමගම ඊට ඌණපුරක වශයෙන් හදුන්වා දුන් මනාප ඡන්ද ක්‍රමය මගින් බලාපොරොත්තු නොවු දේශපාලන වටපිටාවක් ඇති වු බව පෙනේ. විශේෂයෙන් මෙම ක්‍රමය මගින් තම නියෝජිතයා නම් කරගැනීම සදහා ඡන්ද දායකයා සතු වු සිමිත අවස්ථාව ඉවත් වු අතර අදාළ මැතිවරණ කොට්ඨාශය සදහා නියෝජිතයින් පත්කර ගැනීමට අදහස් කරන තැනැත්තන් නම් කිරීමේ බලය පක්ෂ වලට හිමි විය.

සමානුපාතික මැතිවරණ ක්‍රමයේ මුලික ලක්ෂණයක් වනුයේ ඡන්දදායකයාට ප්‍රථමයෙන් තමන් කැමැති දේශපාලන ප්‍රතිපත්ති මත දේශපාලන පක්ෂයට ඡන්දය ලබාදිම සිදුකළ හැකි අතර දෙවනුව එකී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිණිස ඉදිරිපත් කර ඇති පුද්ගලයින් අතුරින් වඩාත්ම සුදුසු වන්නේ කවුරුන්ද යන්න තීරණ කිරීමට මනාප ලබාදීම මගින් සිදුකළ හැකිය.

ඒ අනුව පක්ෂයක් පක්ෂය අනුව නියෝජිතයාත් යන ද්විවරණ යටතේ තෝරාගැනීමේ අවස්ථාව ලැබීම සමානුපාතික මනාප ඡන්ද ක්‍රමය තුල වු ප්‍රසස්ථ ලක්ෂණයක් වන නමුත් එකී ප්‍රසස්ථ ක්‍රියාවලිය දේශපාලන පක්ෂ විසින් නිසි ලෙස ක්‍රියාත්මක කලේද යන්න පිළිබදව විමසා බැලිය  යුතුය.

පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව ජයග්‍රහණය කිරීම වෙනුවෙන් වු ප්‍රචාරණ ක්‍රියාවලියක් වෙනුවට වෙනත් ක්ෂේත්‍රයන් හි ජනප්‍රියත්වට පත්වු තැනැත්තන් අපේක්ෂක ලැයිස්තුවට ඇතුලත් කිරීමට පක්ෂ කටයුතු කිරීම හේතුවෙන් බිම්මට්ටමේ සිට දේශපාලනයේ නියැලි බොහෝ අයට ජාතික දේශපාලනයේ ඉඩක් වෙන් කර ගැනීමට නොහැකි  වුවා සේම එමගින් නිසි දේශපාලනික අවබෝධයෙන් තොර වු පිරිස් දේශපාලය සදහා යොමු විය.

එසේම මැතිවරණ යාන්ත්‍රණය මෙහෙය විම හුදෙක්ම ජනප්‍රියවාදී රැල්ලක් නිර්මාණය කිරීම අරමුණූ වු හෙයින් ප්‍රචාරණය සදහා විශාල මුදලක් යෙදවීමට කටයුතු කිරීමත් ඒ සදහා අරමුදල් සම්පාදනය කර ගැනීමට ව්‍යාපාරික ප්‍රජාව දේශපාලන පක්ෂ තුළටත් අපේක්ෂක ලැයිස්තු තුළටත් ගෙන ඒම මගින් දේශපාලනය වු කලී හුදෙක් එක්තරා ව්‍යාපාරයක ස්වභාවයක් ගැනීමට පටන් ගැනුනි.

එලෙස දේශපාලන පක්ෂවල අපේක්ෂක ලැයිස්තු තුළට ඇතුලත් වු පිරිස් ජනතා සේවය යන ලේබලයට මුවා වී සිය ව්‍යාපාරික අරමුණු හා ජනප්‍රියත්වය පවත්වා ගැනීමට කටයුතු කරනු විනා සැබෑ ලෙසම තමන් ජනතා නියෝජිතයකු වීමේ අරමුණ කුමක්ද යන්න වටහා ගැනිමට අපොහොසත් වී ඇත.

ජාතික දේශපාලනයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නියෝජිතයින්ගේ මුඛ්‍ය අරමුණ විය යුත්තේ රටේ ප්‍රතිපත්ති සැලසුම් කිරීමේ ක්‍රියාවලියත් එදිනෙදා ජනජීවිතය යහපත් ලෙස පවත්වාගෙන යාමට තරම් වු අවැසි නීතිමය වට පිටාව නිර්මාණය කිරීම පිණිස නීති සැකසීමත්ය.

නමුත් මෑත කාලීන පාර්ලිමේන්තු නියෝජනයන් දෙස බැලු විට රටක් මෙහෙයවීමට තරම් හේතුසාධක වන්නා වු නීති පද්ධතියක් ඇති කිරීමට ප්‍රමාණවත් දැනුමක් හා අවබෝධයක් සහිත ජනතා නියෝජිතයින් පාර්ලිමේන්තුව නියෝජනය කලේද යන්නත්, එවැනි තැනැත්තන් අපේක්ෂක ලැයිස්තු වල ඇතුලත්ව සිටියේද යන කාරණාවත් විමසා බැලිය යුතුය.

ජනතා නියෝජිතයින් සම්බන්ධයෙන් ගත්විට ජනතාවට ඔවුන්ගේ පුද්ගලික හැසිරීම පිළිබදව බරපතල විවේචනයක් ඇත. එය සම්පුුර්ණයෙන්ම එකී නියෝජිතයා පිළිබඳ මත වු කරුණකි. පත්වු නියෝජිතයා අසීමිත බලයක් සහිත නීතියට අවනත නොවු තැනැත්තෙකු ලෙස සමාජයේ හැසිරීමට පටන් ගැනීමත් එසේ හොදින් හෝ නරකින් ලබාගනු ලබන ජනප්‍රියත්වය ඊළග ඡන්දයේදී වැඩි මනාප සංඛ්‍යාවකින් ජයග්‍රහණය කිරීමට හේතුවක් වීමත් මත මෙම තත්ත්වය තවදුරටත් තීව්ර වීය .

ජනතාවගේ සංවේදී කාරණා සම්බන්ධයෙන් දේශපාලඥයා සෘජුව මැදිහත් වී අන්තනෝමතික ලෙස කටයුතු කිරීම මත එකී ගැටලුවට මැදිහත්වන පාර්ශව පමණක් සෑහීමට පත්වන නමුත් නිතියේ පාලනය අර්ථයෙන් ගත් විට එය සමාජයට දැඩි බලපෑමක් එල්ල කරයි.

ඩෙංගු මර්ධන ශ්‍රමදානයට නොපැමිණිම මත ගස් බදින ලද රාජ්‍ය සේවකයා සැලකීමේදී, ඩෙංගු මර්ධනය කිරීම අර්ථයෙන් අයෙකුට එය නිසි දඩුවමක් සේ පෙනුනද නීතියේ පාලනය අර්ථයෙන් ගත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට එවැනි බලයක් තිබේද යන්න ගැටලු සහගතය.

ගැටලුව වන්නේ මාධ්‍ය මගින් ලැබෙන් ප්‍රතිගාමී ප්‍රචාරණය දඩමිමා කරගෙන දේශපාලඥයාගේ ජනප්‍රියත්වය පවත්වා ගැනීමට ඔවුන් එය භාවිතා කිරීමයි.

අපේක්ෂක ලැයිස්තුව ආකර්ෂණීය කිරීම පිණීස දේශපාලන පක්ෂ මෙවැනි ජනප්‍රියවාදී තැනැත්තන්, නම් දැරු ව්‍යපාරිකයින්, නලු නිලියන්, වැනි අයවලුන් තම අපේක්ෂක ලැයිස්තු වලට ඇතුලත් කරනු ලබයි. ඔවුන්ට ස්වාධීනව දේශපාලන මතයක් දැරීමටත්, පක්ෂයක් සමග කටයුතු කිරීමටත් ඇති නිදහස හා අයිතිය සම්බන්ධයෙන් කිසිදු විවාදයක් නැත. නමුත් දේශපාලනික  කියවීමකින්, දේශපාලනික මතවාදයකින් හා සංවේදීතාවයකින් තොරව හුදෙක් ජනප්‍රියත්වය මත පමණක් ජාතික දේශපාලනයට ගෙන ඒම සැබෑ ලෙස ජනතා අභීලාශ නොතකා හැරීමකි.

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට පෙරාතුව දේශපාලන පක්ෂ විසින් ඔවුන් සැබෑ ජනතා නියෝජිතයින් තෝරාපත්කිරීම පිණීස අවැසි අපේක්ෂක ලැයිස්තු ඡන්දදායකයාට ඉදිරිපත් කලේද යන්න පිළිබදව ස්වයං විවේචනයක් සිදුකර ගත යුතුය.

ඒ අනුව මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පෙර පක්ෂ වෙනස් විය යුතුය.

එසේම තෝරාපත්වන අපේක්ෂකයින් ඔවුන්ගේ ප්‍රමුඛතාවයන් කුමක්ද යන්න අදාළ නියෝජන සභාව අනුව වටහා ගත යුතුය. ඔවුන් ඔවුන්ගේ පුද්ගලික හැසිරිම පිළිබදව මනා පාලනයක් පවත්වාගෙන යා යුතුය. කුමන හෝ අකාරයකින් ජනතාවගේ මනසේ රැදෙන ලෙස ජනප්‍රිය රගපෑම  යන කරුණෙන් ඔබ්බට ගොස් රට තුළ පවතින සමාජීය හා දේශපාලනික ගැටලු විසදීම කෙරෙහි තම දායකත්වයන් ලබාදීය යුතුය.

මන්ත්‍රි ප්‍රතිපාදන ලබා දෙනුයේ ඔවුන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට නොවේ. ඔවුන් විසින් නියෝජනය කරනු ලබන ප්‍රදේශයේ ජනතා සුභ සිද්ධියට අවැසි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටය. ඔවුන් එකී ප්‍රතිපාදන මගින් කුමන හෝ සැනසිලි පරිත්‍යාගයක් සිදුකර සිය නම ප්‍රචලිත කර ගනිමින් ඡන්ද ලබාගැනීමට කටයුතු කරන නමුත් සැබෑ ප්‍රාදේශීය ගැටලු වෙනුවෙන් වු ප්‍රතිපත්තිමය තීරණ ගෙන ඊට පිළියම් සකසන්නේ නැත.

වර්තමානයේ දේශපාලන ක්‍රමය හා මැතිවරණ ක්‍රමයට වඩා දැඩි විවේචන පවතිනුයේ දේශපාලඥයාටය. දේශපාලඥයා නිරූපණය කරනුයේ හුදෙක්ම චෞර තැනැත්තෙකු බවට සමාජය තුළ මුල් බැසගත් මතයක් නිර්මාණය වී ඇත. කලා කෘතියකින් පවා දේශපාලනඥයා නිරූපනය කරුනුයේ උපහාත්මක හෝ චෞර හෝ දුෂිත හෝ අසංවර චරිතයක් ලෙසිනි. දේශපාලඥයා තවදුරටත් ගෞරවණීය සේවයක් නොවන බවට සමාජය තීරණය කර හමාරය. මෙම තත්ත්වය දේශපාලනයේ නිරත කුමන හෝ තරාතිරමක දේශපාඥයින් විසින්ම ඇති කරගත් තත්ත්වයක් වන අතර කිසිසේත්ම එය වෙනත් පාර්ශවයන් විසින් උරුම කර දෙන ලද්දක් නොවේ.

දේශපාලන පක්ෂවල තීන්දු තීරණ හා හැසිරීමත් දේශපාලනයේ නිරත තැනැත්තන්ගේ පුද්ගලික හැසිරීමත්, දේශපාලන ක්‍රමයේ හැසිරීමත් කිසිසේත්ම බුද්ධිමත්  සමාජයකට සුදුසු නොවන සේ නිර්මාණය වී ඇති නමුදු දේශපාලඥයා විසින් එකී තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ කරන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමෙන් පමණි. ඔවුන් දේශපාලන පක්ෂ ලෙස සාමුහිකවත්, දේශපාඥයින් වශයෙන් පුද්ගලිකවත් වෙනස්විය යුතු වෙනස්කම් කෙරෙහි අවධානය යොමු නොකිරීම අභාග්‍යකි.

ඡන්දදායකයා කෙරෙහි වු වගකීම හා වගවීම සුලුපටු නොවන බව සිහිතබා ගත යුතුය. තමන්ගේ ඡන්දය මත සිදුවන ඕනෑම නොමනා ක්‍රියාවක් ඉවසා නොසිටීමත්, තම අභිමත දේශපාලන පක්ෂයේ හෝ දේශපාලඥයා වුවද සාධනීය ලෙස විවේචනය කිරීමත් විශේෂයෙන් ඡන්දය භාවිතා කිරීමේ දී තමන් කුමන කරුණක් අරභයා ඡන්දය ලබාදී නියෝජිතයින් පත්කරනු ලබන්නේද යන්න පිළිබඳවන් විචක්ෂණශීලිව බැලීම සිදුකළ යුතුය.

අවබෝධයෙන් හා අවධානයෙන් තොරව මතවාදීම කියවිමක් නොමැතිව ඡන්දය භාවිතා කිරීම තුළින් දේශපාලඥයාට නිතියෙන් ඔබ්බෙහි වු අභිමත හැසිරීමක් හිමිවන අතර අවසානයේ ඔවුන්ගේ හැසිරීමේ හා භාවිතාවේ බලපෑම ඡන්දදායකයා කෙරෙහි නැවත පැමිණේ. හුදෙක් මැතිවරණ ක්‍රමය පමණක් නොව ඡන්දදායකයාද වර්තමාන තත්ත්වයෙන් වෙනසකට භාජනය විය යුතුය.

සියලු කරුණූ කැටිකර ගත් කළ සාමජය තුළ ගර්හාවට පත්වී තිබෙන දේශපාලන පක්ෂ, දේශපාලන ක්‍රමය හා දේශපාලඥයින් හුදෙක් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමකින් පමණක් හා නියෝජනය වන අකාරය හා අනුපාත වෙනස් කීරීමෙන් පමණක් පරිවර්තනයකට භාජනය කළ නොහැකි අතර ඒ වෙනුවෙන් උක්ත සාකච්ඡා කළ සියලු කරුණු හරහා මතුවන ක්ෂේත්‍ර එකසේ වෙනස්වීමකට භාජනය විය යුතුය.

| නීතිඥ හරේන්ද්‍ර බානගල

Archive

Latest news

Related news