දේශබන්දු ජවුසම: කතානායකගේ බබා උක්කුං සහ රනිල් තනුවට නීතිපති ගැයීම නොසළකා ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගයට ඉඩදීම!
දේශබන්දු තෙන්නකෝන්ගේ වැඩ බලන දුරකාලය අවසන් වීමට දින පහක් තිබියදී, ඔහු පොලිස්පති ලෙස පත් කිරීම, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, වැඩබලන පත්වීමට විරුද්ධව ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් මඟ හැරීමට දරන ලද නින්දිත උත්සාහයක් බව අධිකරණය හමුවේ හෙළි වි තිබේ.
ඒ ඊයේ එම නඩු වීභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වූ අවස්ථාවෙහි දී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි කරන ලද ප්‍රකාශයකිනි.
නීතිපති ගැයුම
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ පොලිස්පතිවරයාගේ පත්වීම මේ වන විට සිදුකර අවසන්ව ඇති හෙයින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව ය.
අදාළ පෙත්සම්වල වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටින දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ද අධිකරණය හමුවේ මෙසේ කීවේය..
“ස්වාමීනී. මෙම පෙත්සම් වලින් ඉල්ලා තිබෙන්නේ මාගේ සේවාදායකයා වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි. ඊයේ (පෙබරවාරි මස 26 වෙනිදා) දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් මාගේ සේවා දායකයා පොලිස්පතිවරයා වශයෙන් පත් කර තිබෙනවා. එම තත්ත්වය හමුවේ මෙම පෙත්සම් පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ. ඔහුගේ පත්කිරීම තුළ යම්කිසි ගැටළු සහගත තත්ත්වයක් තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් වෙනත් නඩුවක් ඉදිරිපත් කළ යුතුයි. මෙම නඩුකර තුළින් එම කරුණු අභියෝගයට ලක් කිරීමට පෙත්සම්කරුවන්ට හැකියාවක් නැහැ.”
නීතියේ ආධිපත්‍යට කළ අභියෝගයක්
එම අවස්ථාවේදී අරගලයේ ක්‍රියාකාරිකයින් වශයෙන් කටයුතු කළ නීතිඥ මනෝජ් නානායක්කාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීම නීතියේ ආධිපත්‍යයට සිදුකළ අභියෝගයක් බව ය.
“ස්වාමීනි.වැඩ බලන පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන්ගේ වැඩ බලන පොලිස්පති ධුර කාලය මේ මස 29 වන දා අවසන් වීමට නියමිතව තිබුණා. ඒ නිසයි අධිකරණය අදාළ පෙත්සම් අද දින සලකා බැලීමට දින නියම කළේ. එසේ තිබියදී වගඋත්තරකරුව ඊයේ දින පොලිස්පතිවරයා වශයෙන් පත් කර තිබෙනවා. මේක නීතියේ ආධිපත්‍යයට සිදුකළ අභියෝගයක්. මාගේ පෙත්සමෙන් පොලිස්පතිවරයා පත් කිරීමත් අභියෝගයට ලක් කර තිබෙනවා. ඒ නිසා මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට නීතිමය බාධාවක් නැහැ.”යනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පැවසුවේය.
තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ නව පොලිස්පතිවරයා පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයින් දෙදෙනෙකු ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙන බවයි.
එම අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ ” මෙම නඩුකරවලට අදාළව ඊයේ දින විශේෂ තත්ත්වයක් නිර්මාණය වී ඇති බව සඳහන් වෙනවා. ඊට අදාළ තොරතුරු මෙම පෙත්සම් වල අන්තර්ගත කර නැහැ. උදා වී තිබෙන අලුත් තත්ත්වයන් පිළිබඳ තොරතුරු නොමැතිව අධිකරණයට තීන්දුවක් ගැනීමට අපහසුයි.” යනුවෙනි.
එමෙන්ම විනිසුරුවරයා මෙම කරුණට අදාළව වර්තමානයේ උද්ගත වී තිබෙන නව තත්ත්වයන් පිළිබඳ තොරතුරු ද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම පෙත්සම් සලකා බැලීම සුදුසු බව පෙන්වා දෙන ලදී.
එහිදී අදාළ පෙත්සම්වල වග උත්තරකරු වශයෙන් නම්කර සිටින ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයින් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සාමාජික කබීර් හෂිම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ නව පොලිස්පතිවරයා පත් කිරීමට අදාළව ඊයේ දින පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභා රැස්වීමේ කාර්ය සටහන් තමන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
ඒ අනුව නව පොලිස්පතිවරයා පත්කිරීමට අදාළ සියලු ලිපි ලේඛන හා දත්ත අධිකරණය හමුවේ ගොනු කිරීමට පාර්ශ්වකරුවන්ට අවසර දුන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා අප්‍රෙල් මස 02 වන දා යළි කැඳවන ලෙසට නියෝග කරන ලදී.්
මේ අතර නව පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට අදාළ තීන්දු තීරණවලට සම්බන්ධ සියලු ලේඛන හා දත්ත අධිකරණය හමුවේ ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද පාර්ශවකරුවන්ට අවසර ලබා දෙන ලදී.
පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් පත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මීට පෙර කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 7 ක් අද (පෙබරවාරි 27 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
කතානායකගේ බබා උක්කුං
නව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමේදී ඔහු සම්බන්ධයෙන් මුලික අයිතිවාසිකම් කඩ කිරීමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ලබාදී ඇති තීන්දු පිළිබඳව ව්‍යවස්ථාදායක සභාවේ අවධානය යොමු නොකළ බවට එල්ල වන චෝදනාව ගැන ලබා දෙන පිළිතුර කුමක්දැයි බීබීසී සිංහල සේවය කතානායකවරයාගෙන් විමසීමක් කර තිබේ.
ඊට පිළිතුරු දෙමින් ඔහු කියා සිටි ඇත්තේ සිදුකළ සොයා බැලීම් වලදී එවන් දෙයක් අනාවරණය නොවූ බවයි.
“අපි සොයා බලපු විදිහට නම් නැතෙයි කියලයි තියෙන්නේ. එයාට විරුද්ධව චෝදනාවක් නැහැ කියලයි. ඒ රුපියල් 50,000 වන්දියක් ගෙවන්න කියලා තියෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවට. අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව එහෙමයි තියෙන්නේ.” කතානායකවරයා පවසා ඇත.
කතානායක කී බොරුව
කතානායක කියා ඇත්තේ අමුලික බොරුවකි. දේශබන්දු ගෙවිය යුතු වූ වන්දිය ලක්ෂ පහකි. පනස් දහසක් නොවේ.
සිය පවුලේ හතර දෙනෙකුටම සිය කාර්යාලයේ රැකියා දී මහජන මුදලින් ජීවත් කරවා ගන්නා කතා නායකගේ දැන ගැනීම පිනිස දේශබන්දු වැරදිකරුවකු කරනලද නඩු තීන්දුවේ අදාළ කොටස් පහත දක්වමු.
(පස්වන විත්තිකරු දේශබන්දු තෙන්නකෝන්ය)
“එබැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තිය යටතේ සහතික කර ඇති ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් 5 වැනි වගඋත්තරකරු පෙත්සම්කරුට වධ හිංසා පමුණුවා ඇති බව මම දකිමි. මේ හේතුව නිසාම සහ ඇත්ත වශයෙන්ම, 5 වැනි වගඋත්තරකරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ පෙත්සම්කරුගේ අයිතිවාසිකම් තවදුරටත් උල්ලංඝනය කර ඇති බව මට පෙනී යයි.
ඒ නිසා නීත්‍යානුකූලව නියම කර ඇති කාල සීමාව තුළ 5 වැනි වගඋත්තරකරු පිළිබඳ පූර්ණ දැනුමක් ඇතිව පෙත්සම්කරු මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් නොකර රඳවා තබාගෙන ඇති බව පෙනේ. එබැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(1) සහ 13(2) වගන්ති යටතේ දක්වා ඇති පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට මා 5 වැනි වගඋත්තරකරු ලෙස ද සලකමි.
“මෙම නඩුවේ ස්ථාපිත වූ තත්ත්වයන් අනුව, 5 වැනි වගඋත්තරකරු ඔහුගේ ක්‍රියාවන් මෙන්ම අකර්මන්‍යතාවය තුළින් 1 වැනි, 2 වැනි සහ 4 වැනි වගඋත්තරකරුවන්ගේ හැසිරීම සක්‍රීය කර ඇති බව පැහැදිලිය. 5 වැනි වගඋත්තරකරු විසින් එවැනි උල්ලංඝනයන්ගෙන් ඈත්වීමට කිසිදු කරුණු කාරණා මෙම අධිකරණයට ඉදිරිපත් කර නොමැත.
“එබැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1), 13(1) සහ 13(2) වගන්ති යටතේ සහතික කර ඇති පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට මා 5 වැනි වගඋත්තරකරු ලෙස සලකමි.
“5. 5 වැනි වගඋත්තරකරුට වන්දි වශයෙන් රු. 500,000/- (රුපියල් පන්ලක්ෂ දහසක්).
“එබැවින් වගකිව යුතු යැයි අප විසින් සොයා ගන්නා ලද නිලධාරීන්ට එරෙහිව සුදුසු විනය පියවර ගන්නා ලෙස අපි ජාතික පොලිස් කොමිෂන් සභාවට සහ අනෙකුත් අදාළ බලධාරීන්ට උපදෙස් දෙමු.”
එම නඩුවෙහි දී ද දේශබන්දු වෙනුවෙන් පෙනී සිටියේ නිතිපතිමය.