Saturday, November 23, 2024

යටත් වූ එල්.ටී.ටී.ඊ. සහ තවත් අය හෙළි නොකිරීම සම්බන්ධයෙන් හමුදාවට නොතීසි; ඔවුන් කොහිද අධිකරණය ප්‍රශ්න කරයි

ඡායාරූපය: 2009 දී ශ්‍රී ලංකා හමුදාවට භාර වූ අතුරුදහන් වූ එල්ටීටීඊ නායකයින්, පූජකවරුන් සහ ළමුන් කිහිප දෙනෙකුගේ පින්තූර එකතුවක් (ටැමිල් ගාර්ඩියන්).

යුද්ධයේ අවසන් අදියරේදී යටත් වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ සංඛ්‍යාව සහ නම් පිළිබඳ තොරතුරු හිතාමතා වසන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අභියාචනාධිකරණය ඓතිහාසික නඩු විභාගයකදී ශ්‍රී ලංකා හමුදාවට මාර්තු 28 වැනිදා විනිසුරුවරයා හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

2019 දී හිටපු මාධ්‍යවේදියෙකු විසින් ගොනු කරන ලද තොරතුරු දැනගැනීමේ  (RTI) ඉල්ලීමක් මෙම නඩුවට පාදක වී තිබේ . සංඛ්‍යා, නම්, ස්ත්‍රී පුරුෂ භාවය සහ මෙම භාරවීම් භාර දුන්නේ කාටද හෝ ඔවුන් කොහේද යන්න විස්තර කරන තොරතුරු ශ්‍රී ලංකා හමුදාව සතුව තිබියදීත් එම  ලබා දී නැතැයි පැමිණිලලෙන් කියවේ.

උතුරුකරයේ අතුරුදහන් වූවන්ගේ දෙමළ පවුල් ඔවුන්ගේ වසර ගණනාවක් පුරා පැවති විරෝධතා වලදී මෙම තොරතුරු හෙළි කරන ලෙස නැවත නැවතත් ඉල්ලා සිට තිබේ.

හිටපු නිදහස් මාධ්‍යවේදියෙකු වන නිරෝෂ් කුමාර්, 2019 අප්‍රේල් මාසයේදී යුධ හමුදාවට තොරතුරු ඉල්ලීමක් ගොනු කරමින්, යුද්ධයේ අවසන් අදියරේදී එල්.ටී.ටී.ඊ සාමාජිකයින් කී දෙනෙක් හමුදාවට භාර වූවාද යන්න විමසා සිටියේය. ඔහු සිය අයදුම්පත්‍රයේ නිශ්චිත සංඛ්‍යාව, නම්, ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය, ඔවුන්ගෙන් කී දෙනෙක් ළමයින්ද, ඔවුන් ශ්‍රී ලංකා හමුදාවේ කුමන නිලධාරීන්ට භාර දුන්නේද, ඔවුන් යවන ලද හෝ රඳවාගෙන සිටියේ කොහේද යන්න ඉල්ලා සිට තිබුණි.

2016 අංක 12 දරන ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතට අනුව, අදාළ තොරතුරු නිලධාරියා ඉල්ලීම ලැබී ඇති බව හැකි ඉක්මනින් පිළිගත යුතුවන අතර  ඉල්ලා ඇති තොරතුරු  දින 14ක් ඇතුළත අයැදුම්පත ඉදිරිපත් කළ  පුද්ගලයා වෙත ලබා දිය යුතුය.

“මෙම අවස්ථාවේදී, ඔවුන් මූලික ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූයේ නැහැ,” නිරෝෂ් කුමාර් පවසයි. “ඒ වෙනුවට මට හමුදාවෙන් ලිපියක් ලැබුණා මේ ඉල්ලීම පුනරුත්ථාපන කාර්යාංශයට යොමු කරන්න කියලා. නමුත් මා ඔවුන්ට ද තොරතුරු ඉල්ලීමක්  යැවූ විට ඔවුන්ද කියා සිටියේ ඔවුන් සතුව මෙම තොරතුරු නොමැති බවයි.”

කුමාර් පවසන්නේ තොරතුරු සඳහා කාර්යාංශයෙන් යළි ඉල්ලා සිටි විට, මුළු කාලය තුළම 10,000 කට අධික පිරිසක් ශ්‍රී ලංකා හමුදාවට යටත් වූ බව එය කියා සිටියේය.

නිරෝශ් කුමාර් ඉල්ලා සිටියේ යුද්ධයේ අවසන් අදියර සම්බන්ධ තොරතුරුය. එකල විශාල වශයෙන් බාර වු බවට වාර්තා පළ විය. හමුදාවට යටත් වූ  බොහෝ දෙනා  අද වනතුරුත් සිටින්නේ කොහි දැන් දැනගන්නට නැත.

කුමාර් තමාට ලැබුණු ප්‍රතිචාරය ගැන සෑහීමකට පත් නොවූ හෙයින්, ඔහු තොරතුරු කොමිසමේ මැදිහත්වීම ඉල්ලා සිටියේය. සාමාජිකයින් 5 දෙනෙකුගෙන් යුත්  තොරතුරු කොමිෂන් සභාව පනත යටතේ ව්‍යවස්ථාපිත ස්වාධීන මධ්‍යම අධීක්ෂණ, ප්‍රතිපත්ති සම්පාදනය, බලාත්මක කිරීම සහ අභියාචනා ආයතනය වේ.

තොරතුරුකොමිසම දෙවසරක් ගෑටීම

“ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලයේ සිටි නිසා ඔවුන් මෙම නඩුව විභාග කිරීමට හෝ එය කරගෙන යාමට දෙගිඩියාවෙන් සහ බියෙන් පසුවූ බව ආරංචි මාර්ග මට කීවේය,” යැයි නිරෝශ් කුමාර් පවසන්නේ වසර දෙකක් තිස්සේ අයදුම්පත සලකා නොබැලීමට කොමිෂන් සභාව විවිධ නිදහසට කරුණු ඉදිරිපත් කළ බවයි.

කොමිසම හමුදාවෙන් විමසූ විට, ශ්‍රී ලංකා හමුදාව දැක් වූ ප්‍රතිචාර වූයේ පුද්ගලයින්  ශ්‍රී ලංකා හමුදාවට යටත් නොවූ බවත්, ඔවුන් ශ්‍රී ලංකා රජයට යටත් වූ බවත්ය. මේ අනුව,  ප්‍රශ්නය රජය වෙත යොමු කළ යුතු බවය.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ (RTI) ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ  ශ්‍රී ලංකා හමුදාවේ තොරතුරු නිලධාරි බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මෙසේ ප්‍රකාශ කළේය: “ එල්ටීටීඊ සාමාජිකයින් යුද්ධයේ අවසන් අදියරෙහි දී  ශ්‍රී ලංකා හමුදාවට භාර වී නැත.  ඔවුහු ශ්‍රී ලංකා රජයට භාර වූහ”.

කොමිසම මෙම තර්කය පිළිගැනීම ප්‍රතික්ෂේප කළේ, පුද්ගලයින් යම් අධිකාරියකට භාර විය යුතුව තිබූ බවත් හමුදාවට  එකල සහ එම ප්‍රදේහයේ පාලනය තිබුණේ හමුදාවට බව යන තර්කය යටතේය.

නඩුව අභියාචනාධිකරණයට යයි

කොමිසම නිරෝෂ් සහ ඔහුගේ නීතිඥවරුන්ගෙන් ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේය. නිරෝෂ්ගේ නඩුව වෙනුවෙන් පෙනී සිටින්නේ නීතිඥ ස්වස්තික අරුලිංගම් සහ නීතිඥ පසන් ජයසිංහ සහ කේ. රත්නවේල්ය.

ලිඛිත කරුණු දැක්වීමේදී, අයදුම්කරු නිරෝෂ් විසින් යුද්ධයේ අවසන් අදියරේදී හමුදාව වෙත බාර වූ පුද්ගලයින්ගේ ලැයිස්තුවක් තමන් සතු බවට ඉහළ පෙළේ හමුදා නිලධාරීන් ප්‍රකාශ කළ බවට වූ  උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තා කොටස් ඉදිරිපත් කළේය.

අභ්‍යන්තරව අවතැන් වූවන් (අභ්‍යන්තරව අවතැන් වූවන්) සහ යටත් වූවන් ඇතුළත් කිරීම සඳහා ලැයිස්තු  වෙන් කර ඇති බව ඉහළ පෙළේ හමුදා නිලධාරීන් එහි දී කියා සිට තිබුණි. ඉන් පසුව අවතැන් වූවන් රැඳවුම් කඳවුරුවලට යවන ලදී. අකුරේගොඩ පිහිටි හමුදා මූලස්ථානයේ මෙන්ම වවුනියාවේ කඳවුරුවල ද එකී තොරතුරු ඇතුළත් ලේඛනාගාරය පවත්වාගෙන යන බව උගත් පාඩම් වාර්තාවෙහි සඳහන් වේ.

යුද්ධයේ උච්චතම අවස්ථාවේ හමුදාවේ ප්‍රකාශකයා විසින් කරන ලද  එල්ටීටීඊ සාමාජිකයින් සහ යටත් වූ අවතැන් වූවන් පිළිබඳ නිශ්චිත සංඛ්‍යාවක් සඳහන් කළ ලිපි කොටස් වැනි විවිධ තොරතුරු ද කොමිෂම වෙත සපයන ලදී.

වෙනත් නඩුවක දී එවැනි තොරතුරු ඉදිරිපත් කරන ලෙස හමුදාවට  දැන් වූ වවුනියා මහාධිකරණයෙන් අධිකරණ නියෝගයක් ද ඉදිරිපත් කළහ. එනමුත් එහිදී ප්‍රතිචාර ලෙස හමුදාව ඉදිරිපත් කර තිබුණේ  වෙනත් ලියවිල්ලකි.

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති තවත් මූලික නඩු විභාගයේදී ශ්‍රී ලංකා හමුදාව සාක්ෂි දෙමින් කියා සිටි තිබුණේ යටත් වූවන්ගේ ලැයිස්තුවක් තමන් සතුව තිබූ නමුත් එම ලැයිස්තුව අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බවයි.

එම සියළුම  ලියකියවිලි ද තොරතුරු  කොමිෂම වෙත ඉදිරිපත් කරන ලදී.  හමුදාව සතුව එම තොරතුරු තිබෙන බවට සනාථ කිරීමට පිළිගත හැකි සහ සාක්‍ෂි  තිබෙන බව එමගින් නිරෝශ කුමාර්ගේ ඉල්ලීම වෙනුවෙන් කියා සිටින ලදී.

එසේ තිබියදීත් තොරතුරු කොමිසම නිරෝෂ්ගේ අයදුම්පත ප්‍රතික්ෂේප කළේය. ඒ  ඔහු ලබා දුන් තොරතුරු හමුදාව සතුව ඇති කරුණු පිළිබඳව ඒත්තු ගැන්වීමට ප්‍රමාණවත් නොවන බව පවසමිනි.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතට අනුව,  තොරතුරු ඉල්ලා සිටින අයදුම්කරු සෑහීමකට පත් නොවන්නේ නම්, ඔවුන්ට අධිකරණයෙන් ද සහනයක් ලබා ගත හැකිය. නිරෝෂ් සහ ඔහුගේ නීතීඥයින් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කළේ තොරතුරු ලබාගැනීමට අධිකරණයේ මැදිහත්වීම ඉල්ලා සිටිමිනි.

මෙම නඩුව පෙබරවාරි 7 වැනිදා අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන් සමරකෝන් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මාර්තු 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රී ලංකා හමුදාවට නොතීසි නිකුත් කරන ලෙසයි.

( ටැමිල් ගාර්ඩියන් ලිපියක් ඇසුරිණි)

පසු සටහන:

මෙවැනිම තොරතුරු ඉල්ලීමක් මාධ්‍යවේදී තොරතුරු ක්‍රියාකාරිකයකු වන තරිඳු ජයවර්ධන විසින් ඉදිරිපත් කරනු ලදුව ද මෙවැනිම තීරණයක් තොරතුරු කොමිසම දුන්නේය. එහිදී යුද හමුදාව සතුව බාර වූ පුද්ගලයින්ගේ වාර්තා තිබෙන බවට හමුදා නායකයින් විසින් වරින් වර කරන ලද ප්‍රකාශ ද ඉදිරිපත් කරන ලදී.  එම ඉල්ලීමද දැන් අභියාචනාධිකරණයට යොමු කර තිබේ.

Archive

Latest news

Related news