Thursday, November 21, 2024

මර්දන නීතිවලට විරෝධය පා විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව (OGP) ක්‍රියාවලියෙන් සිවිල් සමාජ සංවිධාන ඉවත් වේ

සිවිල් අවකාශය හකුලන පීඩාකාරී සහ ප්‍රජාතන්ත්‍රවිරෝධී නීතිවලට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකාවේ විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව (OGP) ක්‍රියාවලියට සම්බන්ධ සිවිල් සමාජ සංවිධාන එම ක්‍රියාවලියෙන් ඉවත් වේ.

ශ්‍රී ලංකාවේ විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව (OGP) වැඩසටහනට අදාළව තුන්වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට දායකවෙමින් සිටි සිවිල් සමාජ සංවිධාන (CSOs) ඉන් ඉවත් වීමට සාමූහිකව තීරණය කර ඇත. ඒ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත (Online Safety Act) සම්මත කිරීම සහ පුළුල් මහජන ප්‍රතිරෝධය නොතකා මර්දනකාරී වගන්ති ඇතුළත් ත්‍රස්ත විරෝධී නීතියක් හඳුන්වා දීමට උත්සාහ කිරීම වැනි ආණ්ඩුවේ මෑත කාලීන ක්‍රියාමාර්ග වලට විරෝධය ප්‍රකාශ කිරීමක් ලෙසයි. සිවිල් අවකාශය මෙන්ම ජනතාවගේ මූලික නිදහස අවහිර කරන රජයේ මෙවැනි ක්‍රියාමාර්ග පැහැදිලිවම OGP මූලධර්ම උල්ලංඝනය කිරීමක් වේ.

ශ්‍රී ලංකාවේ OGP ක්‍රියාවලියට සම්බන්ධ සිවිල් සමාජ සංවිධානවල සම කැඳවුම්කරුවන් වශයෙන් කටයුතු කරන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) සහ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය මෙම සාමූහික තීරණය ජනාධිපතිවරයා වෙත අද නිල වශයෙන් දැනුම් දෙන ලදී.

එම ලිපිය පහත දැක්වේ:

08.02.2024

ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා,ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති,

ජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු මුවදොර, කොළඹ 1.

ගරු ජනාධිපතිතුමනි,

ශ්‍රී ලංකාවේ විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහනින් සිවිල් සමාජ සංවිධාන ඉවත් වීම සම්බන්ධවයි.

ශ්‍රී ලංකාවේ විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයට (OGP) අදාළ තුන්වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය සමඟ එකාබද්ධව සිදු කරන ප්‍රයත්නයෙන් ඉවත් වීමට සිවිල් සමාජ සංවිධාන සාමුහික තීරණයකට එළඹ ඇත. මෙම ක්‍රියාවලියට සම්බන්ධ සිවිල් සමාජ සංවිධානවල සම කැඳවුම්කරුවන් වශයෙන් එම තීරණය මෙම ලිපිය හරහා දන්වා සිටිමු. OGP මූලධර්මවලට සම්පූර්ණයෙන් පටහැනි ආකාරයේ අහිතකර තත්ත්වයන් රට තුළ මේ වන විට නිර්මාණය වෙමින් පවතින පරිසරයක් තුල, ගැඹුරු අධ්‍යනයකින් අනතුරුව අප සාමුහිකය විසින් මෙම තීරණය ගන්නා ලදී. 

විනිවිදභාවයෙන් සහ වගවීමකින් යුතු සහභාගීත්ව පාලනයක් සඳහා නිරන්තරව උද්දේශනය කරමින්, ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන 2015 වසරේ සිටම OGP ක්‍රියාවලියට සක්‍රියව සම්බන්ධ වී ඇත. රාජ්‍ය පරිපාලනයේ විවිධ ස්ථාන මාරු සහ දේශපාලන අභිප්‍රාය නොමැතිවීම ආදී අභියෝග රාශියකට පසුගිය ජාතික ක්‍රියාකාරී සැලසුම් දෙක සකස් කිරීමේදී අපට මුහුණ දීමට සිදු විය. එවන් අභියෝග මධ්‍යයේ සහ එකඟ වූ බැඳීම් ඉටු කිරීම සඳහා රජය තිරසාර උනන්දුවක් හා කැපවීමක් පෙන්නුම් කර නොතිබිය දී පවා, සිවිල් සමාජ සංවිධාන ලෙස අප තුන්වන ජාතික ක්‍රියාකාරී සැලැස්මට දායකත්වය ලබා දීමට එකඟ වූයේ OGP ක්‍රියාවලියට අපගේ ඇති කැපවීම හේතුවෙනි.

කෙසේ වෙතත්, මාර්ගගත ක්‍රිමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත (Online Safety Act) සම්මත කිරීම සහ පුළුල් මහජන විරෝධය නොතකා, මර්දනකාරී වගන්ති ඇතුළත් ත්‍රස්ත විරෝධී නීතියක් හඳුන්වා දීමට උත්සාහ කිරීම වැනි සිවිල් අවකාශය මෙන්ම ජනතාවගේ මූලික නිදහස අවහිර කරන ආණ්ඩුවේ මෑත කාලීන ක්‍රියාමාර්ග වලට එරෙහිව අපගේ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමක් වශයෙන් මෙම ප්‍රතිපත්තිමය තීරණය ගැනීමට අපට සිදුවිය. තොරතුරු හුවමාරු කර ගැනීම, ප්‍රශ්න කිරීම, විවේචනය, විසම්මුතිය සහ පුරවැසියන්ගේ විරෝධතාවයන් ආදිය යටපත් කිරීමට ඉහත සඳහන් නීති ප්‍රතිපාදන යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳව බරපතල සැකයක් මතුව තිබේ.

මෙම නීති කෙටුම්පත් නැවත සලකා බලන ලෙස රජයට අප කළ ඉල්ලීම් නොසළකා හරිමින්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙහි සඳහන් සංශෝධනවලින් කිහිපයක්ද ඇතුළත් කිරීමෙන් තොරව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පසුගියදා සම්මත කරන ලදී. ව්‍යවස්ථාදායකය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නීති ගෙන ඒමට උත්සාහ දරන්නේ නම්, ඊට එරෙහිව අධිකරණයේ පිහිට පැතීමට ඇති ව්‍යවස්ථාපිත අයිතිය මෙමගින් උල්ලංඝනය කර ඇති බව අපගේ හැඟීමයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පාලනය වන ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලිකව තිබිය යුතු සංවරණ සහ සංතුලන (checks and balances) උල්ලංඝනය කිරීමක් වේ. මින් පෙර අත්නොදුටු මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ‍ ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑම් එල්ල කරන තවත් භයානක පියවරක් ලෙස හැඳින්විය හැක.

මෙලෙස පීඩාකාරී සහ මර්දනකාරී නීති හඳුන්වා දීම පැහැදිලිවම OGP මූලධර්ම උල්ලංඝනය කිරීමක් වේ. එය OGP ක්‍රියාදාමය මගින් ප්‍රවර්ධනය කිරීමට අරමුණු කරන විවෘත පාලනය, විනිවිදභාවය සහ වගවීම යනාදියෙහි මූලික හරපද්ධතීන් නොසළකා හැරීමක්ද වේ. මෙවැනි ක්‍රියා හේතුවෙන් සිවිල් සමාජ සංවිධාන වලට OGP ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැවැති සීමිත විශ්වාසයද බිඳ වැටී ඇත. රාජ්‍ය ප්‍රතිපත්ති සහ වැඩසටහන් නිර්මාණය කිරීම, හැඩගැස්වීම සහ අධීක්ෂණය කිරීම සඳහා පුරවැසියන්ට නිදහසේ සහභාගී වීමට නම්, අදහස් ප්‍රකාශ කිරීමට, විසම්මුතිය දැක්වීමට සහ අර්ථාන්විත සංවාදයන්හි යෙදීමට දිරි දෙන පරිසරයක් තිබිය යුතුය. සමාජීය ගැටලු පිළිබඳ මාර්ගගත ක්‍රම ඔස්සේ අදහස් දැක්වීම සහ සංවාද කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකා සීමා කිරීම එවැනි නිදහස් පරිසරයක් බිහි කිරීමට බාධා කරයි.

මෙලෙස ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලින් බැහැරවීම පුරවැසියන්ගේ මූලික නිදහස සීමා කරන අතර රාජ්‍යකරණය සඳහා සිවිල් සමාජය සහභාගී කර ගන්නා ප්‍රවේශයක් පවත්වා ගැනීමට රජයට අවංකවම අවශ්‍යතාවයක් තිබේදැයි ප්‍රශ්නාර්ථයක් මතු කරයි. මේ හරහා ගම්‍ය වන්නේ OGP ක්‍රියාවලිය හරහා රජය සිවිල් සමාජය සමඟ එකට කටයුතු කර ඇත්තේ හුදෙක් සංකේතාත්මකව පමණක් වන බවයි.

එම නිසා ආන්දෝලනාත්මක මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත සහ යෝජිත ත්‍රස්ත විරෝධී නීතිය වහා හකුලා ගන්නා ලෙස අපි රජයට බලකර සිටිමු. OGP ක්‍රියාවලියෙන් ඉවත් වීමට තීරණාත්මක පියවරක් අප විසින් මේ අවස්ථාවේ ගන්නා මුත්, OGP වැඩසටහනේ මූලධර්ම වලට අපි දිගටම කැපවී සිටින්නෙමු. විවෘත සහ වගවීමක් සහිත සහභාගීත්ව පාලනයක් සඳහා සද්භාවයෙන් කැපවී සිටින බවටත්, සිවිල් නිදහස සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කරන බවටත්, රජය සිය ක්‍රියාවෙන් පැහැදිලිව පෙන්නුම් කරන්නේ නම් OGP ක්‍රියාවලියට නැවත දායක වීමට අපි සූදානම්ව සිටිමු.

මෙයට විශ්වාසි,

……………………………………….                                     ……………………………………

නදීෂානි පෙරේරා (සම කැඳවුම්කරු),                                            වෛද්‍ය වින්‍යා ආරියරත්න (සම කැඳවුම්කරු)

විධායක අධ්‍යක්ෂිකා,                                                                         සභාපති,

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය                    සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය

පිටපත්: චන්දිමා වික්‍රමසිංහ මහත්මිය, ජනාධිපති අතිරේක ලේකම්, ජනාධිපති කාර්යාලය

            ශ්‍රෙයා බාසු, නියෝජ්‍ය අධ්‍යක්ෂ – දේශීය සහය, විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය

පසුබිම් තොරතුරු:

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) යනු රජයේ විනිවිදභාවය ඉහළ නැංවීම, පොදු ගැටළු සඳහා පුරවැසියන්ගේ සහභාගීත්වය සහතික කිරීම සහ මහජන වගවීම සඳහා යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන බහුපාර්ශ්වීය වැඩසටහනකි.

මේ වන විට රටවල් 70කට වඩා වැඩි ගණනක් මෙන්ම තවත් පළාත් පාලන ඒකක රැසක් විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයෙහි සාමාජිකත්වය දරයි. සිවිල් සමාජ සංවිධාන දහස් ගණනකගේ දායකත්වය ද මෙයට ලැබේ. OGP ක්‍රියාවලියට සහභාගී වන සියලුම රටවල් තෝරාගත් ක්ෂේත්‍ර තුළ යහපාලනය ඇති කිරීම පිණිස වසර දෙකකට අදාළ වන පරිදි ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සිවිල් සමාජයේ සහභාගීත්වය සහිතව සම්පාදනය කළ යුතු වෙයි.

2015 වසරේ ශ්‍රී ලංකාව OGPහි සාමාජිකත්වය ගනිමින් එම ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර බැඳීමක් ඇති කර ගන්නා ලදී. එතැන් සිට ජාතික ක්‍රියාකාරී සැලසුම් දෙකක් සකස් වූ නමුත්, ඒවා ඉදිරියට ගෙන යෑමේදී විවිධ අභියෝග වලට මුහුණ දුනි.

Archive

Latest news

Related news