Thursday, May 2, 2024

“ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත ඇමැතිට බලය දෙන, සමාගම්වලට වාසි, වින්දිතයින් නොසළකා හරිනවා” – TISL ශ්‍රේෂ්ඨාධිකරණයට යයි!

ඡායාරූපය: ක්ෂුද්‍ර මූල්‍ය ණය සමාගම්හි වින්දිතයෝ දීර්ඝ කාලයක් යුක්තිය පතා උද්ඝෝෂනයන්හි නිරත වෙති.

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් TISL ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරයි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) ඊයේ (ජනවාරි 22) ‘ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත’ අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් (SC SD 14/2024) ඉදිරිපත් කළේය. ක්ෂුද්‍ර මූල්‍ය ණය සැපයුම් කරුවන් සිදු කරන විවිධ අල්ලස් සහ දුෂණ අක්‍රමිකතාවයන් නතර කිරීමට හෝ එම ක්ෂේත්‍රය ප්‍රමාණවත් පරිදි නියාමනය කිරීමට මෙම පනත් කෙටුම්පත අපොහොසත් වන බව මෙම පෙත්සම මගින් පෙන්වා දෙයි.

අදාළ පනත් කෙටුම්පත 2024 ජනවාරි 9 වන දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත.

මෙම පනත් කෙටුම්පත සාධාරණත්වය, සමානුපාතිකත්වය, ස්වභාවික යුක්තිය, බලතල බෙදීම සහ නීතිමය නිශ්චිතභාවය යන මූලධර්මවලට අනුකූල නොවන බව TISL ආයතනය සිය පෙත්සමෙන් පෙන්වා දෙයි. එබැවින්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය උල්ලංඝනය කරන බවට පෙත්සමෙන් තර්ක කරයි (3 සහ 4 වගන්ති සමඟ කියවිය යුතුයි).

ලිංගික අල්ලස් ලබා ගැනීම/ඉල්ලීම, ශාරීරික, මානසික සහ චිත්තවේගීය හිරිහැර කිරීම සහ බිය ගැන්වීම, සහ අධික පොලියට ණය ලබා දීම ආදි ක්‍රියා මගින් ක්ෂුද්‍ර මූල්‍ය යෝජනා ක්‍රමවල ගනුදෙනුකරුවන්/ණය ගැණුම්කරුවන් අපහසුතාවයට ලක් කිරීමේ සිද්ධීන් අප ආයතනයට නිතර වාර්තා වී ඇත.

ක්ෂුද්‍ර මූල්‍ය කටයුතුවල නිරත වන සියලුම බැංකු සහ මුල්‍ය ආයතන ප්‍රමාණවත් ලෙස නියාමනය නොවීම නිසා එම ක්‍ෂේත්‍රයට ඉතා අහිතකර ලෙස බලපා ඇති ගැටලු නිසියාකාරව විසඳීමටත් මෙම පනත් කෙටුම්පත අපොහොසත් වන බව පෙත්සමෙහි සඳහන් කර ඇත.

බලපත්‍රලාභී වාණිජ බැංකු හෝ බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි කල් බදු ආයතන යනාදී ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ ආධිපත්‍යය දරන ඇතැම් ආයතන මෙම පනත් කෙටුම්පතට ඇතුළත් කර නොමැති බව පෙත්සමෙන් පෙන්වා දෙයි.

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව මුදල් ණයට දීම සිදු කළ හැකි පුද්ගලයන් නම් කිරීමට සහ යම් යම් ගනුදෙනු කාණ්ඩ මෙම නීතියේ වගන්ති වලින් නිදහස් කිරීමට විෂය භාර අමාත්‍යවරයාට මෙම පනත් කෙටුම්පතේ විධිවිධාන හරහා බලය පවරා තිබීම අනවශ්‍ය තනි අභිමතයක් අමාත්‍යවරයාට ලබා දීමක් බවත්, TISL ආයතනය සිය පෙත්සමේ තවදුරටත් සඳහන් කර ඇත.

මෙම පනත් කෙටුම්පතේ 65 වැනි වගන්තිය මගින් තොරතුරු වසන් කිරීමට උත්සාහ දරන බවද පෙත්සමෙහි දක්වා ඇත. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14A වගන්තිය සහ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත සම්පූර්ණයෙන් උල්ලංඝණය කිරීමකි.

මෙම කරුණු සළකා බලමින් මෙම පනත් කෙටුම්පත සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කරන ලෙස TISL ආයතනය සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි. නඩුව හෙට දින (ජනවාරි 24) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී සළකා බැලීමට නියමිතයි.

TISL

 

Archive

Latest news

Related news