Monday, February 26, 2024

වජිර අබේවර්ධනගේ කවට කතා මැද අර්බුදයේ වාසිය ගමන් ගන්නා අත

එම්.එස්.එම්. අයුබ් විසිනි.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති හා එම පක්ෂයේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන වජිර අබේවර්ධන මහතා අනෙක් බොහෝ මන්ත්‍රීවරුන්ට වඩා මහජන අවධානය තමන් වෙත යොමු කරවා ගන්නට සමත් අයකු බව පෙනේ. ඒ සඳහා ඔහු කරන ඇතැම් ප්‍රකාශ ඔහුගේ ප්‍රතිරූපයට කෙසේ බල පාන්නේ ද යන්න වෙනම කරුණකි.

වජිර අබේවර්ධනගේ කවට කතා

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඔහු මෑත කාලයේ කළ බොහෝ ප්‍රකාශවලට පුළුල් ජනමාධ්‍ය අවධානයක් යොමු විය. ඒවා බොහෝ දුරට ප්‍රායෝගික නොවුවද ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එජාප නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එම පක්ෂයේ ප්‍රභලයන් සිතන ආකාරය මෙම ප්‍රකාශවලින් හෙළිදරව් වේ.

ආර්ථිකය යළි නඟන සිටුවා, ශ්‍රී ලංකාව ලෝකයාගේ අවධානයට ලක් කරවා ගන්නේ කෙසේදැයි  වික්‍රමසිංහ මහතාගේ තරගකරුවන්ට සිතා ගැනීමටවත් නොහැකිව සිටින තත්ත්වය තුළ වික්‍රමසිංහ මහතා නිතරගයෙන් ජනාධිපති ධුරයට පත් කරගත යුතු යැයි එජාප සභාපතිවරයා පසුගිය අප්‍රේල් මාසයේදී පවසා තිබිණි. වික්‍රමසිංහ මහතා නිතරගයෙන් පත් කර ගන්නේ කෙසේ දැයි ඔහු එහිදී ප්‍රකාශ කළේ නැත.

“වික්‍රමසිංහ මහතා නිතරගයෙන් පත් කරත යුතුය, ජනමත විචාරණයකින් ජනාධිපතිවරණය කල්දමා ගත යුතුය, අනෙක් අපේක්ෂකයන් නාම යෝජනා භාරදීමෙන් වැළකිය යුතුය ආදි වශයෙන් කරන මේ ප්‍රකාශවලින් කියවෙන්නේ එජාප ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නට සුදානම් නැති බවය.”

82 මෙන් ජනමත කොල්ලයක්

ඉන්පසු ඉකුත් ජූනි මාසයේදී ඔහු මෙරට විරුද්ධ පක්ෂ නායකයන් බියවන ආකාරයේ ප්‍රකාශයක් කළේය. දකුණේ පාක්ෂිකයන්ගේ රැස්වීමක් අමතමින් අබේවර්ධන මහතා සඳහන් කළේ ජනාධිපතිවරණයක් වෙනුවට වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය තවත් වසර 02කට දික් කර ගැනීම සඳහා 1982 දී මෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවය. බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය තවත් වසර හයකට බලයේ සිටිය හැකිවන අයුරින් එවකට සිටි එජාප නායක හා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා 1982 දී ජනමත විචාරණයක් මඟින්  පාර්ලිමේන්තු මැතිවරණය 1989 දක්වා කල් දමා ගත්තේය. අබේවර්ධන මහතා පැවසුවේ එය ආදර්ශයට  ගත යුතු බවය.

 රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී එකම අපේක්ෂකයා කරන්නට ජාතික එකඟතාවක් ඇති කර ගතහොත් ජනාධිපතිවරණයක් වෙනුවෙන් වැයවන රුපියල් බිලියන 13ක මුදල විදුලි බිල අඩු කරගැනීමට හා ජනතාවට වෙනත් සහන සැලසීමට යොදාගත හැකි යැයි එජාප සභාපතිවරයා ඉකුත් ඔක්තෝබර් 24 වැනිදා ප්‍රකාශයක් කර තිබිණි. එම ජනාධිපතිවරණයේදී තරග කරන්නට අපේක්ෂා කරන අනෙක් අපේක්ෂකයන්ට රට ගොඩ නැඟීමේ හැකියාවක් නැති හෙයින් ඔවුන් නාම යෝජනා භාරදීමෙන් වැළකී සිටිය යුතු යැයි ද ඔහු එහිදී යෝජනා කළේය.

වික්‍රමසිංහ මහතා නිතරගයෙන් පත් කරත යුතුය, ජනමත විචාරණයකින් ජනාධිපතිවරණය කල්දමා ගත යුතුය, අනෙක් අපේක්ෂකයන් නාම යෝජනා භාරදීමෙන් වැළකිය යුතුය ආදි වශයෙන් කරන මේ ප්‍රකාශවලින් කියවෙන්නේ එජාප ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නට සුදානම් නැති බවය. ඒ එජාප නායකයාට රට ගොඩනැඟීමේ විශේෂ හැකියාවක්  තිබෙන නිසා හෝ ජනාධිපතිවරණයක් සඳහා විශාල මුදලක් වැයවන නිසා හෝ නොව මැතිවරණයකට මුහුණ දෙන්නට තරම් එජාපයට මේ අවස්ථාවේ ඡන්ද පදනමක් නැති නිසාය.

රනිල් රාජපකෂට ඡන්ද ලක්ෂ 100ක්

කෙසේ වෙතත් එජාප සභාපතිවරයා පසුගිය සඳුදා ප්‍රකාශ කළේ වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී ඡන්ද ලක්ෂ 100ක් (කෝටියක්) ලබා ගන්නා බවය. වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති හේතුවෙන් අප්‍රේල් මාසය වනවිට රට පත්වන තත්ත්වය ගැන  සිතා තමන් මෙම ප්‍රකාශය කරන බව ද ඔහු එහිදී සඳහන් කොට තිබිණි. 2024 සිට තවත් වසර 12කට මේ රට පාලනය කරන්නට වික්‍රමසිංහ මහතාට  භාර දුනහොත් ශ්‍රී ලංකාව ලෝකයේ බලවත් රාජ්‍යයක් වනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය. යුරෝපීය ගෘහ සේවිකාවන් ශ්‍රී ලංකාවේ සේවය කරන තත්ත්වයට වික්‍රමසිංහ මහතා මේ රට දියුණු කරනු ඇතැයි ද තවත් අවස්ථාවක දී ඔහු ප්‍රකාශ කොට තිබිණි.

ඡන්ද කෝටියේ යට පැත්ත

2020 අගෝස්තු මාසයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපයට කිසිදු දිස්ත්‍රික්කයකින් එකදු ආසනයක් හෝ දිනාගත නොහැකි විය. පක්ෂයට ලැබුණේ ජාතික ලැයිස්තු ආසනයක් පමණි. එම පක්ෂයට මුළු රටෙන්ම ලබාගත හැකි වූයේ ඡන්ද 249,435ක් පමණි. ඉන්පසු ගත වූ වසර තුන තුළ එජාපය ඡන්ද කෝටියක් ගන්නට තරම් ජනප්‍රිය වූයේ ද?  එවැනි තත්ත්වයක් තිබුණේ නම් ජනාධිපතිවරයා මාර්තු මස 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය පවත්වන්නට දැන් හෝ කටයුතු නොකරන්නේ මන්ද? යන ප්‍රශ්නය මතුවේ.

ජාතික ජන බලවේගය ඉදිරියෙන්

අනෙක් අතට සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (IHP) පසුගිය ඔක්තෝබර් මාසයේ පැවැත් වූ ජනමත සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සියයට 51 ක ජන ප්‍රසාදයක් ලබා ගනිද්දී රනිල් වික්‍රමසිංහ මහතා ලබාගෙන තිබුණේ සියයට 13ක ජනප්‍රසාදයක් පමණි. සමඟි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සියයට 30ක ජනප්‍රසාදයක් ලබාගෙන තිබිණි.  සංඛ්‍යාත්මකව මෙම ප්‍රතිඵල යථාර්ථවාදී නොවිය හැකි වුවත් රටේ  පවතින තත්ත්වය ඊට වඩා විශාල වශයෙන් වෙනස් වන බවක් ද නොපෙනේ.

ඒ තත්ත්වය දැන හෝ නොදැන එජාපයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවේ නායකයන් උත්සාහ කරන්නේ රට ආර්ථික අර්බුදයෙන් මිදී තිබෙන බවත් ඒ අනුව ජනතාව ආණ්ඩුවේ ගමන් මාර්ගය අනුමත කරන තත්ත්වයකට පත්වී  සිටින බවත් ජනතාවටම ඒත්තු ගන්වන්නටය.

“වත්මන් තත්ත්වය සරලව දක්වන්නේ නම් කොවිඩ් 19 රෝගය පැතිරෙන්නට පෙර තිබූ තත්ත්වය හා සසඳන කල සෑම සාමාන්‍ය පවුලකම පාහේ ආදායම අඩකින් පමණ අඩුවී වියදම තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇත.”

මූල්‍ය අරමුදලට ගියේ ගෝටා

ආර්ථිකයට වැඩිම හානියක් කළ ආණ්ඩුවේ ප්‍රධානියා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා ඇකැමැත්තෙන් ආරම්භ කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සම්බන්ධ වැඩ පිළිවෙළ යටතේ එම අරමුදලෙන් ද ලෝක බැංකුව හා ආසියනු සංවර්න බැංකුව වැනි ආයතනවලින්ද මේ වසර මුල සිට ලැබෙන ණය හා ආනයන සීමා වැනි පියවර  නිසා සැතපුම් ගණන් හා දින ගණන් දික් වූ ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් වැනි ආර්ථික අර්බුදයේ දරුණුතම ප්‍රතිඵල එක්තරා දුරකට තුනී වුවද ආර්ථික අර්බුදය නිසා කඩා වැටුණු ජීවිත ගොඩනැඟීමක් සිදුව නැත. එහෙයින් වත්මන් තත්ත්වය ආර්ථික සංවර්ධනයක් ලෙස හෝ අර්බුදයෙන් ගොඩ ඒමක් ලෙස හෝ දැක්වීම සත්‍ය තත්ත්වය නොවනවා සේම ආත්ම වංචාවක් ද වේ.

වත්මන් තත්ත්වය සරලව දක්වන්නේ නම් කොවිඩ් 19 රෝගය පැතිරෙන්නට පෙර තිබූ තත්ත්වය හා සසඳන කල සෑම සාමාන්‍ය පවුලකම පාහේ ආදායම අඩකින් පමණ අඩුවී වියදම තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇත. මහ බැංකුවේ හෝ වෙනත් ආයතනවල සංඛ්‍යා ලේඛනවලින් ජනතාවට කිසිදු පලක් නොවන අතර ඔවුන් සැලකිලිමත්  වන්නේ තමන්ට සිදුවූ දේ හා සිදුවන්නට යන දේ සම්බන්ධයෙනි.

අලුත් විසඳුමක අවශ්‍යතාවය

ආර්ථික අර්බුදය විසින් එතෙක් ජනතාව හා දේශපාලන පක්ෂ අතර පැවැති සාම්ප්‍රදායික සබඳතා  බිඳ දමා ඇති අතර ජනතාව තම ප්‍රශ්න පදනම් කරගෙන එම සබඳතා පිළිබඳව අලුතින් සිතන තත්ත්වයක් ඇති වී තිබේ. ආණ්ඩුව හා ජනාධිපතිවරයා තමන්ගේ ක්ෂණික ප්‍රශ්නවලට විසඳුම් දිය යුතු යැයි සිතන ජනතාව එසේ නොවන්නේ නම් වෙනත් අය වෙතින් විසඳුමක් අපේක්ෂා කරති. ඉන්  ප්‍රයෝජන ගන්නේ විශේෂයෙන්ම ජාතික ජන බලවේගයයි.

තව දින අටකින් ලබන 2024 වසරේ ආරම්භයේ සිටම අගය එකතු කිරීමේ (වැට්)  බද්දේ බලපෑම ජීවිතයේ සෑම අංශයකට බලපානු ඇත. ආර්ථික විද්‍යාව අනුව මේවා පිළිබඳව වාද විවාද කළ හැකි වුවත් ජනතාවට ඒවායින් වැඩක් නැත. ඉදිරි ජනාධිපතිවරණයේ දී එ.ජා.පයට ගතහැකි ඡන්ද සංඛ්‍යාව තීරණය වන්නේ ඒ අයුරිනි.

එහෙයින් එජාපය අනිවාර්යයෙන්ම වෙනත් පක්ෂ සමඟ සන්ධාන ගතවීමේ දැඩි අවශ්‍යතාවක් ඇත. ජාතික ජනබලවේගය ඊට කොහෙත්ම සූදානම් නැත. සමඟි ජනබලවේගය ද ඊට සූදානම් නැතැයි එහි නායක සජිත් ප්‍රේමදාස මහතා ඉකුත් 11 වැනිදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

පොහොට්ටුවේ ඡන්ද පදනම දියවෙලා

දැනට පවතින තත්ත්වය යටතේ එජාපයට මතවාදීමය වශයෙන් වඩාත් සමීප පක්ෂය පොදුජන පෙරමුණයි. ඇමති ධුරදී එම පෙරමුණේ කිහිප දෙනකු පෞද්ගලිකව ද සමීපකර ගන්නට ජනාධිපතිවරයා සමත් වී සිටී. එහෙත් පොදුජන පෙරමුණේ ඡන්ද පදනම විශාල වශයෙන් දිය වී ගොසිනි. මෑතක දී කරන ලද ඉහත කී ජනමත සමීක්ෂණයෙන් ද එම පක්ෂයට ලැබී තිබුණේ තනි ඉලක්කමේ ප්‍රතිශතයකින් යුත් ජනතා ප්‍රසාදයකි. පසුගිය වසරේ සිදු වූ ජනතා නැඟිටීම මගින් ඉස්මතු කොට පෙන්වනු ලැබූ එම පෙරමුණ පිළිබඳ අප්‍රසාදය ආර්ථික අර්බුදයේ වග උත්තරකරුවන් පිළිබඳව පසුගිය මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් තවදුරටත් ජනගත විය.

පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා වියපත්ව සිටින හෙයින්දෝ එම පෙරමුණ යම් නායකත්ව අර්බුදයක පැටලී සිටින බවක් ද පෙනේ. ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නම පවා ඉදිරි ජනාධිපතිවරණය සඳහා සලකා බලමින් සිටින බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා මේ සතියේ කළ ප්‍රකාශය ඊට නිදසුනකි.

එවැනි තත්ත්වයක් යටතේ තම පක්ෂය ජනාධිපතිවරයා සමඟ සන්ධාන ගත වුවහොත් පක්ෂය එජාපය තුළ දියවී යා හැකි යැයි පෙරමුණේ නායකයන් සිතනවා විය යුතුය. ඔවුන් එසේ සිතන්නේ නම් එය සාධාරණය. ජනාධිපතිවරයා විවේචනය කරමින් වෙනම ගමනක් ගන්නට ඔවුන් උත්සාහ දරන්නේ ඒ නිසා විය යුතුය. මහින්ද රාජපක්ෂ මහතා වැට් සංශෝන පනතට ඡන්දය දී බදුවලට විරුද්ධව කතා කිරීම තේරුම් ගත යුත්තේ ඒ ආකාරයෙනි.

මෙසේ මෙම පක්ෂ දෙක ජනතාවට මුහුණ දීමේ ගැටලුවකට මුහුණ දී සිටින තත්ත්වය තුළ පළමුව පළාත් පාලන, පළාත් සභා හෝ පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වුවහොත් එමඟින් ලැබෙන ආස්වාදය ජාතික ජන බලවේගයට හා සමගි ජන බලවේගයට ඉදිරි ජනාධිපතිවරණයේදී විශාල වශයෙන් උත්ප්‍රේරකයක් වනු ඇත. එජාප හා පොදුජන පෙරමුණ එම මැතිවරණවලට එකඟ නොවන්නේ ඒ නිසාය. මේ තත්ත්වය එම පක්ෂ දෙකට එක්ව ගමන් කරන්නට තවදුරටත් බල කරයි.

ආර්ථික අර්බුදයේ දේශපාලන වාසිය සමඟි ජන බලවේගයට හා ජාතික ජනබලවේගයට ඇත. ජාතික ජන බලවේගයට එහි සාම්ප්‍රාතික  ප්‍රචාරක ශක්තියේ වාසිය ද ඇත. පොදුජන පෙරමුණට හා එජාපයට රාජ්‍ය බලයේ වාසිය ඇත. විශේෂයෙන්ම විධායක ජනාධිපතිධුරයේ බලයේ වාසිය එජාපයට ඇත. මෙම පක්ෂ ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ඉදිරිපත් වන්නේ එවන් තත්ත්වයක් තුළය.

මුල් ලිපියේ සිරස: අර්බුදයේ වාසිය කොයිබටද?

( ලංකාදීප පුවත්පතින් උපුටා ගන්නා ලදී)

Archive

Latest news

Related news