Thursday, October 31, 2024

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් මතුවන දේශබන්දු තෙන්නකෝන්ගේ බිහිසුණූ අපරාධ: ” සැකකරුවන් නිරුවත් කර පහර දී ලිංගේන්ද්‍රයන්හි සිද්ධාලේප ගෑවා!”

ඡායාරූපය: ටිරන් අලස්   මෙවරත් දේශබන්දු බේරා ගනියිද?

රනිල් රාජපක්ෂගේ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්කෝන්ගේ වෙස් මුහුණ යට ඇති සැබෑ මුහුණ හෙළිදරව් වූ දැන් සුප්‍රසිද්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම පවරන ලද්දේ මිල්ලෑව, කිඳෙල්පිටියෙහි පදිංචිව සිටි  වෙහෙරගෙදර රංජිත් සුමංගල නම් අයකු විසිනි. හිටපු සොල්දාදුවකු වූ  ඔහු යුද හමුදාවෙන් ඉවත් තිබුනේ 2009 වසරෙහි දී ය.

මූලික අයිතිවාසිකම් නඩුව පවරන ලද්දේ 2011 ජනවාරි මාසයේ දීය.

මෙම පෙත්සම පවරන ලද්දේ පහත සදහන් අයවලුන්ට එදිරිවය: 1 වන වගඋත්තරකරු, බණ්ඩාර, පොලිස් නිලධාරි, පොලිස් ස්ථානය, මිරිහාන;

2 වන වගඋත්තරකරු පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ, පොලිස් ස්ථානය, මිරිහාන;

3 වන  වගඋත්තරකරු වූ එගොඩවෙල, ප්‍රධාන පොලිස් පරීක්ෂක,මූලස්ථාන පරීක්ෂක, පොලිස් ස්ථානය, මිරිහාන.

4වන වගඋත්තරකරු අජිත් වනසුන්දර, අංක 255, මාලගල, පාදුක්ක.

5 වන වගඋත්තරකරු එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන්,පොලිස් අධිකාරී, නුගේගොඩ කොට්ඨාසය,

6වන වගඋත්තරකරු  පොලිස් අධිකාරී කාර්යාලය, නුගේගොඩ. 5 වන වගඋත්තරකරු, මහින්ද බාලසූරිය, පොලිස්පති,

7වන වගඋත්තරකරු වන  නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව.

3වන වගඋත්තරකරුට විරුද්ධව චෝදනා නැති බව පෙත්සම්කරු දැන්වීමෙන් පසු ඔහු නඩුවෙන් ඉවත් කරන ලදී. මහින්ද බාලසූරිය දැන් ජීවතුන් අතර නැත. නීතිපති නම් කරනු ලබන්නේ ආණ්ඩුවේ වගකීම පෙන්වීමටය.

2010 දෙසැම්බර් 15වන දින සිය රැකියාවට යෑමට මිතුරකුගේ ත්‍රිවීලයකට ගොඩ වූ සුමංගල යතුරු පැදි ගණනාවකින් පැමිණි පොලිස් කණ්ඩායමක් විසින් පැහැර ගන්නා ලදී.

ඔහු පැහැර ගන්නා ලද්දේ නුගේගොඩ පොලිස් අධිකාරී වූ දේශබන්දු තෙන්නකෝන් වෙත ලැබී තිබූ නිර්නාමික පැමිණිල්ලක් උඩය.

පැහැර ගත් රංජිත් සුමංගල දඹර සුසාන භූමිය වෙත ගෙන ගොස් ඔහු නොදන්නා චින්තක නම් අයකු පිළිබඳව ප්‍රශ්ණ කරන ලදී. වරද පිළිනොගන්නේ නම් සූසාන භූමියෙහි පණ පිිටින් වළ දමන බවට දෙවන වගඋත්තරකරු වූ පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ තර්ජනය කළේය.

අනතුරුව ඔහුගේම කමීසය ගලවා ඉන් දැස් බැඳ වෑන් රථයකට නංවා ගන්නා ලදී.

ඉන්පසුව 2 වන වගඋත්තරකරු විසින් 1 වන වගඋත්තරකරු වූ බන්ඩාරට මිරිස් කුඩු ෂොපින් බෑග් දෙකකට දමා පෙත්සම්කරුගේ හිසට උඩින් අල්ලා මිරිස් කුඩු ආශ්වාස කිරීමට ලෙස බල කරන ලෙස කියා සිටියේය. පෙත්සම්කරුට මිරිස් කුඩු ආඝ්‍රාණය කිරීම නිසා හුස්ම හිරවනු පොලිස් නිලධාරීහු බලා සිටියෝය.

ඔහුගේ බිරිද සහ ලාබාල දියණියන් ( වයස 9 සහ 2) දෙදෙනා ඉදිරියෙහි සුමංගලට පොලු දෙකක් කැඩෙන තුරු පහර දෙන ලදී. ඔහුගේ මුහුණ සපත්තුවලින් පාගන ලදී. පහර දීම දුටු එක් දියණියක් ක්ලාන්ත විය.

පෙත්සම්කරු මිය යාමට ආසන්න බව පෙනෙන විට පමණක් එම මිරිස් කුඩු බැග් ඉවත් කරන ලදී.

දිගින් දිගටම පොලිසිය ප්‍රශ්න කරන ලද්දේ සොරකම් ගණනාවක් සම්බන්ධයෙනි. වධහිංසා ඉවසීමට බැරි තැන සුමංගල එක් සොරකමක් බාර ගත්තේය. පසු දින ඔහු නිවසට ගෙන ගොස් සොරා ගත් බඩු සැඟවූ තැන් පෙන්වන ලෙස දස වධ දුන්නේය. එනමුත් සුමංගල පෙන් වූ කෙසෙල් ගස් යට කිසිදු හොර බඩුවක් තිබුණේ නැත. මන්ද යත් ඔහු සොරකම ට සම්බන්ධ නොවූ නිසාය.

එහිදී ඔහුගේ බිරිද සහ ලාබාල දියණියන් ( වයස 9 සහ 2) දෙදෙනා ඉදිරියෙහි සුමංගලට පොලු දෙකක් කැඩෙන තුරු පහර දෙන ලදී. ඔහුගේ මුහුණ සපත්තුවලින් පාගන ලදී. පහර දීම දුටු එක් දියණියක් ක්ලාන්ත විය.

සුමංගල වගඋත්තරකරුවන් කරන ලද එකී පොලිස් නිලධාරීන් විසින් පමුණුවන ලද අති ආමානුශික වධහිංසා වලින් පසු, දෙසැම්බර් 22 දා ඔහු මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කරන ලද අතර තමා වධයට ලක් කල බව කියා සිටීමට ප්‍රථම වරට සුමංගලට අවස්ථාවක් ලැබුණි.

මහින්ද රාජපක්ෂගේ 18වන වන සංසෝධනයෙන් පසු ස්වකීය හෙංචයියන් පත් කර තිබූ මානව හිමිකම් කොමිසමට ද සුමංගල පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එහි දී  ඔහු වධහිංසා පැමිණවීම, අමානුෂික සහ අවමන් සහගත ලෙස සැලකීම සහ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති  ස්වකීය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉහත කී වගඋත්තරකරුවන්ගේ හැසිරීම් සහ ක්‍රියා සම්බන්ධයෙන් 2011 ජනවාරි 6 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී මානව හිමිකම් කොමිසමට එම පැමිණිල්ල ඉදිරිපත් කරන ලදී.

එනමුත් 2011 මාර්තු 10 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ඉහත කී 2 වැනි වගඋත්තරකරු වූ පොලිස් ස්ථානාධිපති පෙනී නොසිටි අතර එම නිසා පරීක්ෂණය දින නියමයක් නොමැතිව කල් දමන ලදී. අනතුරුව එම පැමිණිල්ල මානව හිමිකම් කොමිසමේ කලු කුහරය තුල ගිලා බැස්සේය. රාජපක්ෂ සමයේ මානව හිමිකම් කොමිසම වැඩ කළේ එසේය.

සුමංගලට දරුණු ලෙස වධහිංසා පමුණුවා ඇති බව ඇප ලැබීමෙන් පසු ඔහු ප්‍රතිකාර පිනිස ඇතුළත් වූ මාතලේ රොහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සහතික කළේය. ඔහුගේ සිරුරෙහි වූ තුවාල, ඔහු විසින් ප්‍රකාශ කරන ලද වධහිංසා සමඟ ගැලපුණි.

වසර 10ක් දේශබන්දු උත්තර නොබැදීම

පෙර කී පරිදි මෙම පෙත්සම පවරන ලද්දේ 2011 ජනවාරි මාසයේදී ය. එසේ නමුත් දේශබන්දු තෙන්නකොන් එම චෝදනා පිළිබඳව වසර දහයක් යන තුරු කිසිදු දිව්රුම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කලේ නැත. ඔහු වෝදනාවන්ට පිළිතුරු බැන්දේ, පොලිස්පති     මේස-පුටු තරඟයට ඉදිරිපත් වූ පසු 2023 සැප්තැම්බර් මාසයේ දී පමණකි.

එම දිව්රුම් පෙත්සමෙහි දී පවා ඔහු විසින් පුද්ගලිකවම වධහිංසා පමුණූවන ලද බවට වූ චෝදනාවන්ට පිළිතුරු බැන්දේ නැත. එනයින් ඔහු වක්‍ර ලෙස එම වධහිංසා පැමිණවීම පිළිගත්තේය.

දේශබන්දු ඒ වන විට සිටියේ දේශපාලන අනුග්‍රහය ලබන වෙන්ඩ පොලිස්පති ලෙසය.

මෙම ඓතිහාසික ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පෙත්සම්කරුගේ එනම් සුමංගලගේ ප්‍රති දිවුරුම් ප්‍රකාශයට අමුණා ඇති “P12” ලෙස සටහන් කර ඇති නිමල් පෙරේරාගේ දිවුරුම් ප්‍රකාශය පිළිබඳව  අවධාරණය කර තිබේ. ඒ එය ඉතා විස්තරාත්මක එකක් නිසා විය හැක.

එම දිව්රුම් ප්‍රකාශය පෙත්සම්කරු සහ අනෙකුත් රැඳවියන් 03 දෙනා 1, 2 වැනි 4 වන සහ 5 වන වගඋත්තරකරුවන් (එනම් දේශබන්දු) අතින් අත්විඳි අමානුශික  වධහිංසා  තහවුරු කරයි.

 එම දිව්රුම් ප්‍රකාශය ඉදිරිපත් කළ  නිමල් පෙරේරා පොලිසිය විසින් අත්අඩංවට ගන්නා ලද්දේ පෙත්සම්කාර සුමංගල අත්අඩංගුවට ගත් දිනට පසු දින එනම් 2010 දෙසැම්බර් 16 වැනිදාය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සත්‍ය දිව්රුම් ප්‍රකාශයක් ලෙස පිළිගත් මෙම ලියැවිල්ල, වර්තමාන වැඩබලන පොලිස්පති දේශබන්දු, පොලිස් අධිකාරීවරයකු වශයෙන් මෙයට  දහතුන් වසරකට පෙර තිරශ්චීන වධකයකු ලෙස සැකකරුවන්ට දුන් වධබන්ධන පැහැදිළිව හෙළිදරව් කරයි.

මිරිහාන පොලිසියේ නිල වධකාගාරය

එපමණක් නොව එකළ මිරිහාන පොලිසියට යාබදව පවත්වා ගෙන ගිය වධකාගාරය පිළිබඳවද මෙම දිව්රුම් පෙත්සම සඳහන් කරයි. මිරිහාන පොලිසිය පැවතියේ පොලිස් අධිකාරී දේශබන්ධු තෙන්නකෝන්  යටතේ වු අතර සැකරුවන්ට වධහිංසා පැමිණවීම පිනිස ඔහු එහි පැමිණි බවත් එමගින් තහවුරු වෙයි.

නිරුවත් කොට තමන් විසින්ම පහර දී අඩපණව සිටි  සැකරුවන්ගේ ලිංගේන්ද්‍රියන්ට සිද්ධාලේප ආලේප කිරීමට, දේශබන්ධුගේ මානසිකත්වය කොතරම් කුරිරු එකක් වන්නට ඇත්ද?

අහෝ! අද ලංකාවේ පොලිසිය බාරව සිටින්නේ එවැනි දුෂ්ඨ සහ විකෘති ලිංගික ආසාවන් ඇති මිනිසෙකි.

එම දිවුරුම් ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ.

“පසුදා උදේ එනම් 2010. 12. 17 වන දින උදේ එම ගොඩනැගිල්ලේ පිටුපස  තිබෙන පරණ ගොඩනැගිල්ලකට මාව ගෙන ගියා. ඒක ඇතුලේ ග්‍රවුන්ඩ් එකක් තිබුණා. ග්‍රවුන්ඩ් එක වටේට කොන්ක්‍රීට් කාමර තිබුණා. පොලිස් නිලධාරීන් 6-7 ක් විතර හිටියා. ජනේලයයි උළුවස්සයි අතරින් පරාලයක් දාලා බැඳලා නිරුවත් කර මාව එල්ලුවා. මගේ මල්ලි, රංජිත් හා නිශාන්ත එතැන හිටියා. එතන රබර් හෝස් එකක්. ත්‍රීවිල් රබර් පටියක් සහ පොල්ලක් තිබුණු බවත් ප්‍රකාශ කර සිටිමි.

“මගේ කකුල් දෙක බැඳලා ඔලූව පහතට දමලා එතන තිබුණු වතුර පොන්ඩ් එකට ඔබමින් හුස්ම ගන්න බැරුව දඟලන විට ගොඩට ගත්තා. නැවතත් එසේ කළා. මේ ආකාරයට අපි හතර දෙනාම වරින්වර දැම්ම බවත්, සවස 4.00 පමණ වන තුරු මේ ආකාරයෙන් අපට නොයෙක් වධහිංසා කළ බවත් ප්‍රකාශකර සිටීමි.

“මිරිස් කුඩුයි පෙට්රල් සහ ෂොපින් බෑග් ගෙනාවා. ෂොපින් බෑග්වලට පෙට්රල් දාලා මුණට ඇල්ලුවා. හතර දෙනාටම ඒ විදිහට කළා. පසුව හතර දෙනාම නිරුවත් කොට, ලිංගෙනද්‍රියන් වලට මිරිස්කුඩු දමා  හතර දෙනාම මාරුවෙන් මාරුවට ලිංගික අපයෝජනයට ලක්කළ බවත් ප්‍රකාශ කර සිටීමි.

“ඇඳුම් වේලාගත් පසු නැවතත් අර බිල්ඩිමට රැයෙන ගිහින් මාංචු දාලා මේසවල් යට වාඩි කර තැබුවා. එදා  වෙනකම් අපට කන්න බොන්න කිසිම දෙයක් දුන්නේ නැහැ. පැනයඩෝල් පෙත්ත ගානේ විතරක් දුන්නා. එදා රෑත් අපි  මේස යටට වෙලා හිටියා.

“එසේ  සිටින විට උසස් නිලධාරියකු අපි සිටි තැනට ආවා. ඔහු එම නිලධාරියා  “මොවුන් කව්ද” කියා විමසා සිටියා. එවිට එම නිලධාරීන් කිව්වා “සර් යම් අර සාජන් මේජර්ගේ කේස් එකේ  එවුන්. මෙතන හරක් හොරෙකුත් ඉන්නවා” කියා කියූ බවත් ප්‍රකාශකර සිටිමි.

දේශබන්දුගේ සිද්ධාලේප වධය

“එවිට එම නිලධාරීයා අපිව නිරුවත් කොට එකා පිටුපස එකා තියා ත්‍රීවිල් රබර් පටියකින් අපි හතර දෙනාටම ඇඟපුරාවටම පහර දුන්නා. එසේ පහර දෙන ගමන් සිද්ධාලේප අපගේ ලිංගේන්ද්‍රියන් වල උලා ගන්නා ලෙස අණ කළා. අපි අපහසුවෙන් ගා ගත්තා. දැවිල්ල තිබියදීම ඔහු නැවත නැවතත් පහර දුන් බව ප්‍රකාශ කරමි.

“ඒ අවස්ථාවේ ඔහුට දුරකථන ඇමතුමක් ආවා. ඔහු කිව්වා මුන්ට ඇඳගන්න දෙන්න එපා. පැය 2ක් විතර මෙහෙම තියන්න. මම ආයෙත් එනවා කියා ඔහු ගියා.

“පසුව එහි සිටි නිලධාරියකු කිව්වා. එයා වෙනදා මිනිස්සුන්ට ගහන කෙනෙක් නොවෙයි. ඒත් උඹලගේ කරුමයට තමයි එයත් උඹලට ගැහුවේ කියලා කිව්වා. එම නිලධාරියා පොලිස් අධිකාරී  දේශබන්දු තෙන්නකෝන් නිලධාරියා බව පසුව මම දැනගත් බව බවත් ප්‍රකාශ කර සිටිමි.

“2010. 12. 19 වන දින සිට නැවතත් 2010. 12. 22 වන දින සවස් වන තෙක් අපව මිරිහාන පොලිසියේ රඳවා තබා ගත් බවත්, අපව රඳවාගත් කාලය තුළදී බණ්ඩාර, සේනානායක, භාතිය ජයසිංහ හා තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් 7 දෙනෙකු පමණ වධහිංසා කළ බවත් ප්‍රකාශ කර සිටිමි.”

නිරුවත් කොට තමන් විසින්ම පහර දී අඩපණව සිටි  සැකරුවන්ගේ ලිංගේන්ද්‍රියන්ට සිද්ධාලේප ආලේප කිරීමට, දේශබන්ධුගේ මානසිකත්වය කොතරම් කුරිරු එකක් වන්නට ඇත්ද?

අහෝ! අද ලංකාවේ පොලිසිය බාරව සිටින්නේ එවැනි දුෂ්ඨ සහ විකෘති ලිංගික ආසාවන් ඇති මිනිසෙකි.

සුමංගලගේ බිරිඳ විසින් ද මෙවැනිම දිව්රුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලද අතර එමගින් සුමංගල ඔහුගේ නිවසට ගෙනැවිත් ඔහුට වධහිංසා පැමිණවීම පිළිබඳ දෙන ලද  දිව්රුම් ප්‍රකාශය  තහවුරු කර තිබේ.

මෙම ප්‍රකාශ අනුව දේශබන්දු කෙලින්ම මානව හිමිකම් කෙලෙසූ වරදකරුවකු බවට පත් විය.

5 වැනි වගඋත්තරකරු වූ දේශබන්දු තෙන්කෝන් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ඇති දිර්ඝ පරිච්ජේදයේ සිංහල අනුවාදය ඊලඟ කොටසින් බලාපොරොත්තු වන්න.

සේ පියවර්ධන විසිනි.

 

Archive

Latest news

Related news