Friday, May 3, 2024

2024 අයවැය: වැඩි වියදම් තිබියදීත් අඩු අයවැය හිඟයක් ලබා ගනු ඇත්ද? – නිමල් සඳරත්න

Cartoon by Asanga Indunil.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 2024 අයවැය කතාවේ යටි තේමාව වූයේ රටේ මූල්‍ය ස්ථාවරත්වය, ආර්ථික ප්‍රකෘතිය සහ ආර්ථික ස්වාධීනත්වය සඳහා රාජ්‍ය මූල්‍ය දූරදර්ශී ලෙස කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය බවයි.

අයවැය පරතරය

2024 වසර සඳහා අයවැයෙන් වැඩි වියදමක් දැරුවද, ආදායම ඉහළ යාමෙන් අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 ට වඩා අඩු මට්ටමකට අඩුකර ගැනීමට ජනාධිපති අපේක්ෂා කරයි.

අවබෝධ කර නොගැනීම

අදාළ ප්‍රශ්නය වන්නේ අපේක්ෂිත ආදායම සාක්ෂාත් කර ගැනීම සහ අයවැය ප්‍රමාණයට වියදම් සීමා කළ හැකිද යන්නයි.

දළ දේශීය නිෂ්පාදිත වර්ධනය

තවද, ලබන වසරේ ආර්ථිකය පුනර්ජීවනය වී සියයට 5 ක වර්ධනයක් සිදුවේද යන්න පිළිබඳව සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් පවතී. අඩු දළ දේශීය නිෂ්පාදිතයක් යනු ඉහළ මූල්‍ය හිඟයකි.

දීමනා නැත

රට දැඩි ආර්ථික තත්ත්වයකට ඇද දමා ඇති, ණය ගැනීම සහ ආණ්ඩුවේ මුදල් අච්චු ගැසීම මත පදනම්ව සහන පිරිනැමීමේ අතීතයෙන් බිඳී ගිය අයවැයක් බව ද ජනාධිපති ප්‍රකාශ කළේය.

මැතිවරණ අයවැයක්?

අයවැය පූර්ව මැතිවරණ අයවැයක් බවට වූ මතය  ප්‍රතික්ෂේප කළ  ඔහු, එය පීලි පැන ඇති ආර්ථිකය, ආර්ථික ප්‍රකෘතිය සහ වර්ධනය කරා ගෙනයාම සඳහා වූ අයවැයක් ලෙස එය සංලක්ෂිත කළේය.

හිඟය අඩංගු වේ

තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, IMF ගිවිසුමට අනුව ලබන වසරේ මූල්‍ය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8 දක්වා පාලනය කිරීමට ඔහුට හැකිවේද යන්නයි.

රාජ්‍ය වියදම් සියයට 47.1 කින් ඉහළ ගියද අඩු මූල්‍ය හිඟය ළඟා කර ගැනීමට අපේක්ෂා කෙරේ. රජයේ වියදම් රු. ට්‍රිලියන 12ක් වන අතර රජයේ ආදායම රු. ට්‍රිලියන 9 ක් පමණකි.

බදු අය කිරීම

පරතරය පියවා ගැනීම සඳහා ආදායම සියයට 47.1 කින් වැඩි කළ හැකි බදු ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා හෙළි කළේ නැත. ලබන වසරේ නව බදු ක්‍රියාමාර්ග පිළිබඳ වෙනම පනතකින් ඒවා ප්‍රකාශයට පත් කිරීම අපේක්ෂා කෙරේ.

ඉඟි

කෙසේ වෙතත්, දේපල හා ධනය මත පැනවෙන බදු සහ මෝටර් රථ බලපත්‍ර සහ අනෙකුත් ගාස්තු සඳහා ඉහළ බදු පිළිබඳ ඉඟි තිබේ.

මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් ආදායම් බදු ලිපිගොනු අංකයක් අනීවාර්ය කිරීමේ ක්‍රමවේදයක් මඟින් බදු මඟහැරීම් සහ බදු පැහැර හැරීම් අවම කර බදු ආදායම් ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

වියදම

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට යම් සහනයක් ලැබිය යුතු වුවත්, පුම්බා ඇති රාජ්‍ය අංශයේ විශාල සේවක සේවිකා පිරිසට මීට වඩා සහන සැලසීමට රජයට හැකියාවක් තිබේද යන්න ප්‍රශ්නාර්ථයකි.

වැටුප් හා විශ්‍රාම වැටුප්

2024 අයවැය මගින් අමතර රු. මිලියන 1.3 ක පමණ රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 දීමනාවක් සහ හිටපු රජයේ සේවකයන්ගේ වැන්දඹුවන්ට සහ අනාථ දරුවන්ට මසකට රුපියල් 2,500 ක දීමනාවක් යෝජනා කැරේ.

මේවා අත්‍යවශ්‍ය වන අතර, ඇත්ත වශයෙන්ම, ප්‍රමාණවත් නොවන සහන වන අතරම වත්මන් රාජ්‍ය මූල්‍ය තත්ත්වය තුළ දැරිය නොහැකි  වියදමකි.

වෙනත් වියදම්

මුදල් ඇමතිවරුන්ගේ පුරුද්දක් ලෙස, ජනාධිපති වික්‍රමසිංහ ද ව්‍යාපෘති රාශියක් ප්‍රකාශයට පත් කළේය. මේවායින් සමහරක් පසුගිය අයවැය ලේඛනවල සඳහන් කර ඇතත් ඒවා ක්‍රියාත්මක කර නැත. මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කළේ නම් රට දියුණු වෙන්නට තිබුණි!

සුදු අලි

මෙයට ව්‍යතිරේකයක් වන්නේ කිසිදු සඳහනක් අවශ්‍ය නොවන තරමට ප්‍රසිද්ධ සුදු අලි කිහිප ගණනාවක්  ඉදිකිරීමයි. පුදුමයට කරුණක් නම් මේවා අධික වියදමක් දරා ඉක්මනින් ඉදිකර තිබීමයි.

විශ්ව විද්‍යාල

විශ්ව විද්‍යාල සහ තාක්ෂණික ආයතන කිහිපයක් සංවර්ධනය කරන බව ජනාධිපති ප්‍රකාශ කළේය. මේ යහපත් චේතනාවලට විරුද්ධ විමට කිසිවකුට නොහැකිය. එහෙත්, පවතින විශ්ව විද්‍යාලවල කාර්ය මණ්ඩලය අඩුවීමේ රැල්ලකට මුහුණ දී සිටින විට, මෙම නව විශ්ව විද්‍යාල සහ තාක්ෂණික ආයතන  සඳහා මානව සම්පත් සොයා ගන්නේ කෙසේද?

ආදායම

ප්‍රමාණවත් ආදායමක් ඒකරාශී කර ගැනීම සම්බන්ධයෙන් අයවැය තුළ අසාමාන්‍ය අඩුවක් දක්නට ලැබුණි. එකතු කළ අගය මත බද්ද (වැට්) සියයට 18 දක්වා වැඩි කිරීම වැනි අදායම වැඩි කර ගැනීමට යෝජනා කිහිපයක් පමණක් ඉදිරිපත් විය.

නව බදු ක්‍රමය

නව බදු සහ නව බදු ක්‍රමයක් පිළිබඳ වෙනම පනතකින් ප්‍රධාන ආදායම් මාර්ග අනාවරණය කිරීමට නියමිතය. දේපල බදු වැඩි කිරීම, ධන බද්දක් සහ මෝටර් රථ බලපත්‍ර ගාස්තු වැඩි කිරීම වැනි ඉඟි කිහිපයක් තිබුණි.

පෞද්ගලීකරණය

රජය   ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින වැදගත් ප‍්‍රතිසංස්කරණයක් වන රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීමෙන් ලැබෙන ආදායම ගැන සඳහනක් නොවීය.

බැංකු

පෞද්ගලීකරණයේ අවශ්‍යතාව සඳහන් කර විශාල රාජ්‍ය බැංකු දෙකේ කොටස්වලින් සියයට 20ක් පෞද්ගලීකරණය කරන බව ප්‍රකාශ කළද, පෞද්ගලීකරණයෙන් ලැබෙන ආදායම, ආදායම් මාර්ගයක් ලෙස අයවැය කතාවේදී සඳහන් කර නැත. මෙය බොහෝ විට විරෝධතා ඇවිලයාම සහ ජනප්‍රිය නොවන පියවරක් ඇති අ අයවැයට විරුද්ධ වීම වැළැක්වීමට ගත් පියවරක් විය හැකිය.

පෞද්ගලීකරණය

කෙසේ වෙතත් ප්‍රධාන ආයතන කිහිපයක් පෞද්ගලීකරණය වන බව ස්ථිරයි. මෙය එක් අතකින් රජයේ වියදම් අඩු කරන අතර අනෙක් පැත්තෙන් රාජ්‍ය භාණ්ඩාගාරය අරමුදල් ඉහළ නැංවීමට හේතු වේ.

වැදගත් ආදායමක්

පෞද්ගලීකරණයෙන් ලැබෙන ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8 ක අඩු මූල්‍ය හිඟයක් සාක්ෂාත් කර ගැනීමේ වැදගත් මාධ්‍යයක් විය හැකිය.

අභියෝගාත්මක කාර්යයක්

මූල්‍ය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8 දක්වා අඩු කිරීම අභියෝගාත්මක කාර්යයක් වන්නේ ලබන වසරේ ආර්ථික වර්ධනයේ අපේක්ෂාවන්ට බොහෝ අවාසි සහගත අවදානම් ඇති බැවිනි. ආර්ථික වර්ධනය අඩු වන තරමට, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අඩු මූල්‍ය හිඟයක් සාක්ෂාත් කර ගැනීම වඩාත් බැරෑරුම් වේ.

මූල්‍ය විනය

සෑම දෙයක්ම සලකා බැලූ විට අයවැයෙන් යම් මූල්‍ය විනයක් ඇති කිරීමට උත්සාහයක් ගෙන ඇත. කෙසේ වෙතත්, වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මෙම අධිෂ්ඨානය දේශපාලන බලකිරීම් මත දියාරු වී ඇත.

මෙය මැතිවරණ අයවැයක් නොවන බව පැවසීමට ජනාධිපතිවරයා දැඩි වෙහෙසක් ගත් නමුත් වැටුප් වැඩිවීම්, විශ්‍රාම වැටුප් හා වැන්දඹු අනාථ (W&OP) ගෙවීම්, සුබසාධන වියදම්, ඉඩම් ප්‍රදානයන් දේශපාලන අභිප්‍රාය වූවාට සැක නැත.

සියල්ලට පසු, දේශපාලනය යනු කළ හැකි දේ කිරීමේ කලාව බව ජනාධිපති හොඳින් දනී.

ආර්ථික ප්‍රශ්න

අයවැය සැලකිය යුතු ආර්ථික ගැටළු කිහිපයක් අවුලුවා ඇත.

පළමුවැන්න: දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8ක මූල්‍ය හිඟයක IMF තත්ත්වය සාක්ෂාත් කර ගැනීමට අපට හැකි වේද?

දෙවනුව: වෙනත් පාලන තන්ත්‍රයක් යටතේ මූල්‍ය ප්‍රතිපත්තිවල අඛණ්ඩ පැවැත්මක් තිබේද?

තෙවනුව: රට නැවත බංකොලොත් භාවයට පත් නොවීමට වග බලා ගත හැකි විකල්ප ආර්ථික ප්‍රතිපත්තියක් තිබේද?

නිගමනය

අවාසනාවකට මෙන්, 2024 අයවැය ප්‍රතිපලය නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිවලට වඩා පටු පක්ෂ දේශපාලනය විසින් තීරණය කිරීමට ඉඩ ඇත.

 (ආර්ථික විශලේෂකයකු වන නිමල් සදරත්න විසින් නොවැම්බර් 19වන දින සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලියූ ලිපියක දළ පරිවර්ථනය සුනන්ද දේශප්‍රිය විසිනි.)

Archive

Latest news

Related news