Saturday, April 27, 2024

ක්‍රීඩාව විනාශ කරමින් ක්‍රිකට් මණ්ඩලයේ හොරුන්ගෙත් හොරු ගසා කෑ හැටි තව දුරටත්

අසෝක ජයවර්ධන විසිනි.

ගුරා හිට ගෙන හුජ්ජ කරන විට ගෝලයා දුවමින් හුජ්ජ කරන්නේ යැයි කතාවට කියනු ලැබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට ඒ කතාව හරියටම ගැලපේ.

ශම්මි සිල්වා ගේ ගැහිලි

එහි  ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ද 2022 නොවැම්බර් 11 සිට 13 දක්වා පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල කමිටු රැස්වීමට සහභාගි විය. ඒ  සඳහා ඔහුට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගෙවා  තිබියදීත්, ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල කමිටු රැස්වීම්වලට සහභාගී වූ දින සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඇමරිකානු ඩොලර් 3,500 ක් ලබා ගත්තේය.

දෙපැත්තෙන්ම කෑම

ඈෂ්ලි ද සිල්වාගේ ගුවන් ටිකට් පත, ආහාර සහ දින පහක් සඳහා ඇමරිකානු ඩොලර් 125 බැගින් වූ දිනක මුදල සඳහා වියදම් කලේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයි. එනම් ඩොලර් 625 ක මුදලකි. ඒ සඳහාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් 3,500ක්, ඔහු එකී කමිටු රැස්වීමට සහභාගි වූ දින සඳහා සහ තවත් දින පහක් සඳහා අමතර US$ 3,500ක් ලෙස මුළු මුදල ඇමෙරිකානු ඩොලර් 7,000ක් (ශ්‍රි ලංකා රුපියල් මිලියන 2.788) ලබා ගත්තේය.

ගෝලයෝ ගුරාට හපන්

කෙසේ වෙතත්, ඔහු ද රජයේ විගණනයෙන් පසුව 2023 පෙබරවාරි 3 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඇමරිකානු ඩොලර් 2,100 (ශ්‍රී ලංකා රුපියල් 767,550) ආපසු දුන්නේය. විගණනය නොවී නම් ඒ මුදලත් ඇෂ්ලිගේ පොකට්ටුවේම ඉතිරි වන්නට තිබුණි.

එම විගණන වාර්තාවට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් විධායක කමිටු සාමාජිකයින් ගණනාවක්ම මිලයන දෙකක පමණ මුදලක් ආපසු ගෙවා තිබේ.

මෙම පිරිස ලබා ගත් තවත් වරදාන මෙසේය:

රුපියල් ලක්ෂ 650ක් ගිල්ල හැටි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  ශම්මි සිල්වාට  ඔහුගේ ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට්පත් සඳහා රුපියල් මිලියන 10.95 ක් සහ විදේශ ගමන් දීමනා ලෙස රුපියල් මිලියන 5.44 ක්; හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතාට රුපියල් මිලියන 5.44; උප සභාපතිවරුන් වන උපාලි ධර්මදාස සහ රවීන් වික්‍රමරත්නට පිළිවෙළින් රු. මිලියන 5.19 ක් සහ රු. මිලියන 4.74; භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහට රුපියල් මිලියන 4.81ක්; සහකාර භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්දට රුපියල් මිලියන 4.6ක්; සහකාර ලේකම් ක්‍රිෂාන්ත කපුවත්තට රුපියල් මිලියන 2.3ක්; විධායක කමිටු සාමාජිකයින් වන ජානක පතිරණ රු. මිලියන 4; තිලක් වතුහේවාට රුපියල් මිලියන 3.92; සමන්ත දොඩන්වලට රු. මිලියන 4ක්; ප්‍රියන්ත අල්ගමට රු. මිලියන 3.95; බන්දුල දිසානායකට රු. මිලියන 3.82; නිශාන්ත ද සිල්වාට රු. මිලියන 3.61; නලින් අපොන්සුට රු. මිලියන 4.08;

මුළු මුදල රුපියල් මිලියන 65.096 කි එනම් ලක්ෂ 650කි..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයට ක්‍රිකට් තරඟ නැරඹීමට යාම සඳහා වීසා ඉල්ලීම් ලිපියක් නිකුත් කලේය. එය බලය අයුතු ලෙස යෙදවීම පිළිබඳ මනා නිදසුනකි.

වීසා නම් 35න් 21ක් ශම්මිගෙන්

එම ලිපියේ ක්‍රිකට් පාලක මණ්ඩලයට අනුයුක්ත නොවූවත් වීසා සඳහා නිර්දේශිත නම් 35ක් ඇතුළත්ව තිබිණි. ඔවුන් පවුලේ සාමාජිකයින්ගේ සහ හිටපු  විධායක කමිටු සාමාජිකයින්ගේ මිතුරන් විය. මෙම නම් 35න් 21ක් බලයෙන් ශම්මි සිල්වාගේ පවුලේ සාමාජිකයන් සහ හිතවතුන්ය. ඔහුගේ පවුලේ සාමාජිකයන් අතර ඔහුගේ බිරිඳ Roberta Helloise, නැන්දම්මා Zena Maizie Jeanette Coenraad සහ මස්සිනා වන Lawry Jude Coenraad විය.

ගජමිතුරුවාදය, රාජපක්ෂවාදය තරමටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගිල ගෙන තිබුණි.

ක්‍රිකට් බලපු නාටිකාංගනාවෝ

වීසා ලබා ගැනීම සඳහා යවන ලද නම් 35 න් දෙදෙනෙක් උප සභාපති ජයන්ත ධර්මදාසගේ මිතුරියන් වූ චිත්‍රපට ශිල්පීනියන් විය. විගණන වාර්තාවට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර ඇත්තේ මෙම කලාකාරියන්  දෙදෙනා නිත්‍ය ක්‍රිකට් ප්‍රේක්ෂිකාවන්  වූ බවයි!

පුදුම නමුත් ඇත්තය!

මෙසේ වීසා ලබා ගිය කොළඹ මහ නගර සභාවට අනුයුක්තව ක්‍රීඩා උපදේශකයෙකු වූ සංජීව නිශාන්ත පෙරේරා විගණන වාර්තාව  නිකුත් වූ දා දක්වා පෙරේරා නැවත ලංකාවට පැමිණ සිටියේ  නැත.

ඔහු එහි ගල් වන්නට ඇත.

ටිකට් ගැහිල්ල

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත නිකුත් කර ඇති වීසා ඉල්ලීම් ලිපියේ ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් 35 දෙනාගේම තරග ප්‍රවේශපත්‍ර සඳහා බිල්පත් ක්‍රිකට් ආයතනය මගින් සකස් සිටින බවයි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය එකී තරඟ සඳහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 8.747 ක් වැය කළේය. එනමුත්  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ද විසින් ක්‍රීඩා කරන ලද සෑම තරඟයකටම නිශ්චිත ප්‍රවේශපත්‍ර ප්‍රමාණයක් නොමිලේ ලබා දී තිබුණි.

2022, T20 ලෝක කුසලාන උපදෙස් අත්පොතෙහි 5.1 ඡේදයට අනුව, සෑම මූලික තරගයක් සඳහාම නොමිලේ ප්‍රවේශපත්‍ර 125ක් සහ සෑම අවසන් පූර්ව සහ අවසන් තරගයක් සඳහා ප්‍රවේශපත්‍ර 155ක් ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය  ලබා දේ. ඉන් ප්‍රවේශපත්‍ර 75ක් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ලබාදිය යුතුයි. මීට අමතරව, කණ්ඩායම් ක්‍රීඩකයින්ගේ ඥාතීන්ට සහ මිතුරන්ට ලබා දීම සඳහා නොමිලේ සත්කාරක ප්‍රවේශ පත් 20 ක් ද පිරිනැමේ.

ක්‍රීඩකයින්ට ටිකට් තුනයි! 

වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව සහභාගි වූ තරග පහ සඳහා ජාතික කණ්ඩායමට සත්කාරක ප්‍රවේශ පත්‍ර 100ක් හිමි වුවද, වාර්තාවන්ට අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔවුන්ට ලබා දී තිබුණේ ප්‍රවේශපත්‍ර 69ක් පමණි. මෙම ප්‍රවේශපත්‍ර සියල්ල කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ඔවුන්ගේ පවුලේ අයට/මිතුරන්ට ලබාදිය යුතු වුවත් ඔවුන්ට ලබා දුන්නේ  ප්‍රවේශපත්‍ර තුනක් පමණකි.

ඉතිරි  ප්‍රවේශපත්‍ර 38ක් විදායක කමිටු සාමාජිකයින්ට සහ 7ක් අනෙකුත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට ලබාදී ඇත. ප්‍රවේශපත්‍ර 9ක් විනාශ වී ඇතැයි කියන  අතර හිටපු විධායක කමිටු සාමාජිකයන් සමඟ පැමිණි අයට ප්‍රවේශපත්‍ර 12ක් ලබා දී ඇතැයි විශ්වාස කෙරේ.

ශම්මි සිල්වා ක්‍රීඩකයින්ට ලබා දිය යුතු මිල අධික ප්‍රවේශ  පත් තමන්ටම බෙදා ගත්තේ එලෙසය.

ප්‍රවේශ පත්‍ර ජාවාරමද ගසා කෑමක් බවට පත් විය.

තරඟ නැඹීමට ගත්තේ යැයි කියන රුපියල් මිලියන 3.582 ක් වටිනා ටිකට්පත් 76 ක් භාවිතයට නොගෙන ඇතැයි ද විගණන වාර්තාව දක්වයි.

ශම්මිට ටිකට් 54ක්

මිලදී ගත් රු. මිලියන 3.59 ක් වටිනා ප්‍රවේශපත්‍ර 54ක් ම  ෂම්මි සිල්වා ලබා ගත්තේය!

2022 මාර්තු 15 සිට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයින්  සඳහා විදෙස් ගමන් වලදී දෛනික දීමනාව 75% කින් වැඩි කර ගෙන තිබේ. කළමනාකරණ කාර්ය මණ්ඩලයට 71% කින් එය වැඩි කරන ලදී.

ශම්මි සිල්වා ඇතුළු පිරිස සඳහා එක් දිනක් සඳහා ලබා දෙන දෛනික ගාස්තුව  එක්සත් ජනපද ඩොලර් 700 දක්වා වැඩි කර ගත්තේ එසේය. දෙවැනි කණ්ඩායම සඳහා එය 600ක් දක්වා ඉහළ ගියේය.

ක්‍රීඩා තරඟ පැවැත්වෙන අවස්ථාවලදී ගුවන් ගමන් ගාස්තු, ආහාර සහ නවාතැන් ගාස්තු සත්කාරක පාර්ශවය දරන විට පවා, ශම්මි සිල්වා ඇතුළු පිරිසට ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් මුදල් ලබා ගත හැකි වන පරිදි 2022 දී නීති රීති වෙනස් කර ගන්නා ලදී.

විනෝදාස්වාද දීමනාව ඩොලර් 1000 සිට 2000ක් දක්වා

2022 මාර්තු මාසයේ පැවති අවසන් රැස්වීමේදී විදේශ සංචාරවලදී සෑම විධායක කමිටු සාමාජිකයෙකුටම විනෝදාස්වාද දීමනාව ඇමෙරිකානු ඩොලර් 1,000 සිට 2,000 දක්වා වැඩි කර ගත් අතර සහ ඩොලර් 150 ක ජංගම දුරකථන දීමනාවක් වැඩි කර ගන්නා ලදී.

2015 මැයි 15 දිනැති අංක 01/2015/01 දරන මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛය අනුව දෛනික අනුපාතය සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීරණය සම්පූර්ණයෙන්ම පටහැනිය.

මෙසේ දීමනා වැඩි කර ගන්නා ලද්දේ ඇමතිවරුන්ට සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ට විදෙස් සංචාරයන්හිදී ගෙවන දෛනික දීමනාව අඩු කර තිබියදීය.

අමාත්‍යවරුන්ට සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ට මීට පෙර දිනකට ඩොලර් 530 ක දෛනික දීමනාවක් ගෙවන ලද නමුත් රට මුහුණ දී සිටින ආර්ථික අපහසුතා යටතේ අමාත්‍යවරුන් සහ ලේකම්වරුන් සඳහා වන නව දෛනික ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 371කි. ( ඇමැතිවරුන් වෙනත් උප්පරවැට්ටි මගින් මෙයට බොහෝ වැඩි සිය වියදම් පිරිමසා ගන්නා බව රහසක් නොවේ.)

මේ වනාහී හිම කන්දක මතුපිට පෙනෙන කුඩා ප්‍රමාණය මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිදන්ගත වංචා දූෂණ අතුරින් විගණන වාර්තාව දක්වා ඇති කරුණූ අතරින් සුලු ප්‍රමාණයකි පමණකි.

ක්‍රීඩකයින්ගේ දීමනාත් ගසා කාලා

පොරොන්දු වූ ඇමෙරිකානු ඩොලර් 150,000කටත් වැඩි මුදලක් ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙවා නැති බවට ද විගණන වාර්තාව දක්වයි. නමුත් ඉතිරි මුදලට සිදුව ඇති දෙයක් නැත.

මේසා විශාල ධන සම්භාරයක් හොරා කා සහ විනාශ කර ඇති නමුත්,  මෙරට දේශපාලන පංතියේ කොටස්කරුවන් වන මේ කිසිවකුට කිසිදු දඬුවමක් නොලැබෙන බව කිරි ගහට ඇන්නා සේ ලියා තැබිය හැකිය.

මෙරට සිරගත කැරෙන්නේ කොස් ගෙඩියක් අනවසරයෙන් අහුලා ගෙන යන පීඩිතයින් පමණය.

බැදුම්කර වංචාවේ මහ මොළකාරයින් රට කරවන කළක, අන් වංචනිකයින් සහ දූෂිකයින් බඩ පිනුම් සහ උඩු පිනුම් ගැසීම අරුමයක්ද?

(2023.11.07 දින ඩේලි මිරර් පුවත්පතට නිර්මලා කන්නන්ගර ලියූ ලිපියක කරුණූ ඇසුරෙනි.)

 

Archive

Latest news

Related news