Sunday, April 28, 2024

ක්‍රීඩාව වළපල්ලට යත්දී රනිල් -සාගල දෙපල රකින්නට ගිය ලෝක ක්‍රිකට් හොරුන්ගේ ගසා කෑම් ගණන් හිලවු ඇතිව!

අසෝක ජයවර්ධන විසිනි.

රනිල් රාජපක්ෂ  සහ ඔහුගේ සෙවණැල්ල බව පෙනෙන  සාගල රත්නායක දෙපල එක් වී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් රැකීමට දැරූ තැත දැන් රහසක් නොවේ.

සාගල රත්නායක යනු රනිල් රාජපක්ෂගේ කොමිස් නියෝජිතයා යැයි විවේචන ද ඉදිරිපත්ව තිබේ. සාගල රත්නායක ඉන්නේ  දැන් ක්‍රීඩා ඇමැතිට උඩිනි.

අද 9දා පාර්ලිමේන්තු යෝජනාවක් මගින් ක්‍රිකට් ආයතනයේ නිලතල අහෝසි කිරීමත් සමඟ රනිල් රාජපක්ෂගේ සැළැස්ම අසාර්තක විය. රනිල් රාජපක්ෂවාදී පොහොට්ටුවකු වන කාන්චන රාජපක්ෂ කමිටුවද මෙම හොරු රැළ රැක ගැනීමට ඉදිරිපත් විය.

මෙළෙස  රැකීමට තැත් දැරෑ  ක්‍රිකට් බලධාරීන් ගේ වංචා දූෂණ විගණකාධිපති සහ විනිසුරු කුසලා සරෝජිනී හේරත් වාර්තා  දෙකකින්ම හෙළිදරව් කර තිබේ.

එසේ නමුත් දේශපාලන බලවතුන්ගේ රැකවරණය ලබන මේ හොරු රැළට විරුද්ධව නීතිපතිවරයා හෝ අන් කිසිවකු මේ තාක් නීතිමය පියවරක් රැගෙන නැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විශේෂ විගණන කෙටුම්පත පසුගිය අගෝස්තු මාසයේදී  ප්‍රසිද්ධියට පත් විය. ඒ වහාම  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  ප්‍රකාශ කළේ ආයතනය රජයේ විගණනයකට ලක් නොවන ස්වේච්ඡා සංවිධානයක් බවයි. එය බාහිර නියාමන පාලනයකින් ස්වාධීන බවත් ය.

එය හුදෙක් සරම උස්සා මුහුණ වසා ගැනීමක් විය.

අංක SPR/2023/02 දරන සැප්තැම්බර් 11, 2023 දිනැති  නීතිපතිවරයාගේ වාර්තාවට අනුව  සෑම ක්‍රීඩා සංගමයක්ම 1973 අංක 25 දරන ක්‍රීඩා නීතියේ 21 (අ) (3) උප වගන්තිය අනුව ලියාපදිංචි වී ඇති බැවින් විගණනයට යටත් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ICC සාමාජිකත්වය ලබාගෙන ‘ශ්‍රී ලංකා’ සන්නාමය යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරන බැවින්, එය රාජ්‍යය නියෝජනය කරන අතර රජයේ රෙගුලාසිවලට යටත්ව ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන බවද නීතිපතිවරයා දක්වයි.

එනමුත් ශම්මි සිල්වා ක්‍රියා කර ඇත්තේ මෙම කිසිදු වාර්තාවක් සැළකිල්ලට නොගෙනය.

එපමණක් නොව රනිල් රාජපක්ෂ විසින් ක්‍රීඩා ඇමැතිවරයා උඩින් සිය සෙවනැල්ල වැනි සාගල රත්නායක ලවා පනත් කෙටුම්පතක් සකස් කරවා මෙම දූෂිත පාලනය රැක ගැනීමට බව පෙනේ.

නීතිපතිවරයාගේ වාර්තාව සඳහන් කරන්නේ ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව  විසින් සහතික කරන ලද මූල්‍ය ප්‍රකාශන නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු බවය.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සෙනසුරු දසාව ලක්ව ඇත්තේ මන්ද යන්න මෙම විගණන වාර්තාව අනුව තේරුම් ගත හැකිය.

මෙම කරුණු සලකා බැලීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයට අදාළ ක්‍රියාවලියෙන් හෝ පාර්ලිමේන්තුවේ මූල්‍ය අධීක්‍ෂණයෙන් බැහැරවීමේ හැකියාව ඇති ස්වේච්ඡා සංවිධානයක් ලෙස සැලකිය නොහැකි බව පැහැදිලිය.

2016 ඔක්තෝබර් 27 වැනි දින අංක 1990/23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද ක්‍රීඩා රෙගුලාසිවලට අනුකූලව විධායක කමිටුව විසින් සහතික කරන ලද මූල්‍ය ප්‍රකාශන නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු බව නීතිපතිවරයාගේ වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එසේ ක්‍රියා කර නැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණ යනු මුදල් විසි කරන සූදුවක් බව නොදන්නා අයෙක් ක්‍රීඩාවෙහි නැත. ක්‍රිකට් ආයතනයේ බලය ලබා ගැනීම යනු ඇදහිය නොහැකි වරදාන ලබා ගැනීමේ මාවතක් බව විගණන වාර්තාව පෙන්වයි.

නීතිපතිවරයාගේ වාර්තාවෙන් හෙළිවී ඇති කරුණුවලට අනුව නිලධාරීන් සිය හිමිකම් මුවාවෙන් රුපියල් මිලියන ගණනින් සහ වංචනික ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් ලබාගෙන ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි ද සිල්වා T20 ලෝක කුසලාන තරඟ අතරතුර අවස්ථා දෙකකදී ඕස්ට්‍රේලියාවට යාමට කොපමණ මුදලක් ලබාගෙන ඇත්ද යන්න වාර්තාවේ විශ්මය ජනක තොරතුරු හෙළි කරයි. සිල්වා ඒ සඳහා රුපියල් ලක්ෂ 11ක් ( මිලියන 10.953) වියදම් කර ඇති අතර එයට ව්‍යාපාරික පන්තියේ ය ගුවන් ටිකට් පතක් ද  ඇතුළත්ය. එහි මිල රු. ලක්ෂ 26කි.

2022 ජුලි 7 වැනි දින පැවති 11 වැනි ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේ දී සභාපති ෂම්මි ද සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා, උප සභාපතිවරුන් වන ජයන්ත ධර්මදාස, රවීන් වික්‍රමරත්න සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන අය සඳහා ඕස්ට්‍රේලියාවට යාමට සහ ඒමට ව්‍යාපාරික පන්තියේ ප්‍රවේශ පත්‍රවල පිරිවැය දැරීමට තීරණය කර තිබේ. අනෙකුත් විධායක කමිටු සාමාජිකයින්ට ලබා දෙන ලද්දේ  සාමාන්‍ය පන්තියේ ගුවන් ටිකට්පත්ය.

ඊට අමතරව ඔවුන්ට වීසා ගාස්තු, අභ්‍යන්තර ගුවන් ගමන් ගාස්තු සහ දිනකට ඇමෙරිකානු ඩොලර් 700 බැගින් හිමි විය. ඒ උපරිම දින 10ක කාලයක් සඳහා පමණකි.

ශම්මි ද සිල්වා 2022 ඔක්‌තෝබර් 10 වැනිදා ඔස්ට්‍රේලියාවට ගොස්‌, ඔක්‌තෝබර් 18 වැනිදා ආපසු පැමිණියේය. ඔහු ඔස්ට්‍රේලියාවේ සිටියේ දින නවයක්‌ පමණක්‌ වුවද, මෙම කාලය සඳහා එක්‌ දිනක මුළු හිමිකම ඇමරිකානු ඩොලර් 6,300 (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 22ක් (මිලියන 2.298)  ඔහු ලබා ගත්තේය.

එම මුදල ලබා ගත්තේ 2022 ඔක්තෝම්බර් 3 දිනැති PY2022008100 දරන SLC ගෙවීම් වවුචරය හරහාය.

මෙය පැහැදිලි වංචාවකි.

මේ අතර, 2022 සැප්තැම්බර් 23 වැනි දින පැවති 12 වැනි විධායක කමිටු රැස්වීමෙ දී 2022 නොවැම්බර් 11 සිට 13 දක්වා පැවැත්වීමට නියමිත  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විධායක කමිටු රැස්වීමට සහභාගි වීමට සිල්වාට අවසර ලබා දෙන ලදී. නමුත් ඔහුට තරග නැරඹීමට මුදල් සඳහා අවසර ලබා දී නැත.

එයින් අදහස් වන්නේ  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමට සහභාගී වීමට නියමිතව තිබූ ඔහුගේ සංචාරයේදී ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කිසිදු දීමනාවක් හිමි නොවූ බවයි. විධියක කමිටු තීරණ නොසලකා හරිමින් ශම්මි ද සිල්වා නීති විරෝධීව ඒ සඳහා ද  දීමනා ලබාගෙන ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විධායක කමිටු රැස්වීමට සහභාගි වූ ඔහු දිනකට ඇමරිකානු ඩොලර් 500 බැගින් සහ දින පහක් සඳහා ඇමරිකානු ඩොලර් 2,500 ක්  ලබා ගෙන තිබේ. විගණන වාර්තාවේ 24 පිටුවට අනුව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියෙහි රැස්වීම සඳහා සිල්වාගේ ගුවන් ගාස්තු, ආහාර සහ නවාතැන් සඳහා  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එම වියදම් දරා තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් දින පහක් සඳහා දෛනික දීමනා ගෙවා තිබියදීත්, සිල්වා එම කාලය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දිනකට ඇමරිකානු ඩොලර් 700 බැගින් ඩොලර් 3,500 ක ගමන් දීමනාවක් ද  ලබාගෙන ඇත. ඊට අමතරව ඔහු තරඟ නැරඹීමට ගිය බව පවසමින් තවත් දින පහකට ඇමෙරිකානු ඩොලර් 3500ක අමතර දීමනාවක් ද ලබාගෙන ඇත.

ගසා කැමේ අවසානයක් ශම්මි සිල්වා දැන සිට නැත.

විගණන වාර්තාවට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 12 වැනි විධායක රැස්වීමේ දී ගත් තීරණය නොතකා 2022 ඔක්තෝබර් 20 දිනැති PY2022008927 වවුචරය හරහා ඔහුගේ දෙවන ඕස්ට්‍රේලියානු සංචාරයේදී  ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඇමෙරිකානු ඩොලර් 7,000ක් ලබාගෙන ඇත.

විශේෂ රජයේ විගණනයෙන් පසු ශම්මි ද සිල්වා වංචාකාරී ලෙස ලබාගත් මුදලින් සුලු කොටසක් ආපසු ගෙවා තිබේ.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට යෙදවිය යුතු මහා ධන සම්භාරයක් මෙම හොර හැත්ත විසින් ගැසාකා සහ විනාශ කළ සැටි පුදුම සහගතය.

තවත් දූෂන වංචා රැසක් දෙවන කොටසින් බලාපොරොත්තු වන්න.

Archive

Latest news

Related news