Sunday, June 23, 2024

ස්ථිර ලිපිනයක් නැති කදුරට දෙමළ ප්‍රජාව – එම්. එස්. එම්. අයුබ්

තමන්ගේ යැයි කිව හැකි නිවසක් නැති, ඒ නිසාම තමන්ගේ යැයි කිව හැකි ස්ථිර ලිපිනයක් නැති මිනිසුන් රාශියක් ලංකාවේ වෙසෙති. ඔවුන් ජීවත් වන්නේ, එක්කෝ කුලී නිවස්වල ය. නැත්නම්, වෙනත් පවුලක් සමග බෙදාහදාගන්නා නිවෙසක ය. එනම්, තමන්ට කිසි අයිතියක් නැති නිවෙස්වල ය. ඉතිං, ගෙවල් හිමියා සමග ඇති සම්බන්ධතාවයේ ස්වරූපය අනුව, ඔවුන්ට නිතර ගෙවල් මාරු කිරීමට සිදුවෙයි. මේ අතර, ස්ථිර ලිපිනයක් නැතිව, මහපාරේ ජීවත් වෙන පිරිසක්ද සිටිති.

අතහැර දමන ලද තේ වත්තක ගරා වැටෙන ජීවිත

මහා ඛේදවාචකයක්

එසේ වෙතත්, දිළිඳුකම නිසා හෝ යම් නීතියක් නිසා, අවුරුදු 200 ක කාලයක් තිස්සේ, තමන්ට කියා ඉඩම් කෑල්ලක් නැති සහ ස්ථිර ලිපිනයක් නැති සමස්ත ජන ප්‍රජාවක්ම රටක සිටී නම් එය මහා ඛේදවාචකයක් සේ සැලකිය යුතුය. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මේ වන විට විභාගයට ගැනෙමින් තිබෙන එක් මූලික අයිතිවාසිකම් පෙත්සමක නිමිත්ත වන්නේ ඒ කාරණයයි.

ජීවරත්නම් සුරේෂ් කුමාර්ගේ පෙත්සම

ඉන්දීය සම්භවයක් සහිත මිනිසුන් මෙරටට පැමිණ අවුරුදු 200 ක් ගත වෙයි. ඔවුන් නියෝජනය කිරීමට විවිධ දේශපාලන පක්ෂ තිබේ. පසුගිය මාර්තු 30 වැනිදා එවැනි ඉන්දියානු සම්භවයක් ඇති එක් පුද්ගලයෙක්, රට පුරා විසිරී සිටින ඉන්දියානු සම්භවයක් සහිත සමස්ත වතු ප්‍රජාවට, ස්ථිර ලියාපදිංචි ලිපිනයක් ලබා දෙන ලෙස බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකොට තිබේ. මේ පෙත්සම ගොනුකොට ඇත්තේ, මාවතගම ප්‍රදේශයේ මුවන්කන්ද වත්ත නමැති ස්ථානයේ පදිංචි ජීවරත්නම් සුරේෂ් කුමාර් ය. තමන්ගේ වාසය සඳහා වෙන්කොට ඇති ස්ථානවලට ස්ථිර ලිපිනයන් නොමැති කමින් තමන් පීඩාවට පත්ව සිටින බව පෙත්සම්කරු කියා සිටියි.

400,000කට ලිපින නැහැ

ඔවුන්ට තැපෑලෙන් එන ලියුම් ලැබෙන්නේ වත්තේ සාමාන්‍යාධිකාරීවරයාගේ නමට ය. සාමාන්‍යාධිකාරිවරයා කරන්නේ, ඔහු තෝරාගත් යම් පුද්ගලයෙකු මාර්ගයෙන් අදාළ තැනැත්තන් වෙත ඒ ලියුම් බෙදාහරින්ට සැලැස්වීමයි. එහෙත් බොහෝවිට ඒ පුද්ගලයා විශ්වාසය තැබිය හැකි කෙනෙකු නොවේ. ‘ජනතා වතු සංවර්ධන මණ්ඩලය’ වැවිලි කර්මාන්තයට අයත් රට පුරා ඇති වතු 277 කට කිට්ටු ප්‍රමාණයක් පාලනය කරයි. ඒවායේ 400,000 පමණ පිරිසක් ජීවත් වෙන බව පෙත්සම්කරු පෙන්වා දෙයි. ඒ කිසිවෙකුට ස්වකීය වාසස්ථාන ලිපිනයන් නැත. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර දෙන මූලික අයිතීන් මේ මගින් උල්ලංඝණය කෙරෙන බව ප්‍රකාශයට පත්කරන්නැයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

බලපාන අපහසුතා

ස්ථිර ලිපිනයන් නොමැතිකම, හුදෙක් ලියුම් ලබාගැනීමට නොහැකි වීම පිළිබඳ ප්‍රශ්නයක් පමණක්ම නොවේ. ජංගම දුරකථන පාවිච්චිය නිසා, තැපෑලෙන් ලියුම් ලැබීම දැන් කාලයේ කොහොමත් කෙරෙන්නේ කලාතුරකිනි. එහෙත්, වතු යායට පිටස්තර රැකියාවන්ට ඉල්ලුම් කිරීම, උප්පැන්න ලියාපදිංචි කිරීම, මරණ සහතිකයක් ඉල්ලා සිටීම, විවාහ වීම, විභාග සඳහා ලියාපදිංචි වීම, බැංකු ගිණුමක් විවෘත කිරීම, ළමයෙකු පාසලකට ඇතුළත් කරගැනීම, පොලිස් පරීක්ෂණයකට අදාළ කටයුතුවලට සම්බන්ධ වීම, ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම, සමෘද්ධිය සහ සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් ආදිය ලබාගැනීම ආදී අවස්ථාවලදී, ස්ථිර ලිපිනයක් නොමැති වීම ඔවුන්ට බෙහෙවින් බලපායි.

මේ ප්‍රශ්නය දෙස ආණ්ඩුව යම් සාධනීය ආකාරයකින් බලන බවක් පෙනෙන්ට තිබේ. වතුකරයේ ප්‍රජාව සඳහා ස්ථිර ලිපින ලියාපදිංචි කිරීමේ හැකියාව ගැන, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනට සොයාබලමින් සිටින බව, පසුගිය මැයි 27 වැනිදා නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත්තේ එබැවිනි.

බිම් අඟලක්වත් හිමි නැත

මේ ප්‍රජාව රටේ ජාතික ආර්ථිකයට කරන යෝධ සම්මාදම පැත්තකින් තිබ්බත්, මෙවැනි විශාල ජන ප්‍රජාවකට ස්ථිර ලිපිනයක් හිමි විය යුතුව ඇති බව කිසිවෙකු ප්‍රතික්ෂේප නොකරයි. ඒ සා විශාල ජනකායක් ලිපිනයක් නොමැතිව ජීවත් වීම සාමාන්‍ය දෙයක් නොවන බැවිනි. මේ ප්‍රජාවේ ඉතා සුළු පිරිසකට හැරුණුකොට අනිත් අයට බිම් අඟලක්වත් හිමි නැත. 1980 දශකය දක්වා, එනම්, ඇඟලුම් කර්මාන්තය සහ බටහිර ආසියාවේ රැකියා කරන ලංකාවේ විදේශ ශ්‍රමිකයන්ගේ ආදායම් මෙරටට ලැබෙන්ට පටන්ගන්නා තෙක්, අපේ ජාතික ආර්ථිකයේ විශාලතම පංගුවට දායක වුණේ මේ ප්‍රජාවයි.

සාමූහික හෘදසාක්ෂිය පෑරවිය යුතුය

එහෙත් දැන් පවා, රටේ විදේශ විනිමය උපයන ප්‍රධාන අංශයක් වන්නේ වැවිලි කර්මාන්තයයි. එවැනි ශ්‍රමික ජනතාවකට, අවුරුදු 200 ක් තිස්සේ තමන්ගේ කියා ස්ථිර ලිපිනයකට අයිතිය කීමට නොහැකි වීම රටේ සමස්ත ජනතාවගේ සාමූහික හෘදසාක්ෂිය පෑරවිය යුතු කාරණයකි. එසේම, ඔවුන්ට ස්ථිර ලිපිනයක් ලබාදීම යනු, ඔවුන්ගේ පැවැත්ම රටක් වශයෙන් පිළිගැනීම පිළිබඳ කාරණයක්ද වන්නේය.

සියයට 40 ක් පමණ ගමන අවසන් වන විට මියෑදීය

හරියටම මීට වසර 200 කට කලින්, එනම් 1823 දී ඉන්දියාවෙන් ලංකාවේ වැඩවලට නැව් නංවන ලද දහස් ගණන් ශ්‍රමිකයෝ මන්නාරමෙන් ලංකාවට ගොඩබැස්සෝය. එතැන් සිට මාතලේ දක්වාත්, අනතුරුව මහනුවර දක්වාත් ඔවුන්ට පයින්ම පැමිණීමට සිදු වූ ගමන ඉතා භයානක සහ දුෂ්කර එකක් විය. ඒ ස්ථාන දෙකේ සිට, ලංකාවේ කෝපි වගාව සඳහා මේ ශ්‍රමිකයන්ව රටේ විවිධ පළාත්වලට පිටත් කර හැරියෝය. පාරවල් නැති නිසා, ඔවුන්ට ගමන් කිරීමට සිද්ධ වුණේ කෑලෑ පීරාගෙන එළි කරගන්නා මාර්ග ඔස්සේ ය. මේ ගමන තිස්සේ, භයානක වන සතුන්ගෙන් ප්‍රවේශම් වීම සහ ජීවිත තර්ජනය ඇති කරන රෝග උපද්‍රවවලට ගොදුරු නොවී සිටීම පහසු කාර්යයක් නොවුණි. මෙසේ පයින් ගමන් කළ සමහර කණ්ඩායම්වල සිටි මිනිසුන්ගෙන් සියයට 40 ක් පමණ, මේ ගමන අවසන් වන විට ජීවිතක්ෂයට පත්ව ඇත. ඔවුන්ගේ මළ සිරුරු ඒ ඒ තැන්වලම වළලා දමා තිබේ.

10යයි 10යේ ලැයින් කාමර

අඩි 10  යි 10යේ ජීවිතයක්

ගිය සියවසේ අසූව දශකයේ මැද භාගය හෝ අනූව දශකයේ මුල් කාලය දක්වා ඔවුන් ශ්‍රමය වැගිරුවේ ඉතා දරුණු සහ අභාග්‍ය සම්පන්න තත්වයන් යටතේ ය. පවුලේ සාමාජිකයන් සංඛ්‍යාව කොපමණ වූවත්, ඒ දිනවල ඔවුන්ගේ වාසස්ථාන සමන්විත වුණේ, අඩි 10 ක් දිග සහ අඩි 10 ක් පළල, ඊටත් වඩා කුඩා කුස්සියක් ඇති කාමරවල ය. මෙවැනි නිවෙස්, බොහෝ සමාජයීය සහ සංස්කෘතික ප්‍රශ්නවලට තුඩුදුනි. තරුණ දියණියකට ඇඳුම් මාරු කරගැනීමට, පියා සහ සහෝදරයන් එළියට යන තෙක් සිටිය යුතු විය.

අලුතෙන් විවාපත් තරුණ යුවලකට, වෙනම ලැයින් කාමරයක් ලැබෙන තෙක්, තරුණයාගේ හෝ තරුණියගේ දෙමහල්ලන් සමග එකම ලැයින් කාමරේ වසන්නට සිදු විය. වැසිකිළි පහසුකම් ප්‍රමාණවත් පරිදි නොවුණි. තිබුණු පොදු වැසිකිළිවලත් ජල සැපයුමක් නොවුණි. විදුලිය, හීනෙන්වත් නොපෙනෙන දෙයක් වුණි. ආලෝකය ලබාගැනීමේ එකම මාර්ගය වුණේ, භූමිතෙල් ලාම්පු පමණි. භූමිතෙල් ලිපක් විණි නම්, ඒ කලාතුරකින් නිවෙසක ය.

දරු ප්‍රසූතියේදී සිදුවන මාතෘ මරණ අනුපාතිකය, ළමා මරණ අනුපාතිකය සහ මන්දපෝෂණය වැනි, රටක ප්‍රගමනය මනින සියලු සමාජ දර්ශකවලින් තවමත් පසුපසින්ම සිටින ජන කොටස වන්නේ ඔවුන් ය. මෑතක් වන තෙක් ඔවුන්ගේ වතු පාසල්වල පංති තිබුණේ පස්වැනි ශ්‍රේණිය දක්වා පමණි. හෘදය රෝගී තත්වයකදී පවා ඔවුන්ට තිබුණු එකම ගමනාගමන මාර්ගය වුණේ, වත්තේ තේ කොළ සහ රබර් නිෂ්පාදන ප්‍රවාහණය සඳහා තිබුණු ලොරිය පමණි.

උදුරාගත් ඡන්දය

එසේ අවුරුදු 100 කටත් වැඩි කාලයක් තිස්සේ මේ රටේ සංවර්ධනය සඳහා අවශ්‍ය කළ විදේශ විනිමයෙන් විශාල පංගුවක්, ඉතා දුක්ඛිත තත්වයන් යටතේ උපයා දුන් එම ජනතාවගේ ඡන්ද අයිතිය සහ පුරවැසි භාවය, ලංකාවට නිදහස ලැබීමෙන් පසු බලයට පත් ස්වදේශීය නායකයන් විසින් නිර්දය ලෙස උදුරාගන්නා ලදි. හේතුව, එදා විරුද්ධ පක්ෂයේ සිටි වාමාංශික ව්‍යාපාරයට මෙම ප්‍රජාව සහයෝගය දැක්වීම ය.

කෙසේ වෙතත්, මේ තත්වයන් යම් තරමකට දැන් වෙනස් වී ඇත. 80 දශකය වන විට, ලැයින් කාමර වෙනුවට ඔවුන් වෙනුවෙන් ‘යුගළ කුටි’ තනා දෙන ලදි. එහෙත් ඒ ඉතා සීමිත වතු අතලොස්සකට පමණි. ඉන්පසු, වතු කම්කරු පවුලකට ඉඩම් පර්චස් 7 බැගින් බෙදා දෙන ව්‍යාපෘතියක් දියත් කෙරුණි. එහෙත් එය පවා ක්‍රියාත්මක කෙරුණේ තැන් කිහිපයක පමණි. තවත් වතු කිහිපයක, එතෙක් මුඩුබිම් වශයෙන් අතහැර දමා තිබූ කුඩා ඉඩම් කෑලි, වතු කළමනාකාරීත්වය විසින් ඔවුන්ට බෙදා දෙන ලදි. පසු කාලයක මේ නිවෙස්වලට විදුලි බලයත් සැපයුණු අතර, ඊට අවුරුදු 40 කට කලින් ඔවුන්ගේ පුරවැසි භාවය අහෝසි කළ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය විසින්ම, ඔවුන්ගේ පුරවැසි භාවය සහ ඡන්ද අයිතිය පිළිබඳ ප්‍රශ්නත් 1988 දී නිරාකරණය කරන ලදි.

පවුල් 176,000 ක් ලැයින් කාමරවල

මේ ගත වූ කාලය තුළ, රටේ උසස් නිලතල දැරීමට සුදුසු පුද්ගලයන් රාශියක්ද මේ ප්‍රජාව අතරින් බිහි වී තිබේ. තානාපතිවරු, අධිකරණ විනිසුරුවරු සහ සාර්ථක ව්‍යාපාරිකයෝ ඒ අතර වෙති. එසේ වෙතත් තවමත් පවුල් 176,000 ක් වෙසෙන්නේ ලැයින් කාමරවල ය. වතුකරයේ විශාලතම වෘත්තීය සමිති ව්‍යාපාරය වන, ‘ලංකා කම්කරු කොන්ග්‍රසය’ කියන පරිදි, මේ ජනතාවට තවමත් ස්ථිර ලිපිනයන් නැත.

වතු කම්කරු පවුල්වල දුෂ්කර ආර්ථික තත්වය කෙතෙක්දැයි දැනගැනීමට ඇති හොඳම නිර්ණායකයක් වන්නේ, දවසට රුපියල් 1000 ක වැටුපක් ඉල්ලා තවමත් ඔවුන්ට සටන් කිරීමට සිදුව තිබීමයි. සේවා නියුක්තිය මාසය පුරා නැති නිසා, රුපියල් 1000 දෛනික වැටුප පිළිබඳ ඉල්ලීම ඔවුන් ජයගත්තත්, කෙනෙකුගේ මාසික ආදායම රුපියල් 25,000 කට අඩු අගයක් ගනු ඇත. මේ අතර, අනන්‍යතා ප්‍රශ්නයකටද ඔවුන් මුහුණදෙන බවක් පෙනී යයි. ඔවුන්ගේ සමහර නායකයෝ ස්වකීය ඉන්දියානු සම්භවය තවදුරටත් පිළිගැනීමට කැමැත්තක් නොදක්වති. ඒ සමගම, උතුරු සහ නැගෙනහිර දෙමළ ප්‍රජාව සමග අනන්‍ය වීමටත් ඔවුහූ කැමැත්තක් නොදක්වති.

ඒ නිසා, මෑතක සිට ඔවුන් තමන්ව හඳුන්වාගන්නේ මලෙයියාග (කඳුකර) දෙමළ ප්‍රජාව යනුවෙනි.

 

2023 ඔක්තෝබර් 28 දින Daily mirror පුවත්පතෙහි “A community without a permanent address” මැයින් පල වූ එම්. එස්. එම්. අයුබ් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය governancelanka වෙතිනි.

Archive

Latest news

Related news