Friday, May 3, 2024

රනිල් වික්‍රමසිංහගේ උභතෝකෝටිකය – ආචාර්ය අමීර් අලි

බංකොලොත් වූ ආර්ථිකයක් ගොඩගැනීම සඳහා උදව් කරන්නැයි රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටියේය. ඇතැම් කොන්දේසි යටතේ ඊට එකඟ වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඩොලර් බිලියන 2.9 ක ණයක් අනුමත කෙළේය. එය ලංකා ආණ්ඩුවට ලබා දෙනු ඇත්තේ කොටස් අටක් වශයෙනි. ඒ සමගම, අර්බුදයෙන් ගොඩඒම සඳහා මාර්ග සිතියමක්ද ඔවුන් ලංකා ආණ්ඩුවට ලබා දුන්නේය. රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ආණ්ඩුව ඒ මාර්ග සිතියම අනුව වැඩ කරතියි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කෙළේය.

පළමු ණය වාරිකය මීට අවුරුද්දකට පමණ කලින් ලැබුණි. ඒ පිළිබඳ විගණනයක් සිදු කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඒ මත පදනම්ව ‘රෝග නිධාන වාර්තාවක්’ ලංකා ආණ්ඩුවට ඉදිරිපත් කෙළේය. එහිදී, එකහෙලාම ආර්ථික ක්ෂේත්‍රයට සම්බන්ධයක් නැති මුත්, ආර්ථික ප්‍රතිසාධනය සහ ආර්ථිකයේ අනාගත ප්‍රගතිය සඳහා ඉතා වැදගත් වන ප්‍රශ්න කිහිපයක් පිළිබඳ අවධානය යොමුකොට තිබුණි. ණය අනුමත කිරීමෙන් අවුරුද්දකට පසු එවැනි කරුණු ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ ආණ්ඩුවට මේ ආකාරයෙන් මතක් කරදීමෙන් කියැවෙන්නේ, ආර්ථිකමය වශයෙන් රට ගොඩගැනීමට නම්, පවතින සමාජ-දේශපාලනික සංස්කෘතිය සහ ලංකාවේ ආණ්ඩුකරණයේ දෘෂ්ටිවාදීමය පදනම යටින් ඇති ගතිකත්වයන්හි රැඩිකල් වෙනසක ඇති අවශ්‍යතාවයේ වැදගත්කම ඔවුන් පිළිගන්නා බවයි.

එහෙත්, ඒ සියලු ප්‍රශ්න කෙරෙහි සාර්ථක අන්දමින් යොමුවෙමින්, රනිල් වික්‍රමසිංහගේ ධුර කාලය අවසන් වන ඊළඟ වසර අවසානය වන විට ඒ ප්‍රශ්න විසඳාගනිතියි ඈතින් හෝ උපකල්පනය කළත්, ඒ වන විට ආර්ථිකය පණගසා නැගිටිතියි කියා හෝ යෝධ ආර්ථික වර්ධනයක් ඇති කරගනිතියි කියා හෝ විශ්වාස කිරීම උගහට ය. ඊට හේතුව, රටින් පිටස්තරව පැනනැඟෙමින් තිබෙන අර්බුදකාරී තත්වයන් ය. දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලංකාවේ ආර්ථික වර්ධන වේගයේ පුරෝකථන අගය, මේ වසරට මෙන්ම ඊළඟ වසරටත්, කලින් සිතුවාට වඩා පහළ අගයකට දමා ඇත. ලෝකයේ ස්ථාන දෙකක මතු වී ඇති යුද්ධ දෙකක බලපෑම අපට දැනෙන්ට පටන්ගත් විට, මේ අපේක්ෂිත වර්ධන අගයන් තවත් පහළ දැමීමට සිදු වනු ඇත. එය, වෙනම කතාවකි.

දැනට අදාළ වන්නේ, රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ආණ්ඩුව ඉහත කී ජාත්‍යන්තර අරමුදලේ ‘රෝග නිධාන වාර්තාවේ’ අඩංගු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සූදානම්ද යන්නයි. ඒ සම්බන්ධයෙන් වියහැකියාවන් තුනක් තිබේ: එකක් වන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සියලු නිර්දේශ ක්‍රියාත්මකකොට, රාජ්‍ය පාලන ක්‍රමයේ සහ ආණ්ඩුකරණයේ දෘෂ්ටිවාදය වෙනස්කොට, මහා විනාශයකින් රටත් අනාගත පරම්පරාවත් බේරාගැනීමයි. දෙවැන්න වන්නේ, හසුරුවා ගැනීමට පහසු නිර්දේශ පමණක් තෝරාගෙන, වැඩියත්ම, ඊළඟ මැතිවරණයක් පැවැත්වෙතොත් රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ පාර්ශ්වකරුවන්ට අවාසියක් නොවන ආකාරයේ නිර්දේශ පමණක් තෝරාගෙන කටයුතු කිරීමයි. තුන්වැන්න වන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිත දිනාගැනීම සඳහා සියලු නිර්දේශ ක්‍රියාත්මක කරන බවට ඔවුන්ට පොරොන්දු වෙමින්, ඔවුන්ගේ ආධාර එක දිගටම ලබාගන්නා අතරේම, එය අවසරයක් කරගනිමින් මැතිවරණ කල්දමාගෙන, නූල් සූත්තර කිහිපයක් සමග මේ තිබෙන ආකාරයටම පාලනය ගෙන යාමයි. ජනාධිපතිවරයා සිටින්නේ, එවැනි තේරීම් කිහිපයක් අතර උභතෝකෝටිකයක ය.

රනිල් වික්‍රමසිංහ, දැනුම් තේරුම් ඇති තෙම්පරාදු දේශපාලනඥයෙකි. ඔහු ශිල්ප උගත්තේ ඔහුගේ ලොකු මාමා වන ජේ. ආර්. ජයවර්ධනගෙනි. මහා නාට්‍යකරු මහාචාර්ය සරත්චන්ද්‍ර ‘ධර්මිෂ්ට සමාජය’ යැයි හැඳින්නූ විධායක ජනාධිපති ක්‍රමයේ සහ විවෘත ආර්ථිකයේ නිර්මාතෘගෙනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සියලු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට යාම, සියදිවි නසාගැනීමක් වන බව රනිල් වික්‍රමසිංහ හොඳින් දනී. මන්ද යත්, එසේ කිරීමට ගියොත්, රටේ ආර්ථික විනාශයේ ඔහුගේ පංගුවත් කැපී පෙනෙන්ට පටන්ගන්නා බැවිනි. ඒ නිසා ඔහුගේ තේරීම වනු ඇත්තේ, දෙවැනි සහ තුන්වැනි තේරීම් අතරමැද තේරීමකි.

ආර්ථිකය ගොඩගැනීමේ බර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ එහි අනුගාමික මහ බැංකුවට පවරා, ඒ අංශයේ තම භූමිකාව මුදල් අමාත්‍යවරයා වශයෙන් වාර්ෂික අයවැය සකස් කිරීමට පමණක් සීමාකර ගනිමින්, පසුගිය මාස කිහිපය තිස්සේ ඔහුගේ වැඩි අවධානය යොමු වුණේ, මැතිවරණ පැවැත්වීම සහ මැතිවරණ කල්දැමීම අතරේ දැරීමට සිදුවිය හැකි බර කිරා බැලීම කෙරෙහි ය. සරදම වන්නේ, සියලුම විපක්ෂ පක්ෂ පවා රටේ ආර්ථිකයේ ඉරණම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ මහබැංකුවට පවරා, ස්වකීය ප්‍රධාන අවධානය මැතිවරණ කෙරෙහි යොමු කිරීම ය. ඔවුන් සිටින්නේද රනිල් වික්‍රමසිංහ කරන ආකාරයේම සෙල්ලමක ය.

බලය ලබාගැනීම සඳහා දුවන මේ තරගයේදී ඡන්ද වේදිකාව තුළ වැදගත් වන්නේ රටේ ආර්ථිකය හෝ අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ නොව, වාර්ගික සහජීවනයට සහ දේශපාලනික බුද්ධාගමට අදාළ ප්‍රශ්න ය. දේශපාලන භූමියේ තත්වය මැන බැලීම සඳහා රනිල් වික්‍රමසිංහ වාර්ගික සහජීවනය පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡාවට ගෙනාවේය. එහෙත් දේශපාලනික බුද්ධාගම විසින් ඒ පරාසය ආක්‍රමණය කොට ඇති බව දැනගත් වහාම ඔහු ඒ සාකච්ඡාව හකුළාගත්තේය.

පළාත් පාලන ඡන්ද පැවැත්වීමේ කාලය ආ අවස්ථාවේ, ආර්ථික දුෂ්කරතා සහ රටේ බංකොලොත් භාවය පෙන්නා එම ඡන්දය ඔහු කල් දැමීය. දැන්, විදේශගත ශ්‍රමිකයන්ගේ සම්ප්‍රේෂණ වැඩියෙන් ලැබෙන තත්වයක් තුළ සහ සංචාරක ආදායම් ඉහළ යන තත්වයක් තුළ, ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මුදල් ප්‍රශ්නයක් පැනනොනඟිනු ඇත. එහෙත් ඔහු ජනාධිපතිවරණයක් පවත්වයිද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ සියල්ලම නැතත් වැඩි හරියක් ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් නමුත් ඒ සඳහා යම් කාලයක් තමන්ට අවශ්‍ය කරන බවට වන හේතුවාචකය, එක්තරා ආකාරයකින් ඡන්ද කල්දමා ගැනීම සඳහා පාවිච්චියට ගත හැකි තවත් අවසරයක් වශයෙන් ඔහු සැලකිල්ලට ගත හැකි බවට අඩමානයක් තිබේ. ජාත්‍යන්තර අරමුදල සහ එහි පාර්ශ්වකරුවන් ඊට එකඟ විය හැකිය.

මේ අතර, යම් හෙයකින් මැතිවරණයක් පැවැත්වීමට සිදුවුණොත් යැයි සිතා රනිල් වික්‍රමසිංහ මේ අවස්ථාවේ සුළුජාතිකයන්ගේ සහයෝගය දිනාගැනීමට උත්සාහ කරමින් සිටී. දේශපාලනික බුද්ධාගම සිය ආක්‍රමණශීලි හැඩය ප්‍රදර්ශනය කරමින් සිටින අවස්ථාවක, උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ඔහුට සහාය දීම හැර වෙන දෙයක් කිරීමට නැත. එහෙත් මුස්ලිම් ජනතාව ඒ පැත්තට මේ පැත්තට වැනෙන කොටසකි. ඒ නිසා ඔවුන් සමග යම් මිත්‍රත්වයක් ඇති කරගැනීමට ඔහු බලන බවක් පෙනේ. ඔහුගේ මෑත කාලීන යම් ක්‍රියාකාරකම් ඊට දෙස් දෙයි.

හොරට බඩු ගෙනැවිත් හසු වූ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව කිසි පියවරක් නොගැනීම, පාස්කු ප්‍රහාරය ගැන චැනල් 4 රූපවාහිනියේ ප්‍රකාශිත කරුණු ගැන සෙවීමට පත්කළ පරීක්ෂණ කමිටුවේ සභාපති වශයෙන් මුස්ලිම් ජාතික විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පත්කිරීම, නැවත දේශපාලනයට පිවිසීමට බලා සිටින මුස්ලිම් ව්‍යාපාරිකයාට විවාදාපන්න පූනානී විශ්වවිද්‍යාලය පැවරීම, මහම්මත්තුමාගේ උපන් දිනය දවසේ නෙළුම් කුලුන කොළ පාටින් ආලෝකමත් කිරීම සහ ඊශ්‍රායල්-පලස්තීන යුද්ධය ඇති වීමත් සමග සිකුරාදා යාච්ඤාව පැවැත්වෙන මුස්ලිම් දේවස්ථානවලට පොලිස් ආරක්ෂාව සැපයීම ආදී අනුග්‍රහයන්, පැහැදිලිවම මුස්ලිම් ඡන්ද දිනාගැනීමේ ආයාසයන් වන බව පෙනේ.

අනිත් පැත්තෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මත පටවා ඡන්ද කල් දමාගැනීමට ගියොත් තමාත්, තමාගේ ආණ්ඩුවේත් ආරක්ෂාව සලසාගැනීම ක්‍රමවේද ගැනද ඔහු සිතයි. එහෙත් ඒ ප්‍රතිසංස්කරණ ක්‍රියාවේ යෙදවීමටත් වඩා අසීරු කරුණක් වන්නේ, 2023-24 අයවැය අභියෝගයට මුහුණදීමයි. පසුගිය අයවැයෙන් අපේක්ෂා කළ ආදායම් මට්ටම් වෙත ළඟාවීමට නොහැකි වීම නිසා මෙවර අයවැය ගලපාගැනීම තවත් දුෂ්කර වනු ඇත. එසේ කිරීමට යාමේදී සාමාන්‍ය ජනතාවගෙන් බහුතරයකට තව තවත් ආර්ථික පීඩාවන් දැනෙන්ට පටන්ගනු ඇත. පසුගිය අයවැයෙන් හඳුන්වා දුන් ‘අස්වැසුම’ ඊළඟ වසරේ ඇති විය හැකි දුගී ජනතා දුෂ්කරතාවලට කොහෙත්ම ප්‍රමාණවත් නොවෙනු ඇත. එවිට, දරිද්‍රතාව තවත් ඉහළ යනු ඇත. එකී කටුක ආර්ථික යථාර්ථය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නිර්දේශිත ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සිදුවීම යන සාධක දෙක, මැතිවරණ කල්දැමීමට හේතුකාරක විය හැකිය. එහෙත් එවිට රටවැසියාගේ කෝපය ඉහවහ යනු ඇත.

කෙසේ වෙතත්, ලතින් ඇමරිකානු රටවල මෙන් ලංකාවේ ජනතාව දිග්ගැස්සෙන විරෝධතාවල නියැළීමේ පුරුද්දක් ඇති පිරිසක් නොවේ. ‘ගෝටා ගෝ හෝම්’ යන සටන්පාඨය හැරුණුකොට වෙනත් සම්බන්ධීකරණ වැඩපිළිවෙලක් නොතිබුණු 2002 ‘අරගලය’ පවා, තව කාලයක් දිග්ගැස්සෙන්නට රාජපක්ෂවරුන් විසින් ඉඩ හැරියේ නම් ඉබේම එය දිය වී යනු ඇත. එසේ වෙතත්, කෙටිකාලීන විරෝධතා රැළි, වැඩවර්ජන සහ ප්‍රචණ්ඩත්වය සමග මුසු වෙනත් විරෝධතා ශ්‍රී ලංකා දේශපාලනයේ ස්වාභාවික අංගයක් වන අතර රනිල් වික්‍රමසිංහට ඒ ගැන හොඳ අවබෝධයක්ද තිබේ. මෑතකදී ගෙන ඒමට තැත් කළ ප්‍රති-ත්‍රස්ත පනත, විකාශන අධිකාරී කෙටුම්පත සහ මාර්ගගත ආරක්ෂණ කෙටුම්පත ආදිය වනාහී එවැනි කෙටිකාලීන හැලහැප්පිලි හසුරුවාගැනීම අරමුණු කොට පවතී. 2023-2024 අයවැයෙන් පසුව එළැඹෙන සති හෝ මාස ගණන් තුළ මුහුණදීමට සිදුවන මේ උභතෝකෝටිකයෙන් ගොඩඑන්නේ කෙසේද යන්න ඉදිරියේදී ජනාධිපතිවරයාගෙන් ප්‍රදර්ශනය වනු ඇත.

2023 ඔක්තෝබර් 24 දින Daily FT පුවත්පතෙහි “RW’s Political Dilemma” මැයින් පල වූ ආචාර්ය අමීර් අලි විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය governancelanka වෙතිනි.

Archive

Latest news

Related news